පසුගිය 14 වැනිදා චැනල් හතර නාලිකාවේ පෙන්වන ලද Sri Lanka’s Killing Fields නමැති වාර්තාමය චිත්‍රපටය එය නැරඹූ විදේශිකයන් අතර පමණක් නොව, භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ යන ජනවර්ගවලට අයත් ශ්‍රී ලංකා ඩයස්පෝරාව තුළ ද පොදුවේ කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබේ. මේ ප්‍රශ්නය පල්වන්නට ඉඩ හැරීම ඉතාමත් නරකය. එය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට අතිවිශාල හානියක් ඇති කරයි. බටහිර රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ද අසීරු තත්ත්වයකට පත් කරයි. මෙම ප්‍රශ්නය තව තව පල්වන්නට ඉඩ නොදී ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා වන ආකාරයට ඉක්මන් විසඳුමක් ඇති කරගැනීම ආණ්ඩුවේ වගකීමකි.
ප්‍රභාකරන්ගෙන් එල්ල වී තිබුණු ත්‍රස්තවාදී අභියෝගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට තෝරා ගැනීමට තිබුණු එකම මාර්ගය යුද්ධයයි. එය නවීන අවිආයුධවලින් සන්නද්ධ වී සිටි ලෝකයේ ප්‍රබලත්වයෙන් අංක එකට සිටි ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිව කැරුණු යුද්ධයකි. එය ජනවර්ගයක් විනාශ කිරීමේ අරමුණින් කරන ලද යුද්ධයක් නොවීය. ප්‍රබල ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කිරීමේ අරමුණින් කරන ලද යුද්ධයකි. එවැනි යුද්ධයක් තුළ පමණක් නොව ඕනෑම යුද්ධයක් තුළ සීමාන්තික ක්‍රියා සිදුවිය හැකිය. එය ශ්‍රී ලංකාවට පමණක් නොව, ලෝකයේ ඕනෑම රටක කැරෙන යුද්ධයකට අදාළ පොදු ධර්මතාවකි. දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිව කැරුණු යුද්ධයේදී පමණක් නොව, ඊට පෙර ජේවීපී කැරලි දෙකකට එරෙහිව කැරුණු මර්දනයේදී ද එවැනි දේවල් සිදුවිය. සංසන්දනාත්මක වශයෙන් බලන විට ජේවීපී දෙවැනි කැරැල්ල මර්දනයේදී ආරක්ෂක හමුදා අනුගමනය කළ පිළිවෙතට වඩා එල්ටීටීඊය පරාජය කිරීම සඳහා ආරක්ෂක හමුදා ක්‍රියාවට නගන ලද පිළිවෙත වඩා හොඳ විනයගරුක තත්ත්වයක තිබුණේයැ”යි ද කිව හැකිය. එහෙත් සමස්ත ක්‍රියාවලිය තුළ සීමාන්තික ක්‍රියා කිසිවක්ම සිදුනොවන්නට ඇතැ”යි ද කිව නොහැකිය.
සමස්ත චිත්‍රයේ ලොකු කොටස වර්ණවත්ය. ඒ සමග එහි තැනින් තැන කළු පැල්ලම් තිබෙන බව හා තිබිය හැකි බවද අමතක නොකළ යුතුය. ලෝක අවධානය යොමුවී ඇත්තේ සමස්ත චිත්‍රයේ ඇති වර්ණවත් ලොකු පංගුව වෙත නොව, තැනින් තැන ඇති කළු පැල්ලම් වෙතය.
චිත්‍රයේ තිබෙන කළු පැල්ලම්වලට වැඩි වැදගත්කමක් ලැබී ඇත්තේ වර්ණවත් විශාල කොටස කෙරෙහි ලෝක අවධානය යොමු කිරීමට අප අසමත්ව තිබෙන නිසාය. කළු පැල්ලම් ඇත්තේම නැතිව යුද්ධයක් කළ නොහැකි බව පෙන්වාදෙමින් ඒ කළු පැල්ලම්වල පැවැත්ම පිළිගනිමින් ඒවා ගැන සොයා බලන තැනකට යොමුවීමට ශ්‍රී ලංකාව අසමත්ව තිබෙන නිසාය. යුද්ධයක් ජයගැනීමෙන් පසුව ජයග්‍රාහකයාගේ පැත්තෙන් සිදුවූ සීමාන්තික ක්‍රියා ගැන වහාම සොයා බලන තැනකට යෑම සරල හා පහසු නැති බවද සත්‍යයකි. එහෙත් ඒ ගැන සොයා බැලීමේ අවශ්‍යතාව වෙත ලෝකයෙන් විශාල පීඩාවක් එල්ල වී තිබෙන අවස්ථාවක කරුණු සොයා බැලීමෙන් මුළුමනින් වැළකී සිටින ප්‍රතිපත්තියකින් රටට ඇති විය හැකි හානිය විශාලය.
සංකේතාත්මක වැදගත්කමක් ඇති සිද්ධීන් කිහිපයක් ගැන හෝ ආණ්ඩුව කරුණු සොයා බලන තැනකට යායුතුය. අනෙක් අතට බාහිර අතපෙවීම්වලට ඉඩක් ලැබෙන්නේ අපේ අභ්‍යන්තර ප්‍රශ්න අපි විසඳා නොගැනීම නිසා බවද අමතක නොකළ යුතුය. යුද්ධය අවසන් වී ඇති බැවින් වාර්ගික ප්‍රශ්නය තවදුරටත් කුණුවෙන්නට ඉඩ නොහැර ඉක්මනින් විසඳා ගන්නා තැනකට ආණ්ඩුව යා යුතුය. ඒ සමග ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රම පිළිබඳව ද රටේ ප්‍රශ්න ඇති බව ආණ්ඩුව අමතක නොකළ යුතුය. යුද්ධය අවසන් නම්, යුද්ධයක් සඳහා අවශ්‍ය දැඩි නීති රීති අදට අවශ්‍යවන්නේ නැත. යුද්ධ කාලයේ නිදහසට පනවා තිබූ සියලු සීමා ඉවත් කළ හැකිය. සමාජ දේශපාලන තලය තෘප්තිමත් තත්ත්වයකට ගෙන ආ හැකිවනු ඇත්තේ එවිටය.
යුද්ධය ජයගැනීමට අවශ්‍ය වූ ප්‍රඥාවට වැඩි ප්‍රඥාවක් දැන් තිබෙන සංකීර්ණ අවුල් ජයගැනීම සඳහා අවශ්‍ය වන්නේය. ප්‍රඥාවන්ත වීමට අවශ්‍ය වී තිබෙන තරමට ප්‍රඥාවන්ත වීමට අසමත් වේ නම් තිබෙන සංකීර්ණ ප්‍රශ්න තව තව අවුල් වනු නොවැළැක්විය හැකිය.