ජනවාර්ගික අර්බුදය පිළිබඳ මාගේ ස්ථාවරය විවේචනය කරන ලිපියක් ගාමිණී වියන්ගොඩ විසින් ලියා තිබුණි. ඒ මගින් හෝ අපගේ පරිකල්පනය පුළුල් කිරීමට හේතුවන අප දෙදෙනාට පමණක් සීමා නොවන සංවාදයක් ආරම්භවන්නේ නම් එය ඉතා යහපත්ය. ගාමිණීගේ ලිපිය අවසන් නොකළ ලිපියක් වන නිසා ඊට වහාම පිළිතුරු දීමේ හැකියාවක් මට නැත. එහෙත් මේ අර්බුදයේම අපි කතා කිරීමට කැමති නැති, නැත්නම් වුවමනාවෙන් නොසලකා හැර තිබෙන තවත් පැත්තක් ගැන කතා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. බොහෝ දෙනෙකුගේ පිළිගත් මතය අනුව ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඉක්මණින් විසඳා ගත යුතු ලොකුම ප්රශ්නය වන්නේ ජනවාර්ගික ප්රශ්නයයි. එය ඇත්තක් ද? මා හිතන්නේ එය බාග ඇත්තක් මිස, සම්පූර්ණ ඇත්තක් නොවන බවය.
මැරෙන ගණන
අර්බුදයෙන් මැරෙන සංඛ්‍යාව අර්බුදයේ තරම මනින මාපකයක් වශයෙන් ගතහොත් ජනවර්ග අර්බුදය ප්රචණ්ඩ ගැටුමක් බවට හැරීමෙන් පසුව පසුගිය තිස් දෙවසරක කාලය තුළ ඒ නිසා මරණයට පත්වී ඇති අයගේ සංඛ්‍යාව 75,000කි. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල හා මර්දනය තුළ අවුරුදු තුනක් තරම් කෙටි කාලයක් තුළ මැරුණු සංඛ්‍යාව ජනවාර්ගික අර්බුදය ප්රචණ්ඩ ගැටුමක් බවට පත්වී අවුරුදු 32ක් තරම් කාලය තුළ මැරුණ සංඛ්‍යාවට එක්කෝ සමානය. නැතිනම් ඊටත් වැඩිය. එය එම ව්‍යාපාරයේ පළමු කැරැල්ල නොවන බව ද අපි අමතක නොකළ යුතුය. 1971 වසරේදී ද ප්‍රමාණයෙන් ඔවුන්ගේ දෙවැනි කැරැල්ල තරම් විශාල හා සාහසික නොවූවත්, රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා ප්රචණ්ඩ ලෙස නැගී සිටියේය. ප්රභාකරන්ගේ සන්නද්ධ අරගලයෙන් සංකේතවත් කෙරෙන්නේ ජනවාර්ගික අර්බුදයක් නම් විජේවීරගේ සන්නද්ධ අරගලයෙන් සංකේතවත් කෙරෙන්නේ කුමන අර්බුදයක් ද? ඉන් සංකේතවත් කරන්නේ පන්තියද? කුලයද? නැතිනම් ඒ දෙකමද? දෙවැනි කැරැල්ල කෙරෙහි බලපෑ හේතු සොයා බැලීම සඳහා පත් කළ තරුණ අසහනය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිගමනය වූයේ කුලභේදය එම කැරැල්ල කෙරෙහි බලපා තිබෙන ප්රමුඛ සාධකයක් වන බවය.
දකුණේ ප්රචණ්ඩ කැරලි දෙකකින් පසුත්, අපි කුලභේදය ගැන කිසිවක් කතා නොකරමු. අප කතා කරන්නේ වර්ගය ගැන පමණය. කුලය ද, වර්ගය තරම්ම ලේ වැගිරීම් ඇති කිරීමට හේතුවී තිබෙන සාධකයක් වී ඇතත් එය තවදුරටත් කුණුවන්නට ඉඩ නොදී විසඳා ගතයුතු ප්‍රශ්නයක් බව අපට පෙනෙන්නේ නැත. නැතහොත් අප අතර විසඳාගත යුතුව තිබෙන එවැනි බරපතළ ප්‍රශ්නයක් ඇති බව පිළිගන්නට අප සූදානම් නැත. මා කියන්නට උත්සාහ කරන්නේ වර්ග ප්‍රශ්නයට වඩා කුල ප්රශ්නය ප්‍රධාන බව නොවේ. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය තනිකර ජනවාර්ගික අර්බුදයක් ලෙස විග්රහ කිරීම වැරදි බව පෙන්වා දීම සඳහාය. වර්ගය අර්බුදයේ එක ලක්ෂණයකි. කුලය එහි තවත් ලක්ෂණයකි. ආගම හා භාෂාව ද එහි තවත් ලක්ෂණයෝය. මේ ඕනෑම ලක්ෂණයක් කිසියම් මොහොතක ප්‍රධාන වී ලේ වැගිරීම් ඇති කිරීමට හේතුවන සාධකයක් ලෙස ක්‍රියා කළ හැකිය.
