පසුගිය බ්රහස්පතින්දා රාත්රියේ මා මිත්රයෙකුගේ නිවසෙහි රැඳී, ලැබී තිබෙන මැතිවරණ ප්රතිඵල ගැන කතා කරමින් සිටින අවස්ථාවක මගේ සෙලියුලර් දුරකතනයට කතා කළ මා දන්නා හඳුනන පුද්ගලයකු ඒ අවස්ථාවේ ජාතික රූපවාහිනියේ විකාශය වෙමින් පවතින වැඩසටහනකින් එස්.බී. දිසානායක මට දරුණු පහරදිමක යෙදි සිටින බව දැනුම් දුන්නේය. ඔහුගේ පහරදිමට ඉලක්ක වී තිබෙන කාරණා මොනවාදෑයි විමසූ විට මා පුවත්පත් කලාවෙන් කප්පම් උපයන පුද්ගලයකු බවත්, ආනන්ද චිත්තම්පලම් නමින් වන ආයුධ වෙළෙන්දෙකුගේ වුවමනාව මත මේ ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ බලයට ගැනීමේ අරමුණ ඇතිව ක්රියාකරන ලද බව ප්රකාශ කළ බවත් කියා සිටියේය.
එදින රාත්රියේ මා කාර්යාලයට ගිය විට එස්.බී. දිසානායක තවත් ඇමතිවරුන් දෙදෙනකු සමග ස්වාධීන රූපවාහිනියේ වෙනත් වැඩසටහනකට සහභාගි වී සිටිනු දක්නට ලැබිණි. එස්.බී. ජාතික රූපවාහිනී වැඩසටහනේදි මා ගැන කියා ඇති කාරණා ගැන ප්රශ්න කළයුතු යැයි මට සිතණි. එය සජීවී වැඩසටහනක් වුවත්, සාමාන්ය ක්රමයට එවැනි වැඩසටහනකට දුරකතනයෙන් සම්බන්ධ වීමට මා වැනි පුද්ගලයකුට අවස්ථාවක් ලබා නොදෙනු ඇතැයි කල්පනා කළ මම ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයාට දුරකතනයෙන් කතා කොට එස්.බී. දිසානායක ඇමතිවරයාගෙන් ප්රශ්න කිහිපයක් අසන්නට ඇති බව ප්රකාශ කොට, ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු ඊට එකගවෙමින් මා සිටින ස්ථානයේ දුරකතන අංකය ඉල්ලා ගත්තේය.
සභාපතිවරයා පොරොන්දු වූ පරීදිම සුළු මොහොතකට පසු ස්වාධීන රූපවාහිනියෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණි. ඉන්පසු ඔවුන් මා දුරකතනයෙන් විකාශය වෙමින් පැවති වැඩසටහනට සම්බන්ධ කළේය. මා එකවර එස්.බී. වෙත ප්රශ්න දෙකක් ඉදිරිපත් කළෙමි.
පළමු ප්රශ්නය ආනන්ද චිත්තම්පලම් පිළිබඳ කතාවට අදාළවය. ආනන්ද මා දන්නා හඳුනන පුද්ගලයෙකු වීම සත්යයක් බවත්, එහෙත් මා දන්නා තරමින් ඔහු ආයුධ වෙළෙන්දෙකු නොවන බවත්, එසේම මා දැන් ඔහු ඇසුරු කරන ඔහුගේ මිත්රයෙකු නොවන බවත්, එහෙත් මා දන්නා තරමින් ඔහු නියෝජ්ය ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්ත මහතාගේ මිත්රයෙක් බවත්, ඊටත් වඩා ජනමාධ්ය ඇමති මංගල සමරවීරගේ කිට්ටු මිත්රයෙකු බවත් ප්රකාශ කරමින් ආනන්දට රනිල් වික්රමසිංහ බලයට ගෙන ඒමේ වුවමනාවක් තිබුණේ නම්, ඒ ගැන මට චෝදනා කරනවා වෙනුවට ඔබේ ඇමති සගයින් දෙදෙනාට චෝදනා නොකරන්නේ මන්දැයි මම විමසා සිටියෙමි.
