ගාලු මුවදොර ඉදිරිපස මුහුදේ ඉදිකෙරෙමින් පවතින අක්කර 500ක දූපත චීන ආයෝජකයකුට ඩොලර් මිලියන 700කට විකිණීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. විදේශ ආයෝජකයන්ට ඉඩම් විකිණීමේදී දැනට අය කෙරෙන 100% බද්ද ඉවත් කිරීමටත්, විදේශ ආයෝජකයන්ට ඉඩම් ලබාදීමේදී අවුරුදු 99 කාලසීමාවකට බදු දෙන පිළිවෙතද ඉවත් කොට සින්නක්කරයට විකුණන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටින බවද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණි.
ඉදිකැරෙමින් තිබෙන දූපත විකුණන්නට යන මිල බැලූ බැල්මට ඉතා විශාල වුවත් එය ඉදිකරන්නට යන වියදම කොතරම්ද යන්න නොපැහැදිලිය. ඒ නිසා ලාභ අලාභ ගැන දළ අදහසක් ඇතිකර ගැනීමද පහසු නැත.
මීට පෙරද ආණ්ඩුව ගාලු මුවදොර අසල පිහිටි හමුදා මූලස්ථානය පැවති පරිශ්‍රයෙන් අක්කර 10ක භූමි ප්‍රමාණයක් හෝටල් ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 125කට හොංකොං සමාගමකට විකුණූ බව වාර්තා විය. ඊට පසු බේරේ වැවට යාව ඇති තවත් අක්කර 10ක භූමි ප්‍රමාණයක් හෝටල් ව්‍යාපෘතියක් හා සාප්පු සංකීර්ණයක් සඳහා චීන සමාගමකට රුපියල් මිලියන 136කට විකුණූ බවද වාර්තා විය.
මීට අතිරේකව කල්පිටිය අවට මුහුදේ ඇති බත්තලංගුණ්ඩුව දූපත ඇතුළු දූපත් 13ක් ආයෝජකයන්ට විකිණීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.
විදේශ ආයෝජකයන්ට ඉඩම් විකුණන පිළිවෙතක් උණුසුම් වාද විවාදවලට හේතුවනු නොවැළැක්විය හැකිය. එහෙත් විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබාදෙන ප්රතිපත්තියකින් මෙපිට ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාවක් ද නොපවතී. අවුරුදු 99 බදු පිළිවෙත කිසිදු තේරුමක් නැති පිළිවෙතක් ලෙස සැලකිය හැකිය. අවුරුදු 99ක් යනු මිනිසකුගේ ජීවිත කාලයටත් වැඩි දීර්ඝ කාලයකි. අවුරුදු 99 අවසන්වීමෙන් පසු මේ ඉඩම් ආපසු භාරදීමක් හෝ පවරා ගැනීමක් සිදුවන්නේද. එයින් වන එකම දේ ඉඩමට උපරිම මිලක් ලබාගැනීමට තිබෙන හැකියාව දුර්වල වීම පමණය. විදේශ මිලදී ගැනීම් සඳහා 100%ක බද්දක් අය කැරෙන පිළිවෙතද ප්‍රායෝගික නැත. බොහෝවිට සිදුවන්නේ බද්දෙන් නිදහස්වීම සඳහා දේශීය පුද්ගලයකු නමට ඉඩම මිලදී ගැනීම හා ඉන්පසු බොහෝවිට දේශීය පුද්ගලයා සමග ඇතිකර ගන්නා ආරාවුල් නිසා ඒ සමස්ත ව්‍යාපාරයම අවුල් ජාලාවකට තල්ලුවීමය. මේ නිසා මීට අවුරුදු කිහිපයකට ඉහතදී ජවි පෙරමුණෙන් එල්ල වූ බලපෑම් මත ඇති කරන ලද තහංචි ඉවත් කිරීම යහපත්ය. එය විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට තිබූ ප්‍රධාන බාධාවක් ඉවත් කිරීමක් ලෙස සැලකිය හැකිය.
යුද්ධය අවසන් කිරීමෙන් පසු විදේශ ආයෝජනවලදී කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයේදී පමණය.
