යටත්විජිත තත්ත්වයක තිබූ වෙනත් බොහෝ රටවල සේ ලංකාවේද දේශපාලන ප්‍රතිසංස්කරණ දිනාගැනීම සඳහා වන දේශපාලන ප්රබෝධය කරළියට එන්නේ විදේශ පාලන කාලය තුළ යටහත් පහත් තත්ත්වයකට ඇද දමා තිබූ ස්වදේශීය ආගම් එම ආගම්වලට පෙර තිබූ තත්ත්වය හිමිකර ගැනීමට දරන ප්රයත්නයන් නිසා දේශීය ආගමික අංශවල ඇතිවන ආගමික ප්‍රබෝධයෙනි. ලංකාවේ මෙම තත්ත්වය ඇතිවන්නේ 19 වැනි ශතවර්ෂයේ අවසාන දශකවලදීය.
බෞද්ධ-හින්දු ආගමික පුනර්ජීවනය
මේ වන විට උපයෝගී සේවාවන් මත පදනම් වූ ස්වදේශීය ධනපති පන්තියක් ගොඩනැගී තිබුණා සේ ම අධ්‍යාපනය මත පදනම් වූ වෘත්තීයවේදීන් පිරිසක් ද ගොඩනැගී තිබුණේය. ස්වදේශීය ආගමික අංශවල ඇතිවන ප්රබෝධයේ බලවත්ම ආධාරකරුවන් බවට පත්වන්නෝ මෙම ස්වදේශීය ධනවත්තු හා වෘත්තීයවේදීන් අතර සිටි බුද්ධාගම හා හින්දු ආගම ඇදහූවෝය.
පෘතුගීසී යුගයේදී බෞද්ධ, හින්දු, ඉස්ලාම් යන ආගම්වලට එරෙහිව දරුණු මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය. මෙම ආගම් මිථ්‍යාදෘෂ්ටික ආගම් ලෙස සලකා පෘතුගීසි අණසක පැවති ප්‍රදේශවල එම ආගම් ඇදහීම තහනම් කර තිබුණා සේ ම එම ආගම්වලට අයත් ආගමික සිද්ධස්ථාන විනාශ කිරීම හා කොල්ලකෑම එම පාලනයේ නිල ප්‍රතිපත්තියක් බවට පත්ව තිබුණේය. ලන්දේසීන්ගේ ආගමික ප්‍රතිපත්තිය කතෝලික හා හින්දු ආගම් අදහන්නන් කෙරෙහි දරදඬු වුවත් බෞද්ධයන් හා හින්දුන් කෙරෙහි දරදඬු නොවීය. එහෙත් ඔවුහු පෘතුගීසීන් ආරම්භ කළ කතෝලික පාසල්වල පාලනය සියතට ගෙන ඒවා ප්‍රධාන කොට රෙපරමාදු ක්‍රිස්තියානි ආගම පතුරුවන ආයතන ක්‍රමයක් බවට පත්කර ගත්තෝය. බ්‍රිතාන්‍යයෝ ආගමික විෂයේදී තමන්ගේ ආගම පතුරුවාලීමට උමතු උනන්දුවක් නොදැක්වූහ. ඔවුහු මිෂනාරී ව්‍යාපාරවලට ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු ඉදිරියට ගෙනයෑම සඳහා ආධාර කළද බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයන් හෝ සිවිල් නිලධාරීන් වැඩි පිරිසක් මිථ්‍යාදෘෂ්ටිකයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට උනන්දුවක් දැක්වූ අය නොවූහ. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයන් බුද්ධාගමේ ආරක්ෂකයා ලෙස පෙනී සිටින ප්‍රතිපත්තිය මිෂනාරී ව්‍යාපාරවල තදබල විරෝධයට හේතුවිය. 1815 උඩරට ගිවිසුම අනුව රජු වෙනුවට බුද්ධාගමේ ආරක්ෂකයා වූයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාය. දළදා මාලිගාවේ භාරකාරත්වය පැවරී තිබුණේද, නුවර පෙරහැර පැවැත්වීමේ හා නායක හිමිවරුන් පත්කිරීමේ රාජකාරි වගකීම පැවරී තිබුණේද ආණ්ඩුකාරයා වෙතය. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා මිථ්‍යාදෘෂ්ටික ආගමක භාරකරුවා ලෙස ක්‍රියාකිරීම මිෂනාරිවරුන්ගේ දැඩි විරෝධයට හේතුවීම නිසා බුද්ධාගමට අදාළව තමන් වෙත පැවරී තිබුණු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට ආණ්ඩුකාරවරයාට සිදුවූ අතර ඒ නිසා ඇතිවූ අවුල්සහගත තත්ත්වය භික්ෂූන් වහන්සේලා අතර සේම බෞද්ධයන් අතර ද බලවත් කණස්සල්ලක් ඇති කිරීමට හේතුවී තිබුණි.