ආනන්ද මා දැන හැඳින ගෙන තිබුණේ 1986දිය. එවකට රාවය පුවත්පත වෙනුවට පළකෙරෙමින් තිබුණේ රාවය සගරාවය. කියවීම හා පොත් එකතු කිරීම ඔහුගේ ප්රධාන විනෝදාංශයක් වූ අතර, ශ්රී ලංකාව පිළිබඳව ලියැවුණ ලොකුම පොත් එකතුවක් සතු මා දන්නා එකම පුද්ගලයා ද ඔහු විය. අප දෙදෙනාගේ ඇසුර කෙරෙහි ඔහුගේ පොත් එකතුවද බලපෑවේය. ඔහු තමන්ගේ එකතුවේ ඇති පොත් පත් වෙනත් අයට දිමට කැමැත්තක් නොදැක්වුවත්, මට අවශ්ය අවස්ථාවලදි ඒවා නොමසුරුව ලබා දුන්නේය.
88 ජනාධිපතිවරණය පැවැතියේ භීෂණකාරී විශේෂ වාතාවරණයක් යටතේය. එම ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලීමෙන් නොනැවතී, ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්න යන අය මරා දමන බවට ජනතා විමුක්ති පෙරමුණ ප්රකාශ කර තිබුණු අවස්ථාවක මා විසින් පළකරමින් තිබූ “රාවය” සගරාව ජනතා විමුක්ති පෙරමුණේ එම ස්ථාවරය විවේචනය කරමින් එජාපය පරාජය කිරීම පිණිස එම ජනාධිපතිවරණයේදී ශ්රීලනිප අපේක්ෂිකාවට ආධාර කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි. සගරාවෙන් ආධාර කරනවාට අතිරේක වශයෙන් අප පුද්ගලයන් තිදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්රීලනිපය වෙනුවෙන් දුෂ්කර කාර්ය භාරයක් ද කරමින් සිටියෙමු. ඒ කණ්ඩායමට අයත් අනෙක් දෙදෙනා වූයේ එයාර් වයිෂ් මාෂල් හැරි ගුණතිලක හා ආනන්ද චිත්තම්පලම්ය. හැරි ගුණතිලක, බණ්ඩාරනායක මැතිනියගේ සමීප හිතවතෙකු වූ අතර, එම ජනාධිපතිවරණයේදී මැතිවරණ ව්යාපාරය භාර ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරීයා වශයෙන් ද ක්රියා කළේය. අප තිදෙනා ඇතුළත් එම කණ්ඩායම මැතිනිය ඇතුළු සමගි පක්ෂ නායකයින් විසින් එකල හැඳින්වූයේ ් කණ්ඩායම වශයෙනි. ් කණ්ඩායම එම ජනාධිපතිවරණයේදී ශ්රීලනිපය වෙනුවෙන් සුවිශේෂ වැඩ කොටසක් ඉටු කරන ලද අතර, මැතිවරණයෙන් ලද පරාජයෙන් පසුව එම කණ්ඩායමට අනුරුද්ධ රත්වත්ත ද එකතුවෙමින් එය සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් බවට පත්වූවේය. අප සිව්දෙනා බොහෝදුරට සමාන දේශපාලන අදහස් දරන කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගිය හිතමිතුරන් පිරිසක් වූ අතර, ඒ ඇසුර 94 ජයග්රහණය දක්වාම අප අතර පැවතියේය.
