දූෂණය මෙම ජනාධිපති තරගයේදී වඩාත්ම කථාබහට හේතුවී තිබෙන මාතෘකාව ලෙස සැලකිය හැකිය. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එම පවුලේ සාමාජිකයන්ය. විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම පවුල හඳුන්වන්නේ ඇනකොණ්ඩකු ලෙසය. ඇනකොණ්ඩා රටම ග්‍රහණයට ගනිමින් තිබෙන තත්ත්වයක් ඉදිරියේ මෙම ජනාධිපතිවරණයේදී මෙම එකතුව පරාජය කිරීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන බවද ඔහු කියයි. ඕනෑම පාලන තන්ත්රයක් තුළ පවතින දූෂණය ඕනෑම මැතිවරණයකදී සාකච්ඡාවට ලක්විය යුතු බැ?රුම් මාතෘකාවකි.
දේශපාලන ක්‍රමය
අපේ රටේ පවතින්නේ දූෂණයට බර තබා සකස් කරන ලද දේශපාලන ක්රමයකි. බලයට පත්වන පාලක පක්ෂයට රට පාලනය කරනවාට අතිරේකව අයථා ලෙස වස්තුව හරිහම්බ කරගැනීමේ බලය හා අයිතිය ලබාදෙන ක්රමයකි. මෙම දේශපාලන ක්‍රමය හඳුන්වාදීමෙන් පසු ඇතිවූ හැම පාලන ක්‍රමයක් තුළම දේශපාලන තනතුරු ලබන පුද්ගලයන්ට එම තනතුරුවලට අදාළ ආයතන පාලනය කරනවාට අතිරේකව එම ආයතනවල සිදුවන ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව උපයා ගන්නා ක්රමයක්ද ක්‍රියාත්මක විය. එය සැලකුණේ දේශපාලන කණ්ඩායමේ නායකයන්ට ඔවුන් ලබාදෙන ලද දායකත්වය වෙනුවෙන් ගෙවන මිල වශයෙනි. මෙම දේශපාලන ක්‍රමය තුළ බලතරගය සකස් කොට ඇත්තේ අසාමාන්‍ය තරමේ මිලක් ගෙවා තරගය ජයගත යුතු ආකාරයටය. ජයග්‍රාහී පාලන පක්ෂ සිරිතක් වශයෙන් ඒ සඳහා ගිය වියදම ආපසු ගෙවන ලද්දේද රටේ පොදු සම්පත්වලිනි. ඒ නිසා මෙම දේශපාලන ක්‍රමය තුළ බලයට පත්වන හැම පාලක පක්ෂයක්ම දූෂිතවේයැ”යි කිව හැකිය.
මෙම දේශපාලන ක්‍රමය තුළ බලය සඳහා උනන්දු කරවන උත්ප්‍රේරක සාධකය වන්නේද? පාලන බලය තුළ අයථා ලෙස වස්තුව උපයා ගැනීමට තිබෙන අයිතිය හා බලයයි. නැපෝලියන්ගේ උන්නතිකාමී කුලී හමුදාවන් රටවල් ආක්‍රමණය කොට අල්ලා ගැනීමෙන් අපේක්ෂා කළේ කීර්තිය නොව එසේ අල්ලා ගන්නා ලද රටවලින් වස්තුව කොල්ලකෑමට සොල්දාදුවන්ට ලබාදී තිබූ අයිතියයි. මෙම දේශපාලන ක්‍රමය තුළ දේශපාලකයන්ට ක්රියාකරන්නට සිදුවී තිබෙන්නේද නැපෝලියන්ගේ උන්නතිකාමී කුලී හමුදා ක්‍රියාකළ ආකාරයටය.
