වයඹ ඡන්ද පෙත්සම්වලට සිදුවූයේ කුමක්ද

July 2, 2000
Publication:
Ivan examines the dismissal of all petitions on the 1999 North Western provincial election at the preliminary objection stage for failing to show specific effects on the petitioners. He notes that K.N. Choksy and H.L. de Silva argued the reverse positions from the 1988 presidential petition, argues that the court should have treated the case as one of popular sovereignty, and faults the Elections Commissioner, who annulled nine polling stations and knew of 236 stuffed boxes, for not seeking a fresh poll.

සියලුම වයඹ ඡන්ද පෙත්සම් මූලික විරෝධතා අවස්ථාවේදිම නිෂ්ප්‍රභා විය. මේ විවරණය ලියන්නාට ඡන්ද පෙත්සම් නීතිය ගැන ඇති දැනුම අල්පය. මා තේරුම් ගත් ආකාරයට ඉදිරිපත්වූ සියලු ඡන්ද පෙත්සම් මූලික විරෝධතා අවස්ථාවේදිම නිෂ්ප්‍රභා කරනු ලැබුවේ වයඹ දි සිදුවී යැයි කියන දූෂණ, බියගැන්වීම් හා ඡන්දය පාවිච්චි කිරීම වළක්වා ලනු ලැබීම් පෙත්සම්කරුවන් කෙරෙහි කවර බලපෑමක් ඇති කිරීමට හේතුවී ද යන්න නිශ්චිත ආකාරයකින් පෙත්සම්වලින් පෙන්නුම් කර නැත්තේය යන පදනමේ පිහිටාය.

මෙම ඡන්ද පෙත්සම්වලදි ජනාධිපති නීතිඥ කේ.එන්. චොක්සි මහතා එජාපයේ පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින විට ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතා හා ආර්.කේ.ඩබ්ලිව්. ගූණසේකර මහතා වගඋත්තරකාර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටියහ. 1988 ජනාධිපති ප්‍රේමදාස මහතාගේ පත්වීමට එරෙහිව සිරීමා බණ්ඩාරනායක මැතිනිය විසින් ඉදිරිපත් කරන ලද ඡන්ද පෙත්සමේදි මතුවු තර්කය වයඹ ඡන්ද පෙත්සම්වලදි මතුවූ තර්කවලට බොහෝදුරට සමානය. එදා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එම තර්ක ඉදිරිපත් කරන ලද්දේ චොක්සි මහතාය. ඊට පිළිතුරු දුන්නේ එච්.එල්.ද සිල්වා, ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර යනාදින්ය. අද එච්.එල්. ද සිල්වා මහතා එදා චොක්සි මහතා ඉදිරියට ගෙනා තර්ක ඉදිරියට ගෙන එනවිට චොක්සි මහතා ඒවා ප්‍රති විමර්ශනයට ලක් කළේය. හරියටම එදා එච්.එල්. ද සිල්වා මහතා චොක්සි මහතාගේ තර්ක ප්‍රති විමර්ශනයන්ට ලක් කරන ලද ආකාරයටමය. වෙනසකට ඇත්තේ එදා චොක්සි මහතා ඉදිරිපත් කරන ලද මුලික විරෝධය නොසලකා පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත්, මෙදා එම මූලික විරෝධයන් සලකා පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමත්ය.

