අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට තිබෙන හැකියාව මනුෂ්‍යයා තිරිසනුන්ගෙන් වෙන් කරන වැදගත් සාධකයකි. එහෙත් වර්තමාන ශ්‍රී ලාංකික සමාජය එහිදී අන් මනුෂ්‍ය සමාජයන්ට වඩා ඉතාමත් පසුගාමීය. ශ්‍රී ලාංකික සමාජය අකුරු උගත්කමේදී කලාපයේ අන් සමාජයන්ට වඩා ඉහළින් සිටින්නේය. ඔවුන් ප්‍රියජනකය. පිරිසිදුය. එහෙත් අත්දැකීම්වලින් ඉගෙන ගැනීමේ හැකියාවේදී ඔවුන් ඉන්නේ පහළම තැනකය. එය ශ්‍රී ලාංකික සමාජයට පමණක් නොව ශ්‍රී ලංකා රාජ්‍යයට හා රටේ දේශපාලනයට ද අදාළය. රාජ්‍යය හා දේශපාලනය කෙරෙහි ද බලපාන්නේ සමාජයම වන නිසා එය සමාජ තත්ත්වයේම පිළිබිඹු වූවක් ලෙස සැලකිය හැකිය. අසල්වැසි ඉන්දියානු රාජ්‍ය ජාතික රාජ්‍යයක සිට ඉතාමත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට වර්ධනය වෙමින් තිබීමේ ක්‍රියාවලියේදී එම වර්ධනය කෙරෙහි බලපා ඇති ලොකුම සාධකය වී ඇත්තේ රාජ්‍ය මුහුණ දෙන අර්බුදයන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමට තිබෙන හැකියාව හා අවශ්‍ය වෙනස්කම් ඇති කර ගැනීමට ඒ රාජ්‍යයට තිබෙන හැකියාව නිසාය.
එහෙත් ඒ ලක්ෂණය ශ්‍රී ලංකා රාජ්‍යය තුළ දැකිය නොහැකිය. වෙනම රාජ්‍යයක් සඳහා දැන් දීර්ඝ කාලයක් තිස්සේ උතුරේ කෙරෙන සන්නද්ධ අරගල ව්‍යාපාරයට අතිරේකව දකුණේ සිංහල තරුණ කැරලි දෙකකට ද රාජ්‍යය මුහුණ දී තිබේ. එහෙත් එවැනි අර්බුදවලට මුහුණ දීමෙන් රාජ්‍ය ඉගෙන ගත් පාඩම් තිබේද? 71 කැරැල්ලට සාර්ථක ලෙස මුහුණදෙමින් රජය එය මර්දනය කළේය. එහෙත් ඒ කැරැල්ලෙන් රාජ්‍යය ඉගෙන ගත් පාඩමක් නැත. දෙවැනි කැරැල්ලක් ඇති නොවීමට ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ හඳුනා ගනිමින් ඒවා ක්‍රියාත්මක කරවීමට රාජ්‍ය අසමත් විය. 71 කැරැල්ලෙන් 16 වසරකට පසුව නැවත ජවිපෙ ඇති කළ දෙවැනි කැරැල්ලේ දී ද, එම කැරැල්ල මුදාහළ කෘෘරත්වය අභිබවා යන කෘෘරත්වයකින් කැරැල්ල මර්දනය කිරීමට රාජ්‍ය සමත් විය. එහෙත් රාජ්‍ය ඉන් ඉගෙන ගත් එකම පාඩමක්වත් තිබේද? ඒ අනුව ඇති කළ එකම වෙනස්කමක් හෝ තිබේද? උතුරේ වෙනම රාජ්‍යයක් සඳහා කෙරෙන යුද්ධ ව්‍යාපාරයට එරෙහිව රාජ්‍යය දැන් දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ යුද්ධයක නිරත වී සිටින්නේය.