රජ සැලකිලි
මෙම දේශපාලන ක්‍රමය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ අපූරු නිර්මාණයකි. ඔහු අධික වස්තු තෘෂ්ණාවකින් යුතු පුද්ගලයකු ලෙස නොසැලකිය හැකි වුවත් තමන්ගේ ආර්ථික වටාපිටාව ශක්තිමත් කරගැනීමට ජනාධිපති බලය වැරදි ලෙස පාවිච්චි කළේය. තමාගේ අසාර්ථක පොල් ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී ඒ වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබූ හොඳම පොල් ඉඩම්වලින් එකක් ලෙස සැලකිය හැකි කීන කැලේ වත්ත සිය හිමිකමට ගත්තේය. ආර්ථික අමාරුකම් නිසා චීන තානාපති කාර්යාලයට විකුණන්නට සිදුවූ නිවස රජයේ මුදලින් මිලට ගෙන තානාපති කාර්යාලයේ ප්‍රයෝජනය පිණිස රජය සතු ඉතා අගනා ඉඩමක් සොච්චම් මිලකට චීන තානාපති කාර්යාලයට ලබා දුන්නේය. චීන තානාපති කාර්යාලයෙන් ආපසු මිලදී ගත් නිවස රජයේ වියදමින් තමා සඳහා වන කෞතුකාගාරයක් ඇති කළේය. ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු නොගෙවා ඒ හිඟ මුදල් වෙනුවෙන් තමා සතු වෝඩ් පෙදෙසේ නිවස රජයට පරිත්‍යාග කරන බව ප්‍රකාශ කොට තමාගේ හා තම ආර්යාවගේ මරණයෙන් පසු රජයේ අයිතියට පත්වන එම නිවස තමා වෙනුවෙන් රජයේ වියදමින් පවත්වාගෙන යන කෞතුකාගාරයක් බවට පත්කළ යුතු බවට නියමයක්ද ඇති කළේය.
සිය පවුලේ ඥාතීන්ට හා පෞද්ගලික හිතමිතුරන්ට ආර්ථික වශයෙන් නැගී සිටීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නේය. තම දේශපාලන කටයුතුවලට මුදලින් ආධාර කළ ව්‍යාපාරිකයන්ට විශාල වශයෙන් මුදල් හරිහම්බ කරගැනීමට අවශ්‍ය මාර්ග පාදා දුන්නේය. නිසි ආරක්ෂණ ලබාගැනීමකින් තොරව රජයේ බැංකුවලින් කෝටි ගණනින් ණය ලබාගන්නට ඉඩ හැර ඒ ණය ආපසු ලබාගැනීමෙන් තොරව කපාහරින පිළිවෙතක් අනුගමනය කළේය. සිය දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන්ට පර්චසය රුපියල් 50ක් 100ක් වැනි සුළු මුදලකට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබූ හරවත් වතු ඉඩම් හා නාගරික ඉඩම් ලබා දුන්නේය. ඔවුන්ට විශාල ව්‍යාපාර ආරම්භ කොට පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් ලබාදී ඔවුන් ධනවතුන් බවට පත් කළේය. ඇමති තනතුරු හෝ වෙනත් දේශපාලන තනතුරු ලබාදෙන අයට ඔවුන් යටතේ පවතින අමාත්‍යාංශයේ ආයතන පාලනය කරනවාට අතිරේකව එම ආයතනවල සිදුවන මිලදී ගැනීම්, විකිණීම් හා ඉදිකිරීම්වලින් අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ඉඩ දුන්නේය.
තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් යටතේ තිබෙන ආයතනවල සිදුවන දූෂිත ගනුදෙනු ගැන සොයන්න උනන්දුවක් දැක්වූ විගණකාධිපතිවරයකු ගෙදර යැව්වේය. රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූයේද දේශපාලන කොල්ලයක් ලෙසය.
වස්තු තෘෂ්ණාව
අද දක්වාම ක්රියාත්මකවන්නේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රටට හඳුන්වාදෙන ලද එම කැත දේශපාලන සම්ප්‍රදායන්ය. මෙම දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩු මාරුවීමක් සිදුවීමට දීර්ඝ කාලයක් ගතවේ. මීට පෙර පැවති ක්‍රමය තුළ සාමාන්‍යයෙන් හැම වසර 05කට වරක්ම ආණ්ඩු මාරුවීමක් සිදුවිය. එහෙත් විධායක ජනාධිපති ක්‍රමයක් ඇතිවීමෙන් පසු පළමු පාලන මාරුව සඳහා අවුරුදු 17ක් තරම් දීර්ඝ කාලයක් ගතවිය. ඉන්පසු අද දක්වා අවුරුදු 16ක් තරම් කාලයක් ගෙවී ඇතත්, පාලන මාරුවක් සිදු නොවීය. මේ ක්‍රමයෙන් බලයට පත්වන පාලක පක්ෂයට ලැබී තිබෙන දීර්ඝකාලීන පැවැත්මද දූෂණය ශක්තිමත් කරන සාධකයක් ලෙස ක්‍රියා කරයි. බලතරගයේ සැබෑ අරමුණ වස්තු තෘෂ්ණාව වුවද මෙම ක්‍රමය තුළ අයථා ලෙස වස්තුව හරිහම්බ කරගැනීමේ අයිතිය ලැබෙන්නේ පාලක පක්ෂයට පමණක් නිසා දූෂණ චෝදනා හැමවිටම එල්ලවන්නේ පාලන බලයේ සිටින පක්ෂයටය.
