හැමදාම සරත් සිල්වා… සරත් සිල්වා…සරත් සිල්වා… මොකද්ද මේකෙ තේරුම”
එය “රාවය”ට කැමති, ඒ සමග “රාවය” විවේචනය කරන්නට ද කැමති මා දන්නා හඳුනන පාඨකයකු මේ මෑත දිනකදි මගෙන් අසන ලද ප්රශ්නයකි.
මේ ප්රශ්නය ඉහත ප්රශ්නය ඇසූ පුද්ගලයාට පමණක් නොව, “රාවය” කියවන වෙනත් අයට ද පොදු විය හැකිය.
මට එහිදී එම පුද්ගලයාට ලෙනින් රත්නායක සිද්ධියේ අත්දැකීම් මතක් කර දෙන්නට සිදුවිය. යම් පමණකට හෝ යුක්තිය ඉටුකර ගැනීමට හැකිවූයේ නොකඩවා එක දිගට දිර්ඝ කාලයක් කතා කිරිමේ ප්රතිඵලයක් වශයෙනි. එසේ නොකොට දැනගන්නට ලැබුණු ස්ත්රී දූෂණ සිද්ධිය පිළිබඳව වාර්තා කිරිමෙන් පමණක් නතර වූයේ නම්, එම ස්ත්රී දූෂක හොර තක්කඩියා අදත් අධිකරණයේ ගරු කටයුතු අසුනක් අරාගෙන සිටිනවා නොවේදැයි මම ඔහුගෙන් පෙරළා ප්රශ්න කළෙමි. සරත් සිල්වා මහතා පිළිබඳ තත්ත්වයත්, ඊට සමාන බව කී විට මා ක්රියාකරමින් තිබෙන ආකාරය හරිබව කියමින් ඔහු මට සුභ පැතුවේය. දූෂිත අගවිනිසුරුවරයෙකු නිසා අධිකරණයට විය හැකි විනාශය දූෂිත මහේස්ත්රාත්වරයකු නිසා අධිකරණයට සිදුවිය හැකි විනාශයට වඩා බරපතලය. එසේම දූෂිත මහේස්ත්රාත්වරයකු අධිකරණ සේවයෙන් පළවා හැරිම පවා ඉතා දුෂ්කර වී නම්, රාජ්ය අනුග්රහය මත අගවිනිසුරු ධුරය උසුලන දූෂිත පුද්ගලයකු අධිකරණ සේවයෙන් පළවා හැරිම කිසිසේත් ම පහසුවිය නොහැකිය.
සරත් සිල්වා මහතා නීතිපති ධුරය හොබවමින් සිටි ආරම්භක අවස්ථාවේදි මට ඔහු පිළිබඳ විවේචනයක් තිබුණත්, ඔහු දූෂිත පුද්ගලයකු වූයේය යන හැගීමක් මට නොතිබුණි. ඒ හැගීම මා තුළ ඇතිවූයේ ලෙනින් රත්නායක සිද්ධිය ආශ්රයෙනි. මා ඔහු ගැන දිර්ඝ වශයෙන් කරුණු සොයා බලන තත්ත්වයකට තල්ලුවී ගියේ ද ඉන් අනතුරුවය. ලෙනින් රත්නායක මහේස්ත්රාත්වරයකු ලෙස ක්රියාකරමින් සිටියදි ඔහු ඉදිරියේ විභාග වූ නඩුවක ඔහු විසින් රිමාන්ඩ් භාරයට පත්කර සිටි විත්තිකරුවකුගේ බිරිඳක් කටඋත්තරයක් ලබාගැනීමේ මුවාවෙන් තානායමකට ගෙන ගොස් දූෂණය කිරිමේ සිද්ධිය “රාවයේ” වාර්තා වූයේ 1997 අගෝස්තු 17 වැනි දිනය. ඒ වනවිට කල්යාණන්ද තිරණාගම මහතා ද එම කාන්තාවගෙන් ලබාගත් දිවුරුම් පෙත්සමක් ද සහිතව එම සිද්ධිය ශ්රේෂ්ඨාධිකරණයටද, අධිකරණසේවා කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ. ඊට අතිරේකව එම සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම ද පරික්ෂණයක් අරඹා තිබුණි.