පුනරුච්චාරණය
1915 සිංහල මුස්ලිම් කෝලහාලය ඇති කළ විනාශය සුළුපටු නැත. ඊට පෙර (1833දී) කොටහේනෙන් ආරම්භ වූ බෞද්ධ ක්‍රිස්තියානි ගැටුම දුරදිග යන්නට ඉඩ නොදී පාලනය නොකළේ නම්, ඇතිවන්නට ඉඩ තිබූ විනාශය අතිවිශාලය. සිංහල කුල ක්රමයේ බයිබලය ලෙස සැලකනෙ Caste සබ ඵදාැරබ Ceylon නමැති කෘතියේ බ්‍රයිස් රයන් සඳහන් කර තිබෙන ආකාරයට 1925 වන තෙක්ම සමාජ ගැටුම් ඇති කිරීමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ වර්ගය නොව කුලයයි. කුලයට ලැබෙන වැදගත්කම යටපත් වී වර්ගයට ලැබෙන වැදගත්කම ඉහළ ගිය ද කුලය මියගියේ නැත. එය වර්ග අර්බුදය තුළ නැවත හිස ඔසවා මහා ලේ වැගුරුම් දෙකක් ඇති කළේය. 1833දී ඇතිවූ කොටහේනේ බෞද්ධ ක්‍රිස්තියානි කෝලහාලයෙන් පසුව ප්රචණ්ඩ ගැටුම් ඇති කරන සාධකයක් වශයෙන් ආගමට ලැබෙන වැදගත්කම මිය ගියේ නැත. ගංගොඩවිල සෝම හිමියන්ගේ අභාවය ආශ්රයෙන් මතුවූ ආවේගකාරී වටපිටාව ආගමික ගැටුමක් බවට පත්වී නම් විය හැකිව තිබුණු විනාශය අතිවිශාලය.
රෝගය තේරුම් ගැනීම
මෙමගින් මට පෙන්නුම් කිරීමට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අර්බුදය තනිකර ජනවර්ග අර්බුදයක් ලෙස සැලකීම වැරදි බවය. එය වර්ගය, කුලය, ආගම හා භාෂාව යන සාධක ගණනාවක් මත බැඳුණු අර්බුදයකි. රෝගියා පෙළෙන්නේ එක රෝගයකින් නොව, එකට බැඳුණු රෝග ගණනාවකිනි. ඔහු එක විට වකුගඩු රෝගියකු, හෘද රෝගියකු හා දියවැඩියා රෝගියකු ලෙස සැලකිය හැකිය. ඔහු වකගුඩු රෝගියකු පමණක් ලෙස සලකා වකුගඩු රෝගයට පමණක් ප්‍රතිකාර කරන ක්‍රමයක්, ඔහුගේ මරණයට හේතුවිය හැකි අතර, ඔහු දියවැඩියා රෝගියකු ලෙස පමණක් සලකා හෝ හෘද රෝගියකු ලෙස පමණක් සලකා ප්‍රතිකාර කරන ක්‍රමයක් ද ඔහුගේ මරණයට හේතුවිය හැකිය. රෝග තුන සමස්තයක් ලෙස ගෙන සුදුසු ප්‍රතිකාරයක් කරන තෙක් රෝගියාට සහන සලසන ප්‍රතිකාරවලට යායුතු නැතැයි මම නොකියමි. එහෙත් සහන ප්‍රතිකාරවලදී පවා එසේ කළ යුත්තේ මහත් පරීක්ෂාවකින් යුතුවය.