ඒ යුද්ධයෙන්වත් රාජ්‍ය ඉගෙන ගත් පාඩමක් තිබේද? කවදාවත් එකම විදියකට යුද්ධ කරනවා හැරුණු විට හා දෙපැත්තටම හති වැටුණු විට බොරු සාම කතාවලට යනවා හැරුණු විට එම අර්බුදය ජයගැනීමට විකල්ප ක්‍රියාමාර්ගයක් දැකීමට රාජ්‍ය සමත්ව තිබේද? ශ්‍රී ලංකාවේ රාජ්‍යයට ආවේණික මෙම ලක්ෂණය රාජ්‍යයට එරෙහිව කැරලි ගසන්නන් තුළ ද දැකිය හැකිය. විජේවීර හෝ ජනතා විමුක්ති පෙරමුණ 71 අසාර්ථක කැරැල්ලෙන් උගත යුතු හරි පාඩම් ඉගෙන ගැනීමට සමත්වීද? ඒ මගින් තමන් තුළ අවශ්‍ය වෙනස්කම් ඇති කර ගැනීමට විජේවීර හෝ ජවිපෙ සමත් වී ද? ඉන් 16 වසරකට පසුව නැවත වඩා කුරිරු ස්වරූපයකින් දියත් කරන ලද කැරැල්ලේ පරාජයෙන් පසුවවත් හෝ සිය නායකයාගේ මරණයෙන් පසුවවත් එම විනාශකාරී කැරැල්ලෙන් උගත යුතු පාඩම් ඉගෙන ගැනීමට ජවිපෙ සමත්වීද? 1964 විජේවීර හා 1986 විජේවීර අතර ගුණාත්මක වෙනසක් තිබුණේද? 1970 ජවිපෙ හා 2007 ජවිපෙ අතර තිබෙන ගුණාත්මක වෙනස කුමක් ද? අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ වෙනම රාජ්‍යයක් දිනා ගැනීම සඳහා කෙරෙන විනාශකාරී හා අසාර්ථක අරගලයෙන් ප්‍රභාකරන් හා කොටි සංවිධානය ඉගෙන ගත් පාඩම් මොනවාද? 1984 ප්‍රභාකරන් හා වර්තමාන ප්‍රභාකරන් අතර වයසින් හැර තිබෙන ගුණාත්මක වෙනස කුමක්ද? 1984 එල්ටීටීඊය හා වත්මන් එල්ටීටීඊය අතර ගුණාත්මක වෙනසක් තිබේද? අප්‍රිකානු ජාතික සංගමය නිදහස දිනා ගැනීම සඳහා කෙරුණු දිග් ගැසුණු අරගලයේදී සිය ප්‍රති පක්ෂය තුළ කල්ලන් පිළිබඳව පැවති ගල් ගැසුණු ආකල්ප වෙනස් කිරීමට හේතු වුවා සේ ම එම අරගල ව්‍යාපාරය තුළ කල්ලන්ගේ ආකල්පය ද බොහෝ වෙනස් විය.
මැන්ඩෙලා සිය සිරජීවිතය ආරම්භ කරන විට දේවල් දකින ආකාරයෙත් සිය සිර ජීවිතය අවසන් කරන විට දේවල් දකින ආකාරයෙත් මහා වෙනසක් තිබුණි. එම අරගල ව්‍යාපාරය තුළ සුද්දන් පමණක් නොව, කල්ලන් ද වෙනස් විය. කල්ලන්ගේ නායකයන් පමණක් නොව, සුද්දන්ගේ නායකයන් ද වෙනස් විය. උතුරු අයර්ලන්තයේ ගරිල්ලන්ගේ ඉලක්ක ද එම අරගල ව්‍යාපාරය තුළ වෙනස් විය. ප්‍රතිපක්ෂය ද එම අරගල ව්‍යාපාරය තුළ සිය අදහස් වෙනස් කරගත්තේය. ඉන්දුනීසියාවේ අචේ ගරිල්ලන්ගේ ආරම්භක ඉලක්කය හා දිනා ගත් ඉලක්කය අතර මහා පරතරයක් තිබුණි. ඔවුහු තමන් ද වෙනස් වෙමින් ප්‍රතිපක්ෂය ද වෙනස් කළේය. විජේවීර මරණය තෙක් ම එක අඟලක් හෝ වෙනස් නොවූ පුද්ගලයෙක් ලෙස සැලකිය හැකිය. ඔහුට වෙනස්වීමට අවශ්‍ය ඥානය හෝ ධෛර්යය නොතිබුණේය. තමන් ක්‍රියාවට නගන ලද මෝඩ අරගලය තුළ සිය අනුගාමිකයන්ට, රටට හා තමන්ට විය හැකි විපත තේරුම් ගැනීමට ඔහු අසමත් විය.