ලෙනින් රත්නායක “රාවයේ” පළවූ මේ පුවතට එරෙහිව නීතිපතිගේ ද සහාය ඇතිව, මට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ පිළිබඳ පරික්ෂණයේ දි මගෙන් කටඋත්තරයක් ලබාගැනීමට පැමිණි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරික්ෂක වෛද්යසේකර මහතාට එම වාර්තාවට අදාළ පසුබිම පැහැදිලි කොට දි, මෙම මහේස්ත්රාත්වරයා අධිකරණ සේවයට එන්නට පෙරාතුව ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කොට ඇති බවත්, එහිදී සිදුවූ මුදල් වංචාවක් මත සංස්ථාව ඔහු සේවයෙන් නෙරපා ඇති බවත්, එවැනි අපරාධකාරි පසුබිමක් ඇති පුද්ගලයකු සිය අතීතය සගවා අධිකරණ සේවයට එකතු වුයේ කෙසේද යන්න, සොයා බැලීම ද වැදගත් වනු ඇති බවත්, ප්රකාශ කරමින් එම වංචාවට අදාළ මා ළග තිබූ ලියකියවිලි කිහිපයක ඡායා පිටපත් ද ඔහු වෙත ලබා දුන්නෙමි.
ඉන් කලකට පසුව මා වෙනත් නඩුවකට කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ගිය අවස්ථාවේදි මගෙන් කටඋත්තරය ලබා ගත් පොලිස් පරික්ෂකවරයා මට හමුවිය. ඔහු ලෙනින් රත්නායක ගැන කතා කළේය. රක්ෂණ සංස්ථාවේ වංචා සිද්ධිය සත්යයක් බවත්, ස්ත්රී දූෂණයක් සිදුවී ඇතත්, එය බලහත්කාරි ආකාරයෙන් සිදුවූ ස්ත්රී දූෂණයක් ලෙස ඔප්පු කිරීම අමාරු බවත් ඔහු කියා සිටියේය. මා ඒ අවස්ථාවේදි පොලිස් පරික්ෂකවරයා කියන දේට ඇහුම්කන් දුන්නා විනා ඒ ගැන දරන අදහස් පළකරන තැනකට ගියේ නැත.
ඉන්පසු තවත් කිසියම් දිනෙක “සන්ඩේ ටයිම්ස්” කර්තෘ සිංහ රත්නතුංගගේ උපන් දිනයක් වෙනුවෙන් ඔහුගේ නිවසේ පැවති සාදයකදි නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල්වරයකු වූ සී.ආර්. ද සිල්වා මහතා මට හමුවිය. ලෙනින් රත්නායක පරික්ෂණය ගැන දැනගැනීමේ අදහසින් මම ඒ ගැන ඔහු සමග කතා කළෙමි. ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබෙන ස්ත්රී දූෂණ චෝදනාව බලහත්කාරි ස්ත්රී දූෂණයක් ලෙස සැලකිය නොහැකි බවත්, ඊට කාන්තාවගේ අනුමැතිය ද ලැබී ඇති බවත් ඔහු ප්රකාශ කළේය. කාන්තාවකගේ කැමැත්ත ඇතිව වුවත්, විනිශ්චයකාරවරයකු තමා අසන නඩුවක රිමාන්ඩ් භාරයට පත් කරන ලද පුද්ගලයකුගේ බිරිඳක් සමග නිදාගෙන ඇත්නම් එම විනිශ්චයකාරවරයා අධිකරණ සේවයෙන් පළවා හැරිමට එම චෝදනාව පමණක් වුවත් ප්රමාණවත් නොවේදැයි මම සී.ආර්. ද සිල්වා මහතාගෙන් ප්රශ්න කළවිට ඒ අර්ථයෙන් මා නිවැරදි බව ඔහු පිළිගත්තේය. ලෙනින් රත්නායක මුදල් වංචා කිරිමේ සිද්ධියක් මත රක්ෂණ සංස්ථාවෙන් පළවා හරින ලද පුද්ගලයකු බව පරික්ෂණවලදි සනාථ වී ඇති බව ඔහු පිළිගත්තේය.