වකුගඩු රෝගියකු ලෙස සලකා දෙන ආහාර හෘද රෝග හා දියවැඩියාව කෙරෙහි විනාශකාරී ලෙස බලපෑ හැකි අතර, අනෙක් අතට හෘද රෝගියෙකු හෝ දියවැඩියා රෝගියකු ලෙස සලකා දෙන ආහාර අනෙක් රෝග කෙරෙහි විනාශකාරි ලෙස බලපෑ හැකිය. මෙම අර්බුදය කෙරෙහි බලපා ඇති එකිනෙකට සම්බන්ධ මූලික ප්‍රශ්න එකකට වැඩි ගණනක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඒ ප්‍රශ්න සියල්ල එකට නොගෙන එක ප්‍රශ්නයකට පමණක් බර තබන ප්‍රතිපත්තියක් අප පවත්වාගෙන යන්නේ ඇයි? චින්තනයේ ඇති දෝෂයක් නිසා එසේ කරන්නේද? නැතිනම් පැහැදිලි කළ නොහැකි අන් දෝෂයක් නිසා එසේ කරන්නේද? වර්ග ප්රශ්නය නිසා හෙමින් හෙමින් එක දිගට මිනිස්සු මරණයට පත්වේ. කුල ප්රශ්නය නිසා එක දිගට හෙමින් හෙමින් මිනිසුන් මැරෙන්නේ නැතත්, විටින් විට මහා පරිමාණයෙන් මිනිසුන් මරණයට පත්වේ. එම ප්‍රශ්න දෙක අනේයාන්‍ය වශයෙන් එකිනෙක ප්‍රශ්න කෙරෙහි බලපායි.
මට පෙනෙන අන්දමට උතුරේ ජනවර්ග අර්බුදය පවා පිරිසිදු අර්ථයෙන් ජනවාර්ගික ප්‍රශ්නයක් ලෙස විග්රහ කළ නොහැකිය. එය කෙරෙහි ද කුල ප්රශ්නය බලපා තිබේ. උතුරේ දෙමළ සන්නද්ධ අරගලය සිංහල ආධිපත්‍යයට එරෙහිව කෙරෙන අරගලයක් පමණක් ලෙස සැලකිය නොහැකිය. ඒ තුළ වෙල්ලාල ආධිපත්‍යයට එරෙහිව කරන අරගලයක් ද පවතී.
71 කැරැල්ල
71 අප්‍රේල් කැරැල්ල කෙරෙහි කුල ප්රශ්නය ප්‍රධාන සාධකයක් ලෙස බලපා තිබෙන බව මා තේරුම් ගත්තේ කැරැල්ල වෙනුවෙන් අත්අඩංගුවේ සිටි දීර්ඝ කාලපරිච්ඡේදයේදීය. දේශපාලන සිරකරුවන් අතර දක්නට ලැබුණු කාණ්ඩ ගැසීම් කෙරෙහි කුලය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව පෙනෙන්නට වූ විට ඒ ගැන උනන්දුවෙන් සොයා බලන තැනකට යන්නට මට සිදුවිය. බොහෝ දෙනෙකු මා දැන සිටියේ පොඩි අතුල වශයෙන් හෝ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් නමින් වන නිසා මා අයත් කුලය කුමක්ද යන්න හඳුනා ගැනීම පහසු නොවීය. ඒ නිසා කුල වශයෙන් කල්ලි ගැසී ක්‍රියා කරන පිරිස් සමග කුල ප්රශ්නය ගැන සාකච්ඡා කිරීමේ අවස්ථාවක් මට ලැබුණි. සමහර අය ඉතා විවෘත ලෙසත්, අවංක ලෙසත්, තමන් මුහුණ දී තිබෙන එම ප්රශ්නය ගැන කතා කළේය. ජවිපෙ ව්‍යාප්තිය කෙරෙහි බලපෑ විවිධ සාධක තිබෙනවා විය හැකි වුවත්, එය සිංහල සමාජයේ කුල ධුරාවලිය තුළ ආන්තික තත්ත්වයක් නියෝජනය කරන කුලවලට අයත් තරුණ ජනයාගේ විශේෂ ආකර්ෂණයට හේතුවූ ව්‍යාපාරයක් විය.