94 ජයග්රහණයෙන් පසුව අනුරුද්ධ රත්වත්ත මහතාගේ සමහර ක්රියාකාරකම් විවේචනය කරන්නට සිදුවීම නිසා ඒ මහතා සමග තිබූ සමීපභාවය අත්හැරිමට මට සිදුවිය. එහෙත් මා අනුරුද්ධ රත්වත්ත මහතා කොතරම් විවේචනයට ලක් කළත්, ආරක්ෂක නියෝජ්ය ඇමති වශයෙන් තමාට ලැබී තිබුණු විශේෂ බලය මා පීඩාවට පත්කිරීම පිණිස ඒ මහතා පාවිච්චි නොකළ බව ද කිව යුතුය. 94 ජයග්රහණයෙන් පසුව ආනන්ද, මංගල සමරවීර මහතාට සමීප වූයේය. මා පොදු පෙරමුණු ආණ්ඩුව විවේචනයට ලක් කරන තත්ත්වයකට යොමුවීමත් සමග ආනන්ද මා සමග තිබූ සමීප ඇසුර අත්හළේය. දැන් හැරි ගුණතිලක ඉන්නේ ද, මා ඉන්නා තැනට සමීප තැනකය.
මා එස්.බී. වෙත ඉදිරිපත් කරන ලද දෙවැනි ප්රශ්නය වූයේ මා පුවත්පත් කලාවෙන් කප්පම් උපයන බවට ඔහු කරන ලද චෝදනාවයි. පසුගිය වසර 5 තුළ වෙන් වෙන් වශයෙන් අප උපයන ලද ආදායම් පිළිබඳ ප්රසිද්ධ පරික්ෂණයකට යාමට ඔබ කැමතිදැයි මම ඔහුගෙන් ප්රශ්න කළෙමි.
මේ දෙවන ප්රශ්නයෙන් ඔහු කුපිත වන බව මම දැන සිටියෙමි. එය එසේම සිදුවූයේය. ඔහු ආවේශ වූවකු මෙන් මට පහර දුන්නේය. කෙළවරක් නැති චෝදනා එල්ල කළේය. ඔහු නගන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් ඔහු වෙත ප්රශ්නයක් ඉදිරිපත් කිරීමට මට අවශ්ය වුවත්, ස්වාධීන රූපවාහිනියේ බලධාරින් ඊට ඉඩ නොදුන්නේය.
ඔහු මට එරෙහිව පදනම් විරහිත චෝදනා වැලක් ඉදිරිපත් කළා විනා, මා නගන ලද මූලික ප්රශ්න දෙකටම පිළිතුරු නොදුන්නේය. තමා තවමත් බොන්නේ ගල් අරක්කු බවත්, එහෙත් මම බොන්නේ විස්කි බවත්, මම ගෙවල් දෙකක් නඩත්තු කරන බවත්, (එයින් අනියම් ලෙස කියන්නේ මා පවුල් දෙකක් නඩත්තු කරන බවය) වාහන තුනක් ඇති බවත්, ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලිගේ පඩි ලැයිස්තුවලට මාගේ නම ද ඇතුළත්ව තිබූ බවත්, මා විරූපී බැවින් ලස්සන මිනිස්සුන්ට වෛර කරන බවත්, ඉංග්රීසි නොදන්නා බැවින් ඉංග්රීසි දත් මිනිස්සුන්ට වෛර කරන බවත්, බුද්ධිමත් නොවන බැවින් බුද්ධිමත් මිනිස්සුන්ට වෛර කරන බවත් ප්රකාශ කර සිටියේය.
එස්.බී. ඉදිරිපත් කරන ලද මේ සියලු කාරණා අතුරීන් වඩාත්ම මාගේ විනෝදයට හේතුවූයේ මා ඉංග්රීසි නොදන්නේ යයි කීම මගින් තමා ඉතා හොඳින් ඉංග්රීසි දත් පුද්ගලයකු ලෙස පෙනී සිටීමට ඔහු විසින් දරන ලද හාස්යජනක වෑයමය.
මාගේ ඉංග්රීසි දැනුමේ මට්ටම ඉතාමත් විශිෂ්ට මට්ටමක ඇත්තේ යැයි මම නොකියමි. එහෙත්, ශාස්ත්රීය පත පොත පරිශීලනයට, ගවේශණයට සහ භාෂා හැසිරවීමට ප්රමාණවත් තරමේ ඉංග්රීසි භාෂා දැනුමක් මට ඇති බව මගේ විශ්වාසයයි. මා දන්නා තරමින් කැබිනට් මණ්ඩල සාමාජිකයන් අතර සිටින, අඩුවෙන්ම ඉංග්රීසි දත් පුද්ගලයා එස්.බී.ය. ඒ ගැන ඔහු තුළ හීනමානයක් ද පවතී. සාමාන්ය සාකච්ඡාවලදි ඉංග්රීසි භාෂාවෙන් අදහස් පළකරන්නට ගොස් ඔහු හාස්යයට ලක්වූ අවස්ථා ද පවතී.