1880 පමණ වන තුරු ලංකාවේ සියලුම පාසල් පවත්වාගෙන යන ලද්දේ ආණ්ඩුව විසින් හා ක්‍රිස්තියානි මිෂනාරී සංගම් විසිනි. බෞද්ධ හා හින්දු පාසල් තිබුණේ එකක් දෙකක් පමණය. මේ නිසා අධ්‍යාපනයේදී බුද්ධාගම හා හින්දු ආගම ඇදහූ පුද්ගලයන්ට සිය දරුවන් යවන්නට සිදුවූයේ ආණ්ඩුවේ පාසල්වලට හෝ මිෂනාරි පාසල්වලටය. 1899 වනවිට ශිෂ්‍යයන් 90,000ක් සහිත මිෂනාරී පාසල් 1000කට වැඩි සංඛ්‍යාවක්ද, ශිෂ්‍යයන් 47,000ක් සහිත ආණ්ඩුවේ පාසල් 490ක් ද රටේ තිබුණි. මිෂනාරි පාසල්වල අධ්‍යාපනය ලබන බෞද්ධ හා හින්දුන්ටද ක්‍රිස්තියානි ආගම ඉගෙන ගන්නට සිදුවූ අතර සමහරවිට බෞතිස්ම කිරීමට ලක්වන්නටද සිදුවිය. බුද්ධාගම හා හින්දු ආගම ම්ලේච්ඡ ආගම් ලෙස හඳුන්වමින් මිෂනාරි සංවිධාන පවත්වාගෙන ගිය ප්රචාරක ව්‍යාපාරය බෞද්ධයන්ගේ, හින්දුන්ගේ බලවත් විරෝධයට හේතුවී තිබුණි.
ක්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාර ස්වදේශ ආගම්වලට එරෙහිව පවත්වාගෙන ගිය ප්රකෝපකාරී හා ආක්රමණික වැඩපිළිවෙළට එරෙහිව ස්වදේශීය ආගම් අදහන්නන් තුළින් ඇතිවූ නැගිටීම ලංකාව ධනේශ්වර ක්‍රමයකට මාරුවීමෙන් පසුව ස්වදේශීය ආගම් අදහන බහුතර ජනතාව අතර විශාල ආස්වාදයක් ඇති කිරීමට හේතුවූ ලොකුම අයිතිවාසිකම් සටන ලෙස සැලකිය හැකිය. ඔවුහු රැස්වීම්, ප්‍රසිද්ධ විවාද, පත්‍රිකා හා සඟරා මගින් ක්‍රිස්තියානි ආධිපත්‍යය අභියෝගයට ලක් කළෝය. ම්ලේච්ඡ කොට සැලකිය යුත්තේ දේශීය ආගමික විශ්වාසයන් නොව, ක්‍රිස්තියානි ආගමික විශ්වාසයන් බව තහවුරු කිරීමට උත්සාහ කළෝය. ඒ සඳහා කැරෙන වාද විවාද මගින් බෞද්ධ හා හින්දු පාණ්ඩිත්‍යය ප්‍රතිෂ්ඨාපනය කළේය. ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදෙන ක්‍රිස්තියානි පාසල් ක්‍රමය වෙනුවට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදෙන බෞද්ධ, හින්දු හා මුස්ලිම් පාසල් ක්‍රමයක් ආරම්භ කිරීම මගින් අධ්‍යාපන ක්ෂේත්රයෙන් ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ට තිබුණු ඒකාධිකාරිත්වය අහෝසි කළේය.
ආවේණික සීමා
මෙම ආගමික පුනර්ජීවන ව්‍යාපාරය තමන් අදහන දේශීය ආගම්, අපරදිග ජාතීන්ට අදහන ක්‍රිස්තියානි ආගමට වඩා උසස්යැ”යි කියන හැඟීම දේශීය ආගම් ඇදහූ බහුතර ජනතාව අතර ඇති කරනවාට අතිරේකව එය ඔවුන් අතර ජාත්‍යානුරාගී හැඟීම් ඇති කළ ව්‍යාපාරයක් ද වූයේය. එය අනාගත දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දෘෂ්ටිය හා දේශපාලන නායකයන් තනන ව්‍යාපාරයක් ලෙසද ක්‍රියා කළේය. එය ජාතිවාදී ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි වුවත් මුළුමනින් විදේශ බලපෑමෙන් තොර ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකිය. එම ආගමික පුනර්ජීවන ව්‍යාපාරය කෙරෙහි පරම විඥානාර්ථවාදීන්ගේ අදහස් ද ක්‍රිස්තියානි විරෝධී බ්‍රිතාන්‍ය හේතුවාදීන්ගේ අදහස් ද බලපෑවේය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය කෙරෙහි ඇමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්ද, රුසියානු ජාතික හෙලේනා බ්ලැවැට්ස්කිද, හින්දු පුනර්ජීවන ව්‍යාපාරය කෙරෙහි ඉන්දියානු ජාතිකයන් වූ රාමක්‍රිෂ්ණ පරමහංස හා ස්වාමි විවේකානන්ද ද, ඉස්ලාම් පුනර්ජීවන ව්‍යාපාරය කෙරෙහි මිසර ජාතික ඔරාබි පාෂා ද බලපෑවේය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාල, ආරුමුගම් නාවලර් හා සිද්ධිලෙබ්බේ මෙම ආගමික පුනර්ජීවන ව්‍යාපාරය විසින් නිර්මාණය කරන ලද වර්ණවත්ම චරිත ලෙස සැලකිය හැකිය.
