ආනයන වියදම් තුලනය කිරීමට ප්රමාණවත් තරම් විදේශ විනිමය සංචිතයක් නැතිකම ආශ්රයෙන් මතුවී තිබුණු අර්බුදයට ආණ්ඩුව පිළියම් යෙදුවේ රුපියලේ අගය පාවෙන තත්ත්වයකට යොමු කිරිමෙනි. විදේශ විනිමය සංචිතය ශක්තිමත් කරගන්නවාට අතිරේකව ජාත්යන්තර මූල්ය අරමුදල සතුටු කොට එම අරමුදලෙන් සෑහෙන ප්රමාණයක ආධාර මුදලක් ලබාගැනීම එහි අරමුණ විය. එහෙත් ආණ්ඩුව ඒ සඳහා යොදාගත් විසඳුම රුපියලේ අගයේ ශීඝ්ර පහත වැටීමක් ඇති කිරීමට හේතුවී එය රටේ සමස්ත ආර්ථික ක්රියාකාරිත්වයම අතිවිශාල අර්බුදයකට තල්ලු කිරීමට හේතුවිය. මේ තත්ත්වය ආර්ථිකය කෙරෙහිත්, පෙරළා දේශපාලනය කෙරෙහිත් කවර ආකාරයක බලපෑමක් ඇතිකිරීමට හේතුවේද යන්න සොයා බැලීම වැදගත්ය.
මේ අර්බුදය රටේ සියලු තරාතිරම්වලට අයත් ජනයා කෙරෙහි බලපා ඇතත්, ඉතාමත්ම විනාශකාරි ලෙස බලපා ඇත්තේ ආනයන භාණ්ඩ වෙළෙඳම කෙරෙහිය.
1999 වසරේදි ආනයනය කරන ලද පාරිභෝගික භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 1236ක් හෙවත් රුපියල් මිලියන 87060කි. එය රටේ මුළු ආනයන වියදමෙන් 20%කට සමානය.
මුළු පාරිභෝගික භාණ්ඩ වියදමෙන් ආහාර පාන වියදම පමණක් ඩොලර් මිලියන 655කි. වෙනත් පාරිභෝගික භාණ්ඩ වියදම ඩොලර් මිලියන 581කි.
භාණ්ඩ ආනයනය කරන වෙළෙඳුන් භාණ්ඩ ආනයනය කරන්නේ සැපයුම්කරුට වහාම මුදල් ගෙවන පදනමක් මත නොව, මාස තුනක කාලයක් තුළ විකුණා මුදල් ගෙවන පදනමක් යටතේය. එහෙත් ඔවුන් තමන් ආනයනය කළ භාණ්ඩ විකුණා ඇත්තේ ඩොලරයක් සඳහා තිබුණු පැරණි හුවමාරු මිලට ගැලපෙන ලෙසටය. එහෙත් දැන් පැරණි හුවමාරු අගයට විකුණන ලද ආනයන භාණ්ඩ වෙනුවෙන් ගෙවන්නට සිදුවී ඇත්තේ ඩොලරයක් සඳහා වන රුපියලේ අලුත් හුවමාරු මිලටය. මේ නිසා කෙටිකාලීන ණය පදනමක් මත භාණ්ඩ ආනයනය කළ තොග වෙළෙන්දෝ සමහරවිට තමන්ගේ මුළු ජීවිත කාලය තුළ උපයන ලද ලාබත් ගෙවා ණය පියවිය නොහැකි තත්ත්වයකට ඇද වැටී සිටිති. එම තත්ත්වය පෙරළා ඔවුන් ගනුදෙනු කරන බැංකු කෙරෙහි ද අවාසිදායක ලෙස බලපායි.
රුපියලේ අගය පහත වැටීමෙන් සිදුවන තවත් ප්රතිඵලයක් වනුයේ ස්ථාවරත්වයක් ඇතිවෙන තෙක් ම රුපියලේ අගය පහත වැටෙන ප්රමාණයට සරිලන ප්රමාණයකින් භාණ්ඩ මිල විටින් විට ඉහළ යාමය. එය තමන් උපයන වැටුප් ආදායම්වලින් පමණක් ජීවත් වන ජනතාව කෙරෙහි ඉතා පීඩාකාරි ලෙස බලපායි. මිල ඉහළ නැගීමේ ක්රියාවලිය සාමාන්ය කාලයකදි මෙන් නොව දිනපතා හෝ දින කිහිපයකට වරක් සිදුවිය හැකි බැවින් එම තත්ත්වය මහජනතාව අතර වික්ෂිප්තබවක් ඇති කිරීමට හේතුවේ. එසේ සමාජයේ ඇතිවන වික්ෂ්පිතභාවය පෙරළා දේශපාලන තලයේ උණුසුම් තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය.