පොලිස් පරික්ෂක වෛද්යසේකර, ලෙනින් රත්නායක මුදල් වංචාවක් මත රක්ෂණ සංස්ථාවෙන් නෙරපීමේ සිද්ධිය සොයා බලා ඇති බවත්, දූෂණයට පත්වූ කාන්තාව ද පොලිස් පරික්ෂකවරයාට දෙන ලද කටඋත්තරයේදි ලෙනින් රත්නායක විසින් තමා තානායමකට ගෙන ගොස් දූෂණය කළ බව පිළිගෙන ඇති බව ද පොලිස් පරීක්ෂක වෛද්යසේකරගෙන් අසන්නට ලැබුණු කරුණු අනුව නිගමනය කළ හැකි විය. සී.ආර්. ද සිල්වා මහතාගෙන් අසන්නට ලැබුණු කරුණු අනුව පොලිස් පරික්ෂකගේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබුණු බව පෙනී ගියේය.
ලෙනින් රත්නායක අධිකරණ සේවයෙන් පළවා හැරිමට තරම් බරපතල වැරදි ඇති පුද්ගලයකු බව පොලිස් පරික්ෂණවලින් සනාථ වී ඇතත්, නීතිපති ඔහු ආරක්ෂා කරන තත්ත්වයකින් ක්රියාකරමින් සිටින බව වැඩිදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්යන්තරයෙන් මට දැනගන්නට ලැබුණ.
මේ අනුව මා 1998 අගෝස්තු 11 වැනි දින අධිකරණ ඇමති ජී.එල්. පිරිස් මහතා හමුවී ලෙනින් රත්නායක පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇති පොලිස් වාර්තා ගැන සොයා බැලීමක යෙදෙන ලෙස ඉල්ලා සිටියෙමි. අධිකරණ ඇමතිවරයා ද අගෝස්තු 14 වැනි දින ඒ ගැන නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසීමක් කළේය. ඊට පිළිතුරු වශයෙන් සරත් සිල්වා මහතා ලෙනින් රත්නායක සිද්ධිය පිළිබඳව සිය නිරික්ෂණ ඇතුළත් රහස්ය වාර්තාවක් 1998 සැප්. 09 වැනි දින ඇමතිවරයා වෙත එවනු ලැබීය.
එම රහස්ය වාර්තාව කියවූ විට මට මගේ ඇස් අදහා ගත නොහැකි විය. ලෙනින් රත්නායක මුදල් වංචාවක් මත රක්ෂණ සංස්ථාවෙන් පළවා හරිනු ලැබුවකු බව පොලිස් පරික්ෂණවලින් සනාථ වී තිබියදි හා ඔහු තමා දූෂණය කළ බව කාන්තාව දෙන ලද කටඋත්තරයේ පැහැදිලිව සඳහන්ව තිබියදි නීතිපතිවරයා මෙම රහස්ය වාර්තාවෙන් පොලිස් පරික්ෂකගේ ඇත්ත තතු වසන් කරමින් ඔහු ආරක්ෂා කර තිබුණි. නීතිපති වැනි ඉතා වැදගත් හා බලවත් නිලයක් දරන පුද්ගලයෙක් ඇමතිවරයාට මෙවැනි බරපතල වංචාවක් කළේ ඇයිද යන ප්රශ්නය මට ඇතිවිය. සරත් සිල්වා පිළිබඳව කරුණු සොයා බලන තැනකට මා තල්ලු වූයේ ද එහි ප්රතිඵලයක් වශයෙනි.