එහෙත් පාලක පක්ෂයට දූෂණ චෝදනා එල්ල කරන විරුද්ධ පක්ෂයේ සැබෑ අරමුණ වන්නේද රාජ්‍ය බලය තුළ අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ප්රතිපක්ෂයට ලැබී තිබෙන අයිතිය ඔවුන්ට අහිමි කොට ඒ අයිතිය තමන් වෙත හිමිකර ගැනීමය. 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී විරුද්ධ පක්ෂයේ සිටි පොදු පෙරමුණ විජේතුංග පාලනය හඳුන්වන ලද්දේ අලි බබා සහ හොරු හතළිහේ පාලනයක් ලෙසය. දූෂණය මුලිනුපුටා දමන බවට සහතිකවීමෙන් නොනැවතී එජාපයේ දාහත් අවුරුදු පාලනය තුළ මහා පරිමාණයේ වංචාවන්ට වගකිවයුතු සියලුදෙනා නීතිය ඉදිරියට ගෙන දඬුවම් කරන බවට ද සහතික විය. එහෙත් එම පාලන මාරුවෙන් පසුව නැවත ඇතිවූයේද අලි බබා සහ හොරු හතළිහේ පාලනයට සමාන පාලනයකි. එජාපයේ 17 අවුරුදු පාලනය තුළ ගලා ගිය දූෂණ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගලායන තත්ත්වයක් ඇතිවිය.
චන්ද්‍රිකාගේ ගීතය
දැන් චන්ද්‍රිකා අලුතෙන්ම ගායනය කරන ගීතය වී ඇත්තේ හොරකම් නොකළ නිසා ඉඩම් විකුණ විකුණා තමන්ට ජීවත්වන්නට සිදුවී ඇති බවය. එහෙත් ඇගේ කෙරුවාව මහජනතාව හොඳින් දන්නේය. ඇගේ පාලනය තුළ ප්‍රංශයෙන් දුම්රිය එන්ජින් මිලදී ගැනීමට එරෙහි වූ භාණ්ඩාගාර ලේකම්වරයකු (බී.සී. පෙරේරා) ගෙදර යැව්වේය. එසේ ගෙන්වූ ප්‍රංශ එන්ජින් කට්ටල් අද තිබෙන්නේ ඵලදායි කාර්යයක් කළ නොහැකි තත්ත්වයකය. එම ගනුදෙනුවෙන් පමණක් අපතේ ගිය ධනස්කන්ධය අතිවිශාලය. ඇගේ ළඟම හිතවතකු ලෙස සැලකිය හැකි රොනී පීරිස් ඇගේ නිල බලයේ ආධාරයෙන් ලොකු ධනවතකු බවට පත්වූයේය. රොනී පීරිස්ට පමණක් දෙන ලද විකාශන බලපත්‍ර සංඛ්‍යාව 5කට වැඩිය. ඒවා ලබාගැනීම සඳහා ඔහු කරන්නට ඇති වියදම රුපියල් ලක්ෂයකටත් අඩුවිය හැකි වුවත් එය විකිණීමෙන් උපයන ලද ආදායම රුපියල් මිලියන සිය ගණනක් විය හැකිය. විකාශන බලපත්‍රයක් වෙළෙඳපොළේ විකිණෙන මිල පිළිබඳව වැටහීමක් ඇතිකර ගැනීමට දැක්විය හැකි සරල නිදර්ශනයක් මෙසේය.
