මා සැලසුම් කොටගෙන සිටියේ 2005-2010 දක්වා ගැන ලියන ලද පසුගිය ලිපිය සමග අන්තර් සම්බන්ධයක් ඇති මාතෘකාවක් ලෙස සැලකිය හැකි යුද්ධය ගැන, එනම් එල්ටීටීඊය පවත්වාගෙන ගිය තත්වාකාර රාජ්‍යය හා එල්ටීටීඊයේ පැවැත්ම අහෝසි කළ යුද්ධය හා එය විසින් සමාජ-ආර්ථික හා දේශපාලන චිත්රයේ ඇති කර තිබෙන මහා වෙනස්කම් ගැන ලියන්නටය. එහෙත් ඒ සමග රනිල් හා කරු අතර මතුවූ නායකත්ව තරගය නිසා යුද්ධය ගැන ලිවීම පසුවට තබා ඒ ගැන ලියන්නට ආශාවක් ඇති වුවද දේශපාලන චිත්‍රය තේරුම් ගැනීමට වඩා වැදගත්වන්නේ යුද්ධය වන නිසා පසුව ඇතිවූ ආශාව මැඬගෙන යුද්ධය ගැනම ලියන්නට හිත හදාගත්තෙමි.
කරු හා රනිල් අතර පවත්වන්නට යන තරගයෙන් රනිල් ජයගනු ඇති බව මගේ විශ්වාසය වූ අතර මා ඒ ගැන එජාපයේ මා දන්නා මගේ හිතවතුන් කිහිපදෙනකු සමගද ප්‍රකාශ කර තිබුණි. ඒ සියලුදෙනා අතර මුල් බැසගෙන තිබුණු ජනප්‍රිය මතය වී තිබුණේ එම තරගයෙන් රනිල් පරාජය වී කරු ජයගනු ඇති බවය. මා ඔවුන්ට මගේ මතය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද තර්කය වූයේ පක්ෂය තුළ ඇති ක්රමයේ වාසිය යන්නේ රනිල්ට වන නිසා රනිල්ගේ ජයග්‍රහණය නොවැළැක්විය හැකිවනු ඇති බවය. කරු මගේද ගෞරවයට හේතුවී තිබුණු දේශපාලකයකු වී සිටියදීත්, මේ තරගයේදී මට ඔහු ගැනද විශේෂ විවේචනයක් වී තිබුණි. මාගේ මතය අනුව කරුට එම පක්ෂයේ නායකයා වීමේ අවශ්‍යතාවක් තිබුණේ නම් මොනතරම් මදිපුංචිකම් සිදුවුවද ඔහු ආණ්ඩුවට එකතු නොවී එම පක්ෂය තුළ කාගෙන සිටිය යුතුව තිබුණි. ආණ්ඩුවට එකතුවීමෙන් ඔහු එජාප නායකත්වයට අයිතිවාසිකම් කීමට තිබෙන සුජාතභාවය පළුදු කරගත්තේය. කරු ඒ වරද නොකළේ නම් මේ තරගයෙන් ඔහු ජයගන්නේයැ”යි මම නොකියමි. එහිදීත් ක්රමයේ වාසිය යන්නේ රනිල්ටය. එහෙත් කරු එසේ නොකළේ නම් කරු පරාජය වන්නට ඉඩ තිබුණේ ළඟ ළඟ තරගයකිනි.
දැන් අපට පළමු මාතෘකාවට ආ හැකිය. මගේ මතය අනුව එල්ටීටීඊය දශක තුනකට ආසන්න කාලයක් අවි බලයෙන් පවත්වාගෙන ආ තත්ත්වාකාර රාජ්‍යය එල්ටීටීඊයේ පැවැත්මද සමග අහෝසි කිරීමට හේතුවන ලෙස එල්ටීටීඊයට එරෙහිව කැරුණු යුද්ධය අවසන්වීම නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ ඇතිවූ ලොකුම හා වැදගත්ම දේශපාලන සංසිද්ධිය ලෙස සැලකිය හැකිය. එය ශ්‍රී ලංකාව සඳහා එතෙක් පැවති චිත්‍රය වෙනස් කොට ඒ වෙනුවට නව චිත්‍රයක් ඇති කළේය. එහෙත් ප්රභාකරන් පරාජය කළ ආණ්ඩුව සේ ම, ආණ්ඩුවට එරෙහිව සටන් කරන විරුද්ධ පක්ෂ ව්‍යාපාරයද තාමත් ගනුදෙනු කරමින් තිබෙන්නේ අලුත් චිත්‍රය සමග නොව ඔවුන්ට හුරුපුරුදු පරණ චිත්‍රය සමගය. එය රටේ දේශපාලන පක්ෂ පමණක් නොව, දේශපාලන විචාරකයන්ද මුහුණදී තිබෙන ලොකු අවුලක් ලෙස සැලකිය හැකිය. යුද්ධයෙන් පසු දැන් ඇත්තේ අලුත් අවකාශයක් වුවත් ඒ සියලුදෙනා ජීවත්වන්නට උත්සාහ කරන්නේ පැරණි අවකාශය තුළය.