ඔහු අවසානයේ තමන් මුදා හළ ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයේම රුදුරු ගොදුරක් බවට පත්විය. ප්‍රභාකරන් ද සිය අරගලයේ ආරම්භයේ සිට අද දක්වා එකම අඟලක්වත් වෙනස් නොවූ පුද්ගලයෙකු ලෙස සැලකිය හැකිය. ඔහු ද වෙනස්වීමට අවශ්‍ය ඥානය නොතිබුණු ධෛර්යය නොතිබුණු නායකයෙකු ලෙස සැලකිය හැකිය. ප්‍රභාකරන්ගේ යුද්ධය ඇරඹෙන්නට ප්‍රථම ද දෙමළ ජනතාවට වෙනස්කම්වලට භාජනය වී සිටි ජන කොටසක් විය. එහෙත් වෙනස්කම් තිබියදීත් ඔවුන් වඩා හොඳ ජීවිතයක් ගත කළේය. එහෙත් ප්‍රභාකරන්ගේ විමුක්ති අරගලය නිසා ඔවුන්ට අද ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ තිරිසනුන් ගත කරන තිරිසන් ජීවිතයටත් වඩා අන්ත තත්ත්වයකය. උතුරු අයර්ලන්ත ගරිල්ලන් අතර සිටි දීර්ඝකාලීන සිරදඬුවමක් විඳ නිදහස් වූ වියපත් මිනිසෙක් සිය ගරිල්ලා ව්‍යාපාරයෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසීය. ““ අපේ අරගලයේ අවසානයට කාල නියමයක් තිබේද? නැත්නම් කාල නියමයකින් තොරව අපි සදා මේ ආකාරයට මේ අරගලය කළ යුතුද?”” එම වියපත් මිනිසා නගන ලද එම තීරණාත්මක වැදගත්කමක් ඇති එම ප්‍රශ්නයට සවන්දීමට අවශ්‍ය සංයමය උතුරු අයර්ලන්ත ගරිල්ලන්ට තිබුණේය.
ඔවුන් එම නාකි මිනිසා ද්‍රෝහියෙකු වෙන්නට අර අඳින මිනිසෙකු ලෙස නොසැලකීය. එය අයර්ලන්ත ගරිල්ලා ව්‍යාපාරය තුළ උණුසුම් කතාබහට හේතුවූ මාතෘකාවක් විය. ඔවුන්ගේ අරගලයේ ගමන් මගේ තීරණාත්මක වෙනසක් ඇති කිරීමට එම වියපත් මිනිසා නගන ලද ප්‍රශ්නය හේතුවිය. කිසිවකු විසින් ඒ ප්‍රශ්නයම අරගල කරන විජේවීරගෙන් හෝ ප්‍රභාකරන්ගෙන් ප්‍රශ්න කළේ නම්, ප්‍රශ්න කළ පුද්ගලයාට හිමිවිය හැකි ඉරණම මරණය නොවේද? රාජ්‍යය තුළ හා රාජ්‍යයට එරෙහිව සටන් කරන ව්‍යාපාර තුළ දක්නට ලැබෙන ආචීර්ණ කල්පන ලක්ෂණය අපේ රටේ රාජ්‍ය නායකයන් තුළ ද දැකිය හැකිය. උද්දච්ච හා ගාම්භීර නායකයකු ලෙස සැලකිය හැකි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ අභාවවාචික අත්දැකීම්වලින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඉගෙන ගත් පාඩම් තිබේද? සිය පූර්වගාමී ජනාධිපතිවරුන් දෙදෙනාගේ අභාවවාචක අත්දැකීම්වලින් නිසි පාඩම් ඉගෙන ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමත්වීද? ඇගේ අනුප්‍රාප්තිකයා බවට පත්ව සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපති සිය පූර්වගාමීන්ගෙන් ඉගෙන ගත යුතු පාඩම් ඉගෙන ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබේද? අපේ රාජ්‍යය තරම්ම රාජ්‍ය නායකයන් ද ආචීර්ණ කල්පිතය.
