ගජ මිතුරු ධනවාදය ඒකාධිකාර මතවාදයකට

July 2, 2000
Publication:
The editorial objects to Harry Jayawardena using banks and companies he controls to buy a controlling stake in Sampath Bank, against banking ethics and with the Central Bank silent. It describes him as a close Bandaranaike family friend and PA campaign financier shielded from customs cases, appointed to the Securities and Exchange Commission, and seeking monopolies in arrack, tea and banking, and calls for anti-monopoly enforcement.

රටේ සිටින ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන හැරී ජයවර්ධන මහතා විසින් තමන්ට වැඩි කොටස් හිමිකමක් ඇති බැංකු හා සමාගම්වල මුදල් යොදවා සම්පත් බැංකුවේ කොටස් විශාල ප්‍රමාණයක් මිලදි ගනිමින් එම බැංකුව තමන්ට පාලනය කළ හැකි තත්ත්වයක් ලබාගැනීම සම්පත් බැංකුවේ නිර්මාතෘවරුන්ගේ සේ ම එම බැංකුවේ සේවකයන්ගේ ද දැඩි විමතියට හා විරෝධයට හේතුවී තිබේ. මේ ගනුදෙනුව සිදුවී තිබෙන ආකාරය පිළිගත් බැංකු ආචාර ධර්මවලට හා බැංකු නීති රීතිවලට පටහැනි වුවත්, මහ බැංකුවේ ප්‍රධානියා ද ඒ ඉදිරියේ නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවක් ද පෙනී යයි.

හැරී ජයවර්ධන යනු රටේ සිටින අංක එකේ බලවතෙකි. ඒ බලය ඔහුට ලැබී තිබෙන්නේ සල්ලි නිසා පමණක් නොව, දේශපාලන බලයට ඇති සමීප සම්බන්ධකම් ඔස්සේ ය. ඔහු ශ්‍රී ලංකාවේ රජකම හිමි එක් පවුලක් ලෙස සැලකිය හැකි බණ්ඩාරනායක පවුලේ සමීප හිතවතෙකි. 94 ජනාධිපතිවරණයත් සමග පොදු පෙරමුණු ඡන්ද ව්‍යාපාරවල බර පැන උසුලන ප්‍රධාන පුද්ගලයා වී සිටින්නේ ද හැරී ය.

හැරි, ආණ්ඩුවේ සමීප හිතවතකු වන නිසා ම රටේ ක්‍රියාත්මක වන සාමාන්‍ය නීතිය ඔහු කෙරෙහි බලනොපායි. රේගුවට බදු වංචා කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව රේගු පරීක්ෂණ ගණනාවක් පැවැත්වේ. රේගු බදු වංචා සිද්ධියක් මත රේගුව ඔහු අත්අඩංගුවට ගන්නට උත්සාහ කළ අවස්ථාවක ජනාධිපතිනිය මැදිහත් වී එය වැළැක්වූවා ය. ඔහුට වැඩි කොටස් හිමිකමක් ඇති හැටන් නැෂනල් බැංකුව පිළිබඳව මහ බැංකුවේ කෙරෙමින් තිබුණු පරික්ෂණයක් ද යටපත් වූ බව ප්‍රකට ය. බරපතල චෝදනා තිබියදිත් ආණ්ඩුව ඔහු සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයකු බවට පත් කළේ ය. ඔහු කොළඹ කොටස් වෙළෙඳ පොළ මණ්ඩලයේ ද සාමාජිකයකු ලෙස ක්‍රියා කරයි.

ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ව්‍යාපාරික ලෝකයේ හැම වැදගත් අංශයක් ම ආක්‍රමණය කරමින් ඒකාධිකාරි තත්ත්වයක් හිමිකර ගැනීම ඔහුගේ අභිලාෂය වී තිබෙන බව ද පැහැදිලිව පෙනෙන්නට තිබේ. අරක්කු නිෂ්පාදනය හා වෙළෙඳමේදි ඒකාධිකාරි තත්ත්වයක් හිමිකර ගැනීමට ඔහු සමත් වී තිබෙන අතර, තේ වෙළෙඳමේදි ද ඉතා බලවත් තත්ත්වයක් හිමිකර ගැනීමට සමත් වී සිටී. එක බැංකුවකින් සෑහීමට පත් නොවී සියලු ප්‍රධාන බැංකු සිය ග්‍රහණයට ගැනීම ඔහුගේ අභිලාෂය වනවා විය හැකි ය.

මොනම ක්ෂේත්‍රයකවත්, ඒකාධිකාරි තත්ත්වයක් ඇතිවීමට ඉඩ හැරීම භයානක ය. ඒකාධිකාරි තත්ත්වයක් ඇතිවීමට බලපාන දැඩි නීති රීති බොහෝ රටවල ක්‍රියාත්මක වෙතත්, ශ්‍රී ලංකාවේ පමණක් ඒ ගැන කිසි ම උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. හැරීගේ අරක්කු ඒකාධිකාරයට එරෙහිව එල්ල වී තිබෙන අයුතු බලපෑම්වලට එරෙහිව පීඩා විඳින නිෂ්පාදන ආයතන කිහිපයක් සාධාරණ වෙළෙඳ කොමිසම ඉදිරියට ගොස් ඇතත්, තවමත් ඔවුන් සඳහා සාධාරණත්වය ඉටුවී ඇති බවක් පෙනෙන්නට නැත. අරක්කු නිෂ්පාදනය හා වෙළෙඳමේදි ඇති කරගෙන තිබෙන ඒකාධිකාරි තත්ත්වයට සමාන තත්ත්වයන් බැංකු ක්ෂේත්‍රය තුළ ද ඇති වේ නම් එය එම විෂය ක්ෂේත්‍රයේ අවගමනයට මිස ප්‍රගමනයට හේතුවනු ඇතැයි සිතිය නොහැකි ය