පළමුව ටියුනීසියාවේද ඊළඟට ඊජිප්තුවේද ඇතිවූ මහජන නැගිටීම් විසින් ඒ රටවල් දෙකේම ඒකාධිපති පාලකයන් බලය අත්හරින තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. මේ දේශපාලන රැල්ල මැදපෙරදිග අන් රටවලටද පැතිරිය හැකිය. මෙවැනි ආස්වාදජනක මහජන නැගිටීම් මීට පෙරද ලෝකයේ විවිධ රටවල ඇතිවී තිබේ. ඉරාන ජනතාව ෂා එලවා දැමුවේය. පිලිපීන ජනතාව මාකෝස් එලවා දැමුවේය. 1989 බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසු මෙවැනි නැගිටීම් නැගෙනහිර යුරෝපීය රටවලද ඇතිවිය. එහෙත් මේ කිසිම මහජන නැගිටීමක් බලයේ සිටි මහජනයාට එපාවූ ඒකාධිපති පන්නයේ පාලකයන් පලවා හැරීමට සමත් වුවත් ඒ රටවල පැවති දේශපාලන ක්‍රමයේ හා දේශපාලන සංස්කෘතියේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතු නොවීය. මහජන ක්‍රියාකාරීත්වය බලපෑවේ පාලකයා එලවා දැමීමේ ක්‍රියාවලියට පමණය. ඊළඟ කාර්යභාරය නැගී සිටි මහජනයා විසින් තුන්වැනි පිරිසකට කරගන්නට ඉඩහැර දර්ශනයෙන් ඉවත්ව ගියේය. ආයතන ක්‍රමයේ ගැඹුරු විපර්යාසයක අවශ්‍යතාව තේරුම් ගැනීමට ඔවුහු අසමත් වූහ.
මහජන නැගිටීම්වලට ආවේණික සීමා
විප්ලවයක් ලෙස සැලකිය හැක්කේ සරල වෙනසක් ඇති කරන ක්‍රියාවක් නොව, තිබුණු ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කරන ක්‍රියාවකටය. කලක් විප්ලවයක් සඳහා දෙනු ලබන සම්භාව්‍ය නිදර්ශනය බවට පත්ව තිබුණේ 1917දී රුසියාවේ සිදුවූ ලෙනින්ගේ ඔක්තෝබර් විප්ලවයයි. නැතිනම් චීනයේ සිදුවූ මාඕගේ විප්ලවයයි. එහෙත් මාක්ස්වාදී දර්ශනයක් මත පිහිටා සිදු කරන ලද ඒ එකුදු විප්ලවයකටවත් සිය අරමුණු සපුරාගත හැකිවූයේ නැත. ඒවා අවසානයේ ඇති කළේ එක ඒකාධිපති පාලනයක් වෙනුවට තවත් දීර්ඝකාලීන ඒකාධිපති ක්‍රමයක් ඇති කිරීමය. මාක්ස්වාදී අර්ථයෙන් සිදුවූ ඒ හැම විප්ලවයකදීම තීරණාත්මක සාධකය ලෙස ක්‍රියා කළේ ආයුධ සන්නද්ධ බලය මිස මහජන බලය නොවේ.
මාක්ස්වාදීන්ගේ නොසතුටට හේතුවිය හැකි වුවත් ලොව සැබෑ මහජන විප්ලවයක් සිදුවී ඇත්තේ ඉන්දියාවේ පමණය. ඉන්දියාව ආයුධ අතට ගැනීමකින් තොරව මහජන බලය හා ශක්තිය අහිංසාවාදී රාමුවක් තුළ දින කිහිපයක් තුළ නොව වසර විශාල ගණනක් තුළ එක දිගට නොව කඩින් කඩ මුදාහරින ක්‍රියාමාර්ගයක් තුළ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාව මුදා ගත්තේය. මහජනයා එම දිග්ගැස්සුණ වීරෝදාර අරගලය තුළ විකල්ප දේශපාලන ක්‍රමයක් හා සංස්කෘතියක් සඳහා ආභාසය ලැබුවේය. ඔවුන්ගේ ඉලක්ක ඔක්තෝබර් විප්ලවයේ ඉලක්ක තරම් දැවැන්ත හෝ මනෝරාජික නොවීය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් යටපත් කර තිබූ ඉන්දියාවේ එක්සත්කම ආරක්ෂා කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියාවක් ඇති කරගැනීම එම මහජන ව්‍යාපාරයේ අරමුණ විය. ඒ අරමුණ සීයට සීයකින්ම සපුරා ගැනීමට ඔවුන් අසමත් වුවත් අපේක්ෂා කළ අරමුණු භාගයකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරගැනීමට ඔවුහු සමත් වූහ.
