මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආශ්‍රයෙන් සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ අලුත් අර්බුදයත් කරළියට එමින් තිබෙන බව පෙනේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර පවත්වාගෙන ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රමයකට ඉඩදිය යුතු නැතැ”යි කියන ආදානග්‍රාහී මතයෙන් ඉවත් වී අලුතෙන් වෛද්‍ය විද්‍යාල ඇති කරන්නේ නම් ඒවා නිසි ප්‍රමිති තත්ත්වයක තිබිය යුතුය කියන මතය ඉදිරිපත් කරන තැනකට පැමිණ ඇති බව පෙනේ. ඒ ප්‍රවේශය තර්කානුකූල සේ ම නිවැරදිය.
පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයකට රටේ ඉඩ තිබිය යුතුය. එහෙත් ඒවා උපාධි සහතික විකුණන සිල්ලර කඩ නොවිය යුතුය. නිසි ප්‍රමිතියක් ඇති ආණ්ඩුවේ විශ්වවිද්‍යාල ක්‍රමයට වඩා උසස් තත්ත්වයක් හා ගුණයක් පෙන්නුම් කරන විශ්වවිද්‍යාල ක්‍රමයක් විය යුතුය.
මාලබේ වෛද්‍ය විද්‍යාලය නිසි ප්‍රමිති තත්ත්වයක නොපවතී නම් එම ප්‍රමිති තත්ත්වය ඇතිකර ගන්නා තෙක් වෛද්‍ය විද්‍යාලයක තත්ත්වය එයට ලබා නොදිය යුතුය. එහෙත් ඔවුන්ට එය නිසි ප්‍රමිති තත්ත්වයකට ගැනීමට ආණ්ඩුව ඔවුන්ට අනුබල දෙන තත්ත්වයක් අනුගමනය කළාට වැරදි නැත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඉඩදීමේදී ඒ සඳහා අවශ්‍ය දැනුම, පළපුරුද්ද හා ආයෝජන හැකියාව ආයෝජකයාට තිබේද යන්න හොඳින් සලකා බැලිය යුතුය. ඒ හැකියාව නැති කිසිම ආයතනයකට ශිෂ්‍යයන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයකට පක්ෂවීමේදීත් විරුද්ධවීමේදීත් අන්තවාදී තැනකට යෑමෙන් ආණ්ඩුව ද, වෘත්තීයවේදීන් ද, ශිෂ්‍යයන් ද වැළකිය යුතුය.
පෞද්ගලික විශ්වවිද්‍යාලයකට මුළුමනින් විරුද්ධවීම එක් අන්තවාදයක් වන අතර පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයකට ඉඩදීමේ නාමයෙන් නිසි ප්‍රමිතියකට නැති උපාධි විකුණන කඩ ක්‍රමයකට ඉඩදීම ද තවත් අන්තවාදයක් ලෙස සැලකිය හැකිය.
වෛද්‍ය සභාව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය ඇමතිවරයා මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ඇති කරගෙන තිබෙන එකඟත්වය පිළිගත හැකි යහපත් එකඟත්වයක් ලෙස සැලකිය හැකිය. පෞද්ගලික විශ්වවිද්‍යාලයක තිබිය යුතු ප්‍රමිති තත්ත්වය පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පංච පුද්ගල කමිටුවක් ඇමතිවරයා විසින් පත්කොට ඇති අතර එම පංච පුද්ගල කමිටුවට නියෝජිතයන් තෝරා ගැනෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන ආයතන තුනෙනි. ඉන්පසු මාස දෙකක කාලයක් තුළ වෛද්‍ය විද්‍යාලයක් සඳහා තිබිය යුතු ප්‍රමිති තත්ත්වය ගැසට් කිරීමට නියමිතය.
ඇති කරගත් මේ එකඟතාව ප්‍රශස්තය. ප්‍රකාශ කැරෙන ප්‍රමිති තත්ත්වයට මාලබේ වෛද්‍ය විද්‍යාලය අනුකූල නොවේ නම්, අනුමැතිය සඳහා එම කොන්දේසි සම්පූර්ණ කරන ලද ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. ඒ සඳහා ඔවුන්ට අනුබල දෙන ප්‍රතිපත්තියක් රජයට පවත්වාගෙන යා හැකිය. කොන්දේසි සම්පූර්ණ කිරීමට අසමත්වේ නම් එම කොන්දේසි සම්පූර්ණ කිරීමේ ශක්තිය ඇති අලුත් ආයෝජකයකුට ආයතනය විකුණන තැනකට යන්නට ඔවුන්ට සිදුවනු ඇත.
මෙහිදී ගිරයට හසුවූ පුවක්ගෙඩියක තත්ත්වයට පත්ව ඇත්තෝ දැනට එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝය. මෙයින් ඉගෙනගත හැකි පාඩම වනුයේ පරිපූර්ණ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන තෙක් ශිෂ්‍යයන් ඇතුළත් කරගැනීමට ඉඩ නොදෙන ප්‍රතිපත්තියක් ඇති කිරීමය.