60 වසරක නිදහසේ අස්වැන්න

February 3, 2008
Publication:
Sixty years on we still blame the British for what we have made of the country, Ivan writes, and we are not ready to ask honestly whether we did it to ourselves. India was worth wealth to the Empire and Ceylon was worth its position; what we inherited was a political system we then steered in a feudal pattern, dividing citizens by race, religion and caste for the convenience of ruling them.

දැන් ශ්‍රී ලංකාව සම්පූර්ණ කරන්නේ නිදහසේ හැට වසරය. 60 වසරක අපේ පාලනයකින් පසුත්, රටේ අසාර්ථකභාවයට අපි චෝදනා කරන්නේ සුද්දන්ටය. වැරැද්දුවේ සුද්දන් ද, නැතිනම් වරද්දා ගත්තේ අපිම ද යන්න අවංක ආපසු හැරී බැලීමක් කරන්නට අප සූදානම් නැත. බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව වැදගත් වූයේ ධනය නිසාය. ඔවුන් එංගලන්තයේ කාර්මිකකරණය සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධන ඒකීභූතියට අවශ්‍ය වස්තුව අනුකම්පා විරහිතව ඉන්දියාවෙන් කොල්ලකෑවේය. ඉන්දියාවේ ගොඩනැගී තිබුණු දියුණු කර්මාන්ත ව්‍යාපාර විනාශ කොට ඉන්දියාවට අවශ්‍ය භාණ්ඩ එංගලන්තයෙන් ආනයනය කළේය. එහෙත් බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාව වැදගත් වූයේ ධනය නිසා නොව, එහි පිහිටීමට ලැබී තිබුණු උපාය මාර්ගික වැදගත්කම නිසාය. බ්‍රිතාන්‍යයන් අප රට සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කළ සාහසික කොල්ලකාර පිළිවෙතට සමාන නොවීය.

ඔවුහු අප රටින් ලබා ගත් දෙයකට වැඩි දෙයක් අපට දුන්හ. ඈත අතීතයේදී ඉතාමත් දියුණු තත්ත්වයක තිබී විවිධ හේතු නිසා තවත් පසුකලකදී නොදියුණු තත්ත්වයකට පත්ව තිබූ රට නවීන යටිතල පහසුකම්වලින් යුතු දියුණු රටක් බවට පත් කළහ. නිදහස ලැබෙන විට මෙම කලාපයේ රටවල් අතුරින් දියුණුම මාර්ග පද්ධතියක් තිබුණේ අපටය. දියුණුම දුම්රිය සේවාවක් තිබුණේ ද අපටය. කොළඹ වරාය ද එකල රටේ ගමනාගමනයන්ට ගැලපෙන ප්‍රමාණයට නවීන වරායක් බවට පත්කර තිබුණි. ළදරු මරණ අනුපාතිකයේදී කලාපයේ ඉහළම තත්ත්වයක් හිමි කරගෙන සිටියේ ද අපය. සාක්ෂරතා අනුපාතයේදී අප ජපානය හා සම තත්ත්වයක සිටියෙමු. ඒක පුද්ගල ආදායමේදී අප දෙවැනි වූයේ ජපානයට පමණ ය. එහෙත් එහිදී ද රටවල් දෙක අතර වෙනස විශාල නොවීය. ඒ වන විට අපට අන් සියලු රටවලට වඩා හොඳින් වර්ධනය වූ පරිපාලන සංවිධානයක් ද පුහුණුව ලැබූ විශාල සේවක පිරිසක් ද සිටියේය.

නිදහස ලබා අවුරුදු 60කට පසුව නිදහස ලබන විට අපට වඩා බෙහෙවින් පස්සෙන් සිටි රටවල් අපට වඩා අතිවිශාල දියුණුවක් අත්පත් කරගැනීමට සමත් වී ඇතත්, අප ඉන්නේ ඉබි ගමනකය. අප ඉදිරියෙන් සිටින්නේ නිරන්තරයෙන්ම ලේ වගුරුවන රටක් වශයෙන් පමණය. 2002 වසර වනවිට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 880කි. ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 25616කි. හොංකොංවල 25330කි. සිංගප්පූරුවේ 21,500කි. දකුණු කොරියාවේ 16,950කි. මැලේසියාවේ 9120කි. තායිලන්තයේ 1940කි. පිලිපීනයේ 1030කි. රටේ පවතින අවාසනාවන්ත තත්ත්වයට වගකීම යා යුත්තේ සුද්දන්ට නොව අපටය. නිදහස ලැබීමෙන් පසු අපට ලැබී තිබුණු වාසිදායක වටපිටාව ප්‍රයෝජනයට ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යාමට අපි අසමත් වී ඇත්තෙමු. නොදියුණු වැඩවසම් ක්‍රමයක ජීවත් වූ අප ධනේශ්වර ක්‍රමයකට මාරුවී සිටිය ද ධනේශ්වර ක්‍රමයකට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය ස්වාභාවිකව සිදුවූවක් නොවූ නිසා ජාතියක් වශයෙන් අපේ කඳ තිබුණේ ද ධනේශ්වර ක්‍රමය වුවත්, හිස තිබුණේ පැරණි වැඩවසම් ක්‍රමයේ ය.

