13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට ලබාදී තිබෙන බලතල උපරිම ලෙස ලබාදෙන ක්‍රමයක් හා ඒ රාමුව තුළ බලය බෙදාහැරීමේ ප්‍රතිපත්තිය තවදුරටත් වර්ධනය කරන පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මෙය විවාදයට හේතුවිය හැකි විසඳුමක් වුවත්, කිසිවක් නොකර සිටිනවාට වඩා එවැනි වැඩපිළිවෙළක් හෝ මේ මොහොතේ ක්‍රියාත්මක කිරීම යහපත් ය. ජනාධිපතිවරයා ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සමග කරන ලද සාකච්ඡාවේ දී උතුරු නැගෙනහිර හැර වෙනත් ප්‍රදේශවල පළාත් සභා ක්‍රමයක් ක්‍රියාත්මක වෙතත්, පළාත් සභාවලට ලබාදිය යුතු බලතල ලබාදී නැති බවත්, පළාත් සභාවලට ලැබිය යුතු සියලු බලතල ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකි නම්, එය ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි බව ප්‍රකාශ කළේ ය. පළාත් සභා ක්‍රමයක් ඇති කරන ලද්දේ ජනවාර්ගික ප්‍රශ්නයට දෙන විසඳුමක් වශයෙන් වුවත්, පළාත් සභා ක්‍රමයක් ක්‍රියාත්මක වූයේ ද ප්‍රශ්නයට හේතුවී තිබූ උතුරු නැගෙනහිර පළාත් දෙකේ ය.
ඉන්දු-ලංකා ගිවිසුම යටතේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කර තිබුණ ද, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීරණය නිසා එම ඒකාබද්ධතාව දැන් වලංගු නැත. 13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට ලබාදී තිබෙන බලතල උපරිම ලෙස ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, පළාත් සභාවල කටයුතු නිරන්තර පරීක්ෂාවට ලක් කරන ආයතන ක්‍රමයක් ඇති කරන්නේ නම්, පළාත් සභා ක්‍රමයෙන් ද යහපත් ප්‍රතිඵල අත්පත් කරගත හැකි ය. නීතියෙන් ලබාදී තිබෙන දේවල්වත් නොදී ලොකු විසඳුම් ගැන කතා කර කර සිටිනවාට වඩා සීමිතකම් තිබියදී වුවත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම කිසිවක් නොකර සිටිනවාට වඩා යහපත් ය. විරුද්ධ පක්ෂයට එකතු වී සිටින මුස්ලිම් කොංග්‍රසය ද මෙම වැඩපිළිවෙළට එකතු වී සිටීම යහපත් ලක්ෂණයකි. එක්සත් ජාතික පක්ෂය හා දෙමළ සන්ධානය ද මෙම වැඩපිළිවෙළට එකතු විය යුතු ය. ඒ සමග ආණ්ඩුවට කළ හැකි තවත් දෙයක් වනුයේ ද්වි භාෂා ප්‍රතිපත්තිය අකුරට ම ක්‍රියාත්මක කිරීම ය.
ඒ සඳහා අලුත් නීති අවශ්‍ය නැත. තිබෙන නීති ප්‍රමාණවත් ය. උතුරු නැගෙනහිර පළාත් දෙකේ ද දෙමළ ජනපදනමක් ඇති බස්නාහිර පළාතේ හා මධ්‍යම පළාතේ රජයේ ආයතන සමග දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ගනුදෙනු කළ හැකි තත්ත්වයක් ඇති කළ යුතු ය. ඒ සඳහා පුද්ගලයන් රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමක් කිරීම අවශ්‍ය නම්, එය අවශ්‍ය වැදගත් දෙයක් ලෙස සලකා ප්‍රමාද නොකොට එම බඳවා ගැනීම් කළ යුතු ය. ද්විභාෂා ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා දිරිගැන්වීම් ක්‍රමයක් ඇති කළ යුතු ය. ඒ සමග 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආශ්‍රයෙන් එනම් තිබෙන අවුල්සහගත තත්ත්වයට ද නො පමාව පිළියම් යෙදිය යුතු ය. සුළු පක්ෂවල නියෝජනය පිළිබඳ එනම් තිබුණු අර්බුදය අවසන් වී ඇති නිසා ජනාධිපතිවරයා සිය නියෝජිතයා නම් කොට නො පමාව ව්‍යවස්ථා සභාව පත් කළ යුතු ය. 17 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් ව්‍යවස්ථා සභාව යටතේ තිබිය යුතු කොමිෂන් සභා ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව මතුවී තිබෙන ගැටලුව විසඳා ගත යුතු ය.