සමහර අංශවලින් ඉතාමත් වැදගත් ඉදිරිගාමී කාර්යභාරයක් ඉටු කළේ වුවද ඉන්දියාවේ හින්දු හා ඉස්ලාම් ආගමික පුනර්ජීවන ව්‍යාපාරය සමග ගත් විට ලංකාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ දෘෂ්ටියට ආවේණික බරපතළ සීමාසහිතකම් දෙකක් තිබුණේයැ”යි කිව හැකිය. ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ක්‍රිස්තියානි ආගමේ බලහත්කාරී ව්‍යාප්තවාදයට එරෙහිව ක්‍රියා කළ ද එය ක්‍රිස්තියානි ආගමික විශ්වාසයන්ට අභියෝග කළ ව්‍යාපාරයක් නොවීය. එය ක්‍රිස්තියානි ආගමික විශ්වාසයන්ට සේ ම වෙනත් ආගමික විශ්වාසයන්ටද ගරු කළේය. වෙනත් ආගම් අදහන ජනතාව හෝ ජනවර්ග සතුරන් ලෙස සලකන ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේය. එසේම එය සිය ආගම්වලට බාහිර වශයෙන් එල්ල වන බලපෑම්වලට සීමා කොට සිය ආගමික ඇදහීම්වලට එකතු වී තිබුණු සති පූජාව, ළමා විවාහ ක්‍රමය, ස්ත්‍රීන් සමානයන් ලෙස නොසැලකීම, කුලභේදය වැනි යල් පැනගිය දේවලට එරෙහිව සිය ආගම්වල අභ්‍යන්තර ප්‍රතිශෝධනය සඳහා බර තබා ක්‍රියා කරන ව්‍යාපාරයක් විය.
එහෙත් ලංකාවේ දේශීය ආගම්වල පුනර්ජීවන ව්‍යාපාරය ක්‍රිස්තියානි පල්ලියේ බලහත්කාරී ව්‍යාප්තවාදයට එරෙහිව පමණක් සටන් කළ ව්‍යාපාරයක් නොවීය. එය ක්‍රිස්තියානි ආගමික විශ්වාසයන්ට එරෙහිවද සටන් කළේය. එය තම ජනවර්ගය තුළ සිටින අන්‍ය ආගම් අදහන්නන් දෙස සේ ම, අන්‍ය ආගම් අදහන ජනවර්ග දෙස ද බැලුවේ පසමිතුරු ආකාරයකිනි. අනෙක් අතට එය බාහිර බලපෑම්වලට එරෙහිව සටන් කරන ව්‍යාපාරයක් වූවා මිස සිය ආගම්වල අභ්‍යන්තර පරිශෝධනය ගැන උනන්දුවක් දැක්වූ ව්‍යාපාරයක් නොවීය. විශේෂයෙන්ම එය සිය ආගම්වලට එකතු වී තිබුණු කුලභේදය නොසලකා සිටි හෝ අනුමත කළ ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය.
කුල භේදය
කුුලභේදය විසින් සිංහල හා දෙමළ සමාජවල පීඩිත තත්ත්වයක තබා ඇති සමාජ කණ්ඩායම් අතර ඇති අසහනය රටේ වර්ගභේදවාදී හා ආගම් භේදවාදී ගැටුම් උග්‍ර කරන අතිරේක සාධකයක් ලෙස ක්‍රියාකිරීමෙන් නොනැවතී එය ප්රචණ්ඩ ගැටුම් කෙරෙහි ඍජු ලෙස බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබුණද කුලය ලංකාවේ ප්‍රසිද්ධ සාකච්ඡාවට ලක් නොවන මාතෘකාවක් ලෙස සැලකිය හැකිය. එම විෂය කතාබහට ලක්වන්නේ අප්‍රසිද්ධියේය. එය ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට කවදාවත් ඇතුළත් නොවූ මාතෘකාවක් ලෙසද සැලකිය හැකිය.
බරපතළ වෙනස්කම් තිබියදීත් ලංකාවේ කුල ක්‍රමය ඉන්දියානු කුල ක්රමයේම විකාශනයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ලංකාවේ කුල ක්‍රමය ඉන්දියාවේ චතුර්විධ වර්ණ ක්‍රමයට සමාන නැත. සිංහල සමාජය සේ ම යාපනේ දෙමළ සමාජයටද ඇත්තේ ගොවිකුල හෝ වෙල්ලාල ආධිපත්‍යය සහිත යටිකුරු පිරමීඩාකාර කුල ව්‍යුහයකි. සිංහල හා යාපනේ දෙමළ සමාජවල 50%කට ආසන්න විශාල ජනගහනයක් අයත් වන්නේද, උසස්ම කුලය වශයෙන් සලකනු ලබන්නේද සිංහල සමාජයේ ගොවිගම හා දෙමළ සමාජයේ වෙල්ලාල යන කුලයන්ය. ගොවිගම හෝ වෙල්ලාල නොවන අන් සියලු කුල සැලකෙනුයේ පහත් කුල වශයෙනි. බ්‍රාහ්මණ කුලයක් දෙමළ කුල ක්‍රමයට ඇතුළත්ව ඇතත් එවැන්නක් සිංහල කුල ක්‍රමයට ඇතුළත්ව නැත. සමාජයෙන් පිටමං කළ අස්පර්ශ තත්ත්වයෙහිලා සැලකිය හැකි කුල දෙමළ කුල ක්‍රමයට ඇතුළත්ව ඇතත්, සිංහල කුල ක්‍රමය තුළ එවැනි තත්ත්වයක් හිමි කරගෙන සිටින්නේ රොඩී කුලය පමණය. එම කුලයට අයත් ජනගහනයේ ප්‍රමාණය ඉතාමත් කුඩාය. ජන්මයෙන් ලැබෙන කුලය හා එම කුලය විසින් ලබාදෙන තත්ත්වය වෙනස් කළ නොහැකි උරුමයක් ලෙස සැලකුණු අතර එය සමාජ ජීවිතය තීරණය කළ ප්‍රධාන සාධකයක් ලෙස ක්‍රියා කළේය. කුලය අඳින ඇඳුම් පැළඳුම් කෙරෙහි පවා බලපෑවේය. සමහර කුලවලට ඔසරිය ඇඳීම තහනම් වූ අතර තවත් සමහර කුලවලට උඩුකය වැසෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් විය. තවත් සමහර කුලවලට දණහිසෙන් පහළ වැසෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් විය. උසස් කුලවල අයට හීන කුල අය සමග එකට ආහාර ගැනීම තහනම් වූ අතර ගැහැනියකට නම් හීන කුලයක පිරිමියකු සමග සම්බන්ධකම් ඇති කරගැනීම තහනම් විය. එවැනි ක්‍රියාවකදී ඒ මගින් එම පවුලට සිදුවන නින්දාවෙන් නිදහස්වීම සඳහා එම ගැහැනිය මරා දැමීමේ අයිතිය පවුලේ සාමාජිකයන්ට ලබාදී තිබුණි.