ප්රභාකරන්ට තිබුණු අධිනිශ්චය බලය
ප්රභාකරන් පවත්වාගෙන ගිය තත්වාකාර රාජ්‍යය රටේ ගමන් මග අධිනිශ්චය කළ සාධකය ලෙස ක්‍රියා කළේය. එය සමස්ත ජන ජීවිතය කෙරෙහි බලපෑවේය. එය රටේ ආර්ථිකය හා දේශපාලනය කෙරෙහි බලපෑවේය. අන්තර් වාර්ගික සම්බන්ධතාවල ස්වභාවය තීන්දු කළා පමණක් නොව, දේශපාලන ක්රමයේ මූලික වෙනසක් ඇතිකර ගැනීමට තිබෙන හැකියාවද වළකා තිබුණේය. රටේ හැම දෙයක් කෙරෙහිම ප්රභාකරන් හා ඔහුගේ තත්ත්වාකාර රාජ්‍ය බලපෑවේය.
හතරවැනි ඊලාම් යුද්ධයෙන් එල්ටීටීඊය ලද පරාජය නිසා ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික හා දේශපාලනය කෙරෙහි එයට එතෙක් තිබූ අධිනිශ්චය බලය අහෝසි විය. ඒ මොහොතේ සිට ශ්‍රී ලංකාව සැලකිය යුතුව තිබෙන්නේ පරණ ශ්‍රී ලංකාව ලෙස නොව, අලුත් ශ්‍රී ලංකාවක් ලෙසය. එසේ ඇතිවූ අලුත් ශ්‍රී ලංකාවේ ගතික ලක්ෂණ තේරුම් ගැනීමට අවශ්‍ය නම් එම සම්බාධකය ඉවත් කැරුණු යුද්ධය පිළිබඳ හරි තක්සේරුවකට යායුතුය. ඒ සඳහා වන හරි තක්සේරුවක් අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ආධිපත්‍යය පරාජය කැරුණු යුද්ධය පිළිගත හැකි සාධාරණ රාමුවකට සිදුවීද නැද්ද යන ප්රශ්නය අලුත් චිත්රයේ හොඳ නරක කෙරෙහි බලපාන නිසාය. එල්ටීටීඊයට එරෙහිව යුද්ධයක් කරන්නට සාධාරණ හේතු තිබියදීත් ඒ යුද්ධය කර තිබෙන්නේ ඉතාමත් අසාධාරණ හා අශීලාචාර ආකාරයට නම් ඇතිවී තිබෙන අලුත් චිත්‍රය රටේ යහපතට හේතුවන්නේ නැත. එහෙත් එල්ටීටීඊ ආධිපත්‍යය පරාජය කැරෙන යුද්ධය කර ඇත්තේ පිළිගත හැකි සාධාරණ හා ශීලාචාර ආකාරයට නම් ඇතිවී තිබෙන අලුත් චිත්‍රය රටේ යහපතට හේතුවනු නොවැළැක්විය හැකිය.
ආණ්ඩුව යුද්ධය නම් කළේ මානුෂික මෙහෙයුමක් ලෙසය. ආණ්ඩුව කියන්නේ තමන් එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධය ජයගත්තේ සාමාන්‍ය ජනයාට හානියක් ඇති නොවන ලෙස හා ඉතාමත් සාධාරණ ආකාරයට බවය. එහෙත් ආණ්ඩු විරෝධී හා රාජපක්ෂ විරෝධී බලවේගයන්ගේ තාමත් පිළිගත් මතය වී ඇත්තේ එය සාමාන්‍ය මිනිසුන්ගේ ආරක්ෂාව නොසලකා ඉතාමත් සාහසික හා කුරිරු ආකාරයකින් ලබාගත් ජයග්‍රහණයක් බවය. අතිවිශාල මානව හිමිකම් උල්ලංඝනයවීමක් ඒ ක්‍රියාවලිය සිදුවී තිබෙන බව ඔවුන් දරන මතය වී තිබේ. එය වර්ග නාශක යුද්ධයක් ලෙස අර්ථකථනය කරන්නෝද ඔවුන් අතර සිටිති. විරුද්ධ මතය සත්‍යයක් නම් ශ්‍රී ලංකාව සිටින්නේ ආත්ම විශ්වාසයකින් ඉදිරියට යා හැකි තැනක නොව පෙර සිටි තත්ත්වයටත් වඩා නරක තැනකය.
ඇත්තටම සිදුවී තිබෙන්නේ කුමක්ද? සිදුවූයේ කුමක්ද?
ප්රභාකරන් 2005 ජනාධිපතිවරණය කෙරෙහිද සිය අධිනිශ්චය බලය පාවිච්චි කළේය. රනිල් හා මහින්ද අතරින් දුර්වල පුද්ගලයා ලෙස ඔහුට පෙනුණේ මහින්දය. ඔහු රනිල් බලයට පත්වීමට තිබෙන ඉඩ ඇහුරුවේය.
සාම සාකච්ඡා සඳහා වන මහින්දගේ ප්‍රවේශය පූර්වගාමී ජනාධිපතිවරුන්ගේ ප්‍රවේශයට වඩා වෙනස් විය. ප්රභාකරන් වෙනම රාජ්‍යයකට වඩා අඩු විසඳුමකට කැමති වනු ඇතැ”යි මහින්ද විශ්වාස නොකළේය. ඊටත් වඩා ප්රභාකරන් එවන නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කිරීමේ තේරුමක් ඇතැ”යි ඔහු විශ්වාස නොකළේය. තිබෙන ප්‍රශ්න ප්රභාකරන් සමගම සාකච්ඡා කිරීමට අවස්ථාවක් සූදානම් කර දෙන ලෙස ජනාධිපතිවරයා එරික් සෝල්හයිම්ගෙන් ඉල්ලා තිබේ. එන්. රාම් වාර්තා කර තිබෙන ආකාරයට සෝල්හයිම් එය ප්රභාකරන් වෙත දැනුම්දී ඇතත්, ප්රභාකරන් ඊට කැමති වී නැත.