මේ ප්රශ්නය පිළිබඳව සරත් සිල්වා මහතාට බරපතල ලෙස චෝදනා නගන තත්ත්වයකට යන්නට ප්රථම ලෙනින් රත්නායක වංචනිකයකු හා ස්ත්රී දූෂකයකු බව පිළිගැනීමට අවශ්ය තරම් කරුණු තමා වෙත තිබියදි ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේ ඇයිද යන ප්රශ්නය නීතිපති සරත් සිල්වා මහතාගෙන් ම පැහැදිලි කරගැනීමට මට අවශ්ය විය. දුරකතනයෙන් ඔහු අමතා සම්මුඛ සාකච්ඡාවක් සඳහා දිනයක් ලබාගනිමින් මම කර්තෘ මණ්ඩලයේ තවත් සාමාජිකයන් දෙදෙනකු සමග (නිව්ටන් සෙනෙවිරත්න හා උවිඳු කුරුකුලසූරීය) 1998 නොවැම්බර් 23 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේදි ඔහු හමුවීමු.
සරත් සිල්වා මහතා සමග ඇතිවී තිබෙන ගැටලු සාකච්ඡා කරන අතර, ලෙනින් රත්නායක නිර්දෝෂී කරන ආකාරයට ඇමතිවරයා වෙත යවන ලද රහස්ය වාර්තාව සකස් කළේ පොලිස් පරික්ෂණ වාර්තාවේ වන කරුණු මත පදනම් වී බව මේ අවස්ථාවේ දි නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන පොලිස් පරික්ෂණ වාර්තා අප ඉදිරියට ගෙන්වා සනාථ කරන්නේ නම්, ලෙනින් රත්නායක අරභයා සරත් සිල්වා මහතාට එල්ල කෙරෙමින් තිබෙන චෝදනාව ප්රසිද්ධියේ ඉවත් කරගනිමින් සරත් සිල්වා මහතාගෙන් ප්රසිද්ධියේ සමාව ලබාගැනීමට මා සූදානම් බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති පොලිස් පරික්ෂණ වාර්තා අප ඉදිරියට ගෙන්වා ගෙන ඒ බව සනාථ කරන ලෙසත්, මම සරත් සිල්වා මහතාගෙන් ඉල්ලා සිටියත් එම ප්රශ්නයට සෘජු පිළිතුරක් දිමෙන් ඔහු මගහැරියේය.
එම අවස්ථාවේදි නීතිපති දෙපාර්තමේන්තුව භාරයේ තිබූ එම ලිපිගොනු අංක මා වෙත නොතිබුණත්, අද ඒ සියල්ල මා සතුව පවතී. අදාළ පොලිස් පරික්ෂණ වාර්තාවල ලිපිගොනු අංක මේවාය. CF 59/98, CR1/80/97, CR1/104/98, C284/97/CM, CR1/165/99 මේ අතර, මහේස්ත්රාත් ලෙනින් රත්නායක පිළිබඳවත්, සරත් සිල්වා මහතාට එරෙහිව රසායන ඉංජිනේරු ඩබ්.ඒ.පී.බී. ජයසේකර මහතා පවරන ලද අනාචාර නඩුව විමසූ දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිවත්, රාවය නොකඩවා කරන ලද කෑගැසීමේ ප්රතිඵලයක් වශයෙන් නීතිඥ සංගමයේ එකල සභාපති වශයෙන් ක්රියාකළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා රාවය අධිකරණයට එරෙහිව නගමින් තිබෙන චෝදනා සම්බන්ධයෙන් කුමක් කළයුතුද යන්න තීරණය කිරීම පිණිස නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් 1998 නොවැ. 28 වැනි දින කැඳවනු ලැබීය.
නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනය එහිදී ගනු ලැබූ තීරණයන් මේවාය.
මහේස්ත්රාත් ලෙනින් රත්නායකට එරෙහිවත්, දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිවත් රාවය නගන චෝදනා ඉතාමත් බරපතලය. ඒ ගැන අධිකරණය සොයා බැලීමක් කළ යුතුය. එහිදී රාවය නගා ඇති චෝදනා පදනම් විරහිත වේ නම්, රාවයට එරෙහිව නීතිමය වශයෙන් දැඩි ක්රියාමාර්ගයක් ගත යුතුවා සේම, එම පරීක්ෂණවලදි අධිකරණ නිලධාරින් වරදකරුවන් වේ නම්, ඔවුන්ට එරෙහිව ද දැඩි ක්රියාමාර්ගයක් අනුගමනය කළ යුතුය. හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනය ගනු ලැබූ මෙම තීරණ සංගමයේ සභාපතිවරයා අගවිනිසුරුවරයා වෙත දැනුම් දිය යුතු බවට ද තීරණය විය.
එහි ප්රතිඵලයක් වශයෙන් අධිකරණ සේවා කොමිසම 1998 නොවැම්බර්වලදි ලෙනින් රත්නායකට එරෙහිව තිබෙන චෝදනාත්, සරත් සිල්වා මහතා සම්බන්ධ අනාචාර නඩුව විභාග කළ දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාත් පරීක්ෂා කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල කමිටු දෙකක් පත් කළේය.
ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පරීක්ෂා කිරීම පිණිස පත් කරන ලද පරීක්ෂණ කමිටුව ඉදිරියේ මම ද සාක්ෂි දුන්නෙමි. පරික්ෂණ කමිටුව රක්ෂණ සංස්ථාවේ මුදල් වංචාවට අදාළ සියලු ලියවිලි කමිටුව ඉදිරියට ගෙන්වා පරික්ෂා කළේය. මහේස්ත්රාත්වරයා අතින් දූෂණය වූ කාන්තාවෝ දෙදෙනා හා ඔවුන්ගේ ස්වාමිපුරුෂයෝ දෙදෙනා ද කමිටුව ඉදිරියේ සාක්කි දුන්හ. ලෙනින් රත්නායක ද, කමිටුව ඉදිරියේ සාක්කි දුන්නේය. එහෙත් හරස් ප්රශ්නවලට මුහුණ නොදි තම සාක්ෂියෙන් පසුව පරික්ෂණ ක්රියාවලිය කෙරෙහි තමාට විශ්වාසයක් නැති බව ප්රකාශ කරමින් පරික්ෂණය මගහැර පළා ගියේය. මුදල් වංචාවක් මත රක්ෂණ සංස්ථා සේවයෙන් පළවා හරිනු ලැබූ ලෙනින් රත්නායක තවත් කලකට පසුව අධිකරණ සේවයට එක්වීමත් සමග එහිදී හෙළිදරව් වූ ඉතා වැදගත් කරුණු සමහරක් මෙසේය.
පරීක්ෂණ කමිටුව රාවය ලෙනින් රත්නායකට එරෙහිව නගන ලද සියලු චෝදනාවලට වැරදිකරු කළේය. දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව නගා තිබෙන චෝදනා පරික්ෂා කිරීමට පත් කළ, ත්රිපුද්ගල කමිටුව ද ඔහුට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා පත්රයේ එන සියලු වැරදිවලට ඔහු වරදකරු කළේය.
මෙම පරික්ෂණ කමිටු දෙකේ තීරණ අප සරත් සිල්වා මහතාට එරෙහිව නගමින් තිබෙන චෝදනා තහවුරු කිරීමට අවශ්ය ශක්තිමත් පදනමක් ලබාදුන් අතර, එම තත්ත්වය ඉදිරියේ සරත් සිල්වා මහතාගේ වංචනික භාවිතයට එරෙහිව අධිකරණයට පැමිණිලි කිරීමට මම තීන්දු කළෙමි.