බ්‍රිතාන්‍ය පාලකයෝ කුල ක්‍රමයට තිබුණු නිල පිළිගැනීම අහෝසි කළහ. රාජකාරී ක්‍රමය අහෝසි කොට තමන් කැමති ඕනෑම වෘත්තියක් තෝරා ගැනීමේ අයිතිය ලබාදෙන ලදි. කුලය නොසලකා නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන ලෙස සලකන ප්‍රතිපත්තියක් ඇති කළෝය. එහෙත් ඇති කළ මෙම වෙනස්කම් චිරාත් කාලයක් තිස්සේ පැවති කුල ක්‍රමය විසින් ඇති කර තිබුණු උස් පහත් බෙදීම් මුළුමනින් අහෝසි කිරීමට හේතුවූයේ නැත. ධනේශ්වර ක්‍රමයට ඉක්මනින් මාරුවීම තුළ හිමි කරගත් ආර්ථික බලය මගින් කුල ක්‍රමය විසින් තමන් කෙරෙහි ඇති කර තිබූ පීඩාව කිසියම් විශාල ප්‍රමාණයකට ජයගැනීමට මුහුදුබඩ කුල තුන (කරාව, සලාගම හා දුරාව) සමත් වුවද සිංහල හා දෙමළ කුල ක්‍රමය තුළ පීඩිත තත්ත්වයක් හිමි කරගෙන සිටි වෙනත් බොහෝ කුලවලට අයත් ජනතාවට තවදුරටත් පැරණි වැඩවසම් අන්ධකාර ලෝකයේ ජීවත්වීමට සිදුවී තිබුණි.
කුලය හා ආගමික ව්‍යවස්ථා
බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයටද කුල අන්තර්ගතයක් තිබුණි. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයක් ඇතිවීම කෙරෙහි ගොවිගම කුලයෙන් පැවිදි වන්නට පමණක් උපසම්පදා දෙන ශාසන ප්‍රතිපත්තියට එරෙහිව සලාගම, කරාව, දුරාව යන මුහුදුබඩ කුල කණ්ඩායම් තුන තමන්ට උපසම්පදාව ලබාගත හැකි තමන්ගේම වන නිකාය ක්‍රමයක් ඇති කරගැනීම නිසා මුහුදුබඩ ප්‍රදේශවල එම නිකායන්ට අයත් විහාරාරාම ක්‍රමයක් ඇතිවීම මුහුදුබඩ ප්‍රදේශවල ගොවිගම නොවන බෞද්ධයන් අතර ආගමික ප්රබෝධයක් ඇති කිරීමට හේතුවූ පළමු සංසිද්ධිය විය. එම ප්‍රදේශවල ජීවත් වූ බෞද්ධයන් ක්‍රිස්තියානි ආධිපත්‍යයටද එරෙහිව ප්‍රසිද්ධ වාද විවාද කරන තැනකට යන්නේද එම පළමු ක්‍රියාදාමයේම ඵලයක් වශයෙනි. බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ කොඳු නාරටිය ලෙස ක්‍රියාකරන්නේද කරාව සලාගම දුරාව යන මුහුදුබඩ කුල තුනට අයත් බෞද්ධ ජනයාය. එම ව්‍යාපාරය සඳහා අවශ්‍ය ධනය ලබාදෙන්නෝද ඔවුහුය. ඒ කෙරෙහි තමන් අදහන ආගමට ඔවුන් තුළ පැවති ඇල්ම සේ ම සිංහල බෞද්ධ සමාජය තුළ සමාන පිළිගැනීමක් ලබාගැනීමට ඔවුන් තුළ පැවති උනන්දුවද බලපෑවේය.