සිය පූර්වගාමීන් ගිය මගේ ඒ ආකාරයෙන්ම යන්න දරනවා හැරුණු විට පූර්වගාමීන්ගේ අත්දැකීම්වලින් නිසි පාඩම් ඉගෙන ගනිමින් නිර්මාණශීලී හා ඵලදායී ලෙස නව ගමනක් ආරම්භ කිරීමට කිසිම රාජ්‍ය පාලකයකු සමත් වී නැත. අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට තිබෙන නොහැකියාව රාජ්‍යයට හා රටේ දේශපාලනයට පමණක් නොව ශ්‍රී ලාංකික සමාජයට ආවේණික පොදු ලක්ෂණයක් ලෙස ද සැලකිය හැකි ය. ශ්‍රී ලාංකිකයන්ට දේවල් ඉතා ඉක්මණින් අමතක වේ. විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති එල්මෝ පෙරේරා, කීර්තිමත් පැරණි ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ස්ටැන්ලි ජයසිංහ හා රසායන ඉංජිනේරුවකු වූ ජයසේකර සමග මාගේ නිවසට පැමිණි අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සියදෙනාගේ කැබිනට්ටුව උණුසුම් කතාබහකට ලක්විය. මම මාගේ පුස්තකාලය වෙත ගොස් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් මැතිවරණ ප්‍රතිඵල අළලා පළ කරන ලද පොත් දෙකක අදාළ පිටු පෙරළා ඔවුන්ට බලන්නට දුන්නෙමි.
එක් පොතක් ජේ.ආර්. ජයවර්ධන යුගයට අදාළව පළ කරන ලද්දක් වන අතර, දෙවැන්න රණසිංහ ප්‍රේමදාස යුගයට අදාළව පළ කරන ලද්දක් විය. එම ආණ්ඩු දෙකේ තනතුරු දරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හා ඔවුන් දරන ලද තනතුරු පිළිබඳ විස්තර ඊට ඇතුළත්ව තිබුණි. ඒ හැම ආණ්ඩුවකම තනතුරු දරන්නන්ගේ සංඛ්‍යාව 86ත් 103ත් අතර විය. මෙම තොරතුරු බලා අමුත්තන් තිදෙනා විශ්මයට පත්වූ බවක් පෙනෙන්නට තිබුණි. මා ඔවුන්ට ඒ සමග කීවේ ඔබලා වැනි උගත් වෘත්තිකයන්ට ද දේවල් මේතරම්ම ඉක්මණින් අමතක වෙන්නේ නම්, රටේ නූගත් ගැමියන්ට ඉක්මණින් දේවල් අමතක වීම ගැන පුදුමවීමට හේතුවක් නැති බවය. මා දන්නා අවුරුදු 30ක් තරම් කාලය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනයේදී මිනිසුන් ඇතිවන සිදුවීම්වලට ප්‍රතික්‍රියා දක්වා ඇත්තේ ඉතිහාසය මුළුමණින්ම නොසලකාය. සමහර දේවල් හැම ආණ්ඩු පාලනයක් තුළම නැවත නැවත සිදුවේ.
අපේ රටේ ජනතාව එසේ නැවත නැවත සිදුවන සමහර දේවලට ප්‍රතිචාර දක්වන්නේ මීට පෙර ද සිදුවී ඇති දෙයක් නැවත සිදුවන විට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරයට නොව, මීට පෙර කවදාවත් සිදුවී නැති, අලුතෙන්ම සිදුවූ දේකට ප්‍රතිචාර දක්වන ආකාරයටය. බලයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිව්යෝක් ගමන රටේ උණුසුම් කතාබහට හේතුවූ මාතෘකාවක් විය. එම ගමනට එකතු කර ගත් අනුගාමික පිරිසේ සංඛ්‍යාව, නවාතැන් ගත් හෝටලය, ඒ වෙනුවෙන් කරන ලද වියදම සංවාදයට ලක්වූ වැදගත් මාතෘකා විය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු නිව්යෝක් බලා ගිය ගමන ද ඒ තරම්ම උණුසුම් කතාබහකට එදා හේතුවිය. එහිදීත් ඒ ගමනට එකතු කරගත් අනුගාමික පිරිසේ සංඛ්‍යාව, නවාතැන් ගත් හෝටලයට, ඒ වෙනුවෙන් කරන ලද වියදම් යනාදිය උණුසුම් කතාබහට හේතුවිය. චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සිදුවූ නිව්යෝක් සංචාරය ගැන ද එවැනි කතාබහක් රටේ එදා සිදුවිය.