මහේස්ත්රාත් ලෙනින් රත්නායක මුදල් වංචාවක් මත රක්ෂණ සංස්ථාවෙන් පළවා හරිනු ලැබූ පුද්ගලයෙක් බව විශ්වාස කරන්නට තමා ඉදිරියේ හේතු තිබියදි හා ඔහු තමන් ඉදිරියේ විභාග වන නඩුවක විත්තිකරුවකුගේ බිරිඳක් දූෂණය කර ඇති බව පිළිගැනීමට අවශ්ය තරම් හේතු තිබියදි, ඊට අදාළ ඇත්ත වසන් කරමින් අධිකරණ ඇමතිවරයා නොමග යැවීමට හේතුවන අසත්ය වාර්තාවක් සැපයීමේ වරද සලකා ඔහුගේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ඉල්ලා පෙත්සමක් මම ශ්රේෂ්ඨාධිකරණය වෙත යොමු කළෙමි. රසායනික ඉංජිනේරු ජයසේකර මහතා ද ඒ හා සමාන ඉල්ලීමක් සහිත පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණයට යොමු කළේය.
අගවිනිසුරු මා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම ශ්රේෂ්ඨාධිකරණයේ සියලුම සාමාජිකයන් වෙත යවමින් එය විමර්ශනය කිරීමට සුදුසුද නැද්ද යන්නට සිය නිරික්ෂණ ඉල්ලා සිටි අතර, ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හත්දෙනකුගේ තීරණය වූයේ එය විමර්ශනයට ගතයුතු බවය. විනිසුරුවරුන් තිදෙනෙක් පමණක් එය විමර්ශනයට ගැනීමට විරුද්ධ විය. ඉන්පසු එහි මූලික විමර්ශන කටයුතු සිදුකොට, ශ්රේෂ්ඨාධිකරණයට වාර්තා කිරිමේ වගකීම අමීර් ඉස්මයිල් මහතාට භාර දෙන ලදි. ජයසේකර මහතාගේ පෙත්සමේ විමර්ශන කටයුතු භාරවූයේ ශිරාණ බණ්ඩාරනායක මහත්මියටය.
සරත් සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම් දෙකට ජනමාධ්ය ලබාදෙන විශාල ප්රසිද්ධිය නිසා නීතිපති සරත් සිල්වා කේන්ද්ර කරගත් ප්රශ්නය ජනතාව අතර සාකච්ඡාවට ලක්වන ප්රධාන මාතෘකාවක් බවට පත්ව තිබූ අතර, අගවිනිසුරු ජී.වී.එස්. ද සිල්වා මහතා සැප්තැම්බර්වලදි විශ්රාම යාමට නියමිතව තිබූ අතර ඊළග අගවිනිසුරු ධුරයට පත් කරනු ඇත්තේ කවුද යන්න ප්රශ්නය ද අධිකරණයට සම්බන්ධ අංශවල විශේෂ අවධානයට යොමුවී තිබුණි.
පුරප්පාඩු වන අගවිනිසුරු ධුරයට ජනාධිපතිනිය සරත් සිල්වා මහතා පත් කරනු ඇති බවට සමහර අංශවල පැවති විශ්වාසය නිසාම සරත් සිල්වා මහතා එම ධුරයට පත්කිරිමෙන් අධිකරණයේ බලවත් අර්බුදයක් ඇතිවනු ඇති බව සලකා නීති විෂයයෙන් ජනාධිපතිනියට සමීප ඇතැම් ප්රමුඛ පුද්ගලයෝ ඒ ගැන ජනාධිපතිනිය වෙත කරුණු ඉදිරිපත් කරන තත්ත්වයකට ද යොමුවී සිටියහ.
