අධික වැස්ස හා ඒ ආශ්‍රයෙන් විටින් විට ඇතිවන ගංවතුර තත්ත්වය රටේ ආහාර භෝග වගාව කෙරෙහි විනාශකාරී ලෙස බලපා තිබේ. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ තත්ත්වයක් නොව, වෙනත් සමහර රටවලටද අදාළ තත්ත්වයකි. 2011 වර්ෂය ලානිනා වර්ෂයක් ලෙස දැනටමත් නම් කර තිබේ. මෙම වර්ෂය අධික වර්ෂාව නිසා ලෝකයට විශාල හානි සිදුවිය හැකි වර්ෂයක් ලෙස සැලකිය හැකිය. මීට අතිරේකව ලෝකයේ විශාලතම ජනගහනයක් සහිත රට ලෙස සැලකිය හැකි චීනය ද විශාල නියඟයකට මුහුණ දෙන්නට නියමිතව තිබෙන බවද හඳුනාගෙන තිබේ. මෙම වටාපිටාව තුළ ලෝකය විශාල ආහාර අර්බුදයකට මුහුණ දෙන්නට නියමිතය.
දේශීය වශයෙන් පමණක් නොව, ලෝක මට්ටමෙන් ඇති කරන ආහාර අර්බුදයක පීඩාව අවම කරගත හැකිවනු ඇත්තේ ඥානාන්විතව ක්‍රියාකිරීමෙන් පමණය. ඒ සඳහා ආණ්ඩුවට සේ ම මහජනයාටද එම තත්ත්වයට මුහුණදීම සඳහා වන වැඩසටහනක් තිබිය යුතුය. මෙම ගැටලුව පිළිබඳව හරි අවබෝධයක් ආණ්ඩුවට තිබිය යුතු අතර නරක දේශගුණික තත්ත්වයක් තිබියදීත් ඊට ගැළපෙන ආහාර නිෂ්පාදනය නගා සිටුවීම සඳහා වන ක්‍රියාකාරී ජාතික වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතුය. ආහාර අර්බුදයක් ඇති විට, බඩු මිල ඔරොත්තු නොදෙන තරමට ඉහළ යන විට ජනතාව අතර ආණ්ඩු විරෝධී හැඟීම් වර්ධනය වීම නොවැළැක්විය හැකිය. එහෙත් එහිදී ආණ්ඩුව තමන්ගේ සම්පූර්ණ අවධානය ඇතිවිය හැකි දේශපාලන ප්‍රතිවිපාක කෙරෙහි යොමු කොට ආහාර නිෂ්පාදනය කෙරෙහි බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන්නේ නම් රටේ තත්ත්වය පාලනය කළ නොහැකි අවුල් ජාලාවක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.
මෙවැනි අර්බුදවලදී ආණ්ඩුවද මහජනයාට ආදර්ශවත් විය යුතුය. නාස්තිකාර වියදම් හඳුනාගෙන ඒවා මුළුමනින් කපාහරින තැනකට ආණ්ඩුව යොමුවිය යුතුය. දැන් රටේ ආයුධ අතට ගත් කොටි සංවිධානයක් නැත. එහෙත් සමහර මැති ඇමතිවරු ගමන්බිමන් යන්නෝ තාමත් දුසිම් ගණනක් ආරක්ෂක වාහන පිරිවරාගෙනය. එම වාහන පෙරහැරට ඇම්බියුලන්ස් රථයක්ද ඇතුළත්ය. සමහර මැති ඇමතිවරුන් තමන් වෙත බොරු මහේශාක්‍යබවක් ආරෝපණය කරගැනීම සඳහා කරමින් තිබෙන අතිවිශාල වියදම් මුළුමනින් කපා හැරිය හැකිය. ආරක්ෂක තර්ජනයන් ඇති කිහිපදෙනා හැර අන් සියලුදෙනා එක ආරක්ෂක වාහනයකට පමණක් සීමා කළ හැකිය. පුරාජේරු උත්සව සඳහා කෙරෙන වියදම් ද කපාහැරිය හැකිය. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ අදහස ද අත්හැරිය හැකිය. ඒ මගින් ඒ වෙනුවෙන් වැය කිරීමට නියමිතව තිබූ මුළු අවධානයද ආහාර අර්බුදය කෙරෙහි යොමු කළ හැකිය.
ආණ්ඩුවේ සියලු ගොවිපොළවල් සරු ගොවිපළවල් බවට පත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගිය යුතුය. ත්‍රිවිධ හමුදාවද මහා පරිමාණයෙන් ගොවිතැන් කරන ගොවි හමුදාවක් බවට පත් කළ හැකිය. මහජනයාද තමන්ගේ ගෙවල්වල පරිභෝජනයට අවශ්‍ය එළවළු, අල වර්ග වගා කරන ජනතාවක් බවට පත් කළ හැකිය. තම ගෙවත්තේ තිබෙන පුංචි ඉඩකඩ පවා ආහාර භෝග වගාවක් සඳහා ඵලදායී ලෙස යොදා ගැනීම මගින් ඒවා මිලදී ගැනීම සඳහා කැරෙන වියදම් අඩු කරගත හැකිය. ඒ සඳහා අවශ්‍ය ඇට වර්ග හා පැල වර්ගද වගා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ද මහජනයාට ලබාදෙන ක්‍රම ඇති කළ යුතුය. අධික ගංවතුර නිසා විනාශ වී ඇති ගොවිබිම් නැවත වගා කරන තැනකට යා යුතුය. ඒ සඳහා සහනාධාර හා ණය ඔවුන්ට කඩිනමින් ලබාදිය යුතුය. දේශපාලන තලයේ කෙරෙන වාද විවාදවලට අතිරේකව මෙම මූලික ප්‍රශ්නය කෙරෙහි ද දේශපාලකයන්ගේ අවධානය සේ ම මහජන අවධානයද යොමුවිය යුතුය.