2011 වසරේ පළමු මාස පහේ සංචාරක පැමිණීම් පසුගිය වසරේ ඒ කාලය සමග සසඳන විට 40.2%ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2010 වසරේ පළමු මාස පහේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 233922කි. මේ වසරේ එය 327902කි.
මේ කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ විනිමය ආදායමේ ද 64%ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2010 වසරේ පළමු මාස 05 උපයන ලද ආදායම ඩොලර් මිලියන 350කි. 2011දී ඒ කාලය තුළ එය ඩොලර් මිලියන 575කි.
සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ පහසුවෙන්ම දියුණු කළ හැකිව තිබෙන කර්මාන්තයක් ලෙස සැලකිය හැකිය. වර්තමානයේ පමණක් නොව, ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සැලකුණේ ලෝකයේ තිබෙන ලස්සණම දිවයිනක් ලෙසය. පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමෙන් පසු 1293දී පමණ ලංකාවට පැමිණි මාර්කෝ පෝලෝ ලංකාව “සෙරන්දීබ්” ලෙස හඳුන්වමින් එය ලෝකයේ තිබෙන සුන්දරම දිවයින බව සඳහන් කර තිබේ. විශාලත්වය වර්ග සැතපුම් 25,000කට වැඩි නොවූවද රට විස්මජනක විවිධත්වයකින්ද, ස්වාභාවික දර්ශනයන්ගෙන්ද යුතුය. දේශපාලන ක්‍රමය හා දේශපාලන සංස්කෘතිය හැරුණු විට අන් හැම දෙයක්ම ලස්සණයැ”යි කිව හැකිය. එය දියුණු ඉපැරණි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් ඇති රටක් ලෙස සැලකිය හැකිය. රටේ ජනතාව උගත්ය. පිරිසිදුය. ප්‍රියජනකය. ශ්‍රී ලංකාව සඳහා වර්තමාන ආණ්ඩුව යොදාගෙන තිබෙන ආසියාවේ ආශ්චර්ය යන යෙදුම ආකර්ෂණීය යෙදුමක් ලෙස සැලකිය නොහැකිය. එය ශ්‍රී ලංකාවේ නියම ගතිය ප්‍රකාශ කරන්නේ නැත. වර්තමානයේ ඉන්දියාව භාවිත කරන ෂබජරු්ාසඉකැ ෂබාස් (අසිරිමත් ඉන්දියාව) යන යෙදුම ඉන්දියාවට අලුත් පෙනුමක් ද වටිනාකමක් ද ලබා දුන්නේය. අපද රටට ආවේණික සුවිශේෂ ගතිලක්ෂණ පෙන්නුම් කරන උචිත අලුත් පාඨකයකට මාරුවිය යුතුය.
සංචාරක කර්මාන්තය දෙපැත්ත කැපෙන ආයුධයකි. එය රටට ලබාදෙන කර්මාන්තයක් වනවාට අතිරේකව එය සමාජය කෙරෙහි හානිදායී බලපෑම් ඇති කරන කර්මාන්තයක් ලෙසද ක්‍රියා කළ හැකිය. සංචාරක කර්මාන්තයෙන් උපරිම ඵල නෙලාගන්නා අතර ඇති කරන හානි අවම කරන දර්ශනයක් රටට තිබිය යුතුය. ඒ සමග එය දියුණු කළ යුතුව තිබෙන්නේ ජන ජීවිතය ද ඊට බද්ධ කරගනිමින් ප්රතිලාභ ව්‍යාපාරිකයන් සුළු පිරිසක් අතට යනවා වෙනුවට ජනතාව අතරටද පොදුවේ බෙදී යන ආකාරයටය. මුහුදු වෙරළේ ලස්සණ කෙරෙහි මුහුද හා වැල්ල පමණක් නොව, පිටරැටියන්ගේ හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ද වැල්ලේ නවතා තිබෙන මසුන්ගේ බෝට්ටු ද බලපායි. ධීවරයන් හා ඔවුන්ගේ බෝට්ටු ඉවත් කළ වෙරළක් ලස්සණ වෙරළක් ලෙස සැලකිය නොහැකිය. මෙම ධර්මතාවද සංචාරකයන්ගේ උනන්දුවට හේතුවන හස්ත කර්මාන්තය ඇතුළු අන් හැම දෙයකටම අදාළය. දුම්බර පැදුරකට නියම වටිනාකමක් ලැබෙනුයේ එම නිර්මාණය සමග නිර්මාණකරුවාගේ සජීවි ජීවිතයද එයට එකතු වූ විටය. සංචාරක කර්මාන්තයේදී මේ සාධක දෙක එකට එකතු කරන දර්ශනයක් අප රටට තිබිය යුතුය. මැණික්වලදී ලෝකයේ තිබෙන හොඳම නිල් මැණික් ලබාගත හැකි රට ලෙස සැලකෙන්නේ ලංකාවය. එහෙත් සංචාරක කර්මාන්තයේදී සාප්පුවක ඇති සේප්පුවක ප්‍රදර්ශනය කරන නිල් මැණිකකට ඔහුගේ දර්ශනය සීමා නොකළ යුතුය. මැණික් ගරන මිනිසුන් සහිත පතලද ඔහුට දක්නට සැලැස්විය යුතුය.