එහි පළමු පෙළ හා දෙවැනි පෙළ නායකයන්ගේ කුල සංයුතිය එජාපයේ හෝ ශ්‍රීලනිපයේ ප්‍රධාන කුල සංයුතියට වඩා වෙනස් විය. මෙම පක්ෂ දෙකේ මුදුණේම සිටින නායකයන් ගොවිගම කුලයේ වන විට දෙවැනි පෙළ නායකයන්ගෙන් වැඩි පිරිස ද ගොවිගම කුලයට අයත්ය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ මුදුණත කරාව වන විට දෙවැනි පෙළ නායකයන් වැඩි පිරිස ආන්තික කුල නියෝජනය කරන අයගේ අපූරු මිශ්‍රණයක් වී යැයි කිව හැකිය. ජනතා විමුක්ති පෙරමුණට ආවේණික මෙම ලක්ෂණය එල්ටීටීඊය තුළ ද දැකිය හැකිය. විජේවීර කරාව කුලයට අයත් වන විට ප්රභාකරන් අයත් වන්නේ කරයාර් කුලයටය. විජේවීරගේ දෙවැනි පෙළ නායකයන්ගෙන් වැඩි පිරිසක් ආන්තික කුල නියෝජනය කරන සාමාජිකයන් වන විට, ප්රභාකරන්ගේ දෙවැනි පෙළ නායකයන්ගෙන් වැඩි පිරිස අයත් වන්නේ ද එවැනි කුලවලටය. එය හිතාමතා සකස් කළ එකතුවක් නොවනවා විය හැකි වුවත්, සිංහල සමාජයේ හා දෙමළ සමාජයේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ හා ඔවුන් අතර ඇති ඒ වෙනස පැහැදිලිව දැකිය හැකි හා පැහැදිලිව පෙනෙන්නට තිබෙන වෙනසක් ලෙස සැලකිය හැකිය.
විජේවීරට කුලය පිළිබඳ අපූරු ඉවක් තිබුණේය. ඉක්මණින් පුද්ගලයෙකුගේ කුලය හඳුනා ගැනීමේ හැකියාව ඔහුට තිබුණේය. විවිධ කුල කණ්ඩායම්වල ගෞරවයට හේතුවූ වීරයින් ඔහු ජවිපෙ ජාතික වීරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරගෙන තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ වැඩ කරන පුද්ගලයන් ඇමතීමේදී ඔහු අමතන නම අගට “මහත්තයා” යන විශේෂණ පදය ද යොදා ගන්නා ලදි. “ඌ” මහත්තයා, ලොකු අතුල මහත්තයා, සමරේ මහත්තයා යනාදී වශයෙනි. ග්‍රාමීය සමාජයේ මහත්තයා යන පදය බොහෝ විට යොදා ගැනෙන්නේ කුලවතුන් සඳහාය. ඒ ගණයට නොවැටෙන සිය වැඩ කරන සාමාජිකයන් ඇමතීමට එම පදය යොදා ගැනීම මගින් ඔවුන්ට ගෞරවය ලබා දුන්නා සේ ම, එය එවැනි තරුණයන්ගේ ආශ්වාදයට හේතුවූ බව ද පෙනෙන්නට තිබුණි.
කැරැල්ලේ භික්ෂු පරපුර
සිරදඬුවම් නියම වන්නට පෙර මා රඳවා තිබුණේ මැගසින් බන්ධනාගාරයේය. අප රඳවා තිබූ C වාට්ටුව යුද්ධ කාලයේ වෙඩි බෙහෙත් ගබඩා කිරීම සඳහා ඉදිකළ ගොඩනැගිල්ලක් විය. ඒ තුළ ඇති සිරකූඩු පහක ජවිපෙ නායකයන් ලෙස සැලකෙන පස්දෙනෙකු රඳවා තබා සිටි අතර, අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා රඳවා තිබුණේ සිරකූඩු පහ ඉදිරියෙහි ඇති ශාලාවේය. එම වසර කිහිපය තුළ මට වැඩියෙන් ඇසුරු කරන්නට ලැබුණේ භික්ෂූන් වහන්සේලාය. භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු මාගේ හොඳම මිත්‍රයන් විය. මා ලියන දේවල් මට හොඳ අකුරින් පිටපත් කර දුන්නේ උන්වහන්සේලා දෙදෙනාය. බෞද්ධ භික්ෂූන් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචණ්ඩ කැරැල්ලට සම්බන්ධ වුණේ ඇයිද යන ප්රශ්නය මාගේ කුතුහලයට හේතුවූ ප්‍රශ්නයක් විය. එම ප්රශ්නය තේරුම් ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකු සමග ඒ ගැන කතා කළෙමි. භික්ෂු ශාසනය තුළ ක්‍රියාත්මක වන කුලභේදය ඒ කෙරෙහි බලපා තිබුණු වැදගත් හේතුවක් වන බව මා ඒ මගින් ඇති කරගත් නිරීක්ෂණය විය.
