පසුගිය දිනවල මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍යවල පළ වී තිබූ වාර්තා අනුව රජරට ජනතාව අතර පවතින වකුගඩු රෝගයට බලපා ඇත්තේ ජලයේ ඇති ආසනික්ය. ජලයට ආසනික් එකතු වී ඇත්තේ කෘමි රසායන මගිනි. ආසනික් ප්රශ්නය කොතරම් විශාල ප්‍රමාණයකට මෝරා තිබේද කිවහොත් අප ආහාරයට ගන්නා සහල්වලද ආසනික් ඇත්තේය. මෙම දැවැන්ත සොයාගැනීම කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි. ඒ රජරට පවතින වකුගඩු ආබාධය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බැලීම සඳහා කරන ලද පරික්ෂණයකදී ය.
මෙම පරික්ෂණ කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියාකර ඇත්තේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා ය. ඔහු ඒ පිළිබඳව ජූනි 08 වන දා “අයිලන්ඩ්” පුවත් පතට ලියා තිබූ දීර්ඝ ලිපියකට ඇතුළත් තොරතුරු අනුව මෙම පරීක්ෂණ කණ්ඩායමට චින්තන ධාරා දෙකකට අයත් විද්‍යාඥයන් ඇතුළත්ව සිටියේය. බටහිර විද්‍යාව පිළිගන්නා විද්‍යාඥයන් කිහිප දෙනෙකු එක අනුකණ්ඩායමකටද බටහිර විද්‍යාව නොපිළිගන්නා ඒ වෙනුවට පෙරදිග විද්‍යා චින්තනය පිළිගන්නා විද්‍යාඥයන් කිහිප දෙනෙකු ඊළඟ අනුකණ්ඩායමටද ඇතුළත්ව සිටියේය. එකම කණ්ඩායමකට අයත් මෙම අනුකණ්ඩායම් දෙක පර්යේෂණ ක්‍රම වේද දෙකකට මෙම පරීක්ෂණ කාර්යය පවත්වාගෙන ගියේය. නලින්ගේ ධාරාව නියෝජනය කළ අය සිය පරීක්ෂණ කාර්යයේදී ජයගැනීමට බැරි තරම් සංකීර්ණ ගැටලු ඇති වූ අවස්ථාවල දී නාථ දෙවියන්ගෙන්ද අවශ්‍ය මග පෙන්වීම් ලබාගත්තේය. කණ්ඩායම් දෙක මූලික දෘෂ්ටියේදී හා පරීක්ෂණ ක්‍රමවේදයේදී පරස්පර විරෝධී ක්‍රම දෙකක් පාවිච්චි කළ ද අවසානයේදී දෙපිරිසම සොයාගත් සොයාගැනීම්වල ප්‍රතිඵල සමාන විය. ඒ අනුව රජරට පවතින වකුගඩු රෝගය කෙරෙහි බලපා තිබෙන්නේ ආසනික්ය. ඒ තත්ත්වයට හේතු වී ඇත්තේ ඔවුන් බීමට ගන්නා ජලය තුළ ආසනික් අඩංගු වී තිබීමය. ජලයට ආසනික් එකතු වී ඇත්තේ කෘෂි රසායනිකවලිනි.
නලින් ද සිල්වා ගේ ලිපියට ඇතුළත්ව තිබුණු පරීක්ෂණයේදී සම්‍යයක් දෙවි කෙනෙකුගේ මගපෙන්වීම් ලබා ගැනීම වැනි සමහර කාරණා මාගේ විශ්වාසයට හේතු වූයේ නැතත් චින්තන ගුරුකුල දෙකට අයත් විද්‍යාඥයින් කණ්ඩායම් දෙකම සොයාගත් දෙය එකක් වී තිබීම මා තුළ ද ලොකු කම්පනයක් ඇති කිරීමට හේතු විය. මා විද්‍යා විෂයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුට කථා කොට නලින් ගේ ලිපිය කියවන ලෙස ඉල්ලා සිටි අතර ඒ ගැන ඔවුන් දරන අදහස් මටද කියන ලෙස ඉල්ලා සිටියෙමි.
විද්‍යාත්මක නොවන විද්‍යා පරීක්ෂණ
පසුදින හිමිදිරි උදේ මා කථාකළ එක් අයෙකු මට පෙරළා කථා කළේ ය. ඔහු ලිපිය කියවා තිබුණා පමණක් නොව රජරට වකුගඩු රෝගය ගැන උනන්දුවක් දක්වන විද්‍යාඥයන් දෙදෙනෙකුටද කථා කර තිබුණි. මෙම පරීක්ෂණ ව්‍යාපෘතිය රජරට පවතින වකුගඩු රෝගය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බැලීම සඳහා කරන ලද අවංක පරීක්ෂණයක් ලෙස නොපෙනෙන බවත්, පටු දේශපාලන අරමුණකින් කරන ලද දෙයක් බව පෙනෙන බවත් ඒ ගැන වැඩිදුර ගැඹුරු සොයා බැලීමක් කරන ලෙසත් ඔහු මගෙන් ඉල්ලා සිටියේය.
මා පළමුවෙන්ම කළේ මෙම පරීක්ෂණ කණ්ඩායම තමන්ගේ පරීක්ෂණයේ ක්‍රමවේදය විද්‍යාවට සම්බන්ධ පිළිගත් ෆෝරමයකට ඉදිරිපත් කර තිබේද යන්න සොයා බැලීමය. ඔවුන් අවංක විද්‍යාඥයන් කණ්ඩායමක් වී නම් ඔවුන් පළමුව සිය සොයා ගැනීම් ඉදිරිපත් කළ යුතුව තිබුණේ ජනමාධ්‍යවලට හා මහජනතාව වෙත නොව විද්‍යාවට සම්බන්ධ පිළිගත් ෆෝරමයකටය. එය විද්‍යා අභිවර්ධන සංගමය, රසායන විද්‍යා ආයතනය, වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි විද්‍යාවට සම්බන්ධ පිළිගත් ෆෝරමයක් විය යුතුව තිබුණි. ඒ මගින් තමන්ගේ සොයා ගැනීම් හා ඒ සඳහා පාවිච්චි කරන ලද ක්‍රම වේදයන් ඊට ඉදිරිපත් කළ යුතුව තිබුණි. එහෙත් ඔවුන් එවැන්නක් කර නැතත් මෙම විෂයට සම්බන්ධ ඇමතිවරුන් ගණනාවක් හමුවන්නට ගොස් තමන්ගේ මතය ඔවුන්ට ගිල්ලවන්නට උත්සාහ කර තිබෙන බවද දැන ගන්නට ලැබුණි. ඒ අස්ථාවල දී ද ඔවුන් සිය සොයා ගැනීම් ඉදිරිපත් කිරීම සඳහා පළමුව අවසර ලබා ගෙන ඇත්තේ ඇමතිවරයාගෙන් නොව ඔවුන් පිහිට ලබාගත්තේ යැයි කියන නාථ දෙවියන්ගෙන්ය. ඇමතිවරයාගෙන් අවසර ලබාගෙන ඇත්තේ ඉන් පසුවය. දේශපාලකයින් හමුවන්නට ගිය හැම අවස්ථාවකදීම පරීක්ෂණ කණ්ඩායමට සම්බන්ධ සියලු දෙනාම හෝ වැඩි දෙනෙකු සහභාගි වී ඇති අතර දෙවියන්ගෙන් ආධාර ලබාගැනීම සඳහා අතර මැදියා ලෙස යොදාගැණුනු කාන්තාව ද එම සාකච්ඡාවලට සහභාගි වී තිබේ. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුගේ බිරියකි.