මීට පෙර ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා සමග කරන ලද රූපවාහිනී සාකච්ඡාවකදි ද, තමා ඉංග්රීසි භාෂාව පරතරයටම දත් පුද්ගලයකු බව ප්රේක්ෂකයන්ට පෙනෙන ලෙස ඉංග්රීසි භාෂාව ඉගෙන ගෙන දැනුම පුළුල් කරගන්නා ලෙස ටිල්වින්ගෙන් ඉල්ලා සිටියේය.
මා එස්.බී. නමැති චරිතය දන්නේ කිසියම් කාලයක සිටය. විරුද්ධ පක්ෂයේ සිටියදි රාවය කාර්යාලයට නිතර යන එන විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීන් අතර ඔහු ප්රධාන විය. ඔහු ශ්රීලනිපයට පැමිණියේ කොමියුනිස්ට් පක්ෂයෙනි. ශ්රීලනිපය තුළ ඔහුගේ පළමු තේරිම වූයේ ද මව නොව පුතාය. එහෙත් අනුර බණ්ඩාරනායක මහතා වටා ශ්රීලනිප මන්ත්රීවරුන් විශාල පිරිසක් ගොනුවී සිටින තත්ත්වයක් තුළ තමන්ට ඔවුන් අතර කැපී පෙනෙන තත්ත්වයක් ලබාගත නොහැකි බව තේරුම් ගත් ඔහු පුතා අතහැර මවට සමීප වූවේය. ඒ මගින් ශ්රීලනිපයේ මධ්යම කාරක සභාවට ද ඇතුළත් වුයේය. පක්ෂය තුළ මවගේ තත්ත්වය ශක්තිමත් කරනු පිණිස චන්ද්රිකා පක්ෂය තුළට ගැනීමේ කාරණයට ද සම්බන්ධ විය. එහෙත් ඒ අවස්ථාවේදි ද ඔහුගේ පළමු තේරීම මව මිස දුව නොවීය. එහෙත් මව අභිබවා දුව කරළියට එනවිට ඔහු මුළුමණින් මව අතහැර දුවට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළේය.
තම කොට්ඨාශයේ මහජනයා අතර පවා තමන්ට ප්රමුඛ පිළිගැනීමක් ලබාගත නොහැකිවීම එස්.බී. ප්රජාතන්ත්රවාදී දේශපාලනයක් වෙනුවට බලහත්කාරි දේශපාලනයක් වෙත තල්ලුකිරීමට හේතුවූ ප්රධාන සාධකය වේ යැයි සිතමි. ඔහු 1988 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සමත් වුවත්, ඔහුට නුවරඑළිය දිස්ත්රික්කයෙන්ම ලබාගත හැකිවුයේ ඡන්ද 17904ක් පමණය. ඉන්පසු පොදු පෙරමුණට රැල්ලක් තිබුණු 94 පාර්ලිමේන්තු මැතිවරණයේදි පවා හගුරන්කෙත එජාප සංවිධායකවරයා ඡන්ද 40513ක් ලබාගන්නා විට, එස්.බී.ට මුළු දිස්ත්රික්කයෙන් ම ලබාගත හැකිවූයේ ඡන්ද 38372ක් පමණි. ඔහු නුවරඑළිය දිස්ත්රික්කයෙන් තේරි පත්වූ මන්ත්රීවරුන් අතරින් 6 වැනියා වුයේය. එහෙත් පොදු පෙරමුණේ එස්.