මහින්ද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ප්රභාකරන් ආණ්ඩුවට එරෙහිව ඍජු ලෙස යුද්ධ කරන තැනකට ගියේ නැතත්, බිම් බෝම්බ හා ක්ලේමෝ බෝම්බ උගුල් මගින් ආරක්ෂක හමුදාවන්ට ඉලක්ක පහර දෙන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. ඒ මගින් 2006 වසරේ මසකට සිදුවන මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය පුද්ගලයන් 90ක් දක්වා ඉහළ ගොස් තිබුණේය.
එල්ටීටීඊයෙන් එල්ල වන පීඩනය ඉහළ යමින් තිබියදීත් එල්ටීටීඊය සමග කරන යුද්ධයකට සූදානම් වන අතර ප්රභාකරන් සමග සාකච්ඡාවක් ලබාගැනීමට මහින්ද රාජපක්ෂ අප්‍රසිද්ධ උත්සාහයක් තුනක යෙදුණේය. ඔහු පළමුවෙන් සිය ලේකම් ලලිත් වීරතුංග කිලිනොච්චියට යැව්වේය. එම කතාබහ අසාර්ථකවීමෙන් පසු ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ කිලිනොච්චියට යැවීය. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය කෙරෙහි ඔහු කිලිනොච්චියේදී කරන ලද සාකච්ඡාව බලපෑ බවද පෙනෙන්නට තිබේ. ඉන්පසු කිලිනොච්චියට ගිය තුන්වැනි පුද්ගලයා වූයේ කුමාර් රූපසිංහය.
ප්රභාකරන් සමග යුද්ධ කරන තැනකට යනවා හැර තෝරා ගැනීමට අන් විකල්පයක් නැති බව මහින්ද සැක නෑර තේරුම් ගත්තේ හමුදාපති සරත් ෆොන්සේකා හා සිය සහෝදරයා වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජීවිත බිලිගැනීමට ඔවුන් දරන ලද අසාර්ථක ප්රයත්නයන්ගෙන් පසුවය. මාවිල්ආරු ආරාවුල මගින් යුද්ධය ආරම්භ කිරීමට සාධාරණ හේතුවක් ඔවුහු මහින්ද වෙත ලබා දුන්නෝය. ඇති කරගෙන තිබුණු සටන් විරාම ගිවිසුම අහෝසි කරමින් මාවිල්ආරු මුදා ගැනීමට ආරක්ෂක හමුදා යොදවනු ලැබූහ.
පළමුවෙන්ම සිදුවූයේ නැගෙනහිර මුදාගැනීමය. කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් බිඳී වෙන්ව සිටීම හා කරුණා අම්මාන්ගේ කණ්ඩායම නැගෙනහිර ක්‍රියාන්විතයේදී ආරක්ෂක හමුදාවන්ට ක්‍රියාකාරී ලෙස සහායදීම නැගෙනහිර මුදාගැනීමේ ක්‍රියාව පහසු කළේය. නැගෙනහිර පවත්වාගෙන ගිය එල්ටීටීඊ මූලස්ථාන හතරක් අල්ලා ගන්නා ලද අතර ඔවුන් මූල කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය තොප්පිගල අල්ලා ගැනීමෙන් පසු නැගෙනහිර මුදාගැනීමේ ක්‍රියාන්විතය අවසන් විය. එල්ටීටීඊය සිය මිලිටරි බලය සඳහා අවශ්‍ය මිනිස් සම්පත් ප්‍රධාන කොට ලබාගත්තේ නැගෙනහිරිනි. නැගෙනහිර මුදා ගැනීමෙන් පසු එල්ටීටීඊයට ඇරී තිබුණු එම දොර මුළුමනින් වැසී ගියේය. ආණ්ඩුව නැගෙනහිර ක්‍රියාන්විතය නිසා අවතැන්වූ 400,000 ජනයා නැවත පදිංචි කරන අතර 2007 ජූලිවලදී උතුර නිදහස් කරගැනීම ඉලක්ක කරගත් ඊළඟ ක්‍රියාන්විතය ආරම්භ කළේය.
නැගෙනහිර භූමිය ගැන හොඳ වැටහීමක් ආරක්ෂක හමුදාවන්ට තිබුණද, උතුරේදී ඔවුන්ට සටන් කරන්නට සිදුවූයේ මහා වෙනස්කම්වලින් පිරුණු තමන් නොදන්නා සතුරු භූමියකය. මෝසම් වැස්සෙන් පසු ඇතිවන ජල ගැලීම් ඔවුන්ගේ ඉදිරි ගමන වඩා දුෂ්කර කර තිබුණේය.