ඒ අනුව මෙම පරීක්ෂණ කණ්ඩායම තමන්ගේ සොයා ගැනීම් තෝරා ගත් දේශපාලකයින් පිරිසක් අතරට හා මහජනයා අතරට ගෙන ගොස් ඇත්තේ තම සොයා ගැනීම් හා ඒ සඳහා යොදා ගත් ක්‍රමවේදය විද්‍යා ෆෝරමයක් ඉදිරියට ගෙන ගොස් තහවුරු කිරීමෙන් තොරවය. අඩුම වශයෙන් එවැනි දේ පළ කැරෙන ජාතික හෝ අන්තර් ජාතික පර්යේෂණ ප්රකාශනයකවත් පළ කිරීමේන් තොරවය.
ඔවුන් ක්‍රියාවට නගන ලද සමස්ත වැඩ පිළිවෙළ තුළ මහජන කැලඹීමක් ඇති කිරීමට හේතු විය හැකි ප්‍රභල හේතු අන්තර්ගත වී තිබුණිගප්රකාශයට පත් කළ මෙම සොයා ගැනීම් නිසා පොදුවේ ගොවි ජනතාව සේ ම විශේෂ වශයෙන් රජරට ගොවි ජනයා කෝපයෙන් විරෝධය පළ කරන තත්ත්වයකට යොමු වන්නට ඉඩ තිබුණි. වකුගඩු රෝගයට හේතු වී ඇත්තේ ආසනික් බව ඔවුන්ගේ පිළිගැනීමට ද හේතු වී නම් හා ආසනික් නිසා තමන් පානය කරන ජලය පවා අපවිත්‍ර වී ඇතැයි ඔවුන් විශ්වාස කළේ වී නම් එම තත්ත්වය බලවත් සාමූහික කෝපයක් ජනිත කිරීමට හේතු වන්නට ඉඩ තිබුණි. පළමුව කෝපය හා විරෝධය යොමු වන්නට ඉඩ තිබුණේ මෙම කෘෂි රසායන ගෙන්වන සමාගම් කෙරෙහිය. ඉන්පසු එම සමාගම්වලට ආසනික් සහිත රසායන ද්‍රව්‍ය නීතියට පටහැනිව ගෙන්වීමට ඉඩ දී තිබෙන බලධාරීන් වෙතය. එවැනි ප්රකෝපකාරී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇති වී ආණ්ඩුවද ඊට ආවේගයකින් ප්‍රතිචාර දක්වන තැනකට ගියේ නම් වී ගොවිතැන පමණක් නොව කෘෂි රසායන යොදා ගන්නා සමස්ත කෘෂිකර්මයම විශාල අර්බුදයකට යන තත්ත්වයක් ගොඩ නැගෙන්නට ඉඩ තිබුණි. තමන් කන බත්වල ආසනික් ඇතැයි විශ්වාස කොට මහජනයා සහල් ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමේ තත්ත්වයක් ඇති වී නම් වී ගොවිතැන සේම සහල් වෙළෙඳාමද විශාල අර්බුදයකට තල්ලු වන්නට ඉඩ තිබුණි. එය අන්තවාදී දේශපාලන ප්‍රතිවිපාක ඇති කිරීමට හේතුවන දාම ක්‍රියාදාමයක් බවට පත්වන්නට ද ඉඩ තිබුණි. රටේ වාසනාවකට ඔවුන්ගේ ඊනියා සොයා ගැනීම් ඉදිරියේ ආණ්ඩුව හෝ මහජනයා ආවේගයෙන් ක්‍රියා කරන තැනකට යොමු වූයේ නැත.
අරමුණ එක සමාන නොවූවත් වගකීමෙන් තොර මේ හා සමාන දෙයක් මීට ඉහත තරුණ භූ විද්‍යාඥයකුද කළේ ය. ඔහු රූපවාහිනී මාධ්‍යයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවට තවත් සුනාමියක් එන බව කියා ඒ එන දිනයද ප්‍රකාශයට පත් කළේය. ඒ දිනයේ දී වෙරළ බඩ ජීවත්වන මහජනයා අතර කැළඹීමක් ඇති විය. එහෙත් ඔහුගේ අනාවැකිය ඇත්තක් වූයේ නැත. ඉන් පසු එම තරුණ විද්‍යාඥයා දෝෂාරෝපණය ලබන පුද්ගලයකුගේ තත්ත්වයට පත් විය.
ඒ අවස්ථාවේදී බරපතළ වරදක් කළේ එම භූ විද්‍යාඥයා පමණක් නොවේ. කරුණු සොයා බැලීමකින් තොරව ඔහුගේ මතය මහජනයා අතරට ගෙන ගිය ජනමාධ්‍ය ආයතනය හා ඊට සම්බන්ධ වූ ජනමාධ්‍යවේදීන් ද වරදක් කළේය. නක්ෂස්ත්රකාරයෙකු ක්‍රියාකරන ආකාරයකට විද්‍යාඥයකුට ක්‍රියා කළ නොහැකිය. ජනමාධ්‍යවේදීන්ට ද නක්ෂස්ත්රකාරයෙකු සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරයකට විද්‍යාඥයකුගේ සොයා ගැනීම් සම්බන්ධයෙන් ක්‍රියා කළ නොහැකිය. වෙනත් රටක නම් සුනාමි කථාව මහජනයාට ප්‍රකාශ කළ විද්‍යාඥයා සේම කරුණු සොයා බැලීමකින් තොරව ඊට ආවරණයක් ලබා දුන් ජනමාධ්‍යවේදීන්ටද විනය ක්‍රියාමාර්ගයකට මුහුණදීමට සිදුවන්නේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම සම්බන්ධයෙන් කිව හැක්කේ ද එයමය. ඔවුන් සිය සොයා ගැනීම් හා ඒ සඳහා යොදා ගත් ක්‍රමවේදය විද්‍යාත්මක ලෙස තහවුරු කිරීමට පෙර මහජනයා අතරට ගෙන යෑමෙන් පිළිගත් වෘත්තීය ආචාර ධර්මවලට එරෙහිව ක්‍රියා කර තිබෙනවා සේම ඔවුන්ගේ අදහස් සොයාබැලීමකින් තොරව මහජනයා අතරට ගෙන යෑම මගින් ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන්ද පිළිගත් වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් සිදු කර තිබේ. මෙම සොයාගැනීම් වාර්තා කරණයේදී ජනමාධ්‍යවේදීන් ඒවා වාර්තාකළේද සමබර ලෙස නොව පක්ෂපාතව හා කියවන්නන්ගේ හැගීම් ඇවිස්සෙන ආකාරයටය.
