ඉතාමත් උද්වේගකර වාතාවරණයක් යටතේ පවත්වන ලද ජනාධිපතිවරණයෙන් පොදු පෙරමුණ ජයගත්තත්, ඉදිරියට වෙන්න යන්නේ කුමක්ද යන්න තවමත් නොපැහැදිලිය.
ජනාධිපතිනිය කොටි බෝම්බ ප්රහාරයෙන් දිවි ගලවා ගැනීමට සමත් විය. එහෙත් ඇය ඉන් තුවාල ලැබුවාය. ඒ ඇතිවූ තත්ත්වය ඇගේ ගෞරවය, තත්ත්වය කෙරෙහි ඇති කර තිබෙන බලපෑම කුමක්ද, නැවත එම තත්ත්වය ඇගේ රාජ්ය පාලනය කෙරෙහි කවර ආකාරයකට බලපායි ද යන කාරණා ආණ්ඩු පක්ෂයේ බලවතුන් අතර පවා නොපැහැදිලි තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබෙන බවක් පෙනී යයි.
ජනාධිපතිනිය දිවුරුම් දිමෙන් පසුව ජාතිය අමතා කරන ලද හැගීම්බර කතාවේදි පටු වාදභේද අතහැර රජයට එකතු වන ලෙස එජාප නායකයාගෙන් ඉල්ලා සිටියාය. එයින් ජනාධිපතිනිය ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. එජාපයෙන් බිඳී ආ පිරිසක් එජාප අපේක්ෂකයා පරාජය කිරීම පිණිස පොදු පෙරමුණට එකතු වී එහි නිලතල ලබාගනිමින් එජාප නායකයා පරාජය කිරීම පිණිස උපරිම මට්ටමෙන් ක්රියා කළහ. ජනාධිපතිනියගේ ජයග්රහණයෙන් පසුව රනිල් වික්රමසිංහ තනි කොට එජාපයෙන් ආණ්ඩුවට එකතු කරගන්නා පිරිසක් මගින් ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම ඔවුන්ගේ ප්රධාන අභිලාෂය වී තිබුණි. එහෙත් ජනාධිපතිනිය සිය කතාවෙන් ආරාධනා කළේ රනිල් වික්රමසිංහ ප්රමුඛ එජාපයටය. එහි තේරුම රනිල් වික්රමසිංහ ප්රමුඛ එජාපය සමග ජාතික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට ජනාධිපතිනියගේ අවංක අභිලාෂය වන බවද? නැත්නම් එය රනිල් වික්රමසිංහ තනිකොට එජාපයෙන් වෙනත් මන්ත්රීන් පිරිසක් පොදු පෙරමුණට එකතු කරගැනීම සඳහා වන උපාය මාර්ගික අරමුණක් වේද?
පොදු පෙරමුණ ජනාධිපතිවරණයේදී දෙන ලද ප්රමුඛතම පොරොන්දුව වූයේ තිබෙන බහුබූත ව්යවස්ථාව අහෝසි කොට තමන් කෙටුම්පත් කොට ඇති නව ව්යවස්ථා කෙටුම්පත නීතිගත කරන බවය. එහිදී ඇය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ගැන කතා නොකළද ජනාධිපතිවරණයේදී තමන්ට දෙනු ලබන ජනවරම ව්යවස්ථා සංශෝධනයක් සඳහා දෙන ලද ජනවරමක් ලෙස සලකා ක්රියා කරන බව පැවසුවාය.
