සරත් සිල්වා හා තේරීම් කාරක සභාව

September 4, 2011
Publication:
The papers report that the government has decided to appoint a parliamentary select committee to look into the wrongs done in the judiciary during Sarath N. Silva's time as chief justice. He says it is being done to suppress the fight he is now carrying on against the government's corruption, and that since he is a retired citizen the government has no power to appoint a committee to inquire into him.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලන කාලය තුළ අධිකරණයේ සිදුවී තිබෙන වැරදි සොයා බැලීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට තීරණය කර ඇති බව පුවත්පත් වාර්තා කොට තිබුණි. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඒ ගැන කියන්නේ ආණ්ඩුවේ දූෂණයට එරෙහිව තමන් කරමින් සිටින සටන යටපත් කිරීමේ අරමුණින් එසේ කරන බවය. දැන් තමන් විශ්‍රාම ගිය පුරවැසියකු වන නිසා තමන් ගැන සොයා බලන තේරීම් කාරක සභාවක් පත්කිරීමේ බලයක් ආණ්ඩුවට නැති බවය.

අපේ මතය අනුව සරත් නන්ද සිල්වා සුපිරිම තත්ත්වයෙහිලා සැලකිය හැකි දූෂිතයෙකි. එසේ තිබියදීත් ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය ඔහුට ද තිබිය යුතුය. ඒ සමග ඔහුගේ පාලන කාලයේ අධිකරණයේ සිදුවී තිබෙන දූෂණ ගැන සොයා බලන්නට ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නේ නම් එය කුමන අරමුණකින් කරනු ලබන්නක් වුවද ඊට ද අප පක්ෂපාතය.

හේතුව ඔහු කර තිබෙන විනාශය දැවැන්ත නිසාය. ඔහුගේ නීති විරෝධී අත්තනෝමතික ක්‍රියාවන්ගෙන් බැට කෑ අයගේ සංඛ්‍යාව දහස් ගණනක් තරම් විශාල වන නිසාය. ඔවුන්ට සිදුවී තිබෙන අසාධාරණයන් නිවැරදි කිරීම අවශ්‍ය නිසාය.

එක්තරා විශාල ප්‍රමාණයකට ස්වාධීනව හා මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන තත්ත්වයක තිබූ අධිකරණය ආපස්සට හරවනු ලැබුවේ ඔහුය. තමන් වනචරවීමෙන් නොනැවතී සෙසු අධිකරණ නිලධාරීන්ටද වනචර වීමට බල කරනු ලැබුවේ ඔහු විසිනි. තමාගේ නඩුව තමා විසින්ම අසන ක්‍රමයක් ස්ථාපිත කළේ ඔහුය. අධිකරණය දූෂණයෙන්ද, වනචරකමෙන්ද ගඳ ගසන ආයතන ක්‍රමයක් බවට පත් කළේ ඔහුය. අධිකරණයට තිබූ මහජන විශ්වාසය හා ගෞරවය අත්හැරීමට හේතුවූ පුද්ගලයා ඔහුය. අධිකරණය තමන්ට සම්බන්ධකම් තිබූ පාතාල ලෝකයේ කුලී මිනීමරුවන්ට රැකවරණය ලබාදෙන ආයතනයක් බවට පත් කළේ ඔහුය. විනිශ්චයකාරවරුන්ට නීතියට අනුකූලව හා හිතට එකඟව ක්‍රියාකිරීමට තිබෙන අයිතිය අහිමි කළේ ඔහුය.

ඔහුගේ පාලන කාලය තුළ සිදුවී තිබෙන වැරදි ගැන කරුණු සොයා බලන තේරීම් කාරක සභාවක් තෝරාගත් දේවල් කිිහිපයකට සීමා නොවී පුළුල්ව කරුණු සොයා බලන තැනකට යායුතුය. විශේෂයෙන්ම ඔහු විසින් දෙන ලද නඩු තීන්දු ගැන පවා සොයා බලන තැනකට යායුතුය. ඔහු තමන්ට හිතවත් හා ප්‍රයෝජනයට ගතහැකි මිනිසුන් සඳහා නීතිය නොසලකා වාසිදායක නඩු තීන්දු ලබාදෙන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. ඒ මගින් පමණක් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකිය. අධිකරණයට අදාළව ලෝක බැංකු ආධාර ව්‍යාපෘතියක් ඔහු සියතට ගත්තේය. එම ව්‍යාපෘතිය සඳහා වෙන් කැරුණු මුදල් ප්‍රමාණය ඉතා විශාල වන අතර ඒ ව්‍යාපෘතියේ සිදුවූ දූෂණවල පරිමාව ද දැවැන්තය. එය අධිකරණය විසින් රාජසන්තක කරන වටිනා පුරාවස්තු තමන්ගේ හිතවතුන්ට තෑගි දෙන ක්‍රමයක් පවත්වාගෙන ගියේය. එය සංවිධානාත්මකව පවත්වාගෙන ගිය පුරාවස්තු ජාවාරමක් බව තතු දත් සමහර අයගේ මතය වී තිබේ. ඔහු සමහර නඩුවලදී ද්‍රව්‍යමය වශයෙන් අල්ලස් ලබාගෙන ඇති බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. ලිංගික අල්ලස් ලබාගනිමින් නඩු තීන්දු කෙරෙහි බලපෑ අවස්ථා ද පවතී.

ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ වැරදි ගැන සොයා බැලීම අවශ්‍ය වන්නේ සිදුවී තිබෙන වැරදි නිවැරදි කරගැනීම සඳහා පමණක් නොව, නැවත මහජන ගෞරවයට හේතුවන අධිකරණ ක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද යන්න තේරුම් ගැනීමට ඒ මගින් අවස්ථාවක් ලැබෙන නිසාය.