කිසියම් පාලකයකු පලවා හැරීමේ අරමුණ සඳහා පමණක් සිදුකෙරෙන මහජන නැගිටීම් තිබෙන පීඩාකාරී දේශපාලන ආයතන ක්‍රමය හා සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම අල්පය. පිලිපීන මහජනතාව මාකෝස් පරාජය කළේය. ඉන්පසු බලයට පැමිණි පාලකයන් මාකෝස්ට වඩා වෙනස් වූයේ ප්‍රමාණයෙන් මිස ගුණයෙන් නොවේ. පාකිස්තානු ජනතාව මුෂ්රාෆ් පරාජයට පත්කිරීමට සමත් වුවත් තිබුණු යල්පැනගිය දූෂිත දේශපාලන ක්‍රමය හා ඒ හා බැඳුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සමත් වූයේ නැත. දැන් පාකිස්තානයේ තිබෙන තත්ත්වය කවරම තත්ත්වයකින්වත් එදා තිබුණු තත්ත්වයට වඩා යහපත් නැත.
දේශපාලන ක්‍රමය හා දේශපාලන සංස්කෘතිය
දේශපාලන තලයේ අප රට මුහුණ දී තිබෙන කේ්න්ද්‍රීය ප්‍රශ්නය වන්නේද එයයි. තිබෙන දේශපාලන ක්‍රමය හා ඒ හා බැඳුණු සංස්කෘතිය අන්ත දූෂිතය. මේ ක්‍රමය ගොඩනගා තිබෙන්නේද එය ස්ථාපිත වී තිබෙන්නේද බලයට පත්වන පාලක පක්ෂයට අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතිය ලැබෙන ආකාරයටය. එසේ කිරීමෙන් තොරව දේශපාලන වශයෙන් පැවතිය නොහැකි ආකාරයටය. එය දේශපාලන ක්‍රමයේ මූලික හා නිත්‍ය ලක්ෂණයක් වන අතර එම තත්ත්වය නීතියේ පාලනය දුර්වල කොට සමස්ත රාජ්‍යතන්ත්‍රයම දූෂිත හා අකාර්යක්ෂම කිරීමට හේතුවී තිබේ.
මා මෙම දේශපාලන ක්‍රමයේ දැතිරෝද ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කර තිබෙන අතර චෞර රාජ්‍යය නමින් පළකර තිබෙන්නේ එම අධ්‍යයනයයි. එය 2010 මැතිවරණයට පෙර පළකොට ඒ මගින් මෙම ප්‍රශ්නය දේශපාලකයන්ගේද මතධාරී සමාජයේ හා ජනතාවගේ අවධානයට යොමු කිරීමට අවශ්‍ය වී තිබුණත්, එය පළ කෙරුණේ මැතිවරණයට පෙර නොව පසුවය. එහෙත් මගේ එම කෘතිය ප්‍රමාණවත් තරමින්, එම කණ්ඩායම්වල අවධානය යොමුවූ බවක් පෙනෙන්නට නැත. අඩුම තරමින් තියුණු සාකච්ඡාවකට හෝ විචාරයකටවත් ලක්වූයේ නැත.