ශාසනය තුළ භික්ෂූන් සියලු දෙනා සමානයන් නොවීමේ ප්රශ්නය ඔවුන්ගේ කැරලිකාරීත්වය කෙරෙහි අඩු වැඩි වශයෙන් බලපා තිබුණි. මා සිරගෙදර සිටියදී ජවිපෙ ඉතිහාසය පිළිබඳව මා එකතු කරගෙන තිබූ තොරතුරු පදනම් කොටගෙන පොතක් ලීවෙමි. මාගේ ව්‍යාකරණ දුප්පත් වූ බැවින් පොතේ භාෂාව ව්‍යාකරණානුකූල කිරීම සඳහා පොත උසස් භාෂා දැනුමක් තිබූ පුද්ගලයෙකුට දුන්නෙමි. භාෂාව සංස්කරණය කිරීමෙන් පසු අත්පිටපත මට දෙමින් ඔහු කීවේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇති කිරීමට හේතුවිය හැකි බැවින් පොත පළකිරීමෙන් වැළකී සිටීම සුදුසු බවය. පොතේ ලියා ඇත්තේ මට පෙනෙන සත්‍යය නිසා ආරක්ෂාව පිළිබඳව ඇතිවිය හැකි ප්‍රශ්න නොසලකා එය පළ කරන බව මම කියා සිටියෙමි. මා අපේක්ෂා කරන ලද ආකාරයටම පොත පළවිය. පොතේ ව්‍යාකරණ දොස් නිවැරදි කළ මිත්‍රයා අසූ ගණන්වලදී “ලංකා ගාඩියන්” සඟරාවට පොත පිළිබඳව දීර්ඝ විවරණයක් ලියා තිබුණි.
එය අනවශ්‍ය තරමට කුලයට හා විජේවීරගේ පෞද්ගලික ජීවිතයට බර තබන ලද පොතක් බව ඔහු එහි කියා තිබුණි. ඉන් තවත් අවුරුදු විස්සකට පසු එම පුද්ගලයා විසින්ම ලියන ලද සමාජ විද්‍යාත්මක නිබන්ධනයක් මට කියවන්නට ලැබුණි. ඔහු සිය නිබන්ධනයේ තේමාව බවට පත් කරගෙන තිබුණේ කුලයයි. රහසේ කෙරෙන කතාබහට පමණක් සීමාවී තිබෙන කුලය රඟපාමින් තිබෙන බිහිසුණු භූමිකාව පිළිබඳව ඔහු ඒ මගින් කදිම විවරණයක් කර තිබුණි. දැඩි පන්ති කෝණයක පිහිටා දේවල් බලන්නට හුරුපුරුදු වී සිටි එම මිත්‍රයාට මුලදී කුලය නොපෙනුණේය. පෙනුණේ පන්තිය පමණය. පන්ති කෝණය ලිහිල්වීමත් සමග පන්තිය යටපත් වී කුලය පෙනෙන්නට වූවා විය යුතුය.