තාමත් ලෝකයේ හොඳම කුරුඳු ඇත්තේ ශ්‍රී ලංකාවටය. කලක් පෘතුගීසීන්ට සේ ම ලන්දේසීන්ට ද ඊට පෙර අරාබි වෙළෙන්දන්ට ද ලංකාව වැදගත් වූ එක් ප්‍රධාන සාධකයක් වූයේ කුරුඳුය. ඒ හැම කෙනකුම කැරකුණේ කුරුඳු වගාව මතය.
එහෙත් අවාසනාවකට අපි තාමත් දන්නේ නිපදවන කුරුඳු අපට වඩා බාල කුරුඳු නිපදවන රටකට තොග වශයෙන් විකිණීම පමණය. ඔවුන් තමන් නිපදවන කුරුඳුවලට හොඳ පෙනුමක් ලබාදීම සඳහා අපේ කුරුඳු පාවිච්චි කරති. අපි කුරුඳුවලින් උපයන්නේ කුරුඳුවලින් උපයාගත හැකි ඇත්ත ආදායමෙන් සුළු කොටසක් පමණය. කුරුඳුද සංචාරක වැදගත්කමක් ඇති දෙයක් බවට පත් කරගත හැකිය. එහෙත් එයට නියම සංචාරක වැදගත්කමක් ලැබෙනු ඇත්තේ කුරුඳු සමග කුරුඳු තැලීමේ ක්රියාවලියද ඔවුන්ට පෙනෙන්නට සලස්වන්නේ නම් පමණය.
පැණි ගණයට වැටෙන සිරප් වර්ගවලට ලෝකයේ විශේෂ පිළිගැනීමක් ලැබී තිබේ. ලෝකයේ විවිධ රටවල් විවිධ දේවලින් නිපදවන පැණි හා හකුරු කර්මාන්තය තිබෙන්නේ අද්විතීය තත්ත්වයක් ලබාදිය හැකි තත්ත්වයකය. එහිදීද කිතුල් පැණිවලට හා හකුරුවලට නියම සංචාරක වැදගත්කමක් ලබාදිය හැක්කේ එම නිෂ්පාදන සමග ඒවා නිපදවන ක්රියාවලියද ඔවුන්ට පෙනෙන්නට සැලැස්වීමෙනි.