බී. තරම් විශාල තනතුරක් නොඋසුලන සමහර පුද්ගලයන් තමන් තරග කළ දිස්ත්රික්කවලින් විශාල ඡන්ද ප්රමාණයක් ලබාගැනීමට සමත් වී තිබුණේය. නිදර්ශනයක් වශයෙන් ඩලස් අලහප්පෙරුම ඡන්ද 76678ක්ද, සුමිත්රා ප්රියංගනී අබේවීර ඡන්ද 86661ක්ද, බැනට් කුරේ ඡන්ද 66976ක්ද, ෆීලික්ස් පෙරේරා 80539ක්ද, ලක්ෂ්මන් කිරිඇල්ල ඡන්ද 59463ක්ද, පියසේන ගමගේ ඡන්ද 67033ක්ද, ජගත් බාලසූරිය ඡන්ද 59017ක්ද, ලබාගැනීමට සමත් විය. එස්.බී. දිසානායක සිය ඡන්ද කොට්ඨාශය තුළ මහජනයා බියගන්වා බලහත්කාරයෙන් ඡන්දය ලබාගන්නා සාහසික පිළිවෙතකට තල්ලුවී සිටින්නේ ද සිය ඡන්ද කොට්ඨාශය තුළ මහජනයා අතර, තමන්ට ලැබී තිබෙන දුප්පත් පිළිගැනීමට ප්රතික්රියාවක් වශයෙන් විය හැකිය.
ප්රදේශයෙන් විශාල එස්.බී. කැබිනට් ඇමතිවරයකු වන්නට ප්රථම ජීවත් වූයේ නැතිබැරිකම් මැද්දේය. ඔහු කලක් කුලී නිවසක ජීවත් වුයේය. ඒ සඳහා කුලී ගෙවන්නට තිබුණු අමාරුකම් නිසා කුලී නිවස අතහැර ශ්රාවස්තියේ පදිංචියට ගියේය. තමන්ට ලැබුණු තීරු බදු රහිත වාහනය විකුණා ඒ මුදලින් ඔහු හගුරන්කෙත ප්රදේශයෙන් විශාල ඉඩමක් මිලදී ගෙන තිබුණි. එහෙත් ඒ ඉඩම වගා නොකරන ලද්දක් බැවින් එයින් කිසිම ආදායමක් ඔහු වෙත ගලා නාවේය. ඔහු සෙන්ට්රල් ෆිනෑන්ස් සමාගමෙන් ෆිනෑන්ස් පදනමක් මත වෑන් රථයක් ලබාගෙන තිබුණු අතර, එයට ෆිනෑන්ස් නොගෙවීම නිසා එය අත්පත් කරගන්නා තත්ත්වයක් ද ඇතිව තිබුණේය. චන්ද්රිකා කුමාරතුංග මහත්මිය බස්නාහිර මහ ඇමති වීමෙන් පසු එස්.බී. ගේ බිරිඳ මහ ඇමතිනියගේ පුද්ගලික ලේකම් ලෙස පත්කර ගන්නා ලද අතර, ඒ සමග ඇගේ පාවිච්චියට ඩබල් කැබ් රථයක් ලැබීම නිසා ෆිනෑන්ස් නොගෙවූ වාහනය විකුණා ඉතිරි වූ මුදල් සමාගමට ගෙවීමට ඔහුට හැකිවිය. ඔහු එකල තමා මුහුණ දී සිටි අගහිගකම් ගැන මා සමග ද කතා කළේය. මුදල් සොයාගත හැකි මාර්ගයක් ඉක්මණින් සොයාගත නොහැකි වෙතොත්, තමන්ට ඉක්මණින් දේශපාලනයෙන් සමුගැනීමට සිදුවනු ඇති බවද ඔහු මා සමග ප්රකාශ කර තිබුණි. එහෙත් දැන් ඔහු ඉන්නා තත්ත්වය ඉතා යහපත්ය. මුදල් හදල්වලින් පමණක් නොව සියලු යස ඉසුරුවලින් ද සපිරිමත්ය. මා නිවාස දෙකක් නඩත්තු කරන බව ඔහු ප්රකාශ කළේය. එහෙත් මට හා මගේ පවුලේ සියලුදෙනාට ඇත්තේ එක නිවසක් පමණය. එය ද 94 ජයග්රහණයෙන් පසු ඉදි කරන ලද්දක් නොව, ඊට පෙර ඉදිකරන ලද්දකි. මට වාහන තුනක් ඇති බව ප්රකාශ කර ඇතත්, මට හෝ මාගේ පවුලේ සාමාජිකයන් ලෙස සැලකිය හැකි කිසිවකුට එකම වාහනයක්වත් නැත.