සමසමාජ ව්‍යාපාරය
මා නිදහස ලැබීමෙන් පසු ලංකා සමසමාජ පක්ෂයේ ආරාධනයක් අනුව කොළඹ සමසමාජ මූලස්ථාන ගොඩනැගිල්ලේදී කැරැල්ල පිළිබඳව දේශනයක් පැවැත්වීමි. දේශනයට සවන්දීමට කොල්වින්, හෙක්ටර්, බර්නාඩ් වැනි සමසමාජ නායකයන් පිරිසක් ද පැමිණ සිටියේය. ජවිපෙ හා කුලය අතර තිබුණු සම්බන්ධය මම එහිදී විග්රහ කරන්නට උත්සාහ කළෙමි. දේශනය අවසානයේදී මා සමග කතා කරන්නට අවශ්‍ය බව බර්නාඩ් සොයිසා කීවේය. ඔහු මා සමඟ ඒ අසල තිබූ ගැලෙක්සි හෝටලයට ගියේය. ජවිපෙ පමණක් නොව, සමසමාජ පක්ෂය ද කුල ප්රශ්නය ආයුධයක් ලෙස පාවිච්චි කළ බව ඔහු මට කීවේය. ආසන සඳහා අපේක්ෂකයන් නම් කරන විට අපේක්ෂකයාගේ කුලය සැලකිල්ලට ගත් බව කීවේය. ඔහු නිදර්ශන ගණනාවක් ඉදිරිපත් කළේය. අම්බලන්ගොඩ හා බලපිටිය එක් ආසනයක් ලෙස පැවති යුගයේ ආසනයේ බහුතර පිරිස කරාව කුලයට අයත් වූ බැවින් සමසමාජ පක්ෂය ඉදිරිපත් කළේ කරාව කුලයේ අපේක්ෂකයකු බවත්, ආසනය අම්බලන්ගොඩ හා බලපිටිය වශයෙන් ආස දෙකක් බවට පත් කළ පසු අම්බලන්ගොඩ ආසනයට කරාව අපේක්ෂකයකු හා බලපිටිය ආසනයට සලාගම අපේක්ෂකයකු ඉදිරිපත් කළ බවත් කීවේය.
ඔහු දකුණු කොළඹ ආසනය තෝරා ගත්තේ ද දුරාව කුලයට තිබුණු ශක්තිමත් පදනම සැලකිල්ලට ගනිමින් බව ද ඔහු කීවේය. බර්නාඩ් මාක්ස්වාදයට තරමටම සිය කුලයට ද ඇලුම් කළේය. එන්.යූ. ජයවර්ධන එකල එම කුලයේ ව්‍යාපාරික නායකයා වන විට එම කුලයේ දේශපාලන නායකයා වූයේ බර්නාඩ්ය. ඇන්.ඇම්. පක්ෂ නායකයා වශයෙන් තෝරා ගැනීමේදී ජාතික මට්ටමෙන් ගොවිගම කුලයට ලැබෙන ප්‍රමුඛතාව සැලකිල්ලට ගනිමින් එසේ කරන ලද බව ද ඔහු කියා සිටියේය. ඇන්.ඇම්. පිළිබඳව ඔහු විසින් එහිදී කරන ලද වැදගත් නිරීක්ෂණයක් මෙසේය. ඇන්.ඇම්. ගොවිගම කුලයට අයත් වුව ද, රුවන්වැල්ලේදී හෝ යටියන්තොටදී ඔහුගේ ජයග්‍රහණය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑවේ කුලවතුන් නොව, පීඩිත කුලවලට අයත් ජනයාය. ඒ ප්‍රදේශවල පැවති රදළ ආධිපත්‍යයට එරෙහිව කරන ලද අරගල හේතු කොටගෙන එම ප්‍රදේශවල පීඩිත කුලවලට අයත් ජනයා ඇන්.ඇම්. සිය දේශපාලන නායකයා බවට පත් කරගෙන තිබුණේය.
දෙවැනි කැරැල්ල
1971 තරුණ කැරැල්ලෙන් පසු තවත් වසර 16කට පසුව විසඳුමකින් තොරව කුණුවෙමින් තිබුණු කුල ප්රශ්නය වඩා ප්රචණ්ඩ හා වඩා සාහසික කැරැල්ලක් ලෙස නැවත මතුවිය. දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය දෙස මම උනන්දුවෙන් බලා සිටියෙමි. පීඩිත කුලවලට සීමාවූ ගම්වල ජවිපෙට තිබුණු පදනම ඉතාමත් ශක්තිමත් විය. මිශ්‍ර ගම්වල ද සැලකිය යුතු බලපෑමක් තිබුණ ද ගොවිගම කුලයට පමණක් සීමාවූ ගම් කෙරෙහි එම පක්ෂයට තිබූ බලපෑම ආන්තික විය. මාගේ නිරීක්ෂණයට හසුවී තිබූ එක් ප්‍රදේශයක ඇතිවූ සිදුවීමක් මගේ උනන්දුවට සේ ම, විශ්මයට ද හේතුවිය. එම සිද්ධිය සිදුවූයේ කලක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහගේ බල ප්රදේශයව පැවති අකුරැස්සේය. බෙහෙවින් වියපත්ව රෝද පුටුවකින් ගමන් ගන්නා තත්ත්වයක සිටි ප්‍රදේශයේ ගෞරවයට හේතුවූ විශ්‍රාම ලත් විදුහල්පතිවරයෙක් ඔහුගේ නිවසේ රෝද පුටුවේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදි.