සංචාරක කර්මාන්තයට වැදගත්කමක් ලබාදී ඇති හැම රටක්ම පාහේ සංචාරක වැදගත්කමක් ලබාදිය හැකි හැමදේකටම විශාල වැදගත්කමක් ලබාදී තිබේ. එහිදී අපට තිබෙන, තවමත් ප්‍රමාණවත් තරම් වැදගත්කමක් ලබාදී නැති දේවල විවිධත්වය හා ප්‍රමාණය ඉතා විශාලය. කුරුඳු නිපදවන, කිතුල් පැණි හකුරු නිපදවන, සාම්ප්‍රදායික අත්කම් කරන, තෝරාගත් ගම් ගණනාවක් සංචාරක ගම් බවට පත්කළ හැකිය. මැණික් ගරන තෝරාගත් පතල් දෙකක් සංචාරක මැණික් පතල් බවට පත් කළ හැකිය. එවැනි තෝරාගත් ස්ථාන ලස්සණට පවත්වාගෙන යෑමේ හා නඩත්තු කිරීමේ වගකීම පෞද්ගලික අංශයේ සංචාරක සමාගම්වලට පැවරිය හැකිය. ඒ මගින් ඒවා නඩත්තු කරන සංචාරක සමාගම්වලට විශේෂ වටිනාකමක් ලබාදෙන අතර ඒ ගම්වලටද අලුත් වටිනාකමක් ලබාදිය හැකිය. ඒ මගින් අභාවයට යන පාරම්පරික දේවල් රැකගත හැකි අතර ඔවුන්ගේ ජීවන තත්ත්වයද නගා සිටුවිය හැකිය.
ලංකාවේ ඇතිවූ සිංහල දෙමළ කැරලි දෙකටද සංචාරක වැදගත්කමක් ලබාදිය හැකිය. ප්රභාකරන් ජීවත් වූ නිවස හෝ එවැනි ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයක් මුල් කොටගෙන හොඳ කෞතුකාගාරයක් ඇති කළ හැකිය. ඔවුන්ගෙන් අල්ලා ගත් ආයුධ වෙනත් උපකරණ ද, ඔවුන් ගැන ලියැවී ඇති පොත්පත් හා පරීක්ෂණ වාර්තා හා ඡායාරූප ද ඇතුළත් කොට සංචාරකයන්ගේ උනන්දුවට හේතුවන කෞතුකාගාරයක් ඉදිකළ හැකිය. දෙවැනි කැරැල්ලේදී විජේවීර සැඟවී සිටි නිවස පදනම් කොටගෙන ඔවුන්ගේ කැරලි දෙක පිළිබඳව වැදගත් දේවල් ඇතුළත් හොඳ කෞතුකාගාරයක් ඇති කළ හැකිය. සුනාමි ව්‍යසනයට අදාළවද එවැනි තැනක් ඇති කළ හැකිය. ඒ මගින් එවැනි සිද්ධීන් රටට ආදායම් උපයන මාර්ගයක් බවට පත්කරනවාට අතිරේකව ඓතිහාසික වැදගත්කමක් ඇති එම සිද්ධීන්ගේ වැදගත් මතක සටහන් අනාගත පරපුරේ ප්‍රයෝජනය පිණිස ආරක්ෂා කිරීමක් ද සිදුවේ.
රටේ සංචාරක ව්‍යාපාරය රටේ විශේෂ දේවලට ඒවාට හිමි වටිනාකම ලබාදෙන ව්‍යාපාරයක් ලෙස ක්‍රියා කළ යුතුය. බටහිර රටවල් දන්නේ එක කෙසෙල් වර්ගයක් ගැන පමණය. එහෙත් අපේ රටේ විවිධ රස ඇති විවිධ හැඩ ඇති විවිධ වර්ණයන්ගෙන් යුතු කෙසෙල් විශේෂ 20ක් පමණ ඇත්තේය. අපේ රටේ ක්‍රියාත්මක වන තරුපහේ සංචාරක හෝටල් දැනුවත් කොට සංචාරකයන් දන්නා තනි කෙසෙල් වර්ගයට සීමා නොවී ඒ සියලු වර්ග ඔවුන්ට හඳුන්වා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එය සංචාරකයන්ට ප්‍රියජනක අලුත් අත්දැකීමක් වනු ඇතිවා පමණක් නොව, එය ගම්වලට ආදායම් ගලායන මාර්ගයක් ලෙසද ක්‍රියාකරනු ඇත්තේය. අප අපට තිබෙන පලතුරු වර්ග ප්රශස්ත ලෙස ප්‍රයෝජනයට