නිදහස ලැබීමෙන් පසු සුද්දන් ඇති කළ දේශපාලන ක්‍රමයේ සුක්කානම අපි හැසිරවූයේ අපට හුරුපුරුදු වැඩවසම් රටාවකටය. මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා රාජ්‍ය නායකයා තමන්ට ලැබෙන නිල කාලය වැඩවසම් රජකු ලෙස රට පාලනය කළේය. පාලනයේ පහසුව සඳහා පුරවැසියන් වර්ගය, ආගම, හෝ කුලය අනුව බෙදා වෙන් කළේය. පොදු වස්තුව තමන් කැමති තරමක් භුක්ති විඳීමට හා තමන් කැමති පුද්ගලයන්ට පැවරීමට පැරණි වැඩවසම් රජුට තිබූ අයිතිය නව රාජ්‍ය නායකයා ඊට සමාන ආකාරයකින් භුක්ති විඳිනු ලැබීය. පැරණි වැඩවසම් ක්‍රමය තුළ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය වශයෙන් පැහැදිලි බල බෙදීමක් නොතිබුණෙන් නව රාජ්‍ය පාලකයා ද ඉංග්‍රීසීන් ඇතිකොට තිබුණු එම බල බෙදීම අහෝසි කොට ඒ සියල්ල සිය අණසකට ගත්තේය. නිදහස ලැබී අවුරුදු 60කට පසුව දැන් ලැබී තිබෙන නිසරු අස්වැන්න ඒ නිදහසින් පසු විකෘති කරන ලද එම දේශපාලන ක්‍රමයේ තර්කානුකූල ඵලය ලෙස සැලකිය හැකිය.

රටක් වශයෙන් අපට ශක්තිමත්ව නැගී සිටීමට අවශ්‍ය නම් පැරණි වැඩවසම් ක්‍රමයෙන් දූෂිත වී ඇති මෙම දේශපාලන ක්‍රමයෙන් අප නිදහස් විය යුතුය. මහජනයාට වග නොකියන වැඩවසම් රජකුගේ පාලනයක් වෙනුවට මහජනතාවට වගකියන බාහිර පෙනුමෙන් පමණක් නොව, අභ්‍යන්තර හරයෙන් ද ප්‍රජාතන්ත්‍රවාදී වන දේශපාලන ක්‍රමයකට මාරුවිය යුතුය. රාජ්‍ය පාලකයාට හා පාලක පක්ෂයට සිත් සේ මහජන වස්තුව කොල්ලකෑමට තිබෙන අයිතිය අහිමි කරන පාලන ක්‍රමයකට රට මාරුවිය යුතුය. වර්ගය, ආගම, භාෂාව හෝ කුලය අනුව පුරවැසියන් බෙදා වෙන් නොකරන සියලු පුරවැසියන්ට සම අයිතිවාසිකම් හිමිකර දෙමින් පුරවැසියන් සියලු දෙනා භේදයකින් තොරව ආදරයෙන් රැකබලා ගන්නා දේශපාලන ක්‍රමයකට මාරුවිය යුතුය. නිදහසට හැට වසරක් සපිරෙන මේ මොහොතේ අපි අපේ ජාතික කථිකාව බවට පත් කරගත යුත්තේ අපට වැරදුණේ කොතැනද යන ප්‍රශ්නයයි.

ශක්තිමත්ව ඉදිරියට යාමට ඇති කරගත යුතුව තිබෙන වෙනස්කම් මොනවාද යන ප්‍රශ්නයයි. රටේ ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය ශක්තිමත් චින්තන විප්ලවයකට මුලපිරිය හැකිවනු ඇත්තේ එම මූලික ප්‍රශ්නය අළලා ජාතිකව කෙරෙන දැවැන්ත සංවාදයකට යොමුවීමෙනි. වෙනස්කම් සඳහා අවශ්‍ය විප්ලවකාරී චින්තනයක් වෙත සමාජය යොමුවනු ඇත්තේ එවිටය. රටේ ගැලවීම හා දියුණුව කරා යන ගමන ආරම්භ කළ යුතුව තිබෙන්නේ එවැනි තැනකිනි. ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන චින්තන පරිමණ්ඩලයේ මහා වෙනසක් ඇතිවීම ආරම්භ වනු ඇත්තේ එවිටය.