ඒ වන විට කුල ක්‍රමය ආගමික සංවිධාන ක්‍රමය කෙරෙහි බලපා තිබුණු ආකාරය හා එම තත්ත්වය විශේෂයෙන්ම මුහුදුබඩ කුලවලට අයත් ගොවිගම නොවන ජනයා කෙරෙහි ඇති කර තිබුණු අසහනයේ ස්වභාවය පෙන්නුම් කරන නිදර්ශනයක් මෙසේය. පානදුරේ සියම් නිකායට අයත් ගලබොඩ පන්සල එක් කාලයකදී එම ප්‍රදේශයේ සියලු කුලවලට අයත් ජනයා සිය වැඳුම් පිදුම් කටයුතු සඳහා පරිහරණය කළ පන්සල විය. එහි ආගමික උත්සව පවත්වන විට ගොවිගම කුලයේ අයට විශේෂ කොටසකුත් අන් කුලවල අයට පොදුවේ තවත් කොටසකුත් වෙන් කර තබන සම්ප්රදායකට එරෙහිව කරාව කුලයට අයත් 18 දෙනකු නැගී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් රන්කොත් විහාරය නමින් නව පන්සලක් බිහිවිය. මෙම පන්සල ඉදිකිරීමට බර පැන ඉසිලූ අය අතර හරමානිස් ඩයස් ප්‍රධාන විය. ඔහු පානදුරේ සිටි ප්‍රධාන පෙළේ ධනවත් අරක්කු ව්‍යාපාරිකයකු වූ අතර විශාකා විද්‍යාලයේ නිර්මාතෘවරිය වන සෙලස්තිනා ඩයස්ගේ ස්වාමි පුරුෂයාගේ පියාය. බෞද්ධ පුනර්ජීවනයේ ප්‍රධානතම සංසිද්ධිය ලෙස සැලකිය හැකි පානදුරාවාදය සඳහා අවශ්‍ය බර පැන උසුලන ලද්දේ හරමානිස් ඩයස්ගේ පුතා වූ ද සෙලස්තිනා ඩයස්ගේ ස්වාමි පුරුෂයා වූද ජෙරමියස් ඩයස්ය. පානදුරාවාදය පැවැත්වුණු භූමියද ජෙරමියස් ඩයස්ට අයත් ඉඩමක් විය.
රන්කොත් විහාරය ඇතිවීම පිළිබඳ මෙම නිදර්ශනය ඒ යුගයේ පන්සල් කෙරෙහි කුලභේදය බලපා තිබූ ආකාරය සේ ම ගොවිගම නොවන අයට වෙනස්කම් කළ සියම් නිකායට එරෙහිව වෙනත් නිකායයන්ට අයත් විහාර ඉදිකිරීමට ගොවිගම නොවන ප්‍රභූන් දක්වන ලද උනන්දුවේ තරමද පෙන්නුම් කරයි. එහෙත් උත්සව අවස්ථාවලදී ආගමික සිද්ධස්ථානවලට එන බැතිමතුන් කුලය අනුව වෙන් කොට අසුන් පනවන සම්ප්රදාය බෞද්ධ පන්සල්වලට පමණක් සීමාවූ දෙයක් නොවීය. එය කතෝලික හා ක්‍රිස්තියානි පල්ලිවලද එකල ක්‍රියාත්මක වූ සම්ප්රදායයක් විය.
ලංකා විශ්වවිද්‍යාලයේ පළමු සමාජ විද්‍යා මහාචාර්යවරයා වූ බ්‍රයිස් රයන් පෙන්වා දී ඇති පරිදි දහනව වැනි සියවසේ අවසානයේ පටන් 1925 පමණ තෙක් ලංකාවේ පහළ වූ ඉතාම කටුක ගැටුම් පැන නැගුණේ ජනවර්ග අතර නොව, විවිධ කුල වර්ග අතරය. ප්‍රසිද්ධ ආගම් විවාද පැවති කාලයේදීම ආරූඪ නම්වලින් පළ කැරෙන පත්‍රිකා මගින් ගොවිගම කුලයේ ප්‍රමුඛතාව අයෝග්යයට ලක් කැරෙන උණුසුම් කුලවාදයක්ද රටේ සිදුවිය. මෙම කුලවාදය ආරම්භ වූයේ කරාව කුලය, ගොවිගම කුලයට වඩා උසස් කුලයක් බව කීම පිණිස කරාව කුලය වෙනුවෙන් ප්‍රකාශ වූ පත්‍රිකාවක් මුල් කොටගෙනය. එයට පිළිතුරු වශයෙන් ගොවි කුලය වෙනුවෙන් ද පිළිතුරු පත්‍රිකාවක් ප්‍රකාශ කරන ලද අතර එයින් ආරම්භ වන පත්‍රිකා මගින් කැරෙන කුලවාදයට එකතු වන පත්‍රිකා සංඛ්‍යාව 50කට ආසන්නය. මෙම වාදය වෙනුවෙන් ප්‍රකාශ කැරුණු පත්‍රිකාවලට ඇතුළත් භාෂා විලාසය ඉතා පහත් හා වෛරසහගත භාෂා විලාසයක් ලෙස සැලකිය හැකිය. සැලකිල්ලට ගතයුතු ඉතාමත්ම වැදගත්ම දේ වනුයේ ක්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහිව බුද්ධාගමේ ගෞරවය හා ආරක්ෂාව වෙනුවෙන් සිදු කැරුණු ප්‍රසිද්ධ වාද විවාදවලදී බෞද්ධ පක්ෂයේ ප්‍රධාන උපදේශකයන් ලෙස ක්‍රියා කළ සමහර නාමධාරී පැවිදි උගතුන් පත්‍රිකා මගින් කැරෙන මෙම කුලවාදයේදී අශෝභන හා වෛර භාෂාවකින් එම පත්‍රිකා ලියන්නන් ලෙස ක්‍රියාකර තිබීමය. ආගමික සමගිය නමැති අළු යට සැඟවී තිබුණු කුල ගිනි පුපුරුවල තරම එයින් පෙන්නුම් කරයි.