දැන් ඇතිවී තිබෙන තත්ත්වය ඉදිරියේ එළඹෙන්නට නියමිත සිංහල අවුරුදු සමය කෙරෙහි ද පීඩාකාරි ලෙස බලපායි.
සිංහල අවුරුදු සමයට අවශ්ය කරන ආනයනික පාරිභෝගික භාණ්ඩ දැන් සිටම ඇණවුම් කළ යුතුය. භාණ්ඩ ආනයන වෙළෙඳමේ යෙදි සිටින ව්යාපරිකයන් බංකොළොත් තත්ත්වයකට ඇද වැටී තිබෙන තත්ත්වයක් යටතේ අවශ්ය කරන ඉල්ලුම සපුරාලීමට ඔවුන්ට තිබෙන හැකියාව සීමිතය. අනෙක් අතට ආනයනය සඳහා අරමුදල් ඇති අය පවා තිබෙන අවිනිශ්චිත බව අහෝසි වන තෙක් ණයවර ලිපි විවෘත කිරීමට කැමති නැත.
මේ තත්ත්වය යටතේ ආණ්ඩුව සාර්ථක විකල්ප වැඩපිළිවෙළක් ඉදිරියට නොගතහොත් ඉදිරි සිංහල අවුරුදු සමයේ විශාල භාණ්ඩ හිගයක් රටේ ඇතිවිය හැකිය. එම හිගය පෙරළා භාණ්ඩ මිළෙහි වේගවත් වර්ධනයක් ඇති කිරීමට ද හේතුවිය හැකිය.
රුපියලේ අගය ඉක්මණින් ස්ථාවර වනවා නම් එය රටට යහපත්ය. එහෙත් එය ඉතා ඉක්මණින් ස්ථාවරවීමක් සිදුවන බවක් පෙනෙන්නේ නැත. ස්ථාවරභාවයක් ඇතිවන අවස්ථාවේදි පවා එය ස්ථාවර වන්නට යන්නේ කවර මිලකට ද යන්න ද නොපැහැදිලිය.
ඉක්මන් ස්ථාවරභාවයක් නොලැබීම කෙරෙහි ආර්ථිකයේ ඇති දුර්වලතාව සේ ම දුර්වල මුදල් කළමණාකරණය ද බලපායි. යුද්ධය වෙනුවෙන් කෙරෙන ආනයන මිලදි ගැනීම්වල ප්රමාණය රටට ඔරොත්තු නොදෙන තරම් විශාලය. මුළු ආනයන වියදම රුපියල් මිලියන 416223ක් වනවිට යුද්ධ මිලදි ගැනීම් සඳහා වන ආනයන වියදම රුපියල් මිලියන 27958කි. එය මුළු ආනයන වියදමෙන් 7%ක් තරම් විශාලය. ආණ්ඩුවට මතුවෙමින් තිබෙන ජනතා විරෝධය ඉදිරියේ ආණ්ඩුව වැඩි වැඩියෙන් යුද්ධයෙන් ලබන ජයග්රහණයන් කෙරෙහි විශ්වාසය තබා ක්රියාකරන තත්ත්වයක් තුළ යුද්ධය සඳහා කරන ආනයන වියදම් තවදුරටත් ඉහළ යාමත්, ඒ නිසා එය විදේශ විනිමය සංචිතය තව තවත් දුර්වල කරන සාධකයක් ලෙස ක්රියාකිරීමත් නොවැළැක්විය හැකිය.
විනිමය සංචිතයේ බරපතල අර්බුදයක් ඇති බව පෙනෙන්නට තිබියදිත්, ආණ්ඩුව රජයේ මැති, ඇමතිවරුන් මන්ත්රීවරුන් හා පළාත් මට්ටමේ දේශපාලකයන්ගේ සුඛෝපභෝගී අවශ්යතාවන් සඳහා කරන ආනයන වියදම් කවර මට්ටමකින්වත් සීමා කළේ නැත.