එල්ටීටීඊ බල කඳවුරු ප්‍රදේශයක් වශයෙන් පැවති මඩුපල්ලිය අවට කලාපය අල්ලා ගැනීමෙන් පසුතිබෙන එකිනෙක බල ප්‍රදේශ අල්ලා ගනිමින් කිලිනොච්චිය දක්වා වන ජයග්‍රාහී ගමනක නිරතවීමට ආරක්ෂක හමුදා සමත් විය. දෙකෙන් එකක් තීන්දු කැරෙන මහා සටන සිදුවන්නට නියමිතව තිබුණේ කිලිනොච්චියේදීය. කිලිනොච්චිය අල්ලා ගැනීමට දරන ඕනෑම උත්සාහයක් බූමරංගයක් බවට පත්වනු ඇති බවට ප්රභාකරන්ද වහසි බස් කීවේය. දේශීය හා විදේශීය යුද විචාරකයන් අතරද ආරක්ෂක හමුදාවන්ට කිලිනොච්චිය අල්ලා ගැනීමට නොහැකිවනු ඇතැ”යි කියන මතයක් ගොඩනැගී තිබුණි. ඒ සියලු දෙනා අපේක්ෂා නොකළ ආකාරයට වඩා දුෂ්කර සටනකින් පසුව වුවත් කිලිනොච්චියද අල්ලා ගැනීමට ආරක්ෂක හමුදා සමත් වූ අතර අවසානයේ ප්රභාකරන්ගේ එල්ටීටීඊ හමුදාවට ඔවුන් තමන් සමග රැගෙන ආ 300,000කට ආසන්න ජනතාව සමග 1996 සිට ඔවුන්ගේ ප්‍රධාන බලප්‍රදේශයක් වශයෙන් පැවති මුලතිව් ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 1000ක් තරම් වන කුඩා භූමි ප්‍රදේශයකට කොටුවන්නට සිදුවිය. අවසානයේ ප්රභාකරන් ඇතුළු එල්ටීටීඊ ප්රබලයන්ගේ සොහොන් බිම බවට පත්වූයේද එම භූමියයි.
ප්රභාකරන්ගේ පරාජය කෙරෙහි බලපෑ සාධක
ප්රභාකරන් සටන් කළේ යථාර්ථවාදී අරමුණක් සඳහා නොව මනෝරාජික අරමුණක් සඳහාය. ප්රභාකරන් සිය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ යුද්ධය ගැන කෙළ පැමිණි දැනුමක් හිමි කරගත් පුද්ගලයකු වුවද තමන් ඉලක්ක කරගත් අරමුණ සපුරා ගැනීමට ඇත්ත හැකියාවක් තිබේද නැද්ද යන්න ගැන හරි තක්සේරුවක් කිරීමේ හැකියාවක් තිබූ ප්‍රඥාවන්ත නායකයෙක් නොවීය. ඔහු තමන්ට අවනත නොවන දෙමළ ජනතාව තොග ගණනින් ඝාතනය කළේය. තමන් අතර සිටින සුළු ජනයා කෙරෙහිද ඔහුට තිබුණේ සතුරු ආකල්පයකි. ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනයා මත නොයැපී වැඩි වශයෙන් දෙමළ ඩයස්පෝරාව මත යැපීමද ඔහුගේ පරාජය කෙරෙහි බලපෑ තවත් වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. දෙමළ ඩයස්පෝරාවට ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයන් පිළිබඳ හරි අවබෝධයක් නොතිබුණි. දෙමළ ඩයස්පෝරාවෙන් මහා ප්‍රමාණයන්ගෙන් ලැබෙන මුදල් නිසා, ප්රභාකරන් මුළුමනින් ආයුධ බලය කෙරෙහි පමණක් විශ්වාසය තබා ක්‍රියාකරන තත්ත්වයක් ඇති කර තිබුණි. රජීව් ගාන්ධි ඝාතනය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට හේතුවී සිටි නීලන් තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර් වැනි දෙමළ නායකයන් ඝාතනය කිරීම වැනි සිද්ධීන්ද, 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට ගනු ලැබූ තීන්දුවද ප්රභාකරන් කෙරෙහි විනාශකාරී ලෙස බලපෑවේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට තෝරා ගැනීමට වෙනත් විකල්පයක් නොතිබූ තත්ත්වයක් තුළ ඔවුන් අතර ප්රභාකරන් කෙරෙහි යම් අවනතභාවයක් තිබුණා වුවද ඔවුන් අතර ඔවුන් කෙරෙහි පූර්ණ විශ්වාසයක් නොතිබුණි. එම තත්ත්වයද එල්ටීටීඊයේ පැවැත්ම දුර්වල කිරීමට හේතුවී තිබුණි. උතුරේ කැරුණු යුද්ධයේදී තමන් යන යන තැන සාමාන්‍ය ජනයා ගෙන රැගෙන යෑමට ගනු ලැබූ තීන්දුවද මෝඩ තීන්දුවක් ලෙස සැලකිය හැකිය. එය ආරක්ෂක හමුදාවන්ට සටන් කිරීමට වඩා පහසු භූමියක් ලබා දුන්නේය.