කෘෂි රසායන නිෂ්පාදනය හා වෙළදාමේ යෙදී සිටින බහුජාතික සමාගම් මුණිවරුන්ගේ සමාගම් ලෙස සැලකිය නොහැකිය. ඔවුන් අධික ලාබ වලට කෑදරය. ඔවුන්ගේ දේශීය නියෝජිතයින්ද ඊට වෙනස් නැත. පර්යේෂණ ආයතනවල වැඩකරණ විද්‍යාඥයින් අතරද මුදලට මිලදීගතහැකි අය සිටිය හැකිය. ඒ සියල්ල එසේ තිබියදීත් දැනට තිබෙන කරුණු අනුව පෙනෙන්නේ නලින්ද සිල්වාගේ පර්යේෂණ ව්‍යාපෘතිය දේශපාලන අරමුණු ඇතිව ක්‍රියාත්මකවූ ව්‍යාපෘතියක් බවය.
ආසනික් බිල්ලකු මැවීම
රජරට වකුගඩු ප්රශ්නය දැන් කාලයක් තිස්සේ මහජන අවධානයට යොමු වී තිබුණු විසඳුමක් නැතිව පල් වෙන තත්ත්වයක පැවැති සංවේදී හා සංකීර්ණ ප්රශ්නයකි. ඊට බලපා තිබෙන හේතු සොයා බැලීම සඳහා විවිධ පර්යේෂණ සිදු කර තිබුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනුග්‍රහය යටතේ ද පරීක්ෂණ කණ්ඩායම් 09ක් ඒ ගැන පරීක්ෂණ පවත්වමින් සිටියේය. නලින් ද සිල්වා ප්‍රධාන පරීක්ෂණ කණ්ඩායම ඊට අලුතෙන් එකතු වූ තවත් කණ්ඩායමක් ලෙස සැලකිය හැකි ය.
ඔවුන්ගේ පර්යේෂණ කාර්යය ආන්දෝලනාත්මක දෙයක් බවට පත්වීමට ආරම්භ වන්නේ මෙම පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් එක පුද්ගලයකු විසින් ( වෛද්‍ය චන්න ජයසුමන ) විදුසර පුවත්පතට දෙන ලදුව එම පුවත්පතේ පළ වූ සම්මුඛ සාකච්ඡාවක් නිසාය. ලංකාවට ආනයන කරන කෘෂි රසායන 28ක් නම් කොට ඒවායෙහි ආසනික් තිබෙන බව ඔහු එහි කියා තිබුණි. ලංකාවේ මිනිසුන් ආහාරයට ගන්නා හාල්වල ද ආසනික් තිබෙන බව ප්‍රකාශ කරමින් රජරට වකුගඩු රෝගය කෙරෙහි බලපා ඇත්තේ රසායන ද්‍රව්‍යවලින් ජලයට එකතු වන ආසනික් නිසා බවද කියා තිබුණි. විදුසර පුවත්පතේ මෙම ලිපිය පළ වූ පසුව පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා මෙම වෛද්‍යවරයාට කථා කොට ආසනික් අඩංගු පළිබෝධ නාශක පිළිබඳ වාර්තාවක් හා ඒ කරුණු සොයාගත් පරීක්ෂණ වාර්තාව සම`ග තමා වෙත ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලා ඇතත් ඔහු ඒ ඉල්ලීම ඉටු කර නැත. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයාද එවැනි ඉල්ලීමක් ඔහු වෙත ලිඛිතව ඉදිරිපත් කර තිබේ. අවසානයේ ලැබී ඇත්තේ රසායන ද්‍රව්‍ය 28ක නාම ලේඛනයක් පමණි. කෙසේ වෙතත් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා ඔහු නම් කළ පළිබෝධ නාශක 28න් 25ක් ඒවායේ ආසනික් අන්තර්ගතය පිළිබඳ සොයා බැලීම සඳහා රජයේ පර්යේෂණ ආයතනයකට යැව්වේය. වර්ග තුනක් යවා නැත්තේ ඒවා ගෙන්වීම කලකට පෙර නතරකර තිබීම නිසා හා ඒවා වෙළෙඳපොලේ විකිනීමට නොතිබීම නිසාය. බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ ප්‍රධානියාද සහල් සාම්පල් 22ක් ඒවායෙහි ආසනික් තිබේද යන්න සොයා බලා වාර්තා කරන ලෙස දන්වා රජයේ පර්යේෂණ ආයතනයට ලබා දී තිබේ. විදුසර පුවත්පතේ පළ වූ සම්මුඛ සාකච්ඡාවේ එන අදහස් විවාදයට ලක් කෙරෙන ලිපියක් රසායන විද්යාමහාචාර්යවරියක් වූ ජනිතා ලියනගේ විසින් විදුසර පුවත්පතට යවා ඇතත් පුවත්පත ඇගේ ලිපිය පළ කර නැත. විදුසර පුවත්පත විද්‍යාව විෂය කොට ගත් පුවත්පතකි. විද්‍යාත්මකව තහවුරු නොකළ මතයක් විද්‍යාත්මක මතයක් ලෙස මහජනයා අතරට ගෙන යෑමෙන් එම පුවත්පතද බරපතළ වරදක් කර ඇති බව බැලූ බැල්මට පෙනී යයි.
සාමාන්‍යයෙන් මිනිසුන් ආසනික් දන්නේ මාරාන්තික විෂ විශේෂයක් ලෙසය. අප ආහාරයට ගන්නා සහල්වල ආසනික් ඇති බව අසන්නට ලැබුණු විට බත් ආහාරයට ගන්නා ජනතාව අතර ලොකු අවුලක් ඇති වීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට රජරට ජලයේ ආසනික් ඇති බව අසන්නට ලැබුණු විට ඒ ජලය බීමට ගන්නා රජරට ජනයා අතරද ලොකු අවුලක් ඇති වීම නොවැළැක්විය හැකි ය. එම ආසනික් පසට, ජලයට හා ආහාරවලට එකතු වී ඇත්තේ කෘෂි රාසයන ද්‍රව්‍යවලින් බව විද්‍යාඥයින් කියන විට එය අසන්නන් තුළ තිගැස්මක් සේම කෝපයක් ද ඇති කළ හැකි ය.