චන්ද්‍රිකාගේ පාලන යුගය අවසානයේදී ඇය විදුලි සංදේශ නියාමන කොමිසමට පත් කළ අධ්යක්ෂ ජනරාල්වරයා ගෙදර ගියේ තමන්ගේ නමටද විකාශන බලපත්‍රයක් ලියාගෙනය. එම විකාශන බලපත්‍රය ඩයලොග් සමාගමට විකුණන ලද්දේ ඩොලර් මිලියන 05ක් හෝ ඊට ආසන්න වූ මුදලකටය. විකාශන බලපත්‍ර හොර රහසේ සොච්චම් මුදලකට ගජමිතුරන්ට විකුණන ප්‍රතිපත්තියක් වෙනුවට වැඩිම මිලකට වෙන්දේසි කරන පිළිවෙතක් රටට තිබුණේ නම් විකාශන බලපත්‍ර විකිණීමෙන් පමණක් භාණ්ඩාගාරයට උපයාගත හැකි ආදායම රුපියල් මිලියන 10,000ක් පමණ වන්නට ඉඩ තිබුණේය. රටේ පවතින දූෂිත ක්‍රමය තුළ ඒ මගින් භාණ්ඩාගාරයට ලැබෙන්නට ඇති උපරිම ආදායම රුපියල් මිලියනයකටත් වඩා අඩුවිය හැකිය. අද නැති බැරිකම් කියන චන්ද්‍රිකා ගෙදර යන්නට ගියේ රුපියල් කෝටි ගණනක් වටිනා රජයේ ඉඩමක් තම නමට ලියවාගෙන හා ජනාධිපති අරමුදලේ තිබුණු මිලියන ගණනක් තම නමට අටවා ගත් භාරකාර පදනමකට හරවාගෙනය.
එහෙත් ඒ ගනුදෙනු දෙක සාර්ථක කරගැනීමට ඇය සමත් වූයේ නැත. මෙම දේශපාලන ක්‍රමය දූෂණයට බර තබා තනන ලද දේශපාලන ක්‍රමයක් වන නිසාම මහින්ද රාජපක්ෂ පාලනය පමණක් දූෂණයෙන් තොර පිරිසිදු තත්ත්වයක තිබිය නොහැකිය. එයද 77න් පසු බලයට පත් අන් හැම පාලක පක්ෂයක් සේ ම දූෂිත විය යුතුය. ඒ සමග මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දූෂණ චෝදනා එල්ල කරන විරුද්ධ පක්ෂ ව්‍යාපාරය මිස්ටර් ක්ලීන්ලාගෙන් සමන්විත ව්‍යාපාරයක් නොවන බවද අමතක නොකළ යුතුය. ඔවුන්ද තමන්ට පාලන බලය ලැබුණු අවස්ථාවලදී දූෂිත ලෙස ක්‍රියාකර තිබෙන අතර දැන් මහින්ද රාජපක්ෂ පාලනය අහෝසි කොට තමන්ගේ පාලනයක් ඇතිකර ගැනීම සඳහා උනන්දුවන්නේ ද අයථා ලෙස වස්තුව හරිහම්බ කරගැනීමට තමන්ට අහිමි වී තිබෙන අයිතිය නැවත ලබාගැනීම සඳහා වන බවද අමතක නොකළ යුතුය.
කටකථාවලට ලැබී තිබෙන වැදගත්කම
මෙම දේශපාලන ක්‍රමය තුළ මැතිවරණයකදී බලයේ සිටින පාලක පක්ෂයක් පරාජය කිරීම සඳහා බලයේ සිටින පාලක පක්ෂය කෙරෙහි උපරිම පිළිකුලක් ඇති කිරීම අත්‍යවශ්‍යය. ඒ සඳහා පාවිච්චි කළහැකි බලවත්ම ආයුධයක් වනුයේ ද දූෂණයයි. විරුද්ධ පාර්ශ්වය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලට එල්ල කරන ලොකුම චෝදනාව වී ඇත්තේ අයථා ලෙස උපයා ගත් ධනයෙන් ඔවුන් රට පුරා මහා පරිමාණයෙන් දේපළ මිලදී ගෙන ඇති බවය. රාජපක්ෂ පවුලේ දේපළ මිලදී ගැනීම් පිළිබඳව සති 06ක් තරම් කාලයක් තුළ මට අසන්නට ලැබුණු කතා සමහරක් මෙසේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇපලෝ රෝහල මිලදී ගෙන ඇති බව කිසියම් පුද්ගලයෙක් මට කීවේය. ඇපලෝ රෝහල මිලදී ගැනීමට නම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ද මිලදී ගතයුතු බවත්, එම මිලදී ගැනීම් සිදුකළ යුත්තේ කොටස් වෙළෙඳපොළ හරහා වන නිසා අයිතියේ ඇතිවන වෙනසක් සැඟවිය නොහැකි බවත් කීමට මට සිදුවිය.