ලංකාවේ බෞද්ධ ව්‍යාපාරයට ස්වදේශිකයන් අතුරින් කෙනකු නායකයා වශයෙන් තෝරාගෙන, බෞද්ධයකු නොවූ ඇමරිකන් ජාතිකයකු (හෙන්රි ස්ටීල් ඕල්කට්) සිය නායකයා වශයෙන් තෝරා ගැනීමට සිදුවූයේද තමන් අතුරින් කෙනකු නායකයා වශයෙන් තෝරා ගැනීමට බැරි තරමට ඔවුන් කෙරෙහි කුලභේදය බලපා තිබුණු නිසාය. සිංහල බෞද්ධයන්ගේ උන්නතියට අනුපමේය සේවයක් කර තිබියදීත්, අනගාරික ධර්මපාලගේ නායකත්වය මතභේදයට හේතුවූයේද ඒ නිසාය. අවසානයේදී අනගාරික ධර්මපාල ලංකාව අතහැර ඉන්දියාවේ පදිංචියට ගියේ නැවත ලංකාවේ උපදින්නට සිදු නොවේවා කියන ප්‍රසිද්ධ ප්‍රාර්ථනයත් සමගය.
ජේම්ස් පීරිස් හා පොන්නම්බලම් රාමනාදන්
ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ආණ්ඩුකාරයා විසින් නාමකරණයෙන් පත් කරනු ලබන නියෝජිතයන්ට අතිරේකව ස්වදේශිකයන් සඳහා සීමිත ඡන්දයකින් පොදු නියෝජිතයකු පත්කර ගැනීම සඳහා පළමුවරට මැතිවරණයක් පවත්වන ලද්දේ 1911දීය. එම මැතිවරණය ඒ වන විට අනාගත ජාතික නායකයන් ලෙස ගොඩනැගෙමින් සිටි ජාතික නායකයන් කෙරෙහි කුලභේදය බලපෑ තරම පෙන්නුම් කළ වැදගත් අවස්ථාවකි. කරාව ප්‍රභූ පන්තිය එවකට රටේ සිටි ප්රමුඛ වෛද්‍යවරයකු වූ මාකස් ප්‍රනාන්දු එම අසුනට තරග කරන අපේක්ෂකයකු ලෙස තරග බිමට ගෙන ආවේය. මෙම උසස් තනතුරට කරාව කුලයේ කෙනකු තේරී පත්වනවා දකින්නට කැමති නොවූ ගොවිගම ප්රභූහු එය වළකන උපාය මාර්ගික වැඩපිළිවෙලක් දෙස සිය අවධානය යොමු කළෝය. එකල ඡන්ද බලය කෙරෙහි බලපෑවේ පුද්ගලයකු සතු ධනවත්කම හා උගත්කමය. ඡන්ද බලය හිමිව තිබූ ස්වදේශිකයන් ගණන 2938කි. ඡන්ද බලය හිමිව සිටි අයගෙන් කිසියම් ලොකු පංගුවක් කරාව, සලාගම හා දුරාව යන මුහුදුබඩ කුලවලට අයත් වීම හේතු කොටගෙන සිංහල ගොවිගම අපේක්ෂකයකු තරග බිමට ගෙන කරාව අපේක්ෂකයා පරාජය කළ නොහැකි බව තේරුම් ගත් ගොවිගම ප්රභූහු කරාව අපේක්ෂකයා පරාජය කිරීම සඳහා යොදාගත හැකි හොඳම තුරුම්පුව ලෙස සලකා පොන්නම්බලම් රාමනාදන් පාවිච්චි කළෝය. රාමනාදන් ඒ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන සිය විශ්‍රාම ජීවිතය ගතකරමින් සිටියේ දකුණු ඉන්දියාවේය. ගොවිගම ප්‍රභූ පන්තිය වෙනුවෙන් ඔහු හමුවන්නට ගිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පා (හෙක්ටර් ජයවර්ධන) මෙම තනතුරට තරග කිරීමට රාමනාදන් කැමති කරවා ගත්තේය. මෙම අපේක්ෂකයන් දෙදෙනා වෙනුවෙන් විවිධ ප්‍රදේශවල පැවති රැස්වීම්වලදී එකිනෙක කුල නිග්‍රහයට ලක් කැරෙන කතා පවත්වන ලද බව සමකාලීන වාර්තාවල සඳහන්ය. මැතිවරණයේදී දෙමළ ඡන්දදායකයන්ට අතිරේකව සිංහල ගොවිගම ඡන්දදායකයන්ද රාමනාදන්ට ඡන්දය පාවිච්චි කිරීම නිසා පහසු ජයක් අත්පත් කරගැනීමට රාමනාදන් සමත් විය.