එහිදී ද ගමනට සහභාගි වූ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව, නවාතැන් ගත් හෝටලය, ගිය වියදම යනාදිය ගැන ගණන් බැලීමක් සිදුවිය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස බලයට පත්වීමෙන් පසුවද නිව්යෝක් සංචාරය ඒ ආකාරයටම සිදුවූ අතර, ඒ ගැන ප්‍රසිද්ධ ගණන් බැලීම් සිදූවුයේ ද ඒ සමාන ආකාරයකටය. මේ හැම අවස්ථාවකදීම විවේචකයන් හා විචාරකයින් ඒ අවස්ථාව විචාරයට ලක් කළේ මීට පෙර එවැනි දෙයක් සිදුවී නැති ආකාරයටය. මගේ ගණන් බැලීම් අනුව මේ හැම රාජ්‍ය පාලකයකු විසින්ම නිව්යෝක් රැගෙන ගිය අනුගාමික සංඛ්‍යාව බොහෝ දුරට එක සමානය. අනුගාමිකයන් තෝරා ගැනුණු ආකාරය ද බොහෝ දුරට එක සමානය. නවාතැන් ගැනීම සඳහා තෝරා ගත් හෝටලය ද එක සමානය. සංචාරයන්ගේ වියදම ද බොහෝ දුරට එක සමානය. මෙහිදී අනුප්‍රාප්තිකයා ආදර්ශයට ගන්නේ පූර්වගාමියාය. ව්‍යවස්ථා සභාව පත් නොකිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා ව්‍යාපාර මේ වන විට වාෂ්ප වූ තත්ත්වයකට පත්ව ඇත්තේ ඇයි? විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර එවැනි ව්‍යාපාරයකින් අපේක්ෂා කරන අරමුණ කුමක් විය යුතුද යන්න පිළිබඳව හරි තක්සේරුවක් කළ යුතුය.
මෙම දේශපාලන ක්‍රමය තුළ වඩා බලවත් විධායක ජනාධිපති මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවේ. ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට යන අවස්ථාවකදී එය වැළකීමේ ක්‍රමයක් මේ දේශපාලන ක්‍රමය තුළ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂට පමණක් ආවේණික විශේෂ ලක්ෂණයක් නොවන බව හා බලයට පත් හැම ජනාධිපතිවරයෙක්ම සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අවශ්‍ය වූ අවස්ථාවලදී පැකිළීමකින් තොරව එසේ කරන ලද බව ද ඔවුන් සැලකිල්ලට ගත යුතුව තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා බලවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනත විය යුතු නැති විධායක ජනාධිපතිවරයෙකු නිර්මාණය කළ ආණ්ඩුක්‍රම ව්‍යෙවස්ථාව එසේම තිබියදී ඊට එකතු කරන ලද සරල සංශෝධනයක් මගින් පමණක් විධායක ජනාධිපතිවරයෙකු පාලනය කළ නොහැකි බව ද ඔවුන් තේරුම් ගත යුතුව තිබුණි.
ඔවුන් පුද්ගලයාට එරෙහි විය යුතුව තිබුණේ ක්‍රමයට එරෙහි වන මාර්ගයක් වශයෙනි. අවාසනාවට ඔවුහු ක්‍රමය නොසලකා පුද්ගලයාට එරෙහිව නැගී සිටියේය. තමන්ගේ හඬට ජනාධිපති අවනත කරගැනීමට ඔවුන් අසමත් විය. දැන් ඊළඟට ඔවුන්ට කරන්නට දෙයක් ඉතිරි වී නැත. නිසරු දේශපාලන අරගලවලට මිනිසුන් සම්බන්ධ කරගැනීම තරම් පාපයක් තවත් තිබිය නොහැකිය. නිසරු දේශපාලන අරගල තුළ ජීවීතමය වශයෙන් හෝ අධ්‍යාත්මික වශයෙන් හෝ වැනසෙන්නේ යුක්තිය සඳහා සටන් කිරීමට අධ්‍යාශයක් ඇති සරු මිනිසුන්ය. සරු මිනිසුන් මරණයට පත් වූ විට හෝ අධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ විට පුරෝගාමී ශක්තියක් ඇති මිනිසුන් නැතිකමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සමාජයට සිදුවන්නේය. රටේ දේශපාලන තලයේ පවත්නා නිස්සාරභාවය කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් හේතුවක් වී තිබෙන්නේ ද එයයි. සන්නද්ධ අරගලවලට හා රාජ්‍ය මර්දන ව්‍යාපාරවලට මැදිවී මරණයට පත්ව ඇති සංඛ්‍යාව ලක්ෂයකට වැඩි මිස අඩු නැත.