මාගේ නිවසට පැමිණි වැලිගම ප්‍රදේශයේ ජීවත් වන අලුත විවාහ වූ යුවළක් ඒ ප්‍රදේශයේ පවතින තත්ත්වය ගැන කරුණු විමසීමකදී මා සමග කීවේ රාජපක්ෂ පවුල වැලිගම ප්‍රදේශයේ සංචාරක හෝටල් දෙකක් මිලදී ගෙන තිබෙන බවය. ඒ ගැන වැඩිදුර කරුණු විමසීමේදී මට පෙනීගියේ ඔවුන් ඒ ගැන කිසිම තොරතුරක් නොදන්නා බව හා එය ඔවුන්ට අනුන්ගෙන් අසන්නට ලැබුණු කටකතාවක් පමණක් බවය. සෙලින්කෝ ව්‍යාපාරයට අයත්ව තිබූ ෆිංගාරා කන්ට්‍රි ක්ලබ් එක රාජපක්ෂ පවුල මිලදී ගෙන ඇති බව අසන්නට ලැබුණේද ගාල්ලේම පුද්ගලයකුගෙනි. මා එම ආයතනය ගැන දන්නා පුද්ගලයකුට දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසූ විට ඔහු කීවේ එම ආයතනයේ පාලනය ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව (ඵඊීඛ) වෙත පවරාගෙන ඇති බව හා ඒ බව කියන දැන්වීමක්ද එම ආයතනය ඉදිරියේ ගසා ඇති බවය. මාතර පඹුරණ ලයනල් මාතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහු සතු සමස්ත ව්‍යාපාරය රාජපක්ෂ පවුල විසින් මිලදී ගෙන ඇති බව අසන්නට ලැබී ඒ ගැන කරුණු දන්නා පුද්ගලයකුගෙන් කරන ලද කරුණු විමසීමකදී ඔහු කීවේ එවැනි කටකතාවක් තමන්ටද අසන්නට ලැබී ඒ ගැන ලයනල්ගෙන් කරන ලද කරුණු විමසීමකදී එහි කිසිම ඇත්තක් නැති බව ඔහු කී බවය.
දැන් මේ ලයනල් නමැති එම ව්‍යාපාරිකයා තමන්ගේ ව්‍යාපාරය කිසිවකුට විකුණා නැති බව කියන බැනරයක් මාතර නගරයේ ප්‍රදර්ශනය කරන බවද අසන්නට ලැබුණි. රාජපක්ෂ පවුල ස්වර්ණවාහිනිය මිලදී ගෙන ඇති බව එක පුද්ගලයකුගෙන් නොව විටින් විට පුද්ගලයන් ගණනාවකගෙන්ම අසන්නට ලැබුණි. මීට කලකට පෙර විරුද්ධ පක්ෂ පතුරුවන ලද කතාවක් වූයේ කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ඉඩම අතිවිශාල මුදලකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මිලදී ගෙන ඇති බවය. එහි ඉදිකෙරෙන නිවස නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඉදිකරන්නක් බවද කියනු ලැබීය. එහෙත් සන්ඩේ ලීඩර් පුවත්පත ඒ ගැන කරුණු සොයා බලා වාර්තා කර තිබුණේ ඉඩම මිලදී ගෙන තිබෙන්නේ ධම්මික පෙරේරා බවත්, එහි ඉදිකෙරෙමින් තිබෙන නිවස ධම්මික පෙරේරාගේ පෞද්ගලික පරිහරණය සඳහා ඉදිකෙරෙමින් තිබෙන නිවසක් බවත්ය. විරුද්ධ පක්ෂය සිය ප්‍රතිවාදී නායකයා කෙරෙහි පිළිකුලක් ඇති කිරීමට හේතුවන ආකාරයේ කටකතා විශාල ප්‍රමාණයක් පතුරුවා හැරීමට සමත් වී ඇතත්, තෝරාගත් සිද්ධීන් කිහිපයක් හෝ කරුණු සහිතව සනාථ කිරීමට සමත් වී නැත.