සරත් සිල්වා මහතා පුරප්පාඩු වන අගවිනිසුරු ධුරයට පත්කිරීම නුසුදුසු බව ජනාධිපතිනියට ප්රකාශ කළ ප්රමුඛ පෙළේ නීතිඥ මහතකුට ජනාධිපතිනිය ප්රකාශ කර ඇත්තේ වයඹ ඡන්ද පෙත්සම නිසා තමාගේ කැබිනට් ඇමතිවරුන් පස්දෙනකුගේ ප්රජා අයිතිය අහිමිවීමේ අනතුරක් ඇති බවත්, අගවිනිසුරු තෝරා පත්කර ගැනීමේදි ඒ කරුණු ද තමාට සැලකිල්ලට ලක්කිරීමට සිද්ධ වන බවත්ය.
සරත් සිල්වා මහතාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයේ පෙත්සම් දෙකක් විමර්ශණයට ලක් කෙරෙමින් තිබූ බව ද නොසලකා ජනාධිපතිනිය සැප්. 16 වැනිදා ජී.වී.එස්. ද සිල්වා මහතා විශ්රාම යාමෙන් අගවිනිසුරු ධුරයේ ඇතිවී තිබෙන පුරප්පාඩුව සරත් සිල්වාගෙන් පිරවූවාය. තමන් අතට ලැබී තිබෙන දේශපාලන බලය පවත්වාගෙන යෑම සඳහා ශ්රේෂ්ඨාධිකරණය සිය ග්රහණයට ගැනීම අත්යවශ්ය වේ යැයි ජනාධිපතිනිය කල්පනා කළා විය යුතුය. වයඹ ඡන්ද පෙත්සම්වලින් මතුවී තිබෙන අභියෝගයන් සේ ම, දෙසැම්බර්වලදි පැවැත්වීමට සැලසුම් කොට තිබූ ජනාධිපතිවරණය කවර ආකාරයකින් හෝ ජයගැනීමට අවශ්ය පිඹුරුපත් සකස් කර තිබූ තත්ත්වයක් තුළ එසේ ලබන ජයග්රහණයකින් පසුව අධිකරණය ඉදිරියේ මතුවන අභියෝග ජයගැනීම සඳහා සේ ම, ව්යවස්ථා විරෝධී ආකාරයකින් තමන්ට වහාම නව ව්යවස්ථාවක් නීතිගත කිරීම පිණිස සරත් සිල්වා මහතා එම තනතුරට ගැනීම අත්යවශ්ය වේ යැයි ජනාධිපතිනිය කල්පනා කළා විය යුතුය.
මෙම නීති විරෝධී හා සම්ප්රදායික විරෝධී පත්කිරිමෙන් විශ්මයට පත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත පරම්කුමාරස්වාමි මහතා ප්රසිද්ධියේ එම පත්කිරීම හෙළා දැක්කේය. එවැනි පත්කිරීමක් ලොව කොතැනකවත් තමා අසා නැති බව ද ප්රකාශ කළේය.
සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වනවා දකින්නට කැමති නොවූ ඇතැම් අය පවා ඒ මහතා එම ධුරයට පත්වීමෙන් පසුව සාධාරණව හා අපක්ෂපාතව ක්රියාකරනු ඇතැයි අපේක්ෂා කළේය. එහෙත් එය සැබෑ නොවූ සිහිනයක් පමණක් ම වූයේය.