දැන් පොදු පෙරමුණට ඒ ඉල්ලා සිටි ජනවරම ලැබී ඇතත්, නව ව්යවස්ථාව නීතිගත කරන්නේද? නීතිගත කරන්නේ නම් ඒ කරන්නට යන්නේ කෙසේද යන්න නොපැහැදිලිය. නව ව්යවස්ථාව තුළ පැකේජය ද පවතී. එහෙත් පොදු පෙරමුණට එකතු වී සිටින අය අතර, පැකේජ විරෝධී නායකයෝ සමූහයක් ද සිටිති. සරත් අමුණුගම පැකේජයට පක්ෂය. එහෙත් සුසිල් මුණසිංහ හා දිනේෂ් ගුණවර්ධන සිටින්නේ උග්ර පැකේජ විරෝධී ස්ථාවරයකය. පැකේජ විරෝධී බලවේගයන්ගේ මතය වී ඇත්තේ ද, ජනාධිපතිනියට ලැබී ඇති ජනවරම පැකේජයට පක්ෂපාත ජනවරමක් නොව ප්රභාකරන්ට එරෙහිව යුද්ධ කිරීම පිණිස ලැබී ඇති ජනවරමක් බවය. මේ පරස්පර විරෝධී බලවේගයන් එකට තබාගනිමින් ජනවාර්ගික ප්රශ්නයට විසඳුමක් ඇතිකර ගැනීම ලෙහෙසි පහසු දෙයක් වනු ඇතැයි සිතිය නොහැකිය.
නව ව්යවස්ථා කෙටුම්පත නීතිගත කළහොත් ජනාධිපතිනියට ජනාධිපතිකම අතහැර අගමැති ලෙස පාර්ලිමේන්තුවට එන්නට සිදුවන්නේය. එහෙත් පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙකුගේ තත්ත්වය විධායක ජනාධිපතිවරයකුගේ තත්ත්වය තරම් ශක්තිමත් හෝ ස්ථාවර නැත. බලයට පත්වූ ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයකින් පෙරළා දැමිය නොහැකිය. එසේ පෙරළා දැමිය හැකිවනු ඇත්තේ 2/3ක තරම් විරෝධයක් ඇති අවස්ථාවක පමණය. එවැනි අවස්ථාවක පවා පාර්ලිමේන්තුවේ කාලය අවුරුද්දකට වැඩි කාලයක් ගෙවී තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන්ට එරෙහිව එල්ල වන දෝෂාභියෝගයක් බලරහිත කිරීමේ බලය ජනාධිපති සතුය.
එහෙත් ජනාධිපති ක්රමය අහෝසි කොට නැවත පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක් ඇති කරන තත්ත්වයක් තුළ අගමැති පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයකින් ඉවත් කළ හැකිය. පහසුවෙන් පෙරළා දැමීමකට ඉඩ ලැබෙන එවැනි ක්රමයකට ජනාධිපතිනිය පක්ෂ වේද? දැනට ඇයට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇතත්, පාර්ලිමේන්තු මන්ත්රීන් අතර තමන්ගේම යැයි කිවහැකි ශක්තිමත් කණ්ඩායමක් නැත. තමන්ගේම කණ්ඩායමක් නොවූවත්, දැන් සිටින පරස්පර විරෝධී බලවේගයන් එකට තබා ගැනීමට අවශ්ය බලය ඇයට ලැබී ඇත්තේ ජනාධිපති ක්රමයෙනි. තමන්ගේම කණ්ඩායමක් හදාගැනීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තු මැතිවරණයකට ගියත්, එය අභ්යන්තර ආරාවුල් ඇති කරන ක්රියාවලියක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. ඒ සියලු අභියෝග ජයගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයකට ගියත්, පාර්ලිමේන්තුවේ වැඩි බලයක් මිස 2/3ක බලයක් ඇති කළ නොහැකිය. එවැනි වැඩි බලයක් පමණක් ඇතිව ඇය ජනාධිපති ක්රමය අහෝසි කොට අගමැති පුටුවේ අසුන් ගනී නම්, දැන් තිබෙන ස්ථාවරභාවයේ බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
රනිල්ගේ නායකත්වය
දැන් රනිල් වික්රමසිංහ ඉන්නේ ද අවුල් ජාලවක් මැද්දේය. දැන් ඇතිවී තිබෙන පරාජය තුළ පක්ෂය සී සී කඩ විසිරීයාම වළක්වා ගැනීම පහසු වනු ඇතැයි සිතිය නොහැකිය. ජනාධිපතිවරණයෙන් ජය නොලැබුවත් පරාජය තුළ හෝ ශක්තිමත් නායකයකු ලෙස මතුවීමට සමත් වී නම්, පක්ෂයේ ඒකමතිකභාවය ආරක්ෂා කරගැනීම අමාරු නොවන්නට ඉඩ තිබුණත්, ශක්තිමත් දේශපාලන ප්රතිරූපයක් ප්රතිෂ්ඨාපනය කරගැනීමට නොහැකිවීම තුළ එජාපය අවුලෙන් අවුලට යන තත්ත්වයකට පත්වීම ද නොවැළැක්විය හැකිය.
