ආර්ථික අර්බුදය හා රාජාණ්ඩු දේශපාලනය

January 28, 2001
Publication:
As prices soar, the government has used police against a JVP protest while fishermen strike and the UNP turns to agitation. The editorial blames poor governance rather than external factors, citing the flour subsidy before the 1994 election, misdirected Samurdhi payments, unmetered electricity users, lost port revenue after the President moved to the Fort residence, the French locomotive deal and a Rs. 2,500 million new presidential palace, and calls for an open democratic system.

ආණ්ඩුව තමන් මුහුණ දි සිටින ද්‍රවශීලී අර්බුදයට පිළියම් යෙදිමට දරන ප්‍රයත්නයන් මහජනයා කෙරෙහි බලපාමින් තිබෙන්නේ ඉතාමත් පීඩාකාරි ආකාරයකටය. පාරීභෝගික භාණ්ඩ මිල නොනැවතී පිම්මේ ඉහළ යමින් පවතී. පහළම ආදායම් ලබන ජනයා කෙරෙහි පමණක් නොව, ඉහළ ආදායම් ලබන ජනයා කෙරෙහි පවා එය බලපායි. රටේ ඇතිවෙමින් තිබෙන මෙම විශේෂ තත්ත්වය ආණ්ඩුව හා මහජනතාව අතර ගැටුම් ඇති කරන තත්ත්වයක් නිර්මාණය කරයි.

ශීඝ්‍රයෙන් වැඩිවන ජීවන වියදමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයට ආණ්ඩුව පොලිසිය ලවා පහර දුන්නේ විරෝධතා ව්‍යාපාරවලට ඉඩක් නැතැයි කියන සංඥාව රටට ලබාදිම සඳහාය. එහෙත් එම සංඥාව නොසලකා මීගමුවේ සිට කල්පිටිය දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන ධීවර ජනතාව සාර්ථක වර්ජන ව්‍යාපාරයක නිරත විය. ජනතා විමුක්ති පෙරමුණට වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ අතිවිශාල බලයක් නැතත්, සමස්ත මහා වැඩවර්ජනයක් සඳහා ඔවුන් කරන හඬගෑම වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ විශාල බලපෑමක් ඇති කිරීමට හේතුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද නාගරික කම්කරු ජනයා අතර වර්ධනය වෙමින් පවතින අසහනයේ තරමයි. රටේ වර්ධනය වෙමින් පවතින මෙම විශේෂ පරිසරය එජාපය කෙරෙහි ද බලපාමින් තිබෙන අතර, එම පක්ෂය ද මෙතෙක් පවත්වාගෙන ආ නිහඬව බලා සිටීමේ පිළිවෙත අතහැර සටන් කරන පිළිවෙතකට තල්ලු වෙමින් සිටී. සමාජ දේශපාලන අංශවල මතුවෙමින් තිබෙන මෙම පෙළගැසීම් පාලනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහයන් හා නැවත ඒවා නොසලකා ඉදිරියට යාමට දරන උත්සාහයන් නිසා පෙබරවාරියේ සිට රටේ දේශපාලන චිත්‍රය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සිතිය හැකිය.

රටේ පවතින ද්‍රවශීලී අර්බුදය තමන්ට පාලනය කළ නොහැකි බාහිර සාධක නිසා ඇතිවූවක් බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටියත්, ඒ කෙරෙහි බාහිර සාධකයන්ට වඩා බලපා ඇත්තේ අභ්‍යන්තර සාධකයන්ය. ප්‍රධානම සාධකය රටේ පවත්නා අයහපත් ආණ්ඩුකරණයයි. ආධාර කණ්ඩායම ඇගිල්ල දිගුකර ඇත්තේ ද එතනටය.

94 ජනාධිපතිවරණය ඉලක්ක කොට වී ගොවිතැනට සිදුවිය හැකි හානිය නොසලකා ආණ්ඩුව පාන් පිටි මිල කෘතිම ලෙස පහත දැමුවේය. වසර දෙකක කාලයක් තුළ ඒ වෙනුවෙන් කරන ලද වියදම රුපියල් දශ ලක්ෂ 12500ක් විය. ලෝක බැංකුවේ නිරික්ෂණවලට අනුව සමෘද්ධි සහනාධාරවලින් 44%ක්ම ගලා යන්නේ එම සහනාධාරය ලැබිය යුතුව තිබෙන දුප්පත්ම අය වෙත නොව, එම සහනාධාරය ලැබිය යුතු නැති ඉහළ ආදායම් ලබන ගම් මට්ටමේ පාක්ෂිකයන් සඳහාය. 1995 සිට 1999 දක්වා සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් කර තිබෙන වියදම රුපියල් දශ ලක්ෂ 38358ක් වනවිට ඉන් රුපියල් දශ ලක්ෂ 16876ක් ම වැය කොට වනවිට, විදුලි මීටර් නැතිව විදුලිය පරිභෝජනයට මණ්ඩලය ඉඩදි තිබෙන පාරිභෝගිකයන් සංඛ්‍යාව 350,000කි. ලැබෙන්නට නියමිත ණයවලින් 95%ක් ම අයත් වන්නේ ද සාමාන්‍ය පාරිභෝගික ණය නොව, රාජ්‍ය ආයතන ගණයේ ණයයි. රාජ්‍ය ආයතනවල පවත්නා අයහපත් කළමනාකරණය වෙනුවෙන් මහජනයා වන්දි ගෙවිය යුත්තේ ඇයි? ආණ්ඩුව දුර්වල තත්ත්වයක තිබෙන විදේශ මුදල් සංචිතය තර කිරීම සඳහා දේශීය බැංකු මගින් වැඩි පොලියකට විදේශ මුදල් එකතු කරන වෑයමක යෙදි සිටී. පුදුමයට මෙන් එයාර් ලංකා සමාගමේ කොටස් මිලදි ගැනීම වෙනුවෙන් එමිරේට්ස් සමාගම ගෙවිය යුතුව තිබෙන ඩොලර් දශ ලක්ෂ 25 එකතු කරගැනීමට ආණ්ඩුව උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත.

අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාට අරලියගහ මන්දිරය ඉඩදිම පිණිස ජනාධිපතිනිය කොටුවේ තිබෙන ජනාධිපති මන්දිරයේ පදිංචියට ගියාය. ඒ සමග ආරක්ෂක හේතු මත කොළඹ වරායේ නැව් නවතා තැබීම නැවතී පානදුර ගැඹුරු වරායේ නැව් නැවතිය යුතු තත්ත්වයක් ඇතිවිය. ඒ නිසා වරාය ආදායම 30%කින් අඩුවී ඇති බව කියනු ලැබේ. කොළඹ වරායේ වාර්ෂික ආදායම රුපියල් දශ ලක්ෂ 15,000කි. ඉන් 30%ක් යනු රුපියල් දශ ලක්ෂ 450කි.

ප්‍රංශ ලොකොමෝටිව් දුම්රිය ගනුදෙනුවෙන් ද ශ්‍රී ලංකාවට සිදුවී තිබෙන පාඩුව මිල කළ නොහැකි තරම්ය. මේ ගනුදෙනුවේදි ජනාධිපතිනිය ටෙන්ඩර් මණ්ඩලය තමන් වෙත කැඳවා දුම්රීය කට්ටල් මිලදි ගත යුත්තේ කාගෙන්ද යන්න ඔවුන්ට උපදෙස් දුන් බවට ද චෝදනා එල්ල විය. අවසානයේ භාණ්ඩාගාර ලේකම් බී.සී. පෙරේරා හා ප්‍රවාහන ලේකම් සිසිල් අමරසිංහ යන අය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ නොසලකා රුපියල් දශ ලක්ෂ 500ක් වැඩිපුර මුදල් ගෙවා ප්‍රංශයෙන් අවශ්‍ය ලොකොමෝටිව් කට්ටල 10 මිලදි ගැනීමට තීරණය කොට දැන් ඉන් කොටසක් රටට ලැබී ඇතත්, ඒවා අපේ රේල් පාරවල්වලට නොගැලපෙන බව කියවෙන්නේ දැන්ය.

ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීම මගින් පාර්ලිමේන්තුවට එතෙක් තිබූ උත්තරිතර බව අහෝසි කොට ඒ වෙනුවට ඉතාමත් සුඛෝපභෝගී හා ගාම්භීර පාර්ලිමේන්තු සංකීර්ණයක් ඇති කර දුන්නේය. ඒ සඳහා ගිය වියදම රුපියල් දශ ලක්ෂ 900ක් විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දිව්රා පොරොන්දු වී බලයට පැමිණ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තිබෙන ජනාධිපති මන්දිරය හොඳ මදිවී දැන් ලහි ලහියේ නව ජනාධිපති මන්දිරයක් ඉදිකෙරෙමින් පවතී. විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට වඩා උත්තරිතර නිසා දෝ ඉදිකෙරෙමින් තිබෙන උත්තරිතර මන්දිරය සඳහා කරන්නට නියමිත වියදම රුපියල් දශ ලක්ෂ 2500කි.

මේ සියල්ලන්ගේ තේරුම ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි පැළඳි රාජාණ්ඩු ක්‍රමයක් යටතේ තවමත් ජීවත් වන බව නොවේද? රාජ්‍ය පාලකයා වෙනස් කිරිමෙන් පමණක් තිබෙන ප්‍රශ්න විසඳිය නොහැකිය. යහපත් ආණ්ඩුකරණයක්, යහපත් මූල්‍ය පාලනයක් පමණක් නොව වාර්ගික හෝ ආගමික ආවේගයන් කළමනාකරණය කළ හැකි කළමනාකරණ රටාවක් ද රටට දිනාගත හැකිවනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි අන්දවන ලද මෙම වැඩවසම් පාලන ක්‍රමයෙන් අත්මිදි විවෘත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට මාරුවීමෙන් පමණය.