ශ්‍රී ලංකාව හැම අතකින්ම දියුණු හා ලස්සණ රටකි. එය රටක් වශයෙන් කොතරම් ලස්සණද කිවහොත් එම ලස්සණ විකිණීමෙන් පමණක් වුවත් රටට ජීවත්විය හැකිය. රටේ ජනතාව උගත්ය. ප්‍රියජනකය. සාපේක්ෂ වශයෙන් රට සේ ම රටේ ජනයා ද පිරිසිදුය. පොහොසත් ජනයා පමණක් නොව දුප්පත් ජනයා පවා පිරිසිදුය. හැමදෙයක්ම හොඳ හා ලස්සණ වුවත් අවලස්සණකම ඇත්තේ දේශපාලන ක්‍රමයේ හා දේශපාලන සංස්කෘතියේය. දේශපාලන ක්‍රමය හා සංස්කෘතිය රටේ යහපත් ඉදිරි ගමනට බාධා කරන ලොකුම විලංගුව වී තිබේ. මෙම දූෂිත දේශපාලන ක්‍රමය ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පවතින තෙක් වෙනස් කිරීමේ ඇත්ත හැකියාවක්ද නොතිබුණි. ඒ හැකියාව රටට ලැබුණේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුවය. ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව සිදුවිය යුතුව තිබුණු ඊළඟ ලොකුම කාර්යය විය යුතුව තිබෙන්නේ තිබෙන දූෂිත දේශපාලන ක්‍රමය හා ඒ හා බැඳුණු දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමය. ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව පරාජය කළ යුතුව තිබුණු ඊළඟ ප්‍රධාන නපුර වූයේ එයයි. එහෙත් අවාසනාවට ප්‍රභාකරන් පරාජය කළ දේශපාලන වීරයාගේ සේ ම දේශපාලන සමාජයේ හෝ මතවාදී සමාජයේ අවධානය ඉතිරි වී තිබුණු ඊළඟ මූලික ප්‍රශ්නය වෙත යොමු නොවීය.
හරි ක්‍රමයක් ඇති කරගැනීමේ ප්‍රශ්නය
ක්‍රමයක් වැරදි නම් හරි ක්‍රමයක් ඇති කරගත යුතුය. හොඳ ක්‍රමයක් ඇතිවිට එම ක්‍රමයට අනුකූලව ජීවත්වීමට මහජනයාද පුරුදු වන්නේය. මීට දශක දෙකකට පෙර දුම්බොන්නෝ බස් රථවලද දුම් බීවෝය. අද පොදු බස් රථයක සිගරැට්ටුවක් බොන්නට ඇබ්බැහි වී සිටින කෙනකු පවා හිතන්නේ නැත. ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල නීතිය නොසලකා රිය පදවන රියදුරෙක් යුරෝපීය රටකට ගියවිට ඉබේම විනීත රියදුරකු බවට පත්වේ. මහපාරට කුණු විසි කරන කෙනකු සිංගප්පූරුවට හෝ ජපානයට ගියවිට ඒ වරද කරන්නේ නැත. ඒ රටවල පවතින ක්‍රමය එවැනි වැරදි කරන්නට ඔවුන්ට ඉඩදෙන්නේ නැත. සාමාන්‍ය ආපනශාලාවකදී ආහාර ගැනීමෙන් පසු අත හා කට පිසදාගත් කඩදාසි කොළය බිම දමන පුද්ගලයකු සුපිරි හෝටලයකට ගිය පසු එසේ කරන්නේ නැත. එහි තිබෙන වටාපිටාව වඩා විනීතවීමට ඔහුට බලකරයි. දියුණු රටවල මිනිසුන් තමන් උපයන ආදායම් වෙනුවෙන් බොරු කිරීමකින් තොරව ආදායම් බදු ගෙවන්නේ ඔවුන් අවංක නිසා නොව ඒ ක්‍රමය තුළ උපයන ආදායම් සැඟවීම පහසු නොවන නිසාය.
