2002 ජනවාරියේ සිට පාසල්වල පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේදි 50%ක් පරිගණක ලොතරැයික්රමයක් මගින් තෝරාගැනීමට ගෙන තිබෙන තීන්දුව අපි අගේ කරමු. එය මෙම දැවෙන ප්රශ්නයට පරිපූර්ණ විසඳුමක් නොවිය හැකි වුවත්, ඒ නිසා එක්තරා විශාල ප්රමාණයකට ඒ ආශ්රයෙන් ඇතිවන දූෂණ පාලනය කළ හැකිවනු ඇති බවට සැකයක් නැත.
මේ විෂය පුංචි දරුවන් ළමා කාලයේ සිට බොරුවට හා දූෂණයට ඇබ්බැහි කරයි. ජනප්රිය පාසල් සඳහා තිබෙන අතිවිශාල තරගය නිසාම ඒ තරගයෙන් ජයගැනීම සඳහා ළමයකු ඉපදුණු වහාම තමා ඉලක්ක කරගෙන සිටින පාසලට ඇතුළත් කරගැනීමට අවස්ථාවක් ලබාගැනීම සඳහා හොර ලියවිලි සකස් කිරීම සාමාන්ය දෙයක් බවට පත්ව තිබෙන අතර, ඒ විෂය සඳහාම විශේෂ වෙළෙඳ පොළක් ද නිර්මාණය වී තිබේ. හොර ඔප්පු තිරප්පු නිර්මාණය කිරීම සඳහා කෙරෙමින් තිබෙන වියදම ද අතිවිශාලය. ඒ සමග ජනප්රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදි විදුහල්පතිවරුන් විශාල වශයෙන් අල්ලස් ගන්නා තත්ත්වයක් ද රටේ පවතී. කොළඹ ප්රමුඛ පෙළේ පාසල් සම්බන්ධයෙන් මෙමව තත්ත්වය වඩාත් බරපතලය. කොළඹ ප්රමුඛ පෙළේ පාසලක් සඳහා සමහර විදුහල්පතිවරුන්ට ගෙවිය යුතු ගාස්තුව සමග අනෙකුත් සියලු කටයුතු නිමකිරීමට රුපියල් ලක්ෂ තුනක් දක්වා වන වියදමක් දරන්නට සිදුවන බව ද කියනු ලැබේ. අවසානයේ මේ ක්රමයෙන් සියලු අවස්ථා හිමිවෙමින් තිබෙන්නේ ඒ සියලු අයථා වියදම් දෑරිමේ හැකියාවක් ඇති, වත් පොහොසත්කම් ඇති දෙමාපියන්ටය. සමහර පාසල්වලට යාබදව සිටින දුප්පත් ළමුන්ට නියමිත පාසල වෙනුවට වෙනත් පාසලක් තෝරාගත යුතු තත්ත්වයක් මේ නිසා ඇතිවී තිබේ.
මේ ලොතරැයි ක්රමය යටතේ තමන් කැමති හා තමන්ට සුදුසුකම් ඇති පාසල් 05ක් සඳහා අයදුම් කළ හැකි ය. පරිගණකලොතරැයි ක්රමයකින් සුදුසු පාසල තෝරාදිම සිදුවේ. ලොතරැයි ඇදිම සිදුවන්නේ ද අයදුම්කාර දෙමාපියන් ඉදිරියේ ය. මෙවැනි ක්රමයක් මෙම විෂය ක්ෂේත්රයේ සිදුවන දූෂණ අවම කිරීමට හේතුවනු ඇතැයි සිතිය හැකි ය. ඒ සමග ව්යාජ ලේඛන නිර්මාණය කිරීමට තිබෙන අවස්ථාව සේ ම අල්ලස් දිමට තිබෙන අවස්ථාව ද අහෝසි වේ.
මෙවැනි ක්රමයක් ඇති කිරීම නිර්භීත තීන්දු ගැනීමක් වන අතර, බලවත් අංශවලින් එල්ල විය හැකි බලපෑම් නොසලකා එම තීන්දුව අකුරටම ක්රියාත්මක කරන ලෙස අපි බල කරමු.