ජයග්‍රහණය කෙරෙහි බලපෑ සාධක
යුද්ධයේ ජයග්‍රහණය කෙරෙහි බලපෑ දේශපාලන හේතු මෙසේ දැක්විය හැකිය. 1. රාජ්‍ය නායකයාගේ ස්ථිර අධිෂ්ඨානය. එල්ටීටීඊය අපරාජිත බලයක් නොව පරාජය කළ හැකි බලයක් බව විශ්වාස කිරීම හා එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය කරන තෙක් යුද්ධය නොකඩවා ඉදිරියට ගෙනයෑමට ඇති කරගෙන තිබුණු අධිෂ්ඨානය ඊට අදාළය. 2. යුද්ධය කරන ආරක්ෂක ප්‍රධානීන් කෙරෙහි විශ්වාසය තබා දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව යුද්ධය කරගෙන යෑමට ඉඩදීම හා තිබුණු ආර්ථික අමාරුකම් නොසලකා ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාදීම. 3. ආරක්ෂක හමුදාවන්ට තිබුණු පරාජිත පිළිගැනීම නැති කොට ඔවුන් ගෞරවනීය පිළිගැනීමක් ලබාදීම හා ඒ මගින් හමුදාව අතහැර පලායන්නන්ගේ ප්‍රමාණය අඩු කොට අලුතෙන් එකතුවන්නන්ගේ ප්‍රමාණයේ වේගවත් වර්ධනයක් ඇති කිරීම. 4. යුද්ධයට ඍජු ලෙස බාධා කිරීමේ හැකියාවක් තිබූ එකම රට ලෙස සැලකිය හැකි ඉන්දියාව සමග පූර්ණ අවබෝධයකින් ක්‍රියා කිරීම. 5. යුද්ධය දෙමළ ජනවර්ගයට එරෙහිව කැරෙන යුද්ධයක් නොවන බව හා ත්‍රස්තවාදී ව්‍යාපාරයකට එරෙහිව කැරෙන යුද්ධයක් පමණක් බව ජනතාවට ඒත්තු ගැන්වීම මගින් වර්ගවාදී ආවේගයන් මනා ලෙස කළමනාකරණය කිරීම.
මිලිටරි අර්ථයෙන් ජයග්‍රහණය කෙරෙහි බලපෑ ප්‍රධාන සාධක මෙසේය. 1. හමුදා ප්‍රධානීන් අතර පැවති තිර අධිෂ්ඨානය හා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක හමුදාව හා පොලිසිය අතර පැවති මනා සම්බන්ධීකරණය. 2. භූමියේ තිබෙන දුෂ්කරතා නොසලකා ප්රතිපක්ෂයට විරාම ගැනීමට ඉඩක් නොදී එක දිගට සටන් ක්‍රියාන්විතය ඉදිරියට ගෙනයෑම. 3. සංඛ්‍යා බලය යොදා සටන් කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඉවත් වී හොඳ පුහුණුවක් ඇති කුඩා කණ්ඩායම් යොදා සටන් කරන අතර අල්ලා ගත් ප්‍රදේශවල බලය පවත්වාගෙන යෑම සඳහා පමණක් සංඛ්‍යා බලය පාවිච්චි කිරීම. ඒ මගින් ප්රතිපක්ෂය විස්මයට පත් කරන හා ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටීමට හේතුවන ලෙස පහරදීම් කිරීමට සමත්වීම. 4. එල්ටීටිඊයට තිබුණු සැපයුම් මාර්ග විශාල ප්‍රමාණයකින් කපා හැරීමට සමත් වීම. 5. එල්ටීටීඊ සම්බන්ධතා ජාලය කඩා බිඳ දැමීමට සමත්වීම. 6. ඇප කැපවීම හා ධෛර්යය. 7. මහා කළමනාකරණය.
ජෙනරාල් ෆොන්සේකා ප්‍රකාශ කර තිබෙන ඇස්තමේන්තුවලට අනුව යුද්ධයෙන් මියගිය එල්ටීටීඊ කාර්යධරයන් සංඛ්‍යාව 15,000කි. මියගිය ආරක්ෂක හමුදාවල සංඛ්‍යාව 5200කි. ඉන් 190ක් නිලධාරීහුය. තුවාල ලැබූවන්ගේ සඛ්‍යාව 27,000කි.
යුද්ධය යුක්තිසහගතව සිදු කැරුණේද?
එල්ටීටීඊය යුද්ධයේ ලැබූ පරාජය ගැන හෝ ආරක්ෂක හමුදා ලැබූ ජයග්‍රහණය ගැන විවාදයක් නැත. යුද්ධය පිළිගත් සාධාරණ රාමුවක් තුළ සිදුකළේද නැද්ද යන්න ගැන අවසන් නොවූ විවාදයක් පවතී. සිවිල් වැසියන්ට විශාල හානියක් සිදුවී ඇති බව හා යුද අපරාධ ගණයෙහිලා සැලකිය හැකි අපරාධ විශාල ප්‍රමාණයක් සිදුවී ඇති බව දෙමළ ඩයස්පෝරාවේ සේ ම ඇමරිකාව ඇතුළු බටහිර රටවලද මතය වී තිබේ. එහෙත් ඒ මතය උඩින් පල්ලෙන් ලබාගත් කරුණු මත මිස හොඳින් කරුණු සොයා බැලීමකින් පසුව කරන දෙයක් ලෙස පෙනෙන්නේ නැත.