දේශපාලන ක්‍රමයක් ද ඊට සමානය. විධිමත් දේශපාලන ක්‍රමයක් තුළ දේශපාලකයන්ට රාජ්‍ය නිලධාරීන්ට පමණක් නොව, සාමාන්‍ය ජනතාවටද විධිමත් ලෙස සිටීමට සිදුවන්නේය. එම විධිමත්භාවයට අදාළ නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකරන අයට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවේ. ඉන්දියාවේ දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් ද ශ්‍රී ලංකාවේ දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් තරම් දූෂිතය. එහිදී ලංකාව හා ඉන්දියාව අතර තිබෙන ලොකුම වෙනස වනුයේ ශ්‍රී ලංකාවේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් නොතිබීමත් ඉන්දියාවේ දූෂිතයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වන තත්ත්වයක් තිබීමත්ය. ඉන්දියාවේ අධිකරණය ස්වාධීනය. අපක්ෂපාතය. ඉහළ අධිකරණයට පාලක පක්ෂයට අයුතු ලෙස ඇඟිලි ගැසීමේ හැකියාවක් ඇත්තේම නැති තරම්ය. ශ්‍රී ලංකාවේ අධිකරණය ස්වාධීන හෝ අපක්ෂපාත නැත. ඉහළ අධිකරණයට පවා පාලක පක්ෂයට බලපෑ හැකිය. ඉන්දියානු මැතිවරණ කොමිසම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස මහජනයාගේ පිළිගැනීමට හා ගෞරවයට හේතුවී තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා පිළිබඳව එවැනි විශ්වාසයක් මහජනතාව අතර නැත. හැම පාලක පක්ෂයක්මත් මැතිවරණ කාලවලදී මැතිවරණ නීති උල්ලංඝනය කරයි. පොදු දේපළ නීතියට පටහැනිව මැතිවරණ කටයුතු සඳහා යොදා ගනී. මෙවැනි වැරදි ඉදිරියේ මැතිවරණ කොමසාරිස්වරයා අසරණව බලා සිටිනවා විනා ඔහුට තිබෙන බලතල අනුව ක්‍රියාකරන්නේ නැත. ඉන්දියාවේ රාජ්‍ය සේවයට මිනිසුන් බඳවා ගැනීමේදී ක්‍රියාත්මක වන්නේ සුදුසුකම් අනුව බඳවා ගන්නා ප්‍රතිපත්තියකි. දේශපාලකයන්ට සුදුසුකම් නොසලකා දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය සේවයට මිනිසුන් බඳවා ගැනීමේ හැකියාවක් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට මිනිසුන් බඳවා ගැනීමේදී වැඩි වැදගත්කමක් ලබාදෙන්නේ සුුදුසුකම්වලට නොව හිතවත්කම්වලටය. ඉන්දියාවේ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර බලතරගයක් ඇතත්, ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදී මෙම දෙපක්ෂය අන්‍යොන්‍ය අවබෝධයෙන් ක්‍රියා කරන සම්ප්‍රදායයක් ඉන්දියාවේ පවතී. ඉන්දු-ලංකා ගිවිසුම ඇති කරගන්නට පෙර රජීව් ගාන්ධි ඒ ගැන විරුද්ධ පක්ෂ නායකයා සමග සාකච්ඡා කළේය. ඇති කරගන්නා ලද ගිවිසුම පිළිබඳව ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර පොදු එකඟතාවක් තිබුණි. එහෙත් අපේ රටේ මොනම වැදගත් ජාතික ප්‍රශ්නයකදීවත් ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර පොදු එකඟතාවකින් ක්‍රියාකරන්නේ නැත. පොදු වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදී විරුද්ධ පක්ෂ සමග සහයෝගයෙන් වැඩ කරන සම්ප්‍රදායයක් ආණ්ඩු පක්ෂවලට නැතිවා සේ ම එවැනි සම්ප්‍රදායයක් විරුද්ධ පක්ෂවලටද නැත.
මෙම කාරණාවලදී ඉන්දියාවේ පවතින ක්‍රමවත් බව හා සාර්ථකත්වය ඉන්දියාවේ පවතින දේශපාලන ක්‍රමයේ විධිමත්බවේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. එහිදී අපේ රටේ අසාර්ථකභාවයට හේතුවී ඇත්තේ දේශපාලන ක්‍රමයේ පවතින අවිධිමත් හා දූෂිත ස්වරූපයයි. එහෙත් අවාසනාවකට එම කේන්ද්‍රීය ප්‍රශ්නය මතධාරී සමාජයේවත් නිසි අවධානය යොමුවී නැත.
මෙය නොදන්නාකම නිසා ඇතිවූ තත්ත්වයක්ද? මා හිතන්නේ එසේ නොවේය කියාය.