ඇමති මණ්ඩලයේ ප්රමාණය 47කි. එක් ඇමතිවරයකුට ලබාදෙන නිල වාහන සංඛ්යාව 3ක් ලෙස සැලකුවත්, ඇමතිවරුන් 47 දෙනා සඳහා අවශ්ය නිල වාහන සංඛ්යාව 141කි. ඉන්පසු නියෝජ්ය ඇමතිවරුන් 35 දෙනාටද එක නිල වාහනයක් බැගින් ලබාදිය යුතුය. කතානායකට හා විපක්ෂ නායකයාට ද නිල වාහනයක් බැගින් ලබාදිය යුතුය. ඉන්පසු පළාත් සභා පහේ 35 දෙනාටද විපක්ෂ නායකයන් 07 දෙනාට හා ප්රාදේශීය සභා සභාපතිවරුන් 258ටද, මහ නගර සභා 14 නගරාධිපතිවරුන් 14 දෙනාට හා නියෝජ්ය නගරාධිපතිවරුන් 14 දෙනාටද, නගර සභා 37 නගරාධිපතිවරුන්ට හැම වසර 05කට වරක් ම අලුත් නිල වාහනයක් බැගින් ලබාදිය යුතුය. එවිට මුළු එකතුව 543කි. ඉන්පසු ඒ සියලු දෙනාද ඇතුළත්ව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 225 දෙනාට ද, පළාත් සභා මන්ත්රීවරුන් 437ට හා නගරාධිපතිවරුන් 51ට හා ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට අයත් එක් ඇමතිවරයෙකු සඳහා විවිධ නම්වලින් ලැබෙන ලේකම්වරුන් 4 දෙනා බැගින් වන ලේකම්වරුන් 188ට ද, නියෝජ්ය ඇමතිවරුන්ට ලැබෙන පුද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්වරුන් 70 දෙනාටද තීරු බදු රහිත පදනමකින් වාහන ලබාදිය යුතුය. එවිට ඒ ගණයට වැටෙන වාහන සංඛ්යාව 971කි. ඇමති ගණයේ අයට ලැබෙන වාහනයක් ආනයනය සඳහා කෙරෙන වියදම ලක්ෂ 40ක් ලෙස සැලකෙතොත්, ඒ ගණයට වැටෙන 543 දෙනා සඳහා යන ආනයන වියදම රුපියල් ලක්ෂ 21720කි. දෙවැනි ගණයට අයත් 971 දෙනා සඳහා එක් වාහනයක් ආනයනය කිරීම සඳහා යන වියදම රුපියල් ලක්ෂ 12ක් ලෙස සැලකෙතොත් ඒ ගණය සඳහා යන වියදම ලක්ෂ 11652කි. දෙකේ මුළු එකතුව ලක්ෂ 33572ක් හෙවත්, රුපියල් මිලියන 3337කි. මීට එකක් රුපියල් මිලියන 80ක තරම් වන මිලකට ආනයනය කෙරෙමින් තිබෙන වෙඩි නොවදින බීඑම්ඩබ්ලිව් රථ සඳහා කෙරෙන වියදම ද ඇතුළත් කළවිට ලැබෙන චිත්රය මීටත් වඩා භයංකාරය. රටේ යහපත නොසලකා දේශපාලනඥයන්ගේ සුඛෝපභෝගී වුවමනාවන් වෙනුවෙන් කෙරෙන නාස්තිකාර ආනයනයන් ද විදේශ විනිමය සංචිතය දුර්වල කිරීමට හේතුවිය.
පුද්ගලිකකරණ ක්රියාවලිය විවෘත හා විධිමත් ආකාරයකින් සිදුනොවීම ද විදේශ විනිමය සංචිතය දුර්වල කරන සාධකයක් ලෙස ක්රියා කළේය. පුද්ගලිකකරණයේදි ක්රියාත්මක වූ ගජ මිතුරු ප්රතිපත්තිය නිසා විකුණාගනු ලබන ආයතනවලට නියම වටිනාකමක් ලබාගැනීමට නොහැකිවීමේ ප්රශ්නයක් ඇතිවා සේ ම, ලැබුණු මිල මුළුමණින් රටට ලැබුණේද යන ප්රශ්නයක් ද පවතී. අනෙක් අතට ගජ මිතුරන් මගින් සැකයකට හේතුවන ආකාරයට විකුණන ලද ඇතැුම් ආයතනවලට ලබාදෙමින් තිබෙන අනවශ්ය සහනයන් ද රටේ විදේශ විනිමය ප්රශ්නය උග්ර කිරීමට යම් පමණකට හේතුවී තිබෙන බව ද පෙනේ. 1999 වසරේ ආනයන වියදම ඩොලර් මිලියන 5899ක් වනවිට එම වසරේ ප්රවාහන උපකරණ සඳහා යන ආනයන වියදම ඩොලර් මිලියන 523ක් දක්වා ඉහළ ගියේ එයාර් ලංකා සමාගම සඳහා ගෙන්වන ලද ගුවන් යානා තුන නිසාය. එම ගුවන් යානා තුන සඳහා කෙරුණ වියදම ඩොලර් දශ ලක්ෂ 90කි. ඉන්ධන සඳහා යන ආනයන වියදම ඩොලර් මිලියන 426ක් හෙවත් රුපියල් මිලියන 30124කි. ඛනිජ තෙල් සංස්ථාව එයාර් ලංකා සමාගමට ලබාදි තිබෙන ඉන්ධන සහනාධාරය වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 250ක පාඩුවක් විඳින විට එම සමාගමට ඉන්ධන සඳහා ලබාදි තිබෙන බදු සහන වෙනුවෙන් ද ආණ්ඩුව තවත් රුපියල් මිලියන 250ක අලාභයක් විඳී.