එහෙත් ඉමහත් ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වූ, එස්.බී. දිසානායක නම් 94 ජයග්රහණයෙන් පසුව සිය හගුරන්කෙත රජ දහනේ පිහිණුම් තටාකයක් ද සහිත තුන්මහල් ප්රාසාදයක් ඉදිකළ බව ප්රකටය. ඒ ප්රාසාදය සියලු නවීන හා සුඛෝපභෝගී බඩු මුට්ටුවලින් ද සහිතය. ඊට අතිරේකව නුගේගොඩ ප්රදේශයේ තුන්මහල් ගොඩනැගිල්ලක් මිලදී ගත් බවට ද කතාවක් පවතී. දැන් නිල වාහනවලින් පමණක් නොව, නිල නොවන වාහනවලින් ද ඔහුට අඩුවක් නැත. පසුගිය අවුරුදු 5 තුළ ඔහු උපයාගෙන ඇති ධනස්කන්ධයේ ප්රමාණය කොතෙක්දැයි අපි නොදනිමු. එහෙත් එක් පරම්පරාවක් සඳහා නොව, පරම්පරා ගණනාවක් සඳහා ම ප්රමාණවත් ධනස්කන්ධයක් උපයා ගෙන ඇතැයි සිතිය හැකිය.
ඔහු කියන ආකාරයට විස්කි බීමේ ආර්ථික හැකියාවක් මට නැත. එහෙත් මා සිරිතක් වශයෙන් ගල් අරක්කු බොන්නේ නැත. මිලදී ගෙන බොනවා නම් බොන්නේ පරණ අරක්කුය. එහෙත් එදා ගල් අරක්කු බිවූ එස්.බී. අද බොන්නේ බ්රැන්ඩියග බොනවා නම් බ්රැන්ඩිය. විස්කි නම් බ්ලැක් ලේබල් හෝ ශිවාස් දීගල් විස්කිය.
ගාමිණී දිසානායකගේ මහවැලි පඩි ලැයිස්තුවට ඇතුළත් අය ඉතා ප්රකටය. එම පඩි ලැයිස්තුවේ සනත්ගේ හා ලුෂන්ගේ නම් ද තිබුණේය. ඒ ලැයිස්තුවට මගේ නම තිබුණ බවට කිසිදු චෝදනාවක් එල්ල වී නැත. ඒ පඩි ලැයිස්තුවේ සිටි අය වැඩිදෙනෙකු අද ඉන්නේ පෙරමුණ සමගය.
ගාමිණී දිසානායක හා මා අතර තිබුණේ කෙබඳු සම්බන්ධයක්දැයි යන්න වටහා ගැනීමට ප්රයෝජනවත් නිදර්ශනයක් මට දැක්විය හැකිය. ඒ කරුණ එස්.බී. ද දන්නේය.
දෝෂාභියෝග කාලයේදී දිනක් ගාමිණී දිසානායක මට පණිවුඩයක් එවා හේමසිරි ප්රනාන්දුගේ නිවසට ගෙන්වා ගත්තේය. ගාමිණී සමග ජෝශප් ෆොන්සේකා ද පැමිණියේය. හේමසිරි ද ඒ සාකච්ඡාවට සහභාගි විය.
දෝෂාභියෝගයට දෙන සහයෝගයක් වශයෙන් සතියකට එක් පුවත්පතක් වෙනුවට සතියකට පුවත්පත් දෙකක් පළකරන ලෙසත්, තවත් පුවත්පත් ගණනාවක් ඊට එකග වී ඇති බවත්, අතිරේක කලාපය සඳහා යන සියලු කඩදාසි තමා නොමිලේ සපයා දෙන බවත්, ගාමිණී දිසානායක මහතා මා අමතා ප්රකාශ කළේය.