ක්‍රමය දූෂිත වුවත් ක්‍රමයට ඇති කැමැත්තද බලවත්ය
මීට වසර හය හතකට ඉහතදී රාවය ගැන උනන්දුවක් දක්වන උගත් තරුණ ව්‍යාපාරිකයකු රාවය පුවත්පත ලක්ෂ ගණනක් මහජනතාව කියවන පුවත්පතක් බවට පත් කෙරෙන වැඩපිළිවෙළක් ගැන මහත් උනන්දුවෙන් මා සමග සාකච්ඡා කළේය. මම ඔහුට මාගේ ඔළුවේ තිබූ පුංචි වැඩපිළිවෙළක් ගැන කීවෙමි. රාවය දැනට කියවන පාඨකයන් දැනුවත් කොට රාවය තමන්ගේ හිතවතුන් අතර සිටින එක පුද්ගලයකුට හෝ හඳුන්වා දෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට ඔවුන් පොළඹවා ගැනීමට හැකිවේ නම් රාවයේ අලෙවිය 50%කින් පමණ වැඩි කරගත හැකිවනු ඇතැ”යි මම ඔහුට කීවෙමි. එවැනි වැඩපිළිවෙළක් නරක නැතත්, එවැනි ක්‍රියාමාර්ගයකින් අත්පත් කරගත හැක්කේ සුළු අලෙවි ප්‍රවර්ධනයක් පමණක් බවත්, තමන්ට අවශ්‍යව ඇත්තේ විශාල අලෙවි වර්ධනයක් ඇති කරන වැඩසටහනක් බවත් ඔහු කියා සිටියේය. මා එයට දක්වන ලද ප්‍රතිචාරය වූයේ දැවැන්ත අලෙවි ප්‍රවර්ධනයක් අත්පත් කරගන්නා වැඩසටහනක් විශාල ආයෝජන මුදලක් අවශ්‍ය වනු ඇති බවත් එවැනි වියදමක් දැරීමේ හැකියාවක් රාවයට නැති බවත්ය.
මා සමග මෙම සාකච්ඡාවේ යෙදී සිටි ව්‍යාපාරික තරුණයා දිවයිනේ නාමධාරී පාසලකින් අධ්‍යාපනය ලැබූ මධ්‍යම පාන්තික පසුබිමකින් පැවත එන නැගී එන ව්‍යාපාරිකයකුගේ තත්ත්වයක් හිමිකරගත් ප්‍රියජනක බුද්ධිමත් තරුණයෙකි. විශාල ප්‍රමාණයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා අවශ්‍ය විශාල වියදම මට කැළලක් ඇති නොවන ලෙස ලබාදිය හැකි බව ඔහු කීවේය. විශාල ලෙස සල්ලි තිබෙන ඵලදායී කාර්යභාරයක් සඳහා සැලකිය යුතු තරම් මුදලක් ලාභ අපේක්ෂාවෙන් තොරව වැය කළ හැකි ධනවතුන් රටේ සිටින බවත් එවැනි එක පුද්ගලයකු හෝ දෙදෙනකු එකඟ කරවා ගැනීමෙන් විශාල අරමුදලක් සොයා ගතහැකි වනු ඇති බවත්, ඒ සඳහා සුදුසු පුද්ගලයන් කිහිපදෙනකු සොයාදීමේ හැකියාවක් ඔහුට ඇති බවත් එවැනි වැඩසටහනකට එකඟ විය හැකි නම් ඔහුට ඒ ගැන සොයා බැලිය හැකි බවත් කීවේය. රාවයට හා මට අපකීර්තියක් ඇති කිරීමට හේතු නොවන වැඩසටහනක් නම් මට ඊට එකඟවිය හැකි බව මම කීවෙමි. මේ සඳහා තමා කළු සල්ලිකාරයන්ගේ සහාය පතන්නේ නැති බවත්, නීත්‍යනුකූලව ධනය උපයාගත් හිත හොඳ ධනවතුන් රටේ ඇති බවත් තෝරාගත් කෙනකුගෙන් හෝ දෙන්නකුගෙන් උදව් ලබාගැනීමේ හැකියාව සොයා බලා ඊළඟ වටය කතා කරන තැනකට යාහැකි බවත් ඔහු කියා සිටියේය.
ඔහු නැවත දිනක මා හමුවී තමාගේ උත්සාහය සාර්ථක කරගැනීමට හැකි බව පෙනෙන බවත්, ඉලක්ක කරගත් එක හොඳ පුද්ගලයකු හමුවී මා ගැන ඔහු සමග සාකච්ඡා කළ බවත්, ඔහු එවැනි වැඩසටහනකට දායක වීමට කැමති බවත්, ඔහුගෙන් සැලකිය යුතු තරම් මුදලක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ඔහු කීවේ මහත් උද්දාමයකින් යුතුවය.