ඔහු නමින් සද්ධාතිස්සය. දොස්තර වික්‍රමසිංහගේ සමීප ආධාරකරුවකු හා කිට්ටු හිතවතෙකි. දොස්තර වික්‍රමසිංහගේ සමකාලීන හිතවතුන් අතරින් ජීවතුන් අතර සිටි එකම පුද්ගලයා ඔහු වී යැයි කිව හැකිය. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කිසිම නපුරක් කළ නොහැකි අසරණ තත්ත්වයක සිටි එවැනි අහිංසක පුද්ගලයකු ඒ ආකාරයට ඝාතනය කිරීමට අවශ්‍ය වූයේ ඇයිද යන්න මා විසඳා ගත යුතුව තිබුණු ප්රේහේළිකාව විය.
සද්ධාතිස්ස ඝාතනය
එය සංකේතාත්මක ඝාතනයක් විය. දෙවැනි කැරැල්ලේදී එවැනි ඝාතන එකක් දෙකක් නොව කිසියම් ප්‍රමාණයක් සිදුවී යැයි කිව හැකිය. එම ඝාතනයේ සංකේතාත්මක දේශපාලන අර්ථය මෙසේ විග්රහ කළ හැකිය. දොස්තර වික්‍රමසිංහගේ පියා අකුරැස්ස ප්‍රදේශයේ වැඩවසම් ප්‍රධානියෙක්. වැඩවසම් ක්‍රමයෙන් බැටකන කුලහීන ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. උඩුකය ආවරණයට අයිතිය නොතිබුණු ජනයාට ඒ අයිතිය ලබා දුන්නේය. උඩුකය ආවරණය කිරීමේ අයිතිය ලබාදීම වෙනුවෙන් එම පීඩිත ජනයා එක දිගට දශක හතරක් දොස්තර වික්‍රමසිංහට ඡන්දය දුන්නේය. උඩුකය ආවරණය කරගැනීමේ අයිතිය දිනා දෙනවා හැර ඉන් එහාට ගිය දෙයක් එම ප්‍රජාව වෙනුවෙන් දිනාදීමට දොස්තර වික්‍රමසිංහ අසමත් විය. වැඩිහිටි පරපුරට වෙනස්ව අලුතෙන් දේවල් සිතන තැනකට එම ජනයාගේ තරුණ පරපුර ගමන් ගනිමින් සිටියේය. ඔවුන් දොස්තර වික්‍රමසිංහ දැක්කේ සිය ජනයාගේ ආධිපත්‍යය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ව්‍යාජ ලෙස වෙනස් වූ පුද්ගලයෙකු ලෙසය.
ඇති කර දුන් පුංචි වෙනසක් වෙනුවෙන් සිය දෙමාපියන්ගෙන් අතිවිශාල වන්දියක් ලබාගත් ද්‍රෝහියෙකු ලෙසය. 1970දී එම තරුණ පරපුර දොස්තර වික්‍රමසිංහගෙන් පළිගැනීම සඳහා එජාපයට ඡන්දය දුන්නේය. දොස්තර වික්‍රමසිංහ පරාජයට පත්වුවත්, ඊළඟට තේරී පත්වූයේ ද වික්‍රමසිංහ කෙනෙකි. ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණ බාබර් කුලයේ කෙනෙකු අකුරැස්සේ සිය නායකයා වශයෙන් පත් කළේය. එය ද සංකේතාත්මක වැදගත්කමක් ඇති පත්කිරීමක් විය. ඉන්පසු කැරැල්ලේදී ඔවුන්ට සංකේතාත්මකව පළිගන්නට දොස්තර වික්‍රමසිංහ කෙනෙකු නොසිටියේය. ඔවුන් ඒ වෙනුවෙන් ජීවතුන් අතර සිටි දොස්තර වික්‍රමසිංහට සමීපව ජීවතුන් අතර සිටි අංශභාග රෝගී සද්ධාතිස්සගෙන් පළිගත්තේය. සද්ධාතිස්ස ඝාතනය ප්‍රදේශවාසීන් අතර මහත් කම්පාවක් ඇති කිරීමට හේතුවූ සංසිද්ධියක් වුවත්, එදින රාත්‍රියේ සමහර ගම්වල තරුණයන් ප්‍රීතිය පළකිරීම සඳහා රතිඤ්ඤා පත්තු කරන ලද බව ද අසන්නට ලැබුණි.