ජනාධිපතිවරණයෙන් ලැබෙන්නට යන ප්රතිඵලය කුමක්දැයි නොදන්නා තත්ත්වයක් තුළ සරත් සිල්වා මහතා ද, යම් පමණකට ස්වාධීන පෙනුමක් ආරූඪ කරගෙන සිටියේය. සරත් සිල්වා මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබුණු දෝෂාභියෝගයට එජාපයේ සහය ලැබීම වැළකීම පිණිස සරත් සිල්වා මහතා එජාපයට කතා කළේය. තමා තෝරා පත් කළේ ජනාධිපතිනිය වුවත් තමා එජාපයේ මිතුරකු බව පෙන්වීම සඳහා සරත් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂෂයට සම්බන්ධ වී සිටි කොන්සවේටිව් ජාත්යන්තරය එජාපයේ මූලිකත්වයෙන් ශ්රී ලංකාවේ පවත්වන ලද ජාත්යන්තර සම්මේලනයට ද අගවිනිසුරු සරත් සිල්වා මහතා විශේෂ අමුත්තෙකු ලෙස සහභාගී වූයේ ය.
එහෙත් ඒ රැවටිල්ල පවත්වාගෙන යාමට අවශ්ය වූයේ ජනාධිපතිවරණය දක්වා පමණ ය.
එතැන් සිට සරත් සිල්වා මහතා හැම දෙයක්ම කරන ලද්දේ පොදු පෙරමුණේ පටු දේශපාලන අභිලාෂයන්ට ගැළපෙන ආකාරයකටය. ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට හේතුවිය හැකි මූලික අයිතිවාසිකම් පෙත්සම් තමා ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයකට ගනිමින් මූලික අයිතිවාසිකම් අහිමි කරනු ලැබ සිටි විශාල පිරිසක් හිස් අතින් ගෙදර යවන ප්රතිපත්තියක් අනුගමනය කළේ ය. එයින් දෙන ලද සංඥාව වූයේ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට හේතුවන ආකාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට තවදුරටත් අධිකරණයේ ඉඩක් නැති බව ය. ඒ මගින් පොදු පෙරමුණු ආණ්ඩුවට රාජ්ය පාලනයේ දි මානව හිමිකම් නොසලකා ක්රියාකළ හැකි පරිසරයක් ඇතිකරදුන්නේ ය. සරත් සිල්වා මහතාගේ නියම ස්වභාවය රටට ප්රකාශ වූයේ නව ආණ්ඩුක්රම ව්යවස්ථාව හා 17 වැනි ආණ්ඩුක්රම සංශෝධනය අධිකරණයේ විමර්ශනයට ලක් වූ අවස්ථාවේදි ය. එක්සත් ජාතික පක්ෂෂයේ ද පිරිසක් මුදලට ගනිමින් නව ආණ්ඩුක්රම ව්යවස්ථාව ද සම්මත කරගන්නා අතර ඉදිරියේ තිබෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පහසු ජයග්රහණයක් ලබාගැනීමට හේතුවන ආකාරයට මැතිවරණ ක්රමය වෙනස් කිරීම සඳහා ක්රියාත්මක වූ දේශපාලන කුමන්ත්රණයක් රටේ වී නම් ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියා වශයෙන් සරත් සිල්වා මහතා ද එම කුමන්ත්රණයේ දැනුවත් කොටස්කරුවකු ලෙස ක්රියාකර ඇති බව පෙනේ.
පොදු පෙරමුණේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්රියාකරන කැංගරු ක්රමයේ අධිකරණ ක්රමයක් ඇති වී තහවුරු වීම වැළකීම අවශ්ය නම් සරත් සිල්වා මහතා ඔහු හොබවන අගවිනිසුරු ධූරයෙන් පළවා හැර එම ධූරයේ ගෞරවයට සරිලන පුද්ගලයකු එම තනතුරට ගෙන ආ යුතු ය. ඒ සමග නැවත කිසිම රාජ්ය නායකයකුට හෝ රාජ්ය නායිකාවකට මෙවැනි නින්දා සහගත පත්කිරිම්වලට ඉඩක් නැති ක්රමයක් ඇති කිරීම මගින් අධිකරණයේ ඇති වී තිබෙන ගෞරවය හා ස්වාධීනත්වය යළි ඇති කළ යුතු ය.