ඉන්දියාව හා 13 වැනි සංශෝධනය

May 29, 2011
Publication:
The question of what political settlement should be given to the Tamil people of the north has again reached a state of feeling rather than of thought, and the joint statement issued by the Indian and Sri Lankan external affairs ministers has drawn heavy criticism in some quarters — with some parties using it to raise anti-Indian feeling again.

උතුරේ දෙමළ ජනතාවට දියයුතු දේශපාලන විසඳුම කුමක් විය යුතුද කියන ප්‍රශ්නය නැවත හැඟීම්බර අදහස් පළකරන තත්ත්වයක් ඇතිවී තිබේ. ඉන්දියාවේ විදේශ කටයුතු ඇමතිවරයා හා ලංකාවේ විදේශීය කටයුතු ඇමතිවරයා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය සමහර අංශවල බලවත් විවේචනයට හේතුවී තිබේ. සමහර දේශපාලන පක්ෂ නැවත රට තුළ ඉන්දියානු විරෝධී හැඟීම් ඇති කිරීමට මෙය අවස්ථාවක් කරගනිමින් තිබෙන බවද පෙනේ.

ජාත්‍යන්තර තලයේ ඇතිවී තිබුණු මහා අවුලක් යම් පමණකට ලිහිල් කරගනිමින් තිබෙන තැනකට යමින් තිබෙන මේ අවස්ථාවේදී නැති අවුල් ඇතිකර ගැනීම රටේ යහපතට හේතුවන්නේ නැත.

ඉන්දියාව කලාපීය බලවතා පමණක් නොව, ඊට එහා ගිය සුපිරි බලයක් ගැන අපේක්ෂා ඇතිව සිටින බලවතකු වනවා පමණක් නොව, ලංකාවට සිටින ළඟම අසල්වැසියා ද වේ. ඉන්දියාවට ශ්‍රී ලංකාව සංවේදී විෂයක් වනවා සේ ම, ශ්‍රී ලංකාවට ද ඉන්දියාව සංවේදී විෂයකි. අපට ආසන්නයේම තිබෙන දකුණු ඉන්දියාවේ විශාල දෙමළ ජනගනයක් ජීවත් වේ. ඔවුන්ට ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය සංවේදී ප්‍රශ්නයකි. දකුණු ඉන්දියාව දක්වන ප්‍රතික්‍රියා ඉන්දියාව කෙරෙහි බලපායි.

ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය පරාජය කිරීමට කැරුණු යුද්ධයේ ජයග්‍රහණය කෙරෙහි බලපෑ සාධක අතර ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබුණු සහායද එක වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ යුද ප්‍රතිපත්තියට අවහිර කරන තැනකට ගියේ නම් අපට එම යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැත. ඉන්දියාව අපට යුද්ධයේදී සහාය දෙන විට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කළ එක දෙයක් වූයේ යුද්ධය අවසානයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බවය. යුද්ධයේදී තමන් ශ්‍රී ලංකාවට දෙන ලද සහාය දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාවට යුක්තිසහගත කිරීමට ඉන්දියාවට හැකිවන්නේ එවිට පමණය. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දෙන ලද පළාත් සභා ක්‍රමය සමග ඊට වැඩි තවත් දෙයක් දෙන බවට ජනාධිපතිවරයා ඉන්දියාවට පොරොන්දු වී තිබුණි. දෙන්නට යන අතිරේක දෙය ලෙස සැලකුණේ සෙනෙට් මණ්ඩලයකි. ජනාධිපතිවරයා දෙන ලද එම පොරොන්දුව රටට රහසක් නොවූ අතර එය ආණ්ඩු පක්ෂයට සම්බන්ධ සියලු පක්ෂ සේ ම, විරුද්ධ පක්ෂද, මහජනතාවද දැන සිටියේය. එවැනි පොරොන්දුවක් මගින් රට පාවාදීමක් සිදුවන්නේය කියන චෝදනාවක් කිසිවකු වෙතින් එල්ල වූයේ නැත. ඊට කලකට පෙර මෙම ප්‍රශ්නය මහජනතාවගෙන් කරුණු විමසා සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා සිංහලවාදී සංවිධාන විසින් ඇතිකර ගන්නා ලද සිංහල කොමිසමේ නිගමන වූයේද පළාත් සභා ක්‍රමය පිිළිගත හැකි බවය. එය තරයේ විරුද්ධ වූයේ ඉන් එහා ගිය පෙඩරල් ක්‍රමයකට පමණය.

පළාත් සභා ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළත් ව්‍යවස්ථාපිත ක්‍රමයකි. සමහර බලතල නැතිව ඒ ක්‍රමය උතුරේ හැර අන් හැම ප්‍රදේශයකම ක්‍රියාත්මක වේ.

දැන් ප්‍රභාකරන්ගේ ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් රටේ නැත. යුද්ධය ජයගැනීමෙන් පසු 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව ඉන්දියාවට පමණක් නොව, රටේ දෙමළ ජනතාවද සහතික වී තිබෙන අතර එය ජාත්‍යන්තරව රටවල ද අවධානය දිනාගත් කේන්ද්‍රීය ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.

එය රට බෙදන විසඳුමක් නොව, රට එකතු කරන විසඳුමකි. ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීම ඉතා නිවැරදි වුවත් ඒ නිසා දෙමළ ජනතාවගේ හදවත්වල ඇතිවී තිබෙන තුවාල සුවකිරීමද යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වැදගත් කොන්දේසියකි. නැතිවූ ජීවිත හැර දෙමළ ජනතාවට අවශ්‍ය අන්හැම දෙයක්ම ලබාදීමට රජය සූදානම් බව කීවේ ඇමති බැසිල් රාජපක්ෂ මහතාය. ශ්‍රී ලංකාවට ශක්තිමත් රටක් ලෙස නැගී සිටීමට අවශ්‍ය හැකියාව ලැබෙනු ඇත්තේ වර්ග අනුව ජාතිය බෙදීමෙන් නොව, ජාතිය එකතු කිරීමෙනි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමෙන් එල්ල වී තිබෙන පීඩනය අවම කරගත හැකිවනු ඇත්තේද එවිටය. වඩාත්ම වැදගත් දේ වන්නේ ජාතික සමගිය ඇතිකර ගැනීමෙනි. මේ රටේ ජීවත් වන සියලු ජනවර්ගවලට අන්‍යොන්‍ය විශ්වාසයෙන් හා ගෞරවයෙන් ජීවත් වියහැකි වටාපිටාවක් ඇති කිරීමෙනි. භේදයකින් තොරව ඒ අරමුණ ජයගැනීම සඳහා සියලුදෙනා එකට එකතු වී වැඩ කරන තැනකට ආ යුතුය.