යන්නේ කොයිබටද?
දෙවැනි කැරැල්ල ද පරාජය කරනු ලැබීය. ඒ සමග කුල අර්බුය අවසන් වූ බව ඉන් අදහස් වේද? නැත. ප්රශ්නයේ බැ?රුම්කම තේරුම් ගනිමින් අවශ්‍ය විසඳුම් ලබාදීමට අසමත් වෙතොත් එය එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවන ලෙස නැවත මතුවිය හැකිය. උතුරේ සිදුවන අරගලය දෙස බලන්න. ඔවුන් අතින් මරණයට පත්වන්නේ සිංහලයින් පමණද? ඔවුන් අතින් මරණයට පත්වී තිබෙන සිංහලයන්ගේ සංඛ්‍යාවට වඩා දමිළයන්ගේ සංඛ්‍යාව විශාලය. සිංහල ආධිපත්‍යයට එරෙහිව අරගල කරන ඔවුන්ට දමිළයන් මරන්නට අවශ්‍ය වී තිබෙන්නේ ඇයි? ඔවුන්ට සිංහල ආධිපත්‍යයට එරෙහිව කරන අරගලයකට අතිරේකව සිය සමාජය තුළ පවත්නා වෙල්ලාල ආධිපත්‍යයට එරෙහිව ද අරගල කරයි. අපි මෙම අර්බුදය දැකිය යුත්තේ තනිකර ජනවර්ග අර්බුදයක් ලෙස නොව, ජනවර්ග, කුල, ආගම් හා භාෂා අර්බුදයක් ලෙසය. නවීන ජාතික රාජ්‍යයක් ගොඩනැගී ඇතත්, එවැනි රාජ්‍යයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය පොදු ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගා ගැනීමට අප සමත්වී නැත.
වර්ග අතර, ගැටුම් ඇති කිරීමට හේතුවන අසමානතා තිබෙනවා සේ වර්ග තුළ ද ගැටුම් ඇති කිරීමට හේතුවන අසමානතා පවතී. සියලු සිංහලයන් සමාන නොවන්නා සේ ම, සියලු දමිළයන් ද සමාන නොවන්නේය. පොදු ජාතියක් ගොඩනගා ගැනීමට හැකිවන්නේ වර්ග අතර තිබෙන අසමාන බව සේ ම, වර්ග තුළ ඇති අසමානතා ද නැති කිරීමෙනි. ඉන්දියාවේ ගොඩනැගී තිබුණු ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා අවශ්‍ය පොදු ඉන්දියානු ජාතියක් තැනීමට ඉන්දියාවට මහත්මා ගාන්ධි කෙනෙකු සිටියේය. ඔහු වර්ග අතර තිබුණු අසමානතා දුරු කිරීමට සේ ම, වර්ග තුළ තිබෙන අසමානතා දුරු කිරීමට අවශ්‍ය පොදු ජාතික දෘෂ්ටියක් සඳහා ශක්තිමත් අත්තිවාරමක් ගොඩනගා දුන්නේය. එම අත්තිවාරම මත පොදු ඉන්දියානු ජාතියක් ද, ඊට ගැලපෙන දේශපාලන ක්‍රමයක් ද ගොඩනගා ගැනීමට ඉන්දියාව සමත් විය. එහෙත් රටක් වශයෙන් අප සිටින්නේ ඒ අරමුණු දෙකම සපුරාගත නොහැකිව ඉබාගාතේ යන තත්ත්වයකය.
එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් සිදුවන කෙළවරක් නැති ලේ වැගිරීම් කෙරෙහි බලපා ඇති ප්‍රධාන හේතුව එයයි. අපට එම තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ වර්ග අතර පවතින අසමානතා පිළිබඳ ප්‍රශ්නයට පමණක් සීමා නොවී වර්ග තුළ පවත්නා අසමානතාව පිළිබඳ ප්රශ්නය ද එකට ගෙන වර්ග අතර හා වර්ග තුළ සමාන අයිතීන් තහවුරු කළ හැකි ක්‍රමයක් ඇති කරගැනීමෙන් පමණි අපට මෙම අර්බුදය ජයගත හැකිවනු ඇත්තේ.