එම මැතිවරණය කුල තරගයක් වන්නට යන බව දැන දැනම හා දෙමළ ඡන්ද සමග එකට එකතු කැරෙන සිංහල ගොවිගම ඡන්දවලින් තමන් ලබන ජයග්‍රහණයක් කරාව කුලයේ ජනයා අතර දෙමළ විරෝධී හැඟීම් ඇති කිරීමට හේතුවන බව දැන දැනම රාමනාදන් වැනි පුද්ගලයකු කුලයට බර තබා ක්‍රියාකරන වැඩපිළිවෙළක කොටස්කරුවකු වූයේ කෙසේද යන්න ප්රහේළිකාවකි. ඔහු මෙම තරගය කුල තරගයක් බවට පත්වීම වැළැක්වීමට මොනම උත්සාහයක් ගත් බවක් ද පෙනෙන්නට නැත. අනෙක් අතට රාමනාදන්ගේ සහෝදරයා වූ පොන්නම්බලම් අරුණාචලම් පවා සිය සහෝදරයාගේ වැරදි ක්‍රියාමාර්ගය නිවැරදි කිරීමට මැදිහත් වූ බවක් පෙනෙන්නට නැත.
පොන්නම්බලම්වරුන් සිංහල ගොවිගම ප්‍රභූ පන්තිය සමග එකතුවී සිය කුලය අවඥාවට ලක්කිරීමෙන් නොනැවතී සිය කුලයේ නියෝජිතයකුට පහසුවෙන් දිනාගත හැකිව තිබුණු තනතුරක් අහිමි කිරීමෙන් සිය කුලයට සිදුකළ නින්දාවට කරාව ප්‍රභූ පන්තිය ඊළඟ වටයේදී පළිගත්තේ පොන්නම්බලම් රාමනාදන්ගේ සහෝදරයා (පොන්නම්බලම් අරුණාචලම්) ගෙනි. 1920 ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සඳහා පැවති මැතිවරණයේදී ලංකා ජාතික සංගමය පොරොන්දු වී තිබූ පරිදි බටහිර කොළඹ ආසනයට නිතරගයෙන් තේරී පත්වීමට තමාට සහාය දෙනු ඇතැ”යි පොන්නම්බලම් අරුණාචලම් විශ්වාස කළේය. එහෙත් ලබාදී තිබුණු පොරොන්දුවට පටහැනිව ජේම්ස් පීරිස් එම අසුනට නාමයෝජනා ඉදිරිපත් කිරීම නිසා පොන්නම්බලම් අරුණාචලම් තරග කිරීමෙන් වැළකී ලංකා ජාතික සංගමයට එකතු වී සිටි දෙමළ නියෝජිතයන් වැඩි පිරිසක් සමග එම සංගමයෙන් ඉවත්ව ගියේය. ජේම්ස් පීරිස් එහිදී 1911 මැතිවරණයේදී පොන්නම්බලම් රාමනාදන් සිය කුලයට කරන ලද අවමානයට රාමනාදන්ගේ සහෝදරයාගෙන් පළිගත් බව පෙනේ. එය කුල ගැටුම වර්ග ගැටුමට සම්බන්ධ වෙන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. ඊළඟ යුගයේදී බිහිවන දෙමළ විරෝධී සිංහල නායකයන්ගෙන් වැඩි පිරිසක් බිහිවන්නේ ද කරාව කුලයෙනි. ඒ තත්ත්වය කෙරෙහි 1911දී පොන්නම්බලම් රාමනාදන් රඟපෑ භූමිකාවද බලපෑවා විය හැකිය.
දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි ලංකා ජාතික සංගමය ඇතුළු ප්‍රධාන ධාරාවේ කිසිම දේශපාලන ව්‍යාපාරයකට රටේ පැවති කුලභේදය පිළිබඳව පැහැදිලි දර්ශනයක් නොතිබුණි.
විජේවීර හා ප්රභාකරන්
එය සමාජ ප්‍රගතියට බාධා කරන, ජන වර්ග තුළ උස් පහත් භේදයක් ඇති කිරීමට හේතුවී තිබෙන ජනවර්ග තුළ තිබිය යුතු සමානතාවට හා ජනවර්ග අතර තිබිය යුතු සමානතාවට හා සමඟියට බාධා කරන සාධකයක් ලෙස සලකා එයට තිබෙන සමාජ පිළිගැනීම තුරන් කැරෙන දේශපාලන ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව තේරුම් ගැනීමට ඔවුහු අසමත් වූහ. එක්කෝ ඔවුහු කුල භේදය අනුමත කළෝය. නැතිනම් ඔවුන් එය ඉබේ කාලයාගේ ඇවෑමෙන් අභාවයට යන දෙයක් ලෙස සැලකුවෝය.