ඡන්ද පෙත්සමක මූලික දෝෂයක් ඇති අවස්ථාවකදි ආරම්භක අවස්ථාවේම පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අධිකරණයට බලයක් ඇති බව මම ප්‍රතික්ෂේප නොකරමි. එහෙත් මේ නඩුව පාර්ශවයන් දෙකක් හෝ කිහිපයක් අතර ඇතිවූ සරල ආරාවුලක් නොවීය. එය ප්‍රජාතන්ත්‍රවාදය හා ආඥාදායකත්වය අතර ඇතිවූ ආරවුලකි. ජනතාව වෙත ඇති පරමාධිපත්‍ය බලය පාලක පක්ෂයක් විසින් පැහැර ගැනීමක් ආශ්‍රයෙන් පැන නැගුණු ආරාවුලකි. රටේ මූලික නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සකස් වී ඇත්තේ පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවටය යන සිද්ධාන්තය මත පිහිටාය. ඒ අර්ථයෙන් මෙම පෙත්සම්වලට විෂය මූලික වී ඇති කාරණා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට අදාළ මූලික ප්‍රශ්නයක් ලෙස පුළුල්ව සලකා බැලීමේ වගකීමක් අධිකරණයට තිබුණේය. මැතිවරණයක් තක්කඩිකමින් හෝ ජයගත හැකි නම්, ඉන්පසු ඊට අධිකරණයෙන් බාධාවක් එල්ලවීමට ඉඩක් නැතැයි කියන අදහස ඇති කිරීමට හේතුවන තීන්දුවක් සමාජය කෙරෙහි ඇති කරන ප්‍රතිවිපාක යහපත් විය නොහැකිය. අනෙක් අතට ඒ නිසා මංකොල්ලකාරි ආකාරයකින් බලය ලබාගත් පාලනයක් නීත්‍යනුකූල කිරීමක් ද සිදුවූයේය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල පිළිගැනීම අනුව එතෙක් රටේ පැවති දූෂිතම ඡන්දය වනුයේ වයඹ පළාත් සභා ඡන්දයයි. පාලක පක්ෂයක් ඉතාමත් සංවිධානාත්මක ආකාරයකින් මහා පරිමාණයේ ඡන්ද දූෂණවල යෙදුණු පළමු අවස්ථාව ලෙස සැලකිය හැක්කේ 81 යාපනේ පැවති දිස්ත්‍රික් සභා ඡන්දයයි. ඉන්පසු 82 පැවති ජනමත විචාරණයේ සිට 89 පැවති පාර්ලිමේන්තු මැතිවරණය දක්වා පැවති හැම ඡන්දයකදිමත්, අඩු වැඩි වශයෙන් පාලක පක්ෂය විසින් කරනු ලබන එවැනි සංවිධානාත්මක දූෂණ සිදුවිය එහෙත් ඒ සියල්ලෙහි සිදුවූ දූෂණවල හා සාහසිකකම්වල පරිමාව අනුව වයඹ පළාත් සභා ඡන්දය තරම් සංවිධානාත්මක ආකාරයේ දූෂණ හා සාහසිකකම් රජකළ ඡන්දයක් තවත් නොවීය.

වයඹ ඡන්දයේදි සිදුවූ තක්කඩිකම් හා සාහසිකකම් පිළිබඳව පෙත්සම්කරුවන්ට තිබූ අවබෝධය අල්ප වූවා විය හැකිය. එහෙත් ඒ ගැන මනා අවබෝධයක් මැතිවරණ කොමසාරිස්වරයාට තිබුණේය. එම ඡන්ද ක්‍රියාවලියේ ප්‍රධාන බලධරයා ලෙස ක්‍රියා කළේ ඔහුය. ඔහු යටතේ ක්‍රියාකළ නිලධාරින්ගෙන් කිසියම් පිරිසක් දේශපාලන පක්ෂපාතීත්වය හෝ පාලක පක්ෂයට ඇති බිය නිසා තමන් දන්නා තොරතුරු මැතිවරණ කොමසාරිස්වරයා වෙත වාර්තා කිරීමෙන් වැළකී සිටියා විය හැකි වුවත්, නිලධාරීන් කිසියම් විශාල පිරිසක් තමන් දන්නා තොරතුරු මැතිවරණ කොමසාරිස්වරයාට වාර්තා කළේය. සිය නිලධාරින්ගෙන් ලැබුණු තොරතුරුවල බරපතලකම අනුව බලන විට මැතිවරණ කොමසාරිස්වරයා තමන් වෙත පැවරුණු වගකීම අකුරටම ඉටු කරන අවංක නිලධාරීයෙකු වී නම්, ඔහු කළයුතුව තිබූ ප්‍රථම දේ වනුයේ සමස්ත මැතිවරණයම නිෂ්ප්‍රභා කොට අලුතෙන් මැතිවරණයක් පැවැත්වීම සඳහා ක්‍රියා කිරීමය. ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීම අවශ්‍ය වී නම්, තමන් වෙත තිබූ නිලධාරී වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කොට ඒ සඳහා අවශ්‍ය නියෝගය ලබාගත යුතුව තිබුණි.

එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා එසේ නොකොට තමන්ට ලැබී තිබෙන වාර්තා අනුව බලහත්කාරයෙන් ඡන්ද පුරවන ලද ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද ශූන්‍ය බවට පත් කරන ලද අතර, තවත් ඡන්ද මධ්‍යස්ථාන රාශියක පුරවන ලද හොර ඡන්ද ඉවත් කොට ගණන් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එවැනි සරල ක්‍රියාමාර්ගයකින් පමණක් සිදුවී තිබුණු අතිවිශාල විකෘතිය යථා තත්ත්වයට පත් කළ නොහැකි බව තේරුම් ගැනීමට ඔහු අසමත් විය.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ශූන්‍ය බවට පත්කරන ලද ඡන්ද පොළ මධ්‍යස්ථාන ගණන 09කි. ඉන් එකක් යාපහුව ඡන්ද කොට්ඨාශයට ද, 04ක් කුලියාපිටිය ඡන්ද කොට්ඨාශයටද, 02ක් පොල්ගහවෙල ඡන්ද කොට්ඨාශයටද, තවත් දෙකක් පුත්තලම ඡන්ද කොට්ඨාශයට ද අයත් විය. ඡන්ද පොළ මධ්‍යස්ථානවලට කඩා වැදි මධ්‍යස්ථානයේ තිබු ඡන්ද පත්‍රිකා බලහත්කාරයෙන් පැහැර ගනිමින් ඡන්ද පෙට්ටි පුරවා ඇති බවට නිලධාරින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත වාර්තා කර තිබූ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 236කි. ඉන් 165ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටද, 71ක් පුත්තලම් දිස්ත්‍රික්කයට ද අයත් විය.

නිලධාරින්ගෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබුණු වාර්තා මත මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඡන්ද කොට්ඨාශ මට්ටමින් සකස් කරන ලද දළ වාර්තාවක වෙන්නප්පුව ඡන්ද කොට්ඨාශයේ පමණක් සිදුවී ඇති දූෂණ පිළිබඳව ඇතුළත් විස්තර මෙසේය. එය වයඹ ඡන්දයේ යථා ස්වභාවය පිළිබඳ කදිම චිත්‍රයක් ලබා දෙයි.

වයඹ මැතිවරණයේදි අතිවිශාල ඡන්ද මංකොල්ලයක් සිදුවූ බව ඔප්පු කිරීමට අවශ්‍ය කරන ඉතා වැදගත් හා පිළිගත හැකි තොරතුරු තමන් වෙත තිබියදි කොල්ලකාරි පාලනය නීතිගත වීමට ඉඩ හැර බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමෙන් මැතිවරණ කොමසාරිස්වරයා සිය යුතුකම හා වගකීම පැහැර හැර ඇති බව අවධාරණයෙන්ම කිව යුතුය. සිදුවූ සිදුවීම් පෙත්සම්කරුවන් කෙරෙහි නිශ්චිතව බලපා ඇති ආකාරය පෙන්නුම් කිරිමේ හැකියාවක් පෙත්සම්කරුවන්ට නොතිබුණා විය හැකි මුත් ඒ හැකියාව මැතිවරණ කොමසාරිස්වරයාට තිබුණේය. ඡන්ද මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවකින් හොර ඡන්ද ලෙස සලකා ඉවත් කරවන ලද ඡන්ද පාවිච්චි කර තිබුණේ කුමන පක්ෂයකටද, ඒ පක්ෂයේ කුමන පුද්ගලයින්ටද යන්න හරියාකාරව දැන සිටියේ මැතිවරණ කොමසාරිස්වරයාය.