චිත්රයේ කළු පැල්ලම් තිබිය හැකිය. සමස්ත චිත්‍රය තුළ කළු පැල්ලම් නැත්තේ තැනින් තැන මිස විශාල වශයෙන් නොවේ. ජේවීපී දෙවැනි කැරැල්ල මර්දනය කිරීමේදී ආරක්ෂක හමුදා අනුගමනය කළ අනුකම්පාවිරහිත දැඩි ප්‍රතිපත්තියට වඩා එල්ටීටීඊය මර්දනය කිරීමේදී වඩා ක්‍රමවත් හා මෘදු පිළිවෙතක් අනුගමනය කර ඇති බව බැලූ බැල්මට වුවද දැකිය හැකිය. දෙවැනි කැරැල්ලේදී ප්රතිපක්ෂ දෙකම තමන් මරා දමන අයගේ මළ සිරුරු ප්‍රදර්ශනය කළේය. දෙවැනි කැරැල්ලේදී අත්අඩංගුවේ සිටි අයගෙන් ජීවත්වීමේ වාසනාව හිමිවූයේ කිහිපදෙනකුට පමණය. එල්ටීටීඊයට එරෙහිව කැරුණු අවසන් යුද්ධයේදී එල්ටීටීඊ ක්‍රියාධරයන් ලෙස හඳුනා ගත් 11,000කට ජීවත්වීමේ වාසනාව හිමිවිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධහිංසා විරෝධී කමිටුවේ 47 වන සැසිවාරය හා ශ්‍රී ලංකාවට අදාළව පැවති දින දෙකේ සැසිය ගැන සුනන්ද දේශප්‍රිය රාවයට ලියා තිබුණි. ඔහුද මෙම සැසියට සහභාගි වී තිබේ. ඔහු එහි සඳහන් කර තිබෙන තොරතුරු අනුව ක්‍රියාකාරී කමිටුවට 2006 සිට 2010 දක්වා කාලය සඳහා අතුරුදන්වීම් පිළිබඳව ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව 475කි. එම සංඛ්‍යාව විශ්ලේෂණයට ලක් කළ විට ලැබෙන චිත්‍රය කුමක්ද? ඒ සංඛ්‍යාව අවුරුදු හතරක කාලයක් සඳහාය. එවිට වසරකට සිදුවී තිබෙන අතුරුදන්වීම් සංඛ්‍යාව 118.75කි. රාජන් හූල් වාර්තා කර තිබෙන ආකාරයට 1996දී යාපනේ අල්ලා ගැනීම සඳහා දියත් කැරුණු ක්‍රියාන්විතයේදී මාස දෙකක කාලයක් තුළ යාපනයෙන් අතුරුදන්වූ අයගේ සංඛ්‍යාව 368කි. දෙවැනි ජේවීපී කැරැල්ලෙන් පසුව අතුරුදන් කිරීම් ගැන සොයා බලන්නට පත් කළ කොමිෂන් සභා දෙකට සිංහල දකුණෙන් ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 25,000කට ආසන්නය. අතුරුදන්කිරීම් අනුමත කිරීමේ හැකියාවක් නැතත් මීට පෙර පරිමාවෙන් කුඩා ක්‍රියාන්විතවලදී සිදුවී තිබෙන අතුරුදන් කිරීම්වලට අදාළ සංඛ්‍යා සමග සසඳන විට මෙම ක්‍රියාන්විතය පැවති කාලපරාසය තුළ වාර්තා වන අතුරුදන්වීම් සංඛ්‍යාව විශාල නොවන බව පෙනීයයි.
සිවිල් ජනයාට සිදුවී තිබෙන ජීවිත හානිය පිළිබඳව ශ්‍රී ලංකා විරෝධී ස්වරූපයකින් ඉදිරිපත් කැරෙන ඇස්තමේන්තුවල තර්කානුකූල පදනමක් තිබෙන බව පෙනෙන්නට නැත. එහිදී බොහෝ දෙනකු පදනම ලෙස යොදාගෙන තිබෙන්නේ ගෝර්ඩ්න් වයිස් ඉදිරිපත් කර තිබෙන දළ ඇස්තමේන්තුය. ඔහු කියන්නේ 15,000-40,000 අතර ප්‍රමාණයක සිවිල් වැසියන් මියයන්නට ඇති බවය. ඔහුගේ එම දළ ඇස්තමේන්තුව BBC, NDTV වැනි නාලිකා පාවිච්චි කරමින් තිබෙන්නේ සිවිල් වැසියන්ට සිදුවී තිබෙන ජීවිත හානිය 40,000ක් වශයෙනි.
මයිකල් රොබට්ස් මේ මෑතකදී “දි අයිලන්ඩ්” පුවත්පතට ලියන ලද ලිපියක දෙමළ උගතුන් තිදෙනකු වෙන් වශයෙන් කරන ලද සොයා බැලීම්වලින් පසුව සිදුවී තිබෙන මුළු ජීවිත හානිය පිළිබඳව (එල්ටීටීඊය හා සිවිල් වැසියන්) ඇස්තමේන්තු තුනක් පිළිබඳව විස්තර ඉදිරිපත් කැර තිබුණි.