එසේ මරණයට පත්වූ මිනිසුන් සමග පුරෝගාමී ශක්තියක් ඇති මිනිසුන් ද විශාල සංඛ්‍යාවක් මියයන්නට ඇත්තේය. ඒ අරගලවලින් මරණයට පත් නොවී ජීවත්වීමේ වාසනාව හිමිකර ගත්තවුන්ගේ අධ්‍යාත්මයන් ඒ අරගලවලින් තුවාල විය. පිරිසක් අකාලයේ මිය ගියේය. ජීවතුන් අතර සිටිනවුන්ගේ අධ්‍යාත්මයන් මරණයට පත්ව ඇත්තේය. නැතිනම් හොඳ නරක හා ගඳ සුවඳ හඳුනා ගැනීමට තිබෙන අවයවවල ඇති සංවේදීභාවය අහෝසි වී හෝ හීන වී ඇත්තේය. ඔවුන්ට කන් ඇතත්, ඒ කන් ඇසෙන්නේ නැත. නැතිනම් කන් ඇසෙන්නේ අඩුවෙමිනි. ඇස් ඇතත්, ඇස් පෙනෙන්නේ නැත. නැතිනම් ඇස් පෙනෙන්නේ මඳ වශයෙනි. නාසා ඇතත් ගඳ සුවඳ දැනෙන්නේ නැත. නැතිනම් ගඳ සුවඳ දැනෙන්නේ අඩුවෙමිනි. මා හිතන අන්දමට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ලොකුම අර්බුදය වන්නේ එයයි. එය රාජ්‍යයේ ගරා හැලීම හා ජනවර්ග අර්බුදය ද ඇතුළත් දේශපාලන අර්බුදයටත් වඩා බරපතළ යන්න මගේ විශ්වාසයයි.
ශ්‍රී ලංකාවේ පුරවැසියන් යුක්තිය අපේක්ෂා කරනවා වුවත්, යුක්තිය සඳහා කරන අරගලවලට දායක වන්නට කැමති නැත. එහෙත් ඔවුන් යුක්තිය සඳහා කෙරෙන අරගල පැත්තක සිට හොර රහසේ නරඹන්නට කැමතිය. තමන් වෙනුවෙන් සටන් කළ යුතු මිනිසුන් අතළොස්සක් ඔවුන් හඳුනාගෙන සිටින්නේය. ඔවුන් සටන් කරන විට ඔවුහු ඔවුන්ට රහසේ සුභ පතති. ජය පතති. ධෛර්යය දෙති. අනුන් කරන සටන් දෙස රහසේ බලා සිටීමෙන් ඔවුහු මහත් ආශ්වාදයක් ලබන බව ද පෙනෙන්නට තිබේ. ඒ හැරුණු විට ඔවුන් කවර මට්ටමකින්වත් එම සටන්වලට දායකවන්නේ නැත. ඔවුන් හඳුනාගෙන සිටින වීරයන් සටන් නොකරන අවස්ථාවලදී ඔවුන් කෝපයට පත්වෙමින් එම වීරයින් වෙත රහසේ දොස් පවරති. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට යුක්තිය සඳහා කරන අරගල හා ක්‍රිකට් තරග අතර වෙනසක් නැත. ක්‍රිකට් තරග නැරඹීමෙන් ලබන ආශ්වාදයට සමාන ආශ්වාදයක් ඔවුන් යුක්තිය සඳහා කෙරෙන අරගල නැරඹීමෙන් ලබති.
මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. වැදගත්ම දේ එම අවාසනාවන්ත තත්ත්වය කෙරෙහි බලපාන හේතු තේරුම් ගැනීමට නොහැකිවීමය. හේතු සොයාගත හැකි නම් පිළියම් සොයා ගැනීම අමාරු නැත. ශ්‍රී ලංකාවේ සමාජ අධ්‍යාත්මය මුළුමණින් මරණයට පත්වී නැත. එහෙත් එය අර්ධ වශයෙන් මරණයට පත්ව ඇත්තේය. එය නැවත ප්‍රකෘතිමත් කරන්නේ කෙසේද? ඊට ලබාදිය යුතු පිළියම් මොනවාද?