ඔහුට හොඳින් ඇහුම්කන් දුන් මා ඔහුට දෙන ලද කෙටි පිළිතුර මෙසේ විය.
දෝෂාභියෝගයට කොහොමටත් මම පක්ෂයි. කවුරුන් හෝ නොමිලේ ලබා දෙන කොළ මත හැම සතියකම අතිරේක කලාපයක් පළකිරීමට මා එකග නැහැ. මගේ ආයතනයට සතියකට එක හොඳ පුවත්පතක් පළකිරීමේ හැකියාව ඇතත්, සතියකට හොඳ පුවත්පත් දෙකක් පළකිරීමේ හැකියාවක් නැහැ. නොමිලේ කොළ ලබාදීමකින් තොරව සතියකට පළ කෙරෙන එක කලාපයකින් සෑහීමට පත්වන්න. මගේ ඒ පිළිතුර ගාමිණී දිසානායක මහතාගේ සංතෝෂයට හේතු නොවන්නට ඇතත්, ඒ මහතා ඒ අවස්ථාවේදී ඊට එරෙහිව කිසිවක්ම ප්රකාශ කළේ නැත.
මා බුද්ධිමතකු නොවන නිසා, බුද්ධිමතුන්ට වෛර කරන බව ප්රකාශ කරමින්, අනියම් ලෙස තමා බුද්ධිමතකු ලෙස හුවා දැක්වීමට එස්.බී. උත්සාහ දරා ඇතත්, බුද්ධිමය වැදගත්කමක් ඇති කිසිවක්ම නිර්මාණය කිරීමට එස්.බී. සමත්වී නැති බව කිවයුතුය. ඔහුගේ බුද්ධි මට්ටම, හැසිරීමෙන් පිළිබිඹු කරන මට්ටමට වැඩි නොවේයයි සිතමි. මා විසින් ලියා ඇති පොත්වල අගය තක්සේරු කිරීම විචාරකයින්ගේ හා පාඨකයින්ගේ කාර්යයක් වුවත් මේ වන විට මා විසින් පොත් අටක් ලියා පළකොට තිබෙන බවත් ඉන් තුනක් දේශපාලන විද්යාව හා සමාජ විද්යා හදාරන උපාධි අපේක්ෂෂකයින් කියවිය යුතු පොත් ලෙස නිර්දේශ කර ඇති බවත් කිව යුතු ය. එහෙත් මේ ඊනියා බුද්ධිමතා අතින් ලියැවී ඇත්තේ එකම එක පොතක් පමණය. එය දෝෂාභියෝග ව්යාපාරය ගැන ලියන ලද්දකි. එයද කිසිම හරයක් නැති කසිකබල් ගණයෙහිලා සැළකිය හැකි පොතකි.
එස්.බී. ඒ පොත ලීවේද දෝෂාභියෝග කාලයේදී තමන් එම ව්යාපාරයේ ප්රමුඛ පුද්ගලයෙකු බව මහජනයාට ප්රකාශ කරන අතර, පොත විකිණිමෙන් සැළකිය යුතු ආදායමක් උපයා ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් මා දන්නා තරමින්, එස්.බී. දෝෂාභියෝග යෝජනාව ගැන දැනගත්තේ එම යෝජනාවට ශ්රීලනිප මන්ත්රීවරුන්ගෙන් අත්සන් ලබාගන්නා අවසාන මොහොතේදීය. එහෙත් දෝෂාභියෝග වැඩපිළිවෙල සකස් කරමින් තිබුණු මුල් අවස්ථාවේම ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් ඒ ගැන මට දැනගන්නට ලැබුණු අතර, ශ්රීලනිපයෙන් ඊට සම්බන්ධ කෙරුණු ප්රථම පුද්ගලයා ඊට සම්බන්ධ කෙරුණේද මා හරහාය.
