අභ්‍යන්තර කුළල් කාගැනීම්

March 27, 2011
Publication:
Not having enough internal unity is a large challenge Sri Lanka faced in the past and faces now, and it can be seen not in one place but everywhere. The country needs a strong government, and equally an opposition with the strength to control a government's wrong actions; there must be a contest between them, and there must also be a mutual understanding for the common good.

ප්‍රමාණවත් තරමේ අභ්‍යන්තර සමගියක් නැතිකම ශ්‍රී ලංකාව අතීතයේ සේ ම වර්තමානයේද මුහුණ දී තිබෙන ලොකු අභියෝගයක් ලෙස සැලකිය හැකිය. මෙය එකතැනක නොව හැම තැනකම දැකිය හැකි තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය.

පක්ෂ අතර සේ ම පක්ෂ තුළද, කුළල් කාගැනීම් ප්‍රකට ලක්ෂණයක්ව පවතී. මේ තත්ත්වය ආගම් අතර සේම ආගම් තුළද ජනවර්ග අතර සේම ජනවර්ග තුළද දැකිය හැකිය. මෙම ලක්ෂණය වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ සේම වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාර තුළද දැකිය හැකිය.

විදේශ හමුදාවක් ලංකාවට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරෝ දෙදෙනා ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් වෙත කුදලාගෙන යනවා දකින්නට විරුද්ධ පක්ෂ ව්‍යාපාර කැමතිය. නැතිනම් විදේශ බලවේගයන් ගඩාෆිට පහර දෙන ආකාරයට ජනාධිපති මහින්ද රාජපක්ෂට පහර දෙනවා දකින්නට කැමතිය. ආණ්ඩුව විරුද්ධ පක්ෂ කෙරෙහි දක්වන ආකල්පයද ඒතරම්ම සාහසිකය. ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ජනාධිපතිවරණයට තරග කළ විරුද්ධ පක්ෂ අපේක්ෂකයා ඉන්නේ හිරේය. ඔහුට දඬුවම් කිරීමට මොනතරම් හේතු තිබුණද, මැතිවරණයක් ජයගැනීමෙන් පසු ප්‍රධාන තරගකරුවා හිරේ තබාගෙන ඉඳීම පෙනෙන්නේ දරුණු දේශපාලන පළිගැනීමක් ලෙසය.

ප්‍රතිපක්ෂ කෙරෙහි ප්‍රතිවර්ග කෙරෙහි හා ප්‍රති ආගම් කෙරෙහි වෛරයෙන් බලන ආකල්පයෙන් අත්මිදෙන තෙක් ශ්‍රී ලංකාවට එක්සත් රටක් එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ඇතිකර ගැනීමේ අභියෝගය ජයගත නොහැකිය.

රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය තුළ ඇතිව තිබූ නායකත්ව අර්බුදය දෙකඩවීමක් ඇති නොවන ලෙස විසඳා ගැනීමට සමත්වීම යහපත් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

රටට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය වන්නා සේ ම ආණ්ඩුවේ වැරදි ක්‍රියාකාරකම් පාලනය කිරීමේ ශක්තියක් ඇති විරුද්ධ පක්ෂයක්ද රටට තිබිය යුතුය. මෙම ව්‍යාපාර දෙක අතර තරගයක් තිබීම අවශ්‍ය වුවත් රටේ පොදු යහපත සඳහා ඒ දෙක අතර අනේ‍යාන්‍ය අවබෝධයකින් ක්‍රියාකරන තත්ත්වයක් තිබිය යුතුය.

රටේ ආණ්ඩු ක්‍රමය තුළ ඇති දරදඬු අධිකාරිවාදී ලක්ෂණ දේශපාලන පක්ෂ ක්‍රමය තුළද ඒ සමාන ආකාරයකින් දැකිය හැකිය. විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ බලයේ සිටින විධායක ජනාධිපතිවරයෙක් කවර තත්ත්වයක් යටතේ වුවත් බලයෙන් පහකළ නොහැකි ආකාරයටය. දේශපාලන පක්ෂ තුළ පක්ෂ නායකයාට ලැබී තිබෙන තත්ත්වයද ඊට සමානය. පක්ෂ ව්‍යවස්ථා සකස් වී තිබෙන්නේ ද කොතරම් හේතු තිබුණද පක්ෂ නායකයා බලයෙන් පහළ නොහැකි ආකාරයටය.

මෙම දේශපාලන සංස්කෘතියේ යහපත් වෙනසක් ඇති කරගත හැකිවනු ඇත්තේ වෙනසක් සඳහා වන බලවත් මහජන උනන්දුවක් ඇතිවේ නම් හා දේශපාලන නායකයන්ද රටේ වර්තමාන වුවමනාවන්ට ගැළපෙන වෙනස්කම් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව බුද්ධිමය වශයෙන් තේරුම් ගන්නේ නම් පමණය.

ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු කැබලි වී තිබූ ජාතිය එකට එකතු කරගැනීමට ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාව ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇත්තේ එවිටය.

වාර්ගික අර්බුදයට සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන විසඳුමක් ඇතිකර ගැනීමට විරුද්ධ පක්ෂ ව්‍යාපාරද කුහකත්වයෙන් තොරව ආණ්ඩුවට ආධාර කළ යුතුය. ආණ්ඩුවද කුහකත්වයෙන් තොරව විරුද්ධ පක්ෂ ව්‍යාපාර සමග ඒ අරමුණ ජයගැනීම සඳහා සහයෝගයෙන් වැඩ කරන තැනකට යායුතුය. දෙමළ වර්ගයා නියෝජනය කරන දේශපාලන පක්ෂ ද අවසාන විසඳුමක් ඇතිකර ගැනීම සඳහා උනන්දුවෙන් හා අවංකව ක්‍රියාකරන තැනකට යායුතුය.

දේශීය ජනයා අදහන ආගම් අතරද සමගියෙන් හා අන්‍යොන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන තත්ත්වයක් ඇති කරගත යුතුය. මේ රට අපට පමණක් නොව අනාගත පරපුරටද අයිති රටක් බව ඒ සියලුදෙනා අමතක නොකළ යුතුය.