විරුද්ධ පක්ෂයේ නායකයා බවට පත්වීමෙන් පසුව දුර්වල තැනකට වැටී තිබුණු තම පක්ෂය ශක්තිමත් තැනකට ගෙන ඒමට රනිල් වික්රමසිංහ සමත් වූ බවක් පෙනෙන්නට නැත. පක්ෂය අභ්යන්තරයේ අනපේක්ෂිත තත්ත්වයක සිටි බලවේගයන් එක්කෝ තෘප්තිමත් කළ යුතුව තිබුණේය. නැත්නම් අවසාන මොහොත වනතෙක් බලා නොසිට ඔවුන් පක්ෂයෙන් පළවා හැරිය යුතුව තිබුණේය. එහෙත් රනිල් වික්රමසිංහ මහතා කල්තියා ඒ දෙකෙන් එකක්වත් නොකොට බලා හිඳින ප්රතිපත්තියක් අනුගමනය කිරීම නිසා අතෘප්තිමත් තත්ත්වයක සිටි පිරිසකට අවසාන මොහොතේ ආණ්ඩුවට එකතුවීමේ හැකියාව ලැබුණි. සමස්ත මැතිවරණ වැඩපිළිවෙළ ද රටේ පැවති සැබෑ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියට ගන්නා ලද යථාර්තවාදී වැඩපිළිවෙළක් නොවීය. ජනාධිපතිවරණයට යන්නට සැලසුම් කර තිබෙන අවස්ථාවක ශ්රේෂ්ඨාධිකරණයේ පාලනය සියතට ගැනීමේ අරමුණ ඇතිව ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගවෙමින් තිබූ පෙත්සම් දෙකක චූදිත පුද්ගලයකු අගවිනිසුරු ලෙස පත්කරනු ලැබූ අවස්ථාවේ පවා එජාප නායකයා ඒ ඉදිරියේ නිහඬව බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කළා විනා ප්රධාන විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් එම අසම්මත ක්රියා කලාපයට එරෙහිව මුලු ශක්තිය යොදා විරෝධය පළකරන ප්රතිපත්තියක් අනුගමනය නොකළේය. නැවත ජනාධිපතිවරණයක් ප්රකාශයට පත්කිරිමෙන් පසුව තරග බිමේ සිටි ජනාධිපතිනිය, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව අභ්යන්තරයෙන් වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරයකු පත්කරනවා වෙනුවට මැතිවරණ යාන්ත්රණය පාලනය කළහැකි වන ආකාරයට මුළුමනින් පිටස්තර පුද්ගලයකු පත්කරන ලද අවස්ථාවේදි ද එජාප නායකයා ඊට මුලු ශක්තිය යොදා විරෝධය පළ කරනවා වෙනුවට එම ප්රජාතන්ත්ර විරෝධී ක්රියාවලිය අනියම් ලෙස අනුමත කරන ක්රියා පිළිවෙතක් අනුගමනය කළේ ය. ඉන් පසු නිදහස් හා සාධාරණ මැතිවරණ ක්රියාවලියට පටහැනිව යන ලෙස දිගින් දිගටම සිදු වූ ක්රියාකාරකම් ඉදිරියේ ද නිශ්ශබ්දව බලා සිටින පිළිවෙතක් අනුගමනය කළේ ය. මේ සියලු දේවල් එසේ තිබියදිත් තමන් පහසුවෙන් ජයගනු ඇතිය යන වැරදි විශ්වාසයක් මත පිහිටා විපක්ෂෂ නායකයා ක්රියාකර තිබෙන බව පැහැදිලි ය.
ජනාධිපතිවරණයේ දි විපක්ෂෂ නායකයා සිය ප්රතිරූපය ගොඩනගා ගනිමින් තිබුණු ආකාරයේ ද නොගැළපීමක් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ශ්රී ලංකාව වැනි රටක නායකයෙක් “ත්රී පීස් සූට්” ඇඳි නායකයකු ලෙස ඉස්මතුවීමට තිබෙන ඉඩකඩ ඉතා සීමිතය. අනෙක් අතට රටේ ප්රධාන නායකයා වන්නට සිටින පුද්ගලයකු හැම රැස්වීමකම පැවැත්වෙන සංගීත සාජ්යකදි ඔවුන් සමග නටනවා දකින දර්ශනයක් මහජනයා තුළ හාස්යයක් මිස ගෞරවයක් ඇති නොකරයි. නායකයන් හැමවිටම ප්රසිද්ධ කතාවලදි පරිස්සම් විය යුතුය. වගකීමෙන් තොරව කටට ආවක් ප්රකාශ කරන පුද්ගලයකු මහජනයා හොඳ නායකයකු ලෙස සලකන්නේ නැත. තමා බලයට පැමිණි පසු චන්ද්රිකා ප්රභාකරන්ට භාරදෙන බවට විහිළුවට මෙන් කිව්වේ යැයි කියන කතාව මහජනයා සලකන ලද්දේ කිසිම වගකිවයුතු නායකයකු නොකළ යුතු තරම් දඩබ්බර ප්රකාශයක් වශයෙනි. එවැනි දඩබ්බර ප්රකාශ නිසා විපක්ෂ නායකයාට කොටි සංවිධානය සමග සම්මුතියක් ඇති බවට එල්ලවෙමින් පැවති චෝදනාවල යම් සත්යයක් ඇතැයි සිතන තත්ත්වයකට මහජනතාව තල්ලුකළේය. අවසානයේ ප්රභාකරන් ඉලක්ක කොට ගත්තේ ජනාධිපතිනියගේ ජීවිතය වුවත්, එම බෝම්බ ප්රහාරය දේශපාලන වශයෙන් එල්ල වූයේ රනිල් වික්රමසිංහ වෙතය. ප්රභාකරන් කෙරෙහි මහජනයා අතර පැවති කෝපය අවසානයේදි ගලා ගියේ රනිල් වික්රමසිංහ හරහාය.
රනිල් වික්රමසිංහට කල්තියා ඉදිරිය දැකීමේ හැකියාවක් වී නම් තමන් තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටින අතර මහජනයාගේ මතභේදයට හේතු නොවන ශක්තිමත් චරිතයක් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරියට ගත්තේ වී නම්, සමහරවිට සිදුවූ මේ සියලු දේවල් තිබියදිත් ලැබෙන ප්රතිඵලය මීට වෙනස් වන්නට ඉඩ තිබුණි. ජනාධිපතිනිය වෙත එල්ල වූ බෝම්බ ප්රහාරය නිසා නොවන්නට සමහරවිට රනිල් වික්රමසිංහ ජයගැනීමට ඉඩ තිබුණත්, ඒ ජයග්රහණය සඳහා ඡන්දය ලැබෙන්නට තිබුණේද රනිල් වික්රමසිංහට පක්ෂව දෙන ඡන්දයක් ලෙස නොව, චන්ද්රිකා පාලනයට විරුද්ධව දෙන ඡන්දයක් වශයෙනි. බෝම්බ ප්රහාරයෙන් පසුව උද්ගතවූ විශේෂ වාතාවරණය තුළ පවා එයින් අයුතු බලපෑමක් ඇතිවීම වළකා ගැනීම පිණිස මනා අවබෝධයකින් ක්රියා කිරීම ඉතා අවශ්ය වුවත්, ඒ තත්ත්වය පාලනය කිරීම පිණිස ද රනිල් වික්රමසිංහ අතින් ඵලදායී කිසිවක්ම සිදු නොවූයේය.
දැන් තිබෙන තත්ත්වය තුළ කලක් යන තෙක්ම ආණ්ඩු පක්ෂයට සේ ම විපක්ෂයේ පක්ෂවලට ද ක්රියා කරන්නට සිදුවනු ඇත්තේ අවිනිශ්චිත වාතාවරණයක් යටතේය. පොදු පෙරමුණු අභ්යන්තර බලඅරගලයක් මතුවීම නොවැළැක්විය හැකිවනු ඇතිවා සේ ම එජාපය තුළ ද එවැනි අර්බුදයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.