පර්යේෂණයේ සැඟවුණු අරමුණු
කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම මහජනයා බිය ගන්වන බිල්ලා නිර්මාණය කරන්නේ ආසනික්වලින්ය. ඒ මගින් විවිධ මිනිසුන් අතර අධිරාජ්‍යවාදයට ඇති විරෝධය, බහුජාතික සමාගම්වලට ඇති විරෝධය, හා කෘෂි රසායනිකවලට ඇති විරෝධය ආසනික් සමග එකට ගැට ගැසීමක් සිදුකරයි. ඒ සම`ග මහජනයා ආසනික් බිල්ලාට එරෙහිව ඒකරාශි කොට ඔවුන් කෘෂි රසායන භාවිතයෙන් මුළුමනින් ඉවත් කිරීම හා ඒ මගින් මෙම චින්තන ගුරුකුලයට මහජනයා අතර උපරිම පිළිගැනීමක් ලබා ගැනීම මෙම පර්යේෂණ වැඩපිළිවෙළේ උපාය මාර්ගික අරමුණ වී තිබෙන බව පෙනෙන්නට තිබේ.
මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා ද දේශපාලන චින්තන ගුරුකුලයක නායකයකු වන වා සේ ම එම චින්තන ගුරුකුලයේ ප්‍රධාන න්‍යායවාදී ලෙස ද සැලකිය හැකි ය. ඔහු විද්‍යාව දකින්නේ භේදයකින් තොරව මිනිස් වර්ගයා අතින් ඇති වී පෝෂණය වූ නිශ්චිත ඥාන විශේෂයක් ලෙස නොව අධිරාජ්‍යවාදී ගර්භාෂයේ ඉප දී වර්ධනය වූ ප්රතිගාමී ඥාන විශේෂයක් ලෙසය. ඒ නිසා ඔහු නවීන විද්‍යාව ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව ඊට විකල්පයන් ලෙස ජාතික ඥාන විද්‍යාවක් නිපදවන්නට වැර දරන පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය. ඔහුගේ මෙම පර්යේෂණ ව්‍යාපෘතිය තමන්ගේ චින්තන ක්‍රමයට විශාල මහජන පිළිගැනීමක් ලබා ගන්නා අතර අලුත් ආකාරයට අධිරාජ්‍ය විරෝධී අරගලයක් මතු කර ගැනීමේ අරමුණ ඇති ව දියත් කැරුණු පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිය. එහෙත් තමන්ගේ විකල්ප චින්තනයට පමණක් සීමා වූ පර්යේෂණ ව්‍යාපෘතියකින් සොයා ගන්නා ප්‍රතිඵලවලට මහජන පිළිගැනීමක් ලබාගැනීමට තිබෙන දුෂ්කරතාව තේරුම් ගනිමින් ප්‍රතිඵලයට ගාම්භීර විද්‍යා පෙනුමක් ලබා දීම සඳහා තමන්ට හැසිර විය හැකි නවීන විද්‍යාවට සම්බන්ධ පිරිසක් ද මේ ව්‍යාපෘතියට සම්බන්ධ කර ගෙන ඇති බවද පෙනී යයි. ඒ මගින් පරස්පර විරෝධී චින්තන ගුරුකුල දෙකක්, ක්‍රමවේද දෙකක් ඔස්සේ කරන පරීක්ෂණවලින් එකම නිගමනයකට පැමිණ තිබේය කියන අදහස මහජනයා තුළ ඇති කිරීමේ අරමුණින් යුතුව එසේ ක්‍රියා කර තිබෙන බවද පෙනෙන්නට තිබේ.
ඔහු ඇතුළු මෙම පරීක්ෂණ කණ්ඩායම සිය දේශපාලන අරමුණ සපුරා ගැනීම සඳහා ආසනික්වලින් නිර්මාණය කරන බිල්ලා මහජනයා භීතියට පත් කොට ඔවුන්ගේ අවනත භාවය දිනා ගැනීම සඳහා ව්‍යාජ ලෙස නිර්මාණයකරන බිල්ලකු බවද පෙනී යයි. භීතියට පත්කොට අවනත භාවය දිනා ගැනීමේ ක්‍රමය ඈත අතීතයේ සිට වර්තමානය දක්වාම විවිධ දේශපාලනඥයින් විවිධ ආකාරවලින් යොදා ගෙන තිබෙන ක්රමයකි. එය මකියාවේලි විසින් සේම බර්ට්‍රම් රසල් විසින් ද විස්තර කොට විග්රහ කර තිබේ. ආසනික් කෙරෙහි ඇති මහජන බිය තීව්ර කොට එම භීතිය ජයගැනීම සඳහා මහජනයා තමන් පසු පස එන තත්ත්වයක් ඇති කිරීම මෙම පර්යේෂණ වැඩ පිළිවෙළේ උපයමාර්ගික අරමුණ ලෙස සැලකිය හැකි ය. ඒ අර්ථයෙන් මෙම පර්යේෂණ වැඩ පිළිවෙළ සැලකිය යුත්තේ කිසියම් සොයා ගැනීමක් කිරීමේ අවංක අරමුණින් කැරුණු විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතියකට වඩා, දේශපාලන අරමුණක් දිනා ගැනීමේ අරමුණ ඇතිව විද්‍යා පර්යේෂණ මුහුණුවරකින් ක්‍රියාවට නංවන ලද දේශපාලන ව්‍යාපෘතියක් ලෙසය.
බිහිසුණු ආසනික් බිල්ලකු මැවීම මගින් මෙම ගුරුකුලය රටට දෙන්නට ගිය දේශපාලන පණිවිඩය තේරුම් ගැනීම වැදගත්ය. ඔවුන් එයින් රටට කීවේ මෙවැනි අදහසකි. මේ බිල්ලා දෙස බලන්න. ඌ ඉතාමත් භයංකරය. ඌ අපේ ආදරණීය මාතෘ භූමියද රටේ ජනතාවද විනාශකරමින් සිටියි. උගේ අරමුණ අපට ආසනික් කවා මුළු ජාතිය වකුගඩු රෝගීන් බවට පත් කොට මරා දැමීමය. ඒ දේ දැනටමත් රජරට ප්‍රදේශවල සිදුවෙමින් පවතී. දැන් අපට කන්නට සිදු වී තිබෙන්නේ ආසනික් සහිත විෂ ආහාරය. හාල්වල සිට අප කන හැම දෙයකම ආසනික් ඇත්තේය. අපේ මහපොළොව සේම ජලයද ආසනික්වලින් දූෂණය කොට ඇත්තේ ය. මෙම බිල්ලා පිටුපස සිටින්නේ අධිරාජ්‍යවාදී බලවේගයන් සහ බහුජාතික සමාගම්ය. උන් මේ මහ විනාශය කරමින් තිබෙන්නේ රසායන පොහොර හා පළිබෝධ නාශක හරහාය. ආසනික් ග්රහණයෙන් අත්මිදීමට අවශ්‍ය නම් රසායනික පොහොර භාවිතයෙන් හා පළිබෝධ නාශක භාවිතයෙන් ඉවත් විය යුතුය. නැවත අපි අපේ මුතුන් මිත්තන්ගේ සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවලට මාරු විය යුතුය. රසායන පොහොර හෝ පළිබෝධ නාශක නොමැති පැරණි ගොවිතැන් ක්‍රම ඔස්සේ අපට අවශ්‍ය ආහාර බෝග වඩාත් හොඳින් අපට නිපදවා ගත හැකිය. මෙම පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගත්තේයැ”යි කියන සොයාගැනීම් මගින් රටට දෙන දේශපාලන පණිවිඩය වන්නේ එයයි.