කරාව, සලාගම, දුරාව යන මුහුදුබඩ කුල තුනට අයත් ජනයා සංක්රමණීය ජන කණ්ඩායම් තුනක් වීම හේතු කොටගෙන එම කුල තුන සිංහල වැඩවසම් ක්‍රමයට හොඳින් අනුගත වී නොතිබුණි. ඔවුන්ගේ කටයුතු පාලනය කරන වැඩවසම් අධිපති ක්‍රමයක් නොතිබුණි. යටත්විජිත යුගය තුළ ඔවුන් ආර්ථික වශයෙන් හා අධ්‍යාපනික වශයෙන් අත්පත් කරගත් දියුණුව ඔවුන් හා ගොවිගම කුලය අතර පැවති පරතරය තුනී කිරීමට හේතුවී තිබුණි. එහෙත් සිංහල හා දෙමළ වැඩවසම් කුල ක්‍රමයට අනුගත වී සිටි සිංහල හා දෙමළ කුල ධුරාවලියේ වඩා පහළ තත්ත්වයක් හිමි කරගෙන සිටි කුලවලට අයත් ජනයා කෙරෙහි කුලය විනාශකාරී හා පීඩාකාරී ලෙස බලපෑවේය. ඔවුන්ගේ අනුපාතිකය සිංහල සමාජයේ 40%ක් පමණ ද, දෙමළ සමාජයේ 45%ක් පමණ ද විය.
ඓතිහාසික අර්ථයෙන් ගත් විට කුලභේදය කාලයාගේ ඇවෑමෙන් අභාවයට යන්නේය. එම අභාවය ඉක්මන් හා වේගවත් කළ යුතුව තිබුණේ කුල ක්‍රමයට තිබෙන සමාජ පිළිගැනීම අහෝසි කරන වැඩපිළිවෙළක් ඔස්සේය. එවැනි දෙයක් නැති තත්ත්වයක් තුළ සිංහල දෙමළ සමාජයේ සැලකිය යුතු තරම් විශාල සමාජ තීරුවක් කෙරෙහි එම සාධකය පීඩාකාරී ලෙස බලපෑවේය.
එසේ පීඩාවට පත්වූවෝ සිය දුක්ගැනවිලි රැගෙන පළමුව ඩොනමෝර් කොමිසම ඉදිරියට ගියෝය. දෙවනුව සෝල්බරි කොමිසම ඉදිරියට ගියෝය. ඔවුන්්ට එම කොමිසන් සභාවලින් ලැබුණු විසඳුමක් නැත. 1948දී ලැබුණු නිදහස ද ඔවුන් ජීවත් වූ පීඩාකාරී තත්ත්වයෙන් ඔවුන් නිදහස් නොකළේය.
දේශපාලන සමාජය කෙරෙන් පළවූ එම නොසැලකිලිමත්භාවයේ අවසන් ප්‍රතිඵලය වූයේ නිදහස ලැබී දශක තුනකට හතරකට පසුව ප්රචණ්ඩ තරුණ නැගිටීම් තුනක් රටේ ඇතිවීමය. ඉන් දෙකක් සිංහලය. එකක් දෙමළය. කැරලිකරුවන් සිංහල තරුණ කැරලි දෙක අර්ථ ගන්වන ලද්දේ සමානතාවාදී සමාජවාදී රාජ්‍යයක් ඇති කරගැනීමේ අරමුණින් කරන ලද නැගිටීම් ලෙසය. දෙමළ කැරලිකරුවන් ඔවුන්ගේ නැගිටීම් අර්ථ ගන්වන ලද්දේ වෙනම සමානතාවාදී ඊළාම් රාජ්‍යයක් ඇති කරගැනීමේ අරමුණින් කරන ලද නැගිටීමක් ලෙසය.
ජනවාර්ගික අර්ථයෙන් සිංහල කැරලි දෙක හා දෙමළ කැරැල්ල අතර වෙනසක් තිබුණද මෙම කැරලි වර්ග දෙක මෙහෙයවන ලද නායකයෝ දෙදෙනාම අයත් වූවෝ එකම කුලයකටය. විජේවීර කරාව කුලයටද, ප්රභාකරන් කරයාර් කුලයටද අයත් විය. මෙම සංවිධාන දෙකේම දෙවැනි පෙළ නායකයන් වැඩි පිරිසක් අයත් වූයේ මෙම සමාජ දෙකේ කුල ධුරාවලින් තුළ පීඩිත තත්ත්වයක් හිමි කරගත් කුලවලටය. සංවිධාන දෙකේම සටන් කරන පාද සෙබළු අයත් වූවෝද පීඩිත කුලවලටය. ජනතා විමුක්ති පෙරමුණ අතින් ඝාතනයට ලක්වූ අයගෙන් වැඩි පිරිසක් ගොවි කුලයටද, එල්ටීටීඊය අතින් ඝාතනයට ලක්වූ අයගෙන් වැඩි පිරිසක් වෙල්ලාල කුලයටද අයත් විය. අනෙක් අතට මෙම වර්ග දෙකේ කැරලි මර්දනයේදී ආරක්ෂක හමුදා අතින් හා අතුරු හමුදාවකින් ඝාතනයට ලක්වූවන්ගෙන් වැඩි පිරිසක් පීඩිත කුලවලට අයත් විය.
71 කැරැල්ලේදී අත්අඩංගුවට ගනු ලැබූ අයගේ කුලය සොයා බලන වැඩපිළිවෙළක් එවකට පාලන බලයේ සිටි ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලදි. ඉන් අවුරුදු 16කට පසුව ඇතිවූ ජවිපෙ දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසුව ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් තරුණ අසහනයට බලපෑ හේතු සොයා බැලීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කළේය. එම කොමිසම විසින් පළමුවරට කැරැල්ල කෙරෙහි කුල පීඩනය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව පිළිගත්තේය.