යුරෝපා සංගමය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමට අනුකූලව ක්රියා නො කරයි නම්,(GSP+) ක්රමය යටතේ ශ්රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන සඳහා ලබාදී තිබෙන සහන ඉවත් කරගැනීමට සිදුවනු ඇති බවට ජර්මනිය කරන අනතුරු ඇඟවීම රටක් වශයෙන් අප බැ?රුම් ලෙස සැලකිල්ලට ගත යුතුය. මෙය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිදුවන්නට යන විනාශයක් ලෙස සලකා ප්රීතිවීමේ අයිතියක් විරුද්ධ පක්ෂවලට ද නැත. ආණ්ඩු පක්ෂය සේ ම විරුද්ධ පක්ෂය ද එකට එකතු වී එවැනි තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීමට උපරිම උත්සාහයක යෙදිය යුතු ය. ශ්රී ලංකා ආර්ථිකයේ ධාවන බලය ලෙස ක්රියා කරන්නේ ඇඟලුම් කර්මාන්තයයි. එය රටට විදේශීය විනිමය ආදායම් උපයා දෙන දෙවැනි මාර්ගය වන අතර, ගම්බද අවවරප්රසාදිත තරුණයන්ට රැකියා ලබාදී තිබෙන ප්රධාන මාර්ගය ලෙස ද සැලකිය හැකි ය. රටේ මුළු අපනයන ආදායම ඇමරිකන් ඩොලර් දශ ලක්ෂ 6882කි.
ඉන් 44%ක් ම (ඇමරිකන් ඩොලර් දශ ලක්ෂ 3080ක්) උපයන්නේ ඇඟලුම් අපනයනයෙනි. ඇඟලුම් කර්මාන්තයෙන් උපයන ආදායම තේ, පොල් ඇතුළු ෙෙ කෘෂිකාර්මික අපනයනයන්ගෙන් උපයන මුළු ආදායමෙන් දෙගුණයකටත් වැඩි ය. ඇඟලුම් අපනයනයෙන් රුපියල් දශ ලක්ෂ 303262ක් උපයන විට ඉන් 95.53%ක් ම විකුණන්නේ යුරෝපා සංගමයට හා ඇමරිකා එක්සත් ජනපදයටය. ලෝකයේ සෙසු රටවලට විකුණන්නේ ඉතිරි 4.47%ක ප්රමාණය පමණි. බටහිර ලෝකය අපට ඉදිරිපත් කරන වැරදි කොන්දේසිවලට අප එකඟ විය යුතු නැතත්, ඔවුන් සමග කරන වෙළෙඳාමෙන් තොරව අපට ජීවත්විය හැකි යැයි අපි සිතතොත් එය දරුණු මුලාවකි. බටහිර රටවලට ආධාරවලදී අපට කළ හැකි බලපෑම විශාල නොවූවත්, වෙළෙඳාමේදී අපට කළ හැකි බලපෑම අතිවිශාල ය. බටහිර ලෝකය සමග දිගින් දිගට රණ්ඩු කරන තැනකට යෑම රටේ යහපතට හේතුවන්නේ නැත. අපනයන වෙළෙඳාමේදී ශ්රී ලංකාව නිපදවන අපනයන භාණ්ඩ බටහිර ලෝකයට මිස, චීනයට, රුසියාවට හෝ වෙනිසියුලාවට විකිණීමේ හැකියාවක් නැත.
යුරෝපා සංගමය සමග ඇඟලුම් අපනයන සඳහා ඇති කරගෙන තිබෙන GSP+ ගිවිසුම අනුව අප එක්සත් ජාතීන්ගේ සංගමය සමග ඇති කරගෙන තිබුණු අන්තර්ජාතික ප්රඥප්තීන් පිළිපැදිය යුතු ය. ගිවිසුම ප්රකාර අපි ඒවා නොපිළිපදින්නේ නම් ඇඟලුම් නිෂ්පාදන සඳහා මෙම කලාපයේ ශ්රී ලංකාවට පමණක් ලබාදී ඇති සහන ඔවුන්ට ඉවත් කළ හැකි ය. එසේ වෙතොත්, රටේ මුළු ඇඟලුම් කර්මාන්තයට පහසුවෙන් ගොඩගත නොහැකි අර්බුදයකට තල්ලු වනු ඇති අතර, එම තත්ත්වය පොදුවේ රටේ ආර්ථිකය කෙරෙහි, සේවා නියුක්තිය කෙරෙහි විනාශකාරී ලෙස බලපානු ද නොවැළැක්විය හැකි ය. රටට ලැබී තිබෙන මෙම විශේෂ තත්ත්වය ආරක්ෂා කරගැනීම ආණ්ඩුවේ සේ ම, විපක්ෂයේ ද ජාතික වගකීමකි. ඇඟලුම් අපනයනයන් සඳහා ලබා දී තිබෙන සහන අහිමි කළහොත් එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පමණක් මුහුණ දෙන්නට සිදුවන අවුලක් ලෙස විපක්ෂය නො සැලකිය යුතු ය.
එය ආණ්ඩුවට පමණක් නොව, මුළු රටට ම ද බලපායි. එම තත්ත්වය ආරක්ෂා කරගැනීමේ වගකීම පැවරී ඇත්තේ රටට ය. ජාතික වැදගත්කමක් ඇති මෙවැනි ප්රශ්නවල දී නිසි සංවේදීභාවයකින් ක්රියා කිරීම ආණ්ඩුවේ සේ ම විපක්ෂයේ ද වගකීමකි. රටක් වශයෙන් අප අතින් වරදක් සිදුවී ඇත්නම් එම තත්ත්වය නො පමාව නිවැරදි කරගැනීම සඳහා ක්රියා කිරීම මගින් රටේ ඇඟලුම් කර්මාන්තය ආරක්ෂා කරගත යුතු ය.