බැලූ බැල්මට ඔවුන් කියන දේවල් ඉතාමත් ද්රේශප්රේමීය. විප්ලවකාරීය. ඉදිරිගාමීය. වැදගත් වන්නේ තෝරාගත් මාර්ගය නොව ප්රතිඵලයයි. ඇති කරන ප්‍රතිඵලය හොඳ නම් එයට සහයෝගය දෙනවා වෙනුවට විරුද්ධ විය යුත්තේ ඇයිද යන ප්රශ්නය මතු කළ හැකිය.
මේ ප්රවේශයේ මතුපිට පොත්ත දේශප්‍රේමී හා අධිරාජ්‍ය විරෝධීය. ප්රගතිශීලි හා ඉදිරිගාමීය. එහෙත් අභ්‍යන්තරය හරය ප්රතිගාමීය. පසුගාමි හා විනාශකාරී ද වේ.
රසායන කෘෂිකර්මයේ යථාර්ථය
රසායන කෘෂිකර්මය (රසායනික පොහොර සහ පළිබෝධ නාශක යොදා කැරෙන කෘෂිකර්මය) හොඳ පමණක් නොව නරක අතුරු ප්‍රතිඵල ද ඇති කිරීමට හේතු වී තිබෙන බව සත්‍යයකි. එය පසේ වැදගත් ගුණාංග හීන කිරීමටත්, ජෛව විවිධත්වයට හානි කිරීමටත් සෝදා පාළුව වර්ධනය කිරීමටත්, ජලය දූෂ්‍ය කිරීමටත් පාරිසරික ප්‍රශ්න උග්‍ර කිරීමටත් හේතු වී තිබේ. පළිබෝධ නාශක විෂ වී මරණයට හා රෝගාතුර භාවයට පත්වන අයගේ සංඛ්‍යාවද විශාලය.
රසායනික කෘෂි කර්මය ලෝකයට ලබා දී තිබෙන නරක දායාදයන්ගේ ප්‍රමාණය විශාල වුවත් රසායන පොහොර සහ පළිබෝධ නාශක භාවිතය මුළු මනින්ම අතහැර පැරණි මුතුන් මිත්තන්ගේ ගොවි තැන් ක්‍රමවලට ආපසු යෑමේ හැකියාවක් ලෝකයට හෝ ශ්‍රී ලංකාවට නැත.
මිනිසුන්ගේ සංඛ්‍යාව ඉතා කුඩා හා වගාකිරීම සඳහා ඕනෑවටත් වඩා ඉඩම් තිබුණු යුගයක් ඈත අතීතයේදී තිබුණි. ඒ යුගයේදී මිනිසුන් වගා කිරීම සඳහා තෝරාගත් භූමිය කෙටි කලක් වගා කොට එහි පස නිසරු වන්නට පෙර එය අතහැර අලුත් බිමක් තෝරාගෙන ගොවිතැන් කළේය. හේන් ගොවිතැන් ක්‍රමය ලෙස සැලකෙන්නේ එම ගොවිතැන් ක්‍රමය හෝ ඊට සමාන ගොවිතැන් ක්රමයන්ටය. මිනිසුන්ගේ සංඛ්‍යාව කුඩා වීම හා ඔවුන් වගාකරන භූමිය නිසරු වූවිට එය අතහැර අලුත් සරු බිමක් තෝරා ගැනීමට අවශ්‍ය තරම් ඉඩම් අතිරික්තයක් තිබූකාලයේදී රසායන පොහොර නැතිව ස්වාභාවික ක්‍රමවලට ගොවිතැන් කර අවශ්‍ය ආහාර නිපදවා ගැනීමේ හැකියාව මිනිසුන්ට තිබුණි.
එහෙත් තවත් කලකදී ජනගහණය ශීඝ්‍රයෙන් වර්ධනයවී වගාකළ භූමිය නිසරු වූ විට එය අතහැර නව භූමියක් තෝරා ගැනීමට බැරි තරමට ඉඩම් හිඟයක් ඇති වූ විට පැරණි ගොවිතැන් ක්‍රමය අතහැර එකම භූමියක එක දිගට ගොවිතැන් කළ යුතු ක්‍රමයකට මාරු වීමට මිනිසුන්ට සිදු විය. එකම භූමියක එක දිගට වගා කිරීම නිසා භූමියේ ඇති වන නිසරුභාවය ජය ගැනීමට අලුත් විසඳුමක් අවශ්‍ය වූ අතර නිසරු වූ පස කෘත්‍රිම ලෙස සරු කරන ක්‍රමයක් සොයා ගැනීමට මිනිසුන්ට සිදු විය. රසායන පොහොර කරලියට ආවේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
මුලින් තිබුණේ බඩවල් සංඛ්‍යාව සීමිත වන විට වගා කිරීමට අසීමිත තරම් ඉඩම් තිබෙන තත්ත්වයකි. පසුව බඩවල් සංඛ්‍යාව විශාල වී වගාකිරීමට තිබෙන ඉඩම් ප්‍රමාණය සීමිත සම්පතක තත්ත්වයකට පත්විය. රසායන පොහොර, පළිබෝධ නාශක සහිත නවීන ගොවිතැන් ක්‍රමයක් අවශ්‍ය වූයේ තිබෙන සීමිත ඉඩම් ප්‍රමාණයකින් විශාල බඩවල් සංඛ්‍යාවකට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමේ ගැටලුවට විසඳුමක් වශයෙනි.
එහෙත් රසායන පොහොර සහ පළිබෝධ නාශක සහිත නවීන කෘෂිකර්මය සීමිත ඉඩම් ප්‍රමාණයකින් අසීමිත තරම් විශාල ජනසංඛ්‍යාවකට අවශ්‍ය ආහාර සපයා දීමට සමත් වුවත් එය අලුත් පාරිසරික ප්‍රශ්න ඇති කිරීමට හේතු විය.
