ගෘහ සේවය වෙනුවට හෙද සේවය

May 4, 2008
Publication:
Training nurses rather than exporting housemaids is the best thing the health minister has done, Ivan writes, and Ravaya argued for it as far back as 1994. Nursing is respected here, pays several times what domestic service abroad pays, and Kerala and the Philippines have built industries on it — and the same case can be made for masons, carpenters, welders, tilers and electricians.

හෙදියන් පුහුණු කරන වැඩපිළිවෙළකට බර තබන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සෞඛ්‍ය ඇමතිවරයා විසින් කරන ලද විශිෂ්ට ක්‍රියාවක් ලෙස සැලකිය හැකි ය. එසේ පුහුණුව ලබා පිටවන හෙදියන්ට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් රැකියා ලබාගැනීම පහසු කාරියක් වී තිබේ. 1994 පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කළ පළමු රාජසන කතාව සම්බන්ධයෙන් රාවය පළ කළ විචාරයකදී ද ගෘහ සේවිකාවන්ට බර තබන ප්‍රතිපත්තියක් වෙනුවට හෙදියන්ට බර තබන ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවනු ඇති බව අවධාරණය කරන ලදි. ඒ සිහිනය යම් පමණකින් හෝ සැබෑවීම ගැන රාවයට ද සතුටු විය හැකි ය. ශ්‍රී ලංකාවේ කාන්තාවන් හෙද සේවය සලකනුයේ ගෞරවනීය සේවයක් ලෙස ය. විදේශ සේවයේ දී ගෘහ සේවිකාවන් උපයන ආදායම මෙන් දහගුණයක තරම් ආදායමක් හෙදියකට ඉපයිය හැකි ය. හෙද සේවය සඳහා පවතින වැඩ මුර ක්‍රමය නිසා බටහිර රටවල කාන්තාවන් හෙද සේවයට යොමුවීමට අකමැති ය.

ඒ නිසා බටහිර රටවල පුහුණු හෙදියන්ට විශාල ඉල්ලුමක් තිබෙන අතර, හෙදියන්ට ගෙවන වැටුප් ද සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතී. බටහිර රටවලට අවශ්‍ය හෙදියන් බිහි කරන ප්‍රධාන රටවල් බවට පත්ව ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය හා පිලිපීනය යි. හෙද රැකියා වෙළඳපොළට අවශ්‍ය හෙද හෙදියන් නිපදවීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇත්තේ ය. ඒ මගින් රැකියා විරහිත උගත් තරුණ තරුණියන්ට වඩා හොඳ රැකියා මාර්ගයක් ලබාදිය හැකිවා සේ ම, විදේශ රැකියාවකින් රටට ලැබෙන සංක්‍රාම ආදායම් ද වේගවත් වර්ධනයක් ඇති කරගත හැකි ය. ඇමරිකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු ප්‍රකාශ කර තිබෙන ආකාරයට වර්තමානයේ ලක්ෂයක හෙදි හිඟයක් ඇමරිකාවේ පවතී. එම ගණන ඉදිරි වසර කිහිපය තුළ ලක්ෂ 5 දක්වා ඉහළ යාමට ද නියමිත ය. ඕස්ට්‍රියාවේ විදේශ හෙදියකට ගෙවන මාසික වැටුප (ආහාර හා නවාතැන් දී) යුරෝ ඩොලර් 3500ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් හාර ලක්ෂයකට ආසන්නය.

යුරෝපයේ මතුවී තිබෙන මෙම ෙෙ උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම රටේ වගකීමකි. මීට අතිරේකව මේසන්වරුන්, වඩුවන්, වැල්ඩීන්කරුවන්, ටයිල්කරුවන්, විදුලි කාර්මිකයන්, පයිප්ප වැඩකරුවන් වැනි ශිල්පීන්ට ද අද යුරෝපයේ විශාල ඉල්ලුමක් පවතී. ඔවුන්ට ගෙවනු ලබන වැටුප් ද සාපේක්ෂ වශයෙන් ඉතාමත් ඉහළ මට්ටමක පවතී. අධ්‍යාපනය අතරමග අතහැර යන්නන් කාර්මික ශිල්පීන් ලෙස පුහුණු කරන ජාතික වැඩපිළිවෙළක් රටට තිබේ නම්, ඔවුන් තොග ගණනින් බටහිර ලෝකයට යැවීමේ හැකියාව පවතී. හෙදියන් පුහුණු කිරීම සඳහා පවත්වාගෙන යන වැඩපිළිවෙළට සමාන වැඩපිළිවෙළක් කාර්මික ශිල්පීන් පුහුණු කිරීම සඳහා ආරම්භ කළ හැකි නම් විරැකියාව හා අඩු ආදායම් ගැන සුසුම්ලමින් සිටින ගම්බද තරුණ ජනයාගේ ජීවිත ආලෝකමත් කිරීමට හැකිවනු ඇත්තේ ය. ගෘහ සේවය වැනි පහළම මට්ටමේ රැකියා වෙනුවට වඩා හොඳ වැටුප් ලබාගත හැකි මැද මට්ටමේ විදේශ රැකියා සඳහා තොග ගණනින් තරුණයන් පුහුණු කරන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීම මගින් රටේ සංක්‍රාම ආදායම දෙගුණ තෙගුණ කළ හැකි ය.