මුතුක්රිෂ්ණ ශර්වානාදන් කොළඹ හා පේදුරුතුඩුවේ ජීවත් වන සමාජ විද්‍යාඥයෙකි. මුළු ජීවිත හානිය පිළිබඳ ඔහුගේ දළ ඇස්තමේන්තුව 12,000කි. නොයෙල් නඩේසන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන පශු වෛද්‍යවරයෙකි. ලංකාවේ දෙමළ ජනතාව පිළිබඳව කරුණු සොයා බැලීමට නිතර ශ්‍රී ලංකාවට යන එන පුද්ගලයෙකි. ඔහුගේ ඇස්තමේන්තුව 16,000කි. රාජසිංහම් නරේන්ද්‍රන් විදේශ රටක ජීවත් වන වෘත්තීය ආහාර උපදේශකයෙකි. ඔහුද නිතර ශ්‍රී ලංකාවට යන එන පුද්ගලයෙකි. ඔහුගේ ඇස්තමේන්තුව අනුව මුළු මරණ ගණන තිබෙන්නේ 10,000ක මට්ටමකය. ඔහු කියා තිබෙන ආකාරයට එය කිසිසේත්ම 15,000 ඉක්මවන්නේ නැත. ඔවුන් තිදෙනාම වෙන් වෙන් වශයෙන් මේ ඇස්තමේන්තු සකස් කර ඇත්තේ හිතේ මවා ගත් තොරතුරු මත නොව කඳවුරුවල සිටි හා ඉන් පිටත සිටි දෙමළ ජනතාව හමුවී ඔවුන්ගෙන් එකතු කරගත් තොරතුරු මතය.
එල්ටීටීඊ සටන්කරුවන් හා සිවිල් මිනිසුන් වෙන් කොට හඳුනා ගැනීම පහසු නැති බවද කිවයුතුය. නිල ඇඳුම්වලින් තොරව සිවිල් ඇඳුමින් සැරසී යුද්ධ කරන මිනිසුන්ගේ ඡායාරූප මා කොතෙකුත් දැක තිබේ. ඔවුන්ගේ මරාගෙන මැරෙන බලකායේ සෙබළුන් හා සෙබළියන් සිරිතක් වශයෙන් නිල ඇඳුම් පාවිච්චි කළේ නැත. තමිල් චෙල්වම් පවා වැඩි වශයෙන් පෙනීසිටියේ නිල ඇඳුමෙන් නොව සිවිල් ඇඳුමෙනි.
ගොඩ නැගී තිබෙන නව අවකාශය
තිබෙන සියලු කරුණු හොඳින් සැලකිල්ලට ගත්විට එල්ටීටීඊය පරාජය කිරීම සඳහා කර තිබෙන යුද්ධය පිළිගත හැකි ශිෂ්ටසම්පන්න රාමුවක සිදුවී තිබේය යන්න මා දරන මතයයි. යුද්ධය තුළ කිසිදු වරදක් සිදුවී නැති බව ඉන් අදහස්වන්නේ නැත. ත්‍රිකුණාමලයේ ශිෂ්‍යයන් පස්දෙනකු ඝාතනය කිරීම වැනි අවලස්සන දේවල් ද සිදුවී ඇතත්, එසේ සිදුවී තිබෙන දේවල ප්‍රමාණය යුද ජයග්‍රහණයේ සුජාතභාවය අවලංගු කිරීමට තරම් විශාල බවක් පෙනෙන්නේ නැත. චිත්රයේ කළු පැල්ලම් ඇතත්, කළු පැල්ලම් නැති කොටස විශාලය. ඉතාම වැදගත් දේ එල්ටීටීඊය පරාජය කිරීමේ අරමුණින් බැහැර වී දෙමළ ජනතාවට හානි කිරීමේ අරමුණින් ක්‍රියාකර තිබෙන බවක් පෙනෙන්නට නොතිබීමය.
මා මහින්ද රාජපක්ෂ පාලනයේ නොකැමති දේවල් බොහොමයක් ඇත්තේය. තිබුණු දූෂිත දේශපාලන ක්‍රමය පවත්වාගෙන යෑම, පවුල්වාදය, දූෂණය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම වැනි දෑ ඒ අතර ප්‍රධානය. ඒ සීමාසහිතකම් තිබියදීත් ප්රභාකරන්ට තිබූ අධිනිශ්චය බලය පරාජය කිරීමේදී ඒ සඳහා කැරුණු යුද්ධය ශිෂ්ටසම්පන්න රාමුවක තබා ගැනීමට සමත්වීම ඔහු පෙන්නුම් කර තිබෙන විශිෂ්ට ගුණාංගයක් ලෙස සැලකිය හැකිය. ඔහු එම සංවේදී විෂයේදී අනාගත්තේ නම්, පිස්සු නැටුවේ නම් හෝ ප්රභාකරන්ගේ ව්‍යාපාරය පරාජය කිරීමේ අරමුණට සීමා නොවී එය දෙමළ ජනතාව හිතාමතා පීඩාවට පත් කරන යුද්ධයක් බවට හරවා ගත්තේ නම් රටේ අනාගතය මුළුමනින් කාලකණ්ණි වන්නට ඉඩ තිබිණි. ජාතිය ගොඩනැගීම කිසිදා සපුරාගත නොහැකි බොරු සිහිනයක් වන්නට ඉඩ තිබුණි. ඔහු ප්රභාකරන් පරාජය කරන යුද්ධය ප්රශස්තව හා සාධාරණව සම්පූර්ණ කිරීමට සමත් වුවත් ඒ බව ලෝකයාට හොඳින් තහවුරු කිරීමට අසමත් විය. පළමු දේ සඳහා තිබූ අධිෂ්ඨානය හා ඇප කැපවීම දෙවැනි දේ සඳහා පෙන්නුම් කිරීමට අසමත් විය. ඒ සීමාසහිතකම් තිබියදීත් වඩා වැදගත් සංකීර්ණ කාරණයේදී ප්රශස්තව හා සාධාරණව ක්‍රියාකර තිබෙන බව පෙනේ. යුද අපරාධ විවාදය අවසන් වී නැතත්, එම විවාදය ශ්‍රී ලංකාවේ වාසියට හේතුවන ලෙස අවසන් වනු ඇතැ”යි අපේක්ෂා කළ හැකිය.