ඉතිහාසය ආපස්සට හැරවීම
එහෙත් එම ප්‍රශ්නයට තිබෙන පිළියම ඉපැරණි ස්වාභාවික ගොවිතැන් ක්‍රමවලට ආපසු මාරු වීම නොවේ. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර මුළුමනින්ම යොදා ගත හැකි නම් එය අනර්ඝය. එහෙත් රසායනික පොහොර ලොකු හැන්දකින් කරන දෙය කරන්නට කාබනික පොහොර විල්බැරැක්ක කිහිපයක් අවශ්‍ය වේ. රසායනික පොහොර සමග එක්තරා ප්‍රමාණයකට කාබනික පොහොර මිශ්‍ර කොට යොදාගැනීමේ හැකියාව ඇතත් රසායන පොහොර මුළුමනින් අතහැර ඒ වෙනුවට මුළුමනින් කාබනික පොහොර යොදා ගන්නා ක්‍රමයකට මාරුවීමේ හැකියාවක් ලෝකයට හෝ ශ්‍රී ලංකාවට නැත. කාබනික පොහොර යොදා ගනිමින් පුංචි ගෙවත්තක් පවත්වා ගැනීමේ හැකියාවක් ඇතත්, කාබනික පොහොරවලින් පමණක් ලොකු ගොවිපොළවල් පවත්වා ගැනීමේ හැකියාව නැත. හැම වගාවකටම පොහොර අවශ්‍යය. ඵලදාව කෙරෙහි පොහොර තීරණාත්මක ලෙස බලපායි. ලොකු තේවත්තක් කාබනික පොහොරවලින් පමණක් නඩත්තු කළ නොහැකිය. හැම ගොවිපොළක් කෙරෙහිම ගොවිපොළ පවත්වාගෙන යෑමට කරන නිෂ්පාදන වියදම හා ගොවිපොළෙන් ලැබෙන ආදායම යන සාදක ද බලපායි.
රසායන පොහොර කි.ග්රූ. 250 ක ඇති පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම සඳහා කාබනික පොහොර ටොන් 10ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබේ. කාබනික පොහොර නිපදවීම සඳහා ද පිරිවැයක් තිබේ. පුංචි ගෙවත්තක් සඳහා වියදමකින් තොරව කාබනික පොහොර නිපදවා ගැනීමේ හැකියාව ඇතත්, විශාල වගාවන් සඳහා වියදමක් නැතිව කාබනික පොහොර නිපදවිය නොහැකිය. හරි ගණන් බැලීමක් කරන්නේ නම් රසායන පොහොර කිගග්රූම් 1ක ඇති පෝෂ්‍ය පදාර්ථ කාබනික පොහොර වලින් ලබාගැනීමට කළ යුතු වියදම රසායනික පොහොරවලට යන වියදම මෙන් හතර, පස්ගුණයක් තරම් විශාල විය හැකිය. දැන් වෙළෙඳපොළේ කාබනික පොහොර පැකට් විකිණීමට තිබේ. පැකට්ටුවක තිබෙන පෝෂ්‍ය පදාර්ථ අනුව ගත්කළ ඒවා රසායන පොහොරවලට වඩා මිල අධිකය. බටහිර රටවල කාබනික එළවළු හා පළතුරුවල මිල කොතරම් ඉහළ මට්ටමක පවතින්නේද කිවහොත් ඒවා මිලදී ගැනීමේ හැකියාව ඇත්තේ ලොකු ධනවතුන්ට පමණි.
කාබනික කෘෂිකර්මයෙහි නිෂ්පාදන වියදම රසායනික කෘෂිකර්මයෙහි නිෂ්පාදන වියදමට වඩා ඉහළ අගයක් ගන්නා අතර කාබනික කෘෂිකර්මයේ ඵලදාවද රසායනික කෘෂිකර්මයේ ඵලදාවට වඩා පහළ අගයක් ගන්නේය. අප නවීන කෘෂිකර්මයෙන් මුළුමනින්ම ඉවත් වී පැරණි මුතුන් මිත්තන්ගේ කෘෂිකර්මයට මාරු වුවහොත් ශ්‍රී ලංකාවට සිය ආහාර අවශ්යතාවන්ගෙන් වැඩි කොටසක් ආනයනය කිරීමට සිදුවනු නොඅනුමානය. එසේම අප තේ, පොල්, රබර් හා කුළු බඩු වැනි කෘෂිකාර්මික අපනයනයෙන් උපයන ආදායමද විශාල ප්‍රමාණයකට පහළ වැටෙනු නොවැළැක්විය හැකිය.
නවීන කෘෂිකර්මය විසින් ඇති කර තිබෙන පාරිසරික ප්‍රශ්නවලට තිබෙන පිළිතුර නවීන කෘෂිකර්මය අත හැර පැරණි මුතුන් මිත්තන්ගේ ගොවිතැන් ක්‍රමවලට මාරු වීම නොව රසායන පොහොර හා පළිබෝධ නාශක මගින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා දැනුවත්ව ක්‍රියා කිරීමය. ඒ සඳහා ගොවීන් දැනුවත් කිරීමය. රසායන පොහොරවලට පමණක් සීමා නොවී කාබනික පොහොරද පාවිච්චි කරන තැනකට යෑමෙන් රසායන පොහොර පසේ සංයුතියට කරන හානිය අඩු කර ගත හැකිය. පළිබෝධ නාශකවලින් සිදුවන හානිය කෙරෙහිද වඩාත්ම බලපා තිබෙන්නේ ද නිසි අවබෝධයකින් තොරව ඒවා පරිහරණය කිරීමය. ඒ තත්ත්වය නැති කිරීම සඳහා ද ක්‍රියා කළ හැකි ය. ඒ සමග සාර්ථක විකල්ප ක්‍රම ඇති අවස්ථාවලදී පළිබෝධ නාශක පාවිච්චි කිරීමෙන් වැළකී සිටිය හැකිය. සාර්ථක විකල්ප සම්ප්‍රදායික පළිබෝධක නාශක වර්ග ඇත්නම් ඒවා නිපදවා වෙළෙඳපොළේ අලෙවි කරන තත්ත්වයක් ඇති කළ හැකිය.
නලින් සිල්වා ප්රමුඛ කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම යහපත් අරමුණකින් යුතුව හෝ රට, රැගෙන යන්නට උත්සාහ කර ඇත්තේ හොඳ තැනකට නොව නරක තැනකටය. ඔවුන්ගේ ඒ සම්‍යක් ප්‍රයෝග කාරී පර්යේෂණ වැඩ පිළිවෙළ මහජනයාගේ හා ආණ්ඩුවේ පිළිගැනීමට හේතුවී නවීන කෘෂිකර්මය අත් හරින තැනකට රට ගියේ නම්, මෙම චින්තන ගුරුකුළයට ලැබෙන දේශපාලන ආධිපත්‍ය ඉහළ යන්නට ඉඩ තිබුණද රට ඇදවැටෙන්නට ඉඩ තිබුණේ මහා අගාධයකටය.