91 පළාත් පාලන මැතිවරණයෙන් පසුව ලලිත් ඇතුලත්මුදලි මහතා මා සමග කරන ලද සාකච්ඡාවකදී ප්රේමදාස ජනාධිපතිවරයා පරාජය කිරීමේ අරමුණ ඇතිව, තමා සැලසුම් කොට තිබෙන ක්රියාමාර්ගයක් මට විස්තර කළේය. ඉන්පසු එම ක්රියාමාර්යට ශ්රීලනිපයේ සහාය අත්යවශ්ය වන නිසා ඒ ක්රියාවලියට ශ්රීලනිපයෙන් සම්බන්ධ කරගත යුතු හොඳම පුද්ගලයා අනුර ද නැත්නම් ඔහුගේ මව ද යන ප්රශ්නය මා වෙත ඉදිරිපත් කළේය. ඒ සඳහා යොදාගත යුතු සුදුසුම පුද්ගලයා මව ය යන්න මා දෙන ලද පිළිතුර විය. ඊට හේතු ද මම ඉදිරිපත් කළෙමි. මාගේ මතය සමග ඔහු එකග වී බණ්ඩාරනායක මැතිනිය වැනි වයෝවෘද්ධ පුද්ගලයකු තැනින් තැන කෙරෙන සාකච්ඡාවලට සහභාගී කරවා ගැනීම අසීරු බැවින් ඇගේ සෘජු නියෝජිතයකු ලෙස සම්බන්ධ කරගත යුතු හොඳම පුද්ගලයා කවුරුදැයි අසා සිටියේය. අනුරුද්ධ රත්වත්ත යන්න මා ඊට දෙන ලද පිළිතුර විය. ඔහු ද ඊට එකග වී වෙන කිසිවක් අනුරුද්ධට නොකියා අද දිනම තමා හමුවන ලෙස අනුරුද්ධට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය. එය එසේම සිදුවිය. දෝෂාභියෝග යෝජනාව කරළියට ආවේ ඉනුත් තවත් කාලයකට පසුවය.
එස්.බී. ගේ උගත්කමේ මට්ටම හා දේශපාලන තක්සේරුවක යෙදීමේ හැකියාවේ මට්ටම පෙන්නුම් කරන නිදර්ශනයකින් මේ ලිපිය අවසන් කිරීමට සුදුසු යයි සිතමි.
දෝෂාභියෝගයෙන් පසුව 1993 පැවති පළාත් සභා මැතිවරණයේදී කුමන ප්රතිඵලයක් ලැබෙනු ඇතිද යන්න පිළිබඳව එස්.බී. හා මා අතර, හේමසිරි ප්රනාන්දුගේ නිවසේදී සාකච්ඡාවක් ඇතිවිය. පළාත් සභා මැතිවරණයට ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ ද වෙනම තරග කළේය. එහිදී ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණට ලැබෙන්න යන ඡන්ද ප්රමාණය කුමක් විය හැකිද යන්න එහිදී කතාබහට ලක්විය. ඔවුන් මිලියනයකට ආසන්න ඡන්ද ප්රමාණයක් ලබාගත හැකිය යන්න මාගේ තක්සේරුව විය. එස්.බී. කීවේ අතුල අයියට පිස්සු….. ලලිත්ලගෙ පෙරමුණට වැඩිම වුණොත් මුළු රටෙන්ම ඡන්ද 50,000ක් ලැබේවි. නිල විරුද්ධ පක්ෂයට මිස තුන්වැනි පක්ෂයකට ඡන්ද දෙන්න සූදානම් පිරිසක් රටේ නැහැ යනුවෙනි. ඔහු ඒ ගැන මා සමග ඔට්ටුවක් ද ඇල්ලූවේය. එය බෝතලයකි. එම මැතිවරණයේ දී ප්ර.එ.ජා. පෙරමුණ ඡන්ද 9,28,590ක් ලබාගැනීමට සමත් විය. ඔහුගේ 50,000 තක්සේරුව බොරුවී මගේ තක්සේරුව සැබෑ වුවත් මේ වන තෙක් ම එම ඔට්ටුව නම් ඔහුගෙන් ලැබුණේ නැත.