ඉන්පසු අපි අපගේ පරමාර්ථ හා දියත් කරන්නට අපේක්ෂා කරන වැඩසටහන පිළිබඳව සටහනක් සකස් කරගැනීම සඳහා ඊට ඇතුළත් කළයුතු අංශ ගැන කතා කරන තැනකට ගියෙමු. පුවත්පතේ පරමාර්ථ හා ඉලක්ක ගැන කතා කරන විට රටේ පවතින දූෂිත හා අධිපති දේශපාලන ක්‍රමය වෙනුවට විධිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීම, ඒ සඳහා ජනතාව දැනුවත් කිරීම පුවත්පතේ වැදගත්ම අරමුණක් විය යුතු බව මා කී විට මෙම ව්‍යාපාරික තරුණයා මට කීවේ එවැනි අරමුණක් වෙනුවෙන් කොටස්කරුවකු වීමේ හැකියාව තමන්ට නැති බවය. ඔබ මෙම දේශපාලන ක්‍රමය ගැන කරන විවේචන සියල්ල ඇත්ත විය හැකිය. මා ගනුදෙනු කරන්නට දන්නේද, මට ඉහළ නැගීමේ හැකියාව ඇත්තේද මේ දේශපාලන ක්‍රමය තුළය. ඒ නිසා ක්‍රමය වෙනස් කරන වැඩසටහනකට සම්බන්ධ වී ආධාර කිරීමේ හැකියාවක් තමන්ට නැති බව ඔහු කීවේය. මට ඔහු කෙරෙහි අප්‍රසාදයක් හෝ පිළිකුළක් ඇතිවූයේ නැත. එහෙත් සිය අදහස් නොසඟවා අවංකව පළකිරීම ගැන මට ඔහු කෙරෙහි ගෞරවයක් ඇතිවූවායැ”යි කිව හැකිය. ක්‍රමය දූෂිත වුවත් ඒ තුළ ඉදිරියට යන ආකාරය ඔහු දැන සිටියේය. ඒ නිසා තිබෙන ක්‍රමය දූෂිත වුවත් ඔහු එය ප්‍රිය කළේය. විධිමත් හොඳ ක්‍රමයක් තුළ තමන්ට හොඳ අනාගතයක් නැතැ”යි ඔහු අවංකව විශ්වාස කළා විය යුතුය.
මෙයද මීට වසර පහකට හෝ හයකට ඉහතදී යූඑන්පියේ නැගී එන නායකයකුගෙන් අසන්නට ලැබුණු කතාවකි.
මා විධායක ජනාධිපති ක්‍රමය ගැන ලියන ලද විවේචනයකින් පසුව දුරකතනයෙන් මා අමතා කළ එම නැගී එන නායකයා මා විධායක ජනාධිපති ක්‍රමය ගැන ලියන විවේචන ඔහු උනන්දුවෙන් කියවන බවත්, විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දෙන ලද්දේ සිය පක්ෂය වුවත් මා ඒ ගැන ලියන විවේචන ඉතා සාරවත් බවත් ඔහු කියා සිටියේය.
ඔහු කළ ප්‍රකාශයෙන් සංතෝෂයට පත් මම ඔහු අමතා මෙසේ කීවෙමි. වැරදි හා දූෂිත ක්‍රමයක් හඳුන්වා දුන්නේ ඔබේම පක්ෂය වුවත් එම වැරදි ක්‍රමය නිවැරදි කොට ඒ වෙනුවට විධිමත් දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමේ වැදගත්කම පක්ෂය තුළ සාකච්ඡා කරන වැඩපිළිවෙළක පෙරමුණ ගන්නැ”යි මම ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටියෙමි.
ඊට ඔහු දක්වන ලද ප්‍රතිචාරය මගේ විස්මයට හේතුවිය.
