ගෝනිවල අසුරා කැරෙන එළවළු ප්‍රවාහනයේදී සමහර එළවළු තැලී පොඩිවී ලොකු නාස්තියක් සිදුවන බව බොරුවක් වන්නේ නැත. ඒ ගැන කරන සොයාබැලීම් ආරම්භ වූයේ 70 දශකය තරම් ඈතකදීය. මේ නාස්තිය වළකා ගැනීම අවශ්‍ය වුවත් එය විසඳන්නට උත්සාහ කරමින් තිබෙන ආකාරය යහපත් නැත. මෙවැනි දෙයකදී පළමුවෙන්ම විය යුත්තේ තිබෙන ප්රශ්නය හරියාකාරව හඳුනා ගැනීමය. ඉන්පසු ඊට හරි විසඳුමක් ලබාදීමය. විසඳුමට ලැබෙන වැදගත්කම ප්‍රශ්නයට සම්බන්ධ හැම පාර්ශ්වයකටම කියාදීමය. ඉන්පසු එකවර ජාතික මට්ටමෙන් ක්‍රියාවට නගන පිළිවෙතක් වෙනුවට තෝරාගත් ප්‍රදේශයක හෝ කිහිපයක පමණක් ක්‍රියාවට නගන පිළිවෙතක් තුළ එය ක්‍රියාවට නැගීමේදී ඇතිවන ගැටලු තවදුරටත් තේරුම් ගැනීමය. එය සාර්ථක ක්‍රියාමාර්ගයක් මගින් නියැදි මට්ටමකින් සනාථ කිරීමය. ඒ මගින් ඒ වැඩසටහන සාර්ථක වැඩසටහනක් බව මහජනයාට සනාථ කිරීමය.
එහෙත් වෙළෙඳ ඇමතිවරයා ඒ සඳහා යොදාගත් වැඩපිළිවෙළ සන්සුන්ව හා හොඳින් කරුණු සලකා බලා ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාවට නගන්නට උත්සාහ කළ වැඩපිළිවෙළක් නොවීය. එය හොඳින් කරුණු සලකා බැලීමකින් තොරව දැඩිබිඩියේ ක්‍රියාවට නගන ලද දඩිබිඩි වැඩසටහනක් ලෙස සැලකිය හැකිය.
ගෝනි වෙනුවට ප්ලාස්ටික් බහාලුම් යොදාගත යුතු බවට නියම කරන විට ප්ලාස්ටික් බහාලුම් සඳහා විශාල වියදමක් දරන්නට ගොවීන්ට සිදුවන බව හා ඒ වියදම සහන ක්‍රමයක් නැතිව තනිව දැරීමේ හැකියාවක් ගොවීන්ට තිබේද යන්න සොයා බැලිය යුතුව තිබුණේය. දරන්නට සිදුවන වියදම ඔවුන්ට දැරිය නොහැකි තරමේ විශාල එකක් නම් සහන මිලකට හා කොටස් වශයෙන් ගෙවිය හැකි ක්‍රමයකට බහාලුම් ලබාදෙන ක්‍රමයක් ඇති කළ යුතුව තිබුණි.
තෝරාගත් ප්ලාස්ටික් බහාලුම් මාදිලිය ඒ සඳහා තිබුණු හොඳම ආකෘතිය මේයැ”යි කිව නොහැකිය. ලොරිවල එළවළු පටවාගෙන එන ලොරිකරුවෝ ආපසු යනවිට වෙනත් මොන මොනවා හෝ රැගෙන යන්නේය. ගෝනි සමග කරන ප්‍රවාහනයේදී ඊට ඉඩක් ඇතත්, ප්ලාස්ටික් බහාලුම් සමග කරන ප්‍රවාහනයේදී ආපසු යන ගමනේදී වෙනත් භාණ්ඩ ආපසු රැගෙන යෑමේ හැකියාවක් නැත. මක්නිසාදයත් නිර්දේශ කර තිබෙන බහාලුමේ පෙට්ටි ස්වරූපය වෙනස් කළ නොහැකි අනම්‍ය දෙයක් වන නිසාය. එවිට ලොරිකරුවන්ට එළවළු ප්‍රවාහනය සඳහා අය කැරෙන මිල දෙගුණ කරන්නට සිදුවන්්නේය.