ගන්නා රටක් ලෙස සැලකිය හැකිය. තරුපහේ හෝටල් අපේ රටේ විවිධ පලතුරු වර්ග සංචාරකයන්ට හඳුන්වා දෙන දැනුවත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් එම පලතුරු වර්ගවලට අලුත් වටිනාකමක් ලැබෙන තත්ත්වයක් ඇති කළ හැකිය. අපේ රටේ අයිස්ක්‍රීම් කර්මාන්තයට හා පලතුරු බීම කර්මාන්තය ශීඝ්‍ර ලෙස නවීනවෙමින් තිබෙන කර්මාන්ත දෙකක් ලෙස සැලකිය හැකිය. ඉතා මෑතකදී එලිෆන්ට්හවුස් සමාගම අනෝදාවලින් අයිස්ක්‍රීම් විශේෂයක් නිපදවා තිබුණු අතර එම නිෂ්පාදන ඉතා ප්රශස්ත තත්ත්වයක තිබුණේයැ”යි කිව හැකිය. ඊට පෙර කාගිල්ස් සමාගමට අනුබද්ධ කොත්මලේ සමාගමද “දං”වලින් ඉතා රසවත් අයිස්ක්‍රීම් විශේෂයක් නිපදවා තිබුණි. දැන් අඹ, අලිගැට පේර, පැෂන් ෆෘෘට් හා දිවුල් වැනි පලතුරුවලින්ද අයිස්ක්‍රීම් නිපදවනු දැකිය හැකිය. එහෙත් ඔවුන් අත නොගැසූ පලතුරු වර්ග ද තිබෙන්නේය. බෙලි, උගුරැස්ස, ලොවි, ජම්බු, පේර, මහනාරං වැනි පලතුරු වර්ගවලින්ද අයිස්ක්‍රීම් වර්ග සේ ම පලතුරු බීම වර්ග ද නිපදවිය හැකිය. ඒ මගින් ද එම පලතුරු වර්ගවලට අලුත් වටිනාකමක් ලබාදිය හැකිය.
සංචාරක ව්‍යාපාරයේදී සංචාරකයන් රැවැට්ටුවට කමක් නැතැ”යි කියන දර්ශනය මුළු සංචාරක ව්‍යාපාරය තුළම රජ කරන බවක් පෙනෙන්නට තිබෙන අතර දීර්ඝකාලීන අර්ථයෙන් ගත් විට එය රටේ හෝ සංචාරක ව්‍යාපාරයේ අනාගතයට හොඳ නැත. රැවටීම හෝ ගසාකෑම කාට කළද එය යහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය. ආයුර්වේදය ලංකාවට පහසුවෙන් විකිණිය හැකි සම්පතකි. එහෙත් ආයුර්වේද වෙළෙඳාම තුළ දැන් රජ කරන බොරුවෙන් ඉවත් වී නියම ආයුර්වේද ක්‍රම හා ඖෂධ විකුණන තැනකට අප යොමුවිය යුතුය. ආයුර්වේද විෂයට ලෝක ජනතාව අතර නිසි ගෞරවයක් හා පිළිගැනීමක් ලැබෙනු ඇත්තේ එවිටය. සංචාරකයන් රැවටීම හා ගසාකෑම සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බොහෝ රටවල අඩු වැඩි වශයෙන් දක්නට තිබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඒ තත්ත්වයෙන් අපට අත්මිදිය හැකි නම් සංචාරකයන්ට බොරු නොකරන හා අයථා ලෙස ඔවුන් ගසා නොකන රටක ප්‍රතිරූපය හිමි කරගත හැකි නම් එය සංචාරක ව්‍යාපාරයේ වර්ධනය කෙරෙහි පමණක් නොව, ලෝක ජනතාව අතර රටේ ගෞරවය වර්ධනය කරන සාධකයක් ලෙස ක්රියාකරනුු නොවැළැක්විය හැකිය. අපි සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් ගැන සිහින දැකිය යුත්තේ රජයේ යහපත් ගුණධර්ම ද ආරක්ෂා වන ආකාරයටය. සංචාරක කර්මාන්තයේදී ඒ සඳහා වන උපාය මාර්ගික වැඩපිළිවෙළක් ද රටට තිබිය යුතුය.