“ලොක්කා ඔයා දේශපාලන ක්‍රමය ගැන කියන ඔක්කොම දේවල් ඇත්ත. ඔයා කියන විධිමත් දේශපාලන ක්‍රමයක් තුළ අපි වගේ අයට ලැබෙන්නේ නොවැදගත් තැනක්. දේශපාලකයාට ලැබෙන්නෙ අඩු පිළිගැනීමක්. ඒ වගේ ක්‍රමයක් තුළ මහජනයාට තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න දේශපාලකයන් අත්‍යවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා කොච්චර දූෂිත වුණත් මේ ක්‍රමය අපට හොඳයි. අපට මේ ක්‍රමය තුළ විතරයි මහජනයා මෙහෙයවීමේ හැකියාව තිබෙන්නේ. මේ ක්‍රමය තුළ මහජනයාට අපි නැතිව බැහැ. ඒ නිසා අපි මේ ක්‍රමයට කැමතියි.”
යූඑන්පී විරෝධතා ව්‍යාපාරයට කොළඹදී එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසු එම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ පුද්ගලයෙක් දුරකතනයෙන් කතා කොට එහිදී සිය අත්දැකීම් මට විස්තර කළේය. එම පුද්ගලයා සිය වෘත්තීය ජීවිතයේ උසස් තැනට ඒමෙන් පසු විශ්‍රාම ගොස් ඉන්පසු දේශපාලනයට ඇදී ආවෙකි. ඔහුගේ දේශපාලනය කුමක් වුවත් මා කැමති යහපත් පුද්ගලයෙකි.
පහරදීමේ සිද්ධියට අතිරේකව වෙනත් දේවල් කතා කරන අතර මහින්ද පරාජය කොට යූඑන්පී ආණ්ඩුවක් ගොඩනැගුවහොත් අල්ලසින්, දූෂණයෙන්, භීෂණයෙන් තොර යහපත් හා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් ඇතිවනු ඇතැ”යි ඔබ අවංකව විශ්වාස කරන්නේදැ”යි මම ඔහුගෙන් අසා සිටියෙමි. මා එසේ අසන ලද්දේ ඔහු හෘදය සාක්ෂියක් ඇති යහපත් පුද්ගලයකු ලෙස මා විශ්වාස කළ නිසාය.
මා මතු කළ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ හැඟීම්බර ස්වරයකිනි.
“ඇත්තටම නෑ. කාලයක් ඒගොල්ලො කෑවා. දැන් ඒ අයිතිය ඔවුන්ට අහිමි වෙලා. දැන් මේගොල්ලො කනවා. ඒ චක්‍රය ඉක්මනින්ම නැවත තමන් වෙත හරවා ගැනීමේ වුවමනාව හැර ඊට වැඩි උනන්දුවක් ඇති බව මට නම් පෙනෙන්නෙ නැහැ.. මා ප්‍රයෝජනවත් වෙනත් වැඩක නොයෙදී මේ දේශපාලනයට ආවේ ඇයිද කියන ප්‍රශ්නය ගැන හිතන විට මට මා ගැන කනගාටුවක් ඇති වන බව” ඔහු කීවේය.
මා හිතන්නේ දේශපාලන ක්‍රමය පිළිබඳ කේන්ද්‍රීය ප්‍රශ්නය මගහැර ආණ්ඩු පෙරළන හා ආණ්ඩු මාරු කරන ක්‍රියාමාර්ගයකින් රටට ඉදිරියට යා නොහැකි බවය. එහෙත් මේ දේශපාලන ක්‍රමය තුළ පිල් බෙදී සිටින අය මේ ක්‍රමය තමන්ට කප්පම් ගෙවන ක්‍රමයක් නිසා මේ ක්‍රමයට කැමතිය. දූෂණයට එරෙහිව කතා කරන අය අතර තමන්ගේ ආණ්ඩු පාලන කාලයක් තුළ දූෂණයෙන් ඵල ප්‍රයෝජනය ලැබූ අයද සිටිති. මානව හිමිකම් හා අදහස් පළකිරීමේ නිදහස ගැන කතා කරන අය අතර තමන්ගේ ආණ්ඩු පාලන කාලයක් තුළ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට හා අදහස් පළකිරීමේ නිදහස උල්ලංඝනය කිරීම්වලට ක්‍රියාකාරී ලෙස දායක වූ හා නිහඬවීමෙන් දායක වූ අයද සිටිති. එයද වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන දේශපාලන උභතෝකෝටිකයක් ලෙස සැලකිය හැකිය.