ආසනික් විවාදය ගැන තවදුරටත්
ආසනික් විවාදය තවමත් අවසන් වී නැත. අධිභෞතික බලවේගයකින් ලැබුණු මගපෙන්වීම් අනුව කරන ලද විද්‍යාත්මක පර්යේෂණයකින් සොයා ගනු ලැබුවේයැ”යි කියන රජරට පවතින වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනවලින් ජලයට හා පසට එකතුවී තිබෙන ආසනික්ය කියන මතය භාරගැනීම රජයේ පිළිගත් පර්යේෂණ ආයතන කිහිපයක්ම ප්‍රතික්ෂේප කර ඇතත් එම සොයාගැනීම කරන ලද අධිභෞතික විද්‍යාඥයන් කණ්ඩායම ද සිය මතය වෙනුවෙන් පෙනී සිටීම අත්හැර නැත. ඒ මතයට පක්ෂපාතව පෑන හැසිරවූ ජනමාධ්‍යවේදීහු ද තවදුරටත් ඒ සොයා ගැනීම වෙනුවෙන් හැඟීම්බරව අදහස් පළ කරන පිළිවෙතක් පවත්වාගෙනයමින් සිටින්නෝය.
මම විද්‍යාඥයෙක් නොවෙමි. එහෙත් මේ සොයා ගැනීමේ විශ්වාසයට හේතු නොවන මට පෙනෙන මූලික කරුණක් මෙසේය.
රසායන පොහොර හා රසායන පළිබෝධනාශක භාවිතයට එරෙහිව පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් දීර්ඝ කාලයක සිට රටේ ක්‍රියාත්මක විය. රසායන පොහොර හා පළිබෝධනාශකවලින් සිදුවන විනාශකාරී ප්‍රතිඵල ගැන රටට කියා දුන්නෝ ඔවුහුය. එහෙත් ඔවුන් පෙනී සිටියේ ඒවා ඇති කරන හානිය අවම කරගනිමින් නවීන කෘෂිකර්මයෙන් යහපත් ප්‍රතිඵල ලබාගන්නා ආකාරය කියාදෙන ව්‍යාපාරයක් ලෙස නොව, නවීන කෘෂිකර්මයෙන් රට මුළුමනින් ඉවත් කොට පැරණි මුතුන් මිත්තන්ගේ ගොවිතැනට රට කැඳවාගෙන යන්නට උත්සාහ දරන ව්‍යාපාරයක් වශයෙනි. ඔවුන්ගේ දෘෂ්ටියෙන් අර්ධයක් විද්‍යාත්මක වූවත් ඊළඟ අර්ධය අවිද්‍යාත්මක හා ප්රතිගාමී විය.
කෘෂිරසායන නිෂ්පාදනය, වෙළෙඳාම බහුජාතික ව්‍යාපාර විසින් පවත්වාගෙන යන විශාල ජාවාරමක් වීම හේතු කොටගෙන රසායන පොහොර හා පළිබෝධනාශක භාවිතයට එරෙහිව පෙනී සිටි මෙම සංවිධානවලට බහුජාතික සමාගම් විරෝධී අධිරාජ්‍ය විරෝධී සටන්කාමී පෙනුමක් ද ලැබී තිබුණේය. ඔවුන් ඒ ගැන පළ කරන ලද අදහස් හා න්‍යාය ධර්ම ඔවුන් විසින්ම දේශීය වශයෙන් සොයා ගන්නා ලද ඒවා නොවූ අතර බටහිර රටවලින් ගලා ආ අදහස් විය. බහුජාතික සමාගම් විරෝධී, අධිරාජ්‍ය විරෝධී හා පරිසර හිතකාමී මෙම සංවිධාන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ලැබුණේද බටහිර රටවල්වලිනි. මෙම පරිසර හිතකාමී ව්‍යාපාරවලට ආවේණිකව තිබූ බහුජාතික සමාගම් විරෝධී හා අධිරාජ්‍ය විරෝධී පෙනුම නිසා එය විප්ලවකාරී අදහස් දරන මිනිසුන්ටද අවනම්බුවකින් තොරව එකතුවිය හැකි ව්‍යාපාරයක් බවට පත්ව තිබුණේය. මෙම ව්‍යාපාරයේ අදහස් විමුක්තිකාමී දේශපාලන ව්‍යාපාරවල දෘෂ්ටීන් කෙරෙහි ද බලපෑවේය. දේශපාලනයේ සිටින නව පරපුරේ විමුක්තිකාමී නායකයන් වැඩි පිරිසක් පරිසරවාදී ව්‍යාපාරවල ගර්භාෂයන්ගෙන් ඉපදුණු අය ලෙස සැලකිය හැකිය.
කෘෂිරසායනවලින් ජලයට හා පොළවට එකතු වන ආසනික් හා රජරට වකුගඩු රෝගය අතර ඇති අන්තර් සම්බන්ධය සොයා ගනු ලබන්නේද මෙම පරිසරවාදී දෘෂ්ටිය තුළ ජීවත් වන විද්‍යාඥයන් පිරිසක් අතින් මිස ඉන් පිටස්තර විද්‍යාඥයන් පිරිසක් අතින් නොවේ. එය පිටස්තර ස්වාධීන විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගනු ලැබී නම් හා පරිසරවාදීන් තමන්ගේ මතවාදී අදහස් තහවුරු කිරීමට එම සොයාගැනීම් යොදාගත්තේ නම් එයට ලැබෙන පිළිගැනීම ඉතා බලවත් වන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට මේ සොයාගැනීම් කරනු ලබන්නේ විශේෂ දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී සිටි විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි.
මේ අය දීර්ඝ කාලයක් තිස්සේ විද්‍යාත්මක කෘෂිකර්මය අතහැර මුතුන් මිත්තන්ගේ පැරණි ගොවිතැනට මාරුවන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටියද මහජනයා ඔවුන් කියන දෙය පිළිගෙන මුතුන් මිත්තන්ගේ පැරණි ගොවිතැනට මාරුවූයේ නැත. ඒ ගැන එනම් මහජනයාගේ මෝඩකම ගැන ඔවුන් තුළ මහත් කලකිරීමක් හා කෝපයක් ඇතිවී තිබුණාද විය හැකිය. මා හිතන අන්දමට මහජනයා ඔවුන් තරම් උගත් නොවූවත් ඔවුන්ට වඩා ඥානවන්ත විය. මහජනයා ඔවුන් ඉල්ලා සිටි ආකාරයට නවීන කෘෂිකර්මය අතහැර මුළුමනින් මුතුන් මිත්තන්ගේ පැරණි ගොවිතැනට මාරුවී නම් රටේ ආහාර අවශ්යතාවන්ගෙන් වැඩි කොටසක් අපට ලබාගන්නට සිදුවන්නේ පිටරටවලිනි. කෘෂිකාර්මික අපනයනයන්ගෙන් උපයන ආදායමද මුළුමනින් බිඳ වැටෙන්නට ඉඩ තිබුණි. ස්වාභාවික ක්‍රමවලට රට නිපදවන ආහාර ප්‍රමාණය පුංචි වී ඒවායේ මිල ගණන් ලොකු සල්ලිකාරයන්ට පමණක් ඔරොත්තු දෙන තත්ත්වයකට ඉහළ යෑම නිසා ජනගහනයෙන් වැඩි කොටසකට ආහාර නැතිව මියයන්නට පවා සිදුවන්නට ඉඩ තිබුණි.