මෙම බහාලුව එළවළු ප්‍රවාහනය සඳහාම විශේෂයෙන් සකස් කරන ලද්දක් නොවේ. වෙළෙඳපොළේ තිබුණු සාමාන්‍ය ආකෘතියකි. එළවළු ප්‍රවාහනය කිරීමෙන් පසු බහාලුම් පෙට්ටි ස්වරූපය වෙනස් කළ හැකි ආකාරයටද ප්ලාස්ටික් බහාලුමක් නිපදවිය හැකිය. එසේ කළහොත් කොළඹට එළවළු රැගෙන එන ලොරිවලට ආපසු යන විට වෙනත් භාණ්ඩ රැගෙන යෑමට අවහිරයක් වන්නේ නැත.
එළවළු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් බහාලුම් අනිවාර්ය කරන්නේ නම් ප්ලාස්ටික් බහාලුම් සඳහා අතිවිශාල වෙළෙඳපොළක් ගොඩනැගෙන්නේය. එවැනි විශාල ඉල්ලුමක් ඇතිවිට බහාලුමේ ආකෘතිය වෙනස් කිරීම අමාරු නැත. එළවළු ප්‍රවාහනය කරන විට පෙට්ටි ස්වරූපයටත් හිස් බහාලුම් ආපසු ගෙනයන විට එහි පෙට්ටි ස්වරූපය නැතිවන ආකාරයටත් එළවළු හා පලතුරු ප්‍රවාහනය සඳහාම සුදුසු බහාලුමක් නිපදවීමට බැරිකමක් තිබිය නොහැකිය. ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් තිබෙන ආකෘතිය වෙනුවට අවශ්‍ය විට වෙනස් කළ හැකි නම්‍යශීලී ආකෘතියක් නිපදවන ලෙස ඉල්ලා සිටියහොත් ඔවුන් එසේ කරනු ඇතැ”යි සිතිය හැකිය. ආකෘතියේ එවැනි වෙනසක් ඇති කරගත හැකි නම් ප්‍රවාහනයේදී මතුවන බොහෝ දුෂ්කර ප්‍රශ්න විසඳාගත හැකිය.
ඒ සමග මිලද සැලකිල්ලට ලක්විය යුතුව තිබෙන වැදගත් සාධකයකි. සුළු පරිමාණයෙන් කැරෙන නිෂ්පාදනයන් සඳහා ලබාදී තිබෙන මිල මහා පරිමාණයේ නිෂ්පාදනයන් සඳහා ලබාදීම සාධාරණ නැත. ඊටද ආණ්ඩුවට මැදිහත් විය හැකිය.
නව ක්‍රමය නිසා සිදුවන නාස්තිය වැළකීමෙන් රටට විශාල ලාභයක් ලැබේ නම් නව ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා වියදමක් දැරීම පාඩුවක් වන්නේ නැත. ප්ලාස්ටික් බහාලුම් සඳහා ගොවීන්ට විශාල වියදමක් දරන්නට සිදුවේ නම් හා එය ගොවීන්ට ඔරොත්තු නොදෙන තරමේ වියදමක් වේ නම් කොටස් වශයෙන් ආපසු ගෙවන ක්‍රමයකට ගොවීන්ට ප්ලාස්ටික් බහාලුම් ලබාදීමේ හැකියාව ආණ්ඩුවට තිබිය යුතුය. ඊට ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදකයන් හා බැංකු සම්බන්ධ කරගන්නා වැඩපිළිවෙළක් ඇති කළ හැකිය.
හොඳ දෙයක් වුවත් විධිමත් හා ක්රමානුකූල ලෙස සිදු නොකොට දඩිබිඩියේ කරන්නට ගිය විට හොඳ දේට ලැබිය යුතු පිළිගැනීමද අහිමිවිය හැකිය.