උගත් පාඩම් කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම සේ ම එල්ටීටීඊය පරාජය කැරුණු අවසාන යුද්ධයේදී මියගොස් තිබෙන අයගේ ඇත්ත සංඛ්‍යාව සොයාගැනීම සඳහා සංගණනයක් පැවැත්වීමද ඉතා වැදගත් ඉදිරි පියවර දෙකක් ලෙස සැලකිය හැකිය.
පසුගිය දශක හතරක කාලය තුළ දකුණේ සිංහල තරුණයන්ගේ කැරලි දෙකක්ද, වඩා දිග්ගැස්සුණු උතුරේ දෙමළ තරුණයන්ගේ කැරැල්ලක්ද ඇතිවිය. එම කැරලි තුනම විස්තර වන්නේ ත්‍රස්තවාදී කැරලි ලෙසය. එය නිවැරදි වුවත් මෙම කැරලි අහසින් වැටුණු කැරලි නොවීය. එම කැරලි ඇතිවීමට බලපෑ සමාජ-ආර්ථික හා දේශපාලන හේතු තිබුණි. කැරලිකරුවන් අතින්ද විශාල මනුෂ්‍ය ඝාතන සිදුවිය. ඔවුන් අතින් ඝාතනයට ලක්වූයේද අපේ රටේ ජනයාය. මෙම කැරලි මර්දනය කිරීමේදී ආරක්ෂක හමුදාවන් අතින්ද කැරලිකරුවන් විශාල පිරිසක් මරණයට පත්වූ අතර එසේ මරණයට පත්වූ අයද පිටස්තරයන් නොවන අතර අපේ රටේම ජනයා වෙති. සිංහල තරුණ කැරලි දෙකකට නායකත්වය දුන් රෝහණ විජේවීර සේ ම දිග්ගැස්සුණු දෙමළ තරුණ කැරැල්ලකට නායකත්වය දුන් වේළුපිල්ලේ ප්‍රභාකරන්ද මේ රටේ පුරවැසියන් බව අපි අමතක නොකළ යුතුය.
කෙළවරක් නැති තරමට ලේ හලන තත්ත්වයක් ඇති කළ දකුණෙහිත්, උතුරේත් ඇතිවූ මෙම කැරලි කෙරෙහි බලපා තිබෙන එක වැදගත් සාධකයක් වී ඇත්තේ අපේ රටේ පවත්නා වර්ගභේදය හා කුලභේදය යන සාධකයන්ය. ජේවීපී දෙවැනි කැරැල්ල ගැන සොයා බලන්නට පත් කළ තරුණ අසහන කොමිසම එම කැරැල්ල කෙරෙහි පමණක් නොව, උතුරේ කැරැල්ල කෙරෙහිද කුලභේදය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව පිළිගත්තේය. උගත් පාඩම් කොමිසම සලකා බලා ඇත්තේ උතුරේ ඇතිවූ පැන නැගීම් කෙරෙහි වර්ගභේදය බලපා තිබෙන ආකාරයයි.
අප නිදහස ලබාගන්නා අවස්ථාවේදී අපව දීර්ඝ කාලයක් රට යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන්ගෙන් ජාතික රාජ්‍යයක්ද, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ලැබුණි. ජාතික රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වුවද නිදහසින් පසු අපි ජාතික රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය ඉදිරියට ගෙන ගියේ එක්සත් ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරවය. ඉන්දියාවේ එක්සත් ජාතියක් ඇතිකර ගැනීම සඳහා මහත්මා ගාන්ධි ඉන්දීය සමාජය තුළ පැවති කුලභේදයට, ආගම් භේදයට හා වර්ග භේදයට එරෙහිව විශාල පරිමාණයේ මතවාදී අරගලයක නිරතවෙමින් කුලභේදයට, ආගම් භේදයට හා වර්ග භේදයට තිබුණු නිල සමාජ පිළිගැනීම නැති කළේය. අපේ රටේ කවදාවත් එවැනි දෙයක් සිදු නොවීය. ඒ සඳහා වන දැක්මක්ද අපේ නායකයන්ට නොතිබුණි. වර්ගය, කුලය හා ආගම් අනුව බෙදී සිටි ජනයා එකතු කරන්නට උත්සාහ කර ඇත්තේ චාටුකතා මගින් පමණය. ඉන්දියානු නිදහස් අරගලයේ නායකයන් නිදහස දිනාගැනීම සඳහා කැරෙන අහිංසාවාදී අරගලය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක්ද ගොඩ නැගුවේය. ඉන්දියාව, බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණු ජාතික රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය ඉදිරියට ගෙන ගියේ ඉන්දීය ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්ද ඇති කරගනිමිනි. නිදහස ලැබී අවුරුදු 23කට පසුව ශ්‍රී ලංකාව කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්වූයේ ජාතික රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය අප ඉදිරියට ගෙන ගියේ ශ්‍රී ලාංකික ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරවීම නිසාය. සමස්ත දේශපාලන ක්‍රමයේම ඇතිවී තිබෙන මහා විකෘතිය හා පරිහානිය කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය වී ඇත්තේද එයයි.
විටින් විට මතුවූ කැරලි තුනක් ජයගැනීමෙන් පසු දැන් අප රටක් වශයෙන් සාර්ථක ඉදිරි ගමනක් බලාපොරොත්තු වන්නේ නම්, ශ්‍රී ලංකා ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට අපි සාර්ථක පිළිතුරක් සොයා ගත යුතුය. ඒ සාධක දෙකම අන්තර් සම්බන්ධයක් ඇති සාධක වන බවද අපි අමතක නොකළ යුතුය. ඒ අරමුණ සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ වර්ග භේදය, කුලභේදය හා ආගම් භේදයට තිබෙන නිල පිළිගැනීම අහිමි කොට ඒ සියලුදෙනා සමාන අයිතිවාසිකම් ඇති මිනිසුන් බවට පත්කිරීමය.
කැරැල්ලක් පරාජය කිරීමෙන් පසු ඒ කැරැල්ල කෙරෙහි බලපෑ හේතු මොනවාදැ”යි සොයා බැලීම පමණක් ප්‍රමාණවත් නැත. සොයා ගත් හේතූන්ට පිළියම් යෙදීමද අත්‍යවශ්‍යය. ජේවීපී දෙවැනි කැරැල්ලක් ගැන සොයා බැලීම සඳහා කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කළේ නැත. ඒ වැරැද්ද නැවත වන්නට ඉඩ නොදිය යුතුය. උගත් පාඩම් කොමිෂන් සභාවේ වාර්තාවට සීමා නොවී තරුණ අසහන කොමිෂන් සභා වාර්තාවද එකට ගෙන එම නිර්දේශ ක්‍රියාත්මක කරන තැනකට රට යා යුතුය. ඒ සඳහා රටේ උගත් මහජනයාද ඒ ගැන හඬ නගන තැනකට යායුතුය.