මෙහිදී වඩා වැදගත්වන්නේ ප්රභාකරන්ගේ අධිනිශ්චය බලයට අදාළ මාගේ තීසිසිය තර්කානුකූල අවසානයකට ගෙන ඒමය. ප්රභාකරන්ට තිබූ අධිනිශ්චය බලය අහෝසි කිරීමත් සමග දැන් තිබෙන ශ්‍රී ලංකාව පරණ ශ්‍රී ලංකාව නොව අලුත් ශ්‍රී ලංකාවකි. එම අලුත් ශ්‍රී ලංකාවේ ගතික ලක්ෂණයක්ද පැරණි ශ්‍රී ලංකාවේ ගතික ලක්ෂණයන්ට වඩා වෙනස්ය. ප්රභාකරන්ට තිබූ අධිනිශ්චය බලය අහෝසි කිරීම මගින් සිදුවී තිබෙන්නේ වසා තිබුණු නිදහසේ ප්‍රධාන වාන් දොරටුව විවෘත කිරීමය. ඉන්පසුව තිබෙන අප්‍රධාන දොරටු තවදුරටත් වසාගෙන සිටින්නේ නම් ඒවා කඩා බිඳගෙන නිදහසේ රළ වේගය ඉදිරියට ගලා යනු නොවැළැක්විය හැකිය. එම වාන් දොරටුව විවෘත කර දුන් වීරයාම වුවත් ඉදිරියට ගලා යන නිදහසේ රළ වේගයට අනුගත නොවී එය ඉදිරියට ගලා යෑම වළකන්නට උත්සාහ කළහොත් නිදහසේ වාන් දොරටුව විවෘත කළ වීරයා එම රළ පහරට හසුවී ගසාගෙන යන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. අධිවේග මාර්ගයක් ඇති කළ පසු එය නිර්මාණය කළ පුද්ගලයාටවත් ඒ මාර්ගයේ හිමින් ගමන් ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත. මාර්ගයේ නිර්මාතෘවරයා ඔහු වුවත් ඔහුද ඊට ගැළපෙන වේගයකින් ගමන් කළ යුතුය.
මට පෙනෙන අන්දමට අලුත් ශ්‍රී ලංකාව සමග අලුත් ශ්‍රී ලංකාවට පදනම දැමූ ආණ්ඩුව සේ ම ආණ්ඩුවට එරෙහිව සටන් කරන විරුද්ධ පක්ෂ බලවේගයන්ද ගනුදෙනු කරමින් තිබෙන්නේ අලුත් ශ්‍රී ලංකාව සමග නොව ඔවුන්ට හුරු පුරුදු පැරණි ශ්‍රී ලංකාව සමගය. දේශපාලන තලයේ ලොකුම අවුල ඇත්තේ එතැනය. පැරණි ශ්‍රී ලංකාවට ගැළපුණු බොහෝ දේවල් අලුත් ශ්‍රී ලංකාවට වලංගු නැත. අප නිදහස ලබාගන්නේ ශ්‍රී ලාංකික ජාතියක් හෝ ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරවය. ඒ දෙකම නැතිව ඉංග්‍රීසින් ඇති කළ ජාතික රාජ්‍යය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමය පවත්වාගෙන යන්නට අපි උත්සාහ කළෙමු. මෙතෙක් ඇතිවූ සියලු ලේ වැගිරීම් එම විකෘතියේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. ඒ අඩුව සම්පූර්ණ කරගැනීමේ හැකියාව ලැබී ඇත්තේද දැන්ය. ප්රභාකරන්ට අධිනිශ්චය බලය තිබෙන තෙක් දේශපාලන ක්රමයේ වෙනසක් ඇතිකර ගැනීමේ හැකියාවක් නොතිබුණි. ජාතිය ගොඩනැගිය යුතුව තිබුණේද ඔහුට තිබුණු තුවක්කුවේ බලයද සැලකිල්ලට ගනිමිනි. දැන් ඒ විලංගුව ඉවත්ව තිබෙන තත්ත්වයක් තුළ ජාතිය හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ගොඩනගා ගැනීමේ ක්‍රියාවලිය සාක්ෂාත් කරගැනීම පහසු අරමුණක් බවට පත්වී තිබේ. අලුත් ශ්‍රී ලංකාව සමගිසම්පන්නව හා වේගයෙන් ඉදිරියට යන ගෞරවනීය ශ්‍රී ලංකාවක් බවට පත්වනු ඇත්තේ වර්ග, කුල හා ආගම් භේද ඉවත් කොට සියලුදෙනාට සම අයිතිවාසිකම් ලබාදෙන ක්‍රමයක් තුළ ශ්‍රී ලංකා ජාතිය ගොඩනැගීමෙන් හා ප්රජාතන්ත්රවාදී වටිනාකම්වලට ගරු කරන රටක් ඇතිකර ගැනීමෙනි.