මෙවැනි වැඩපිළිවෙළක් රටට නිර්දේශ කරන්නට පෙර නවීන කෘෂිකර්මයෙන් මුළුමනින් ඈත්වී ස්වාභාවික ගොවිතැන් ක්‍රමයක් මගින් රටට අවශ්‍ය සියලු ආහාර නිපදවීමේ ඇත්ත හැකියාවක් තිබේද යන්න ඔවුන් සොයා බැලිය යුතුව තිබුණි. පුංචි ගෙවත්තක් වෙනුවට, ලොකු ගොවිපොළක් ස්වාභාවික ක්‍රමවලට වගා කොට අක්කරයකට ලැබෙන අස්වැන්නේ ප්‍රමාණය හා ඇත්ත නිෂ්පාදන වියදම කුමක්ද යන්න සොයා බැලිය යුතුව තිබුණි. අවුරුදු ගණනක් තිස්සේ කරන අත්හදා බැලීම්වල ප්‍රතිඵල සේ ම නිමැවුම හා නිෂ්පාදන වියදම පිළිබඳ ගණන් හිලව් රටට ඉදිරිපත් කළ යුතුව තිබුණේය.
එහෙත් ඔවුන් එවැනි මගක් අනුගමනය කළේ නැත. ඒ වෙනුවට කළේ තමන් විසින්වත් හරිහැටි නොහැදෑරූ මනෝරාජික අරමුණක් වෙනුවෙන් මුළු රටම යොමු කිරීමට උත්සාහ කිරීමය. මහජනයා එම මනෝරාජික අදහස් නොපිළිගත් විට මහජනයා බියගන්වන ප්‍රතිපත්තියක් මගින් ඒ අරමුණ ජයගැනීමට උත්සාහ කිරීමය.
මෙම සොයා ගැනීම කරන විද්‍යාඥයන් කණ්ඩායමට ඇතුළත් ප්‍රධාන පිරිස් එක දේශපාලන මතවාදයක සිටින පිරිසක් වනවා පමණක් නොව මෙම පර්යේෂණයට මහජන අවධානය ලබාදී ඊට විශාල වටිනාකමක් ලබාදීම සඳහා රේගුව ආශ්රයෙන් මතුකර ගන්නා සිදුවීම් එක සැලැස්මක් තුළ ක්‍රියාත්මක අතුරු සිද්ධියක් බව ද පෙනීයයි.
පළිබෝධනාශක කන්ටේනර් හයක් පරීක්ෂාවට ලක් කරන නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සමන්ත ගුණසේකර ද මෙම චින්තන ගුරු කුලයට අයත් “දේශප්‍රේමී” රේගු නිලධාරියකු ලෙස සැලකිය හැකිය. පළිබෝධනාශක කන්ටේනර් පරීක්ෂා කළ යුතුයි කියන අදහස ඔහු තුළ ඇතිවන්නේ වෛද්‍ය චන්න ජයසුමන විසින් විදුසර පුවත්පතට ලියන ලද ලිපිය කියවීමෙන් පසුවය. ඊළඟට සිදුවන දේ කිසිසේත්ම ස්වාභාවික නැත. ඔහු මෙම කන්ටේනර්වල තිබූ පළිබෝධනාශකවල සාම්පල් රැගෙන යන්නේ මෙම “දේශප්‍රේමී” ආසනික් පරීක්ෂණය සිදුකරමින් සිටි දේශප්‍රේමී විද්‍යාඥ කණ්ඩායම වෙතය. එහෙත් රාජ්‍ය නිලධාරියකු වශයෙන් ඔහුට පළිබෝධනාශක ගැන සාධාරණ සැකයක් ඇතිවී නම් යායුතුව තිබුණේ එවැනි පර්යේෂණ කටයුතු සඳහා නීතියෙන් නියම කළ හා පිළිගත් පර්යේෂණ ආයතනයන් වෙත මිස කැලණිය විශ්වවිද්‍යාලය වෙත නොවේ. 1980 අංක 33 දරන පළිබෝධනාශක පනත අනුව පළිබෝධනාශක පරීක්ෂාවට ලක්කිරීමට බලය ඇති ආයතන වන්නේ මධ්‍යම කෘෂි පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා කාර්මික තාක්ෂණ ආයතනය යන පර්යේෂණ ආයතන තුනය. නීතියෙන් නියම කළ එම පර්යේෂණ ආයතන තුන තිබියදී රේගු අධ්යක්ෂවරයා ජාතික මට්ටමේ කිසිදු පිළිගැනීමක් නොතිබුණු කැලණිය විශ්වවිද්‍යාලය වෙත ගියේ තිබුණු අන්තර් සම්බන්ධය නිසා මිස වෙන කිසි දෙයක් නිසා විය නොහැකිය.
කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේ ප්‍රධානියා ද මෙම විෂයේදී තමන්ට හිමි නැති බලයක් තමන් වෙත ආරෝපණය කරගෙන ක්‍රියාකර ඇති බව පෙනී යයි. රසායනාගාරයේ ප්‍රධානියා වශයෙන් හා මෙම පර්යේෂණ කණ්ඩායමට අයත් සාමාජිකයකු වශයෙන් මෙවැනි පරීක්ෂණයක් සඳහා රසායනාගාරය පාවිච්චි කිරීමේ අයිතියක් ඇයට තිබුණි. එම සොයාගැනීම්වලින් පසුව ඇය කළ යුතුව තිබුණේ පළිබෝධනාශක ව්‍යාපාරයේ දේශීය ව්‍යාපාරිකයන් තම රසායනාගාරයට ගෙන්වා නිල බලය ප්‍රදර්ශනය කරනවා වෙනුවට තමන්ගේ සොයාගැනීම් හා ක්‍රමවේදය ඒ විෂය සඳහා පිළිගත් පර්යේෂණ ආයතන තුනට හෝ ඉන් එකකට හෝ යවා ඒ ගැන වැඩිදුර සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටීමය.