පාර්ලිමේන්තු මැතිවරණයකට කෙරෙන ගණන් බැලිම

July 2, 2000
Publication:
With Parliament's term ending on 24 August, Ivan weighs the government's options. Extending the term would unite the UNP, JVP and Sihala Urumaya; under proportional representation even 4.3 million votes would give the alliance only about 115 seats. He explains the proposed mixed system of 260 members designed to curb the JVP and Sihala Urumaya, which would need a two-thirds vote and a referendum, and the crisis a hostile Parliament would pose for an executive president, as N.M. Perera foresaw.

ආණ්ඩුවට කරන දෙයක් කරන්නට තව ඉතිරි වී ඇත්තේ දින 54ක කාලයක් පමණය. අගෝස්තු 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ 12 සිට පාර්ලිමේන්තුවේ නිල කාලය ද අවසන් වන්නේය. පාර්ලිමේන්තු මැතිවරණයකට යනවාද? යනවා නම් මැතිවරණය පවත්වන්නට යන්නේ තිබෙන ක්‍රමයටද? නැතිනම් අලුත් ක්‍රමයටද යන්නත්, මැතිවරණයක් නොපවත්වා නිල කාලය දිර්ඝ කරගන්නට යන්නේ නම්, ඒ ගැනත් ඊට පෙර තීන්දු කළ යුතුය.

මැතිවරණයට නොගොස් නිල කාලය දිර්ඝ කරගන්නා වැඩපිළිවෙළක් කෙරෙහි ආණ්ඩුවේ සමහර නායකයින්ගේ අවධානය යොමුවී තිබුණත්, ඒ සඳහා ආණ්ඩුව තුළ ඒකමතික භාවයක් නොපතී. එවැනි හිතුවක්කාරි වැඩපිළිවෙළක් රටේ අතිවිශාල දේශපාලන අර්බුදයක් ඇති කිරීමට හේතුවනු නොඅනුමානය. එය භේදබින්න වී සිටින විපක්ෂයේ පක්ෂ (එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ සිහළ උරුමය වැනි පක්ෂ) එක්සත් කරනු නොඅනුමානය. අනෙක් අතට ජනමතවිචාරණයකින් ලබන පරාජයක් වෙතොත් ආත්ම විශ්වාසයකින් යුතුව නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට ආණ්ඩු පක්ෂයට තිබෙන හැකියාවද අවම කරන්නේය.

පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබන පරාජයක් වෙතොත්, එය තමන් අත තිබෙන විධායක ජනාධිපති බලය බලවත් ලෙස අභියෝගයට ලක්කිරීමට හේතුවනු ඇති බව ජනාධිපතිනිය හොඳකාරවම දන්නීය. පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ලක්ෂ 43ම ලබාගැනීමට සමත් වුවත්,පවතින අනුපාතික ක්‍රමය යටතේ පොදු පෙරමුණේ පක්ෂවලට හා පොදු පෙරමුණට සම්බන්ධ සියලු පක්ෂවලට (වතු කම්කරු කොංග්‍රසය, මුස්ලිම් කොංග්‍රසය, ඊපීඩීපීය හා එජාප විකල්ප කණ්ඩායම) ලැබෙනු ඇත්තේ ආසන 225ක් අතුරින් ආසන 115ක් පමණය. එය වැඩි බලයක් වන්නේ ආසන 02කින් පමණය. එය ආණ්ඩුව දැන් සිටින 135 තත්ත්වයට වඩා පහත් තත්ත්වයක් වන අතර, යම් හෙයකින් පාර්ලිමේන්තු මැතිවරණයේදි ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ජනාධිපතිවරණයේදී ලබාගන්නා ලද ඡන්ද සංඛ්‍යාවට අඩු මට්ටමක එකක් වුවහොත් පාර්ලිමේන්තු බලය පොදු පෙරමුණට අහිමිවී විධායක ජනාධිපති ක්‍රමයට අනුකූල නැති පාර්ලිමේන්තුවක් ඇතිවීම මගින් ව්‍යවස්ථා අර්බුදයක් රටේ ඇතිවන්නේය.

කඩිමුඩියේම තිබෙන අනුපාතික ක්‍රමය අතහැර මිශ්‍ර ක්‍රමයක් ඉදිරියට ගන්නට ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ, ස්ථිර ජයග්‍රහණයක් සඳහා ඒ හැර වෙනත් විශ්වසනීය ක්‍රමයක් නැති නිසාය.

ඇති කරන්නට අදහස් කරගෙන සිටින නව බහුබූත ක්‍රමය අනුව මන්ත්‍රීවරුන් 160ක් ආසන ක්‍රමය අනුව ද, තවත් 100ක් දිස්ත්‍රික් ලැයිස්තු ක්‍රමය අනුවද යනාදි වශයෙන් මන්ත්‍රීවරු 260ක් තෝරාපත් කරගැනීමට අවස්ථාව ලැබෙන්නේය. බලය බෙදා හැරෙන ක්‍රමයක් තුළ පාර්ලිමේන්තුවේ ප්‍රමාණය කුඩා විය යුතු වුවත්, නව ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ ප්‍රමාණය මන්ත්‍රීවරුන් 225 සිට 260 දක්වා ප්‍රසාරණය වන්නේය.

එවැනි ක්‍රමයක් තුළ රාජ්‍ය බලය යොදා ආසනවලින් වැඩි ගණනක් තමන්ට දිනාගත හැකිවනු ඇතිය යන්න ආණ්ඩුවේ කල්පනාව වී තිබේ. ඒ සමග එවැනි ක්‍රමයක් ඇති කරගත හැකි නම්, ජනතා විමුක්ති පෙරමුණ හා සිහළ උරුමය වැනි තමන්ට පහසුවෙන් පාලනය කළ නොහැකි බලවේගයන්ගේ පාර්ලිමේන්තු නියෝජනය ද සීමා කළ හැකිවනු ඇතැයි ආණ්ඩුව කල්පනා කරයි අනුපාත ක්‍රමය පවතී නම් ජ.වි. පෙරමුණට ආසන 8-10 දක්වා අතර ගණනක් දිනාගත හැකිය. සිහළ උරුමය වැනි අලුත් පක්ෂයකට පවා එක්තරා ප්‍රමාණයක නියෝජනයක් ලැබිය හැකිය. එවැනි අයගේ සම්ප්‍රාප්තිය පාර්ලිමේන්තුවේ දේශපාලන සංයුතියේ අලුත් වෙනස්කම් රැසක් ඇති කිරීමට හේතුවේ. අනුපාත ක්‍රමය අතහැර නව මිශ්‍ර ක්‍රමයකට යාමෙන් ඒ ඇතිවන වෙනස්කම් ද සීමා කළ හැකිය. ඒ මගින් විධායක ජනාධිපතිවරයාට කීකරුව ක්‍රියා කරන පාර්ලිමේන්තුවක් තවදුරටත් පවත්වා ගැනීම ආණ්ඩුවේ අභිලාෂය වන බව පැහැදිලිය.

එහෙත් එවැනි වෙනසක් සඳහා ජනමතවිචාරණයකට යායුතුය. එවැනි වෙනසක් තමන්ට පාඩුවක් ඇති කිරීමට හේතුවනු ඇතැයි කල්පනා කරන සියලු දේශපාලන බලවේගයන් එවැනි ජනමතාවිචාරණයකට එරෙහිව එක්සත්ව නැගී සිටින තත්ත්වයක් ඇති කරනු නොවැළැක්විය හැකිය. යම් හෙයකින් හෝ එවැනි ජනමතවිචාරණයක් පරාජය කිරීමට ඔවුන් සමත් වෙතොත්, එවැනි පරාජයකින් පසුව පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකින් ද ආණ්ඩුව වඩා විශාල පරාජයක් ලබන තත්ත්වයකට ඇද වැටීම නොවැළැක්විය හැකිය.

පාර්ලිමේන්තු මැතිවරණයකින් එජාපයට වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගතහොත් පමණක් නොව, එජාප වැඩි ආසන සංඛ්‍යාවක් නොලබා විරුද්ධ පක්ෂ පොදුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත්තත්, විධායක ජනාධිපති ක්‍රමය අතිවිශාල අර්බුදයකට තල්ලු වන්නේය. අගමැතිවරයා සේම කතානායකවරයා තෝරාපත් කරගන්නේ ද පාර්ලිමේන්තුවයි. කැබිනට් මණ්ඩලය ජනාධිපති තෝරා පත්කර ගත්තත්, තෝරාගන්නා කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවක් මගින් පරාජයට පත්වුවහොත් සමස්ත ජනාධිපති ක්‍රමයම අසීරු තත්ත්වයකට පත්වන්නේය. ඒ සියල්ලටම අතිරේකව ජනාධිපති ධුරය සඳහා වෙන් කරන මුදල් අත්හිටුවීමෙන්ද, ජනාධිපතිවරයා බල රහිත කළ හැකිය. ඒ සියල්ලට අතිරේකව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වීමේ හැකියාවක් ද පවතී.

පාර්ලිමේන්තු මැතිවරණයකින් ආණ්ඩුව පරාජයට පත්වුවහොත් ජයග්‍රාහී විපක්ෂයක් තමන්ට විපක්ෂ ජනාධිපතිවරයෙක් ඉවසනු ඇතැයි සිතිය නොහැකිය. ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා කල්තියා ප්‍රකාශ කර ඇති පරිදි එක් පක්ෂයකින් ජනාධිපතිවරයෙක් හා තවත් පක්ෂයකින් පාර්ලිමේන්තු බලයක් යන පරස්පරය ඔස්සේ මේ බලයන් දෙක අතර ඇතිවන ගැටුම අතිවිශාල දේශපාලන අර්බුදයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.

ආණ්ඩුවට අලුත් ක්‍රමයේ මැතිවරණයකට යන්න හැකිවනු ඇත්තේද නව සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියක් ලබාගත හැකිවන්නේ නම් පමණය. එහෙත් ඒ සඳහා තවත් ආසන 15ක අඩුවක් පවතී. පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කරගන්නා වැඩපිළිවෙළකට එජාප මන්ත්‍රීන් කිසියම් විශාල පිරිසකගේ සහාය ලබාගත හැකිවනු ඇතත්, මිශ්‍ර ඡන්ද ක්‍රමයක් සඳහා එවැනි සහායක් ලබාගැනීම අසීරුය. එහි තේරුම නව ක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා කෙරෙන උත්සාහයක් අසාර්ථක වෙතොත්, පැරණි අනුපාතික ක්‍රමය යටතේම ඡන්දයකට යන්නට ආණ්ඩුවට සිදුවනු ඇති බවය. එසේ වෙතොත්, එය වඩාත්ම නරක ලෙස බලපානු ඇත්තේද ආණ්ඩුව කෙරෙහි ය.