යහපත් ආණ්ඩුකරණයක් නැතිකමේ ප්රශ්නය මත ශ්රී ලංකාවට ලැබෙමින් තිබෙන විදේශ ආධාර ප්රමාණය පහළ වැටීම ද විදේශ විනිමය සංචිතය දුර්වල කිරීමට හේතුවී තිබෙන තවත් සාධකයකි. 1998දි සමස්ත ගෙවුම් තුලනයේ ඩොලර් දස ලක්ෂ 37ක අතිරික්තයක් තිබී, 1999දි එය ඩොලර් දස ලක්ෂ 263ක හිගයක් බවට මාරුවූයේ ලැබෙන විදේශ ආධාර ශීඝ්ර ලෙස පහත වැටීම හේතු කොටගෙනය.
රුපියලේ අගය පහත වැටෙමින් ආනයන වියදම ඉහළ යාමෙන් රටට පාඩුවක් සිදුවිය හැකිවුවත්, ඒ නිසා අපනයන ආදායමට ලැබෙන ධෛර්යයෙන් හා ඒ නිසා වර්ධනය වන අපනයන ආදායමෙන් සිදුවන පාඩුව ශ්රී ලංකාවට වාසිදායක ලෙස පියවා ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාසයක් පළවෙමින් තිබුණත්, එය ද මනෝරාජික විශ්වාසයකි. අපේ අපනයන නිෂ්පාදනයන්ගේ ආංශික සැකසුම මෙවැනි අර්බුදයක් ජයගත හැකි ආකාරයට සැකසී නොතිබීම ඊට බලපාන හේතුවයි. ආනයන අමුද්රව්ය අඩුවෙන්ම භාවිතා කෙරෙන්නේ අපනයන කෘෂිකාර්මික නිෂ්පාදනයේදිය. එහෙත් එයින් අපට ලැබෙන්නේ මුළු අපනයන ආදායමෙන් 20%ක් පමණය. අපනයන ආදායමෙන් 77%ක්ම ලැබෙන්නේ කාර්මික නිෂ්පාදනයන්ගෙනි. කාර්මික නිෂ්පාදනයන් තුළ ඇති අපනයන අමුද්රව්ය වියදම විශාලය. මුළු කාර්මික අපනයන අගයෙන් 68%කටත් මුළු අපනයන ආදායමෙන් 53%කටත් වගකියන ඇගළුම් නිෂ්පාදන ආදායම තුළ ඇති අපනයන අමුද්රව්ය වියදම 85%ක් තරම් විශාලය. 1997දි ඇගළුම් අපනයනවලින් උපයන ලද ආදායම ඩොලර් මිලියන 2425ක් වනවිට ඇගළුම් කර්මාන්තය සඳහා අපනයන අමුද්රව්ය වියදම ඩොලර් මිලියන 1320ක් විය. මේ තත්ත්වය අපනයන නිෂ්පාදන අංශය තුළද, ප්රශ්න ඇති කිරීමට හේතුවිය හැකිය.
මේ තත්ත්වය ඉදිරියේ ශ්රී ලංකාවට යම් තරමක හෝ ස්ථාවරභාවයක් ඇති කරගැනීමට හැකිවනු ඇත්තේ විදේශ සේවාවන් සඳහා යන පුද්ගල සංඛ්යාව වර්ධනය කිරිමෙන් හා සංචාරක ව්යාපාරය වර්ධනය කරගැනීමෙන් පමණය.