ධවල මන්දිරය
ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉතාමත් අශෝභන තත්ත්වයේ කටකතා පතුරුවා හරින සංවිධානාත්මක වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක විය. පතුරුවා හරින ලද එක් ජනප්‍රිය කටකතාවක් වූයේ ඔහු ශාන්ති කර්මයක් සඳහා නිරුවත් කන්‍යාවන් කිහිපදෙනකු ලවා දිය නාවාගත් බවය. මෙම කතාව පුවතක් ලෙස විකල්ප පුවත්පතකද පළකෙරුණු අතර ඒ කතාව සත්‍යයක් ලෙස පිළිගත් පිරිසක් ද ජනතාව අතර සිටියෝය. ප්‍රේමදාස කාලයේ මෙන් වර්තමානයේ මෙවැනි කටකතා වෙබ් අඩවිවල පළවන අවස්ථාද දැකිය හැකිය. ඊ නිව්ස් වෙබ් අඩවියේ පළවූ එවැනි කටකතාවක් පිළිබඳව බෙනට් රූපසිංහගෙන් මට අසන්නට ලැබුණු කතාවක් මෙසේය. ධවල මන්දිරය (උයසඑැ ්‍යදමිැ) නමින් කොළඹ නගරයේ ඇති මන්දිරයක් හා දේපළක් අතිවිශාල මුදලකට රාජපක්ෂ පවුල විසින් මිලදී ගෙන ඇති බව කියවෙන කතාවක් ජනමාධ්‍යවේදීන් අතර පැතිර තිබුණි. එය සාක්ෂි රහිත කටකතාවක් පමණක් විය.
එහෙත් පුදුමයට මෙන් එම කතාව ඊ නිව්ස් වෙබ් අඩවියේ පළකොට තිබුණි. පසුකලෙක බෙනට් රූපසිංහ මා සමග කීවේ එම ගනුදෙනුව සනාථ කිරීමට අවශ්‍ය සියලු ලියවිලි තමන් ළඟ තිබෙන බව ශ්‍රීපති සූරියආරච්චි තරයේ කියා සිටි නිසා ඔහුගෙන් ලැබුණු තොරතුරු මත එම කථාව ලියා එම වෙබ් අඩියේ පළ කළ බවය. එහෙත් කතාව පළවීමෙන් පසු එය ජනාධිපතිගේ කෝපයට හේතුවී තිබෙන බව දැනගන්නට ලැබී ආරක්ෂාව සඳහා සියලු තොරතුරු පළකළයුතුයැ”යි කල්පනා කොට ශ්‍රීපති හමුවී අදාළ ලියවිලි ඉල්ලා සිටියත් ඔහු ළඟ දෙන්නට කිසිම ලියවිල්ලක් නොතිබුණු බවය. ඔහු ශ්රීපතිට බැණ වැදුණේ ඔහු අනුන් අමාරුවේ දමන පට්ටපල් බොරුකාරයකු බව කියමිනි. එහෙත් කතාව අසත්‍යයක් බව දැනගැනීමෙන් පසුව හෝ එම පුවත නිවැරදි කළාද යන්න මම නොදනිමි.
චෝදනා කරුණු සහිතව සනාථ කළ යුතුය
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අන්ත දූෂිත පුද්ගලයකු ලෙස චිත්‍රවත් කිරීමට විපක්ෂය සමත් වී ඇතත්, තවමත් කටකතාවලින් හැර ඒ බව අවශ්‍ය නිශ්චිත සාක්ෂි සහිතව සනාථ කර නැත. මෙම දේශපාලන ක්‍රමය තුළ දූෂිත නොවන පාලනයක් තිබිය නොහැකි වුවත් රාජ්‍ය පාලකයා දූෂිත නම් ඒ බව කටකතාවලින් නොව නිශ්චිත සාක්ෂි සහිතව සනාථ කළ යුතුය. මෙම විවාදය වැඩදායක විවාදයක් වනුයේ එවිටය. තමා ආරක්ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසුව කිසිදු දේපළ මිලදී ගැනීමක් කර නැති බවත්, තමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියට ඇතුළත් කරන්නට තීරණය කළ අවස්ථාවේදී එසේ නොකරන ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග තමාට උපදෙස් දුන් නිසා තමා එය වෙබ් අඩවියට ඇතුළත් නොකළද එය පරීක්ෂා කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයකුට එහි පිටපත් ලබාදීමට තමා සූදානම් බවද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
එය ඉතාමත් හොඳ නිර්භීත ප්‍රවේශයක් බව කිව යුතුය. ජනාධිපතිගේද වත්කම් බැරකම් ප්‍රකාශය නාමයෝජනා පත්‍රය සමග මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදී ඇති බැවින් එයද පරීක්ෂාවට හා සාකච්ඡාවට ලක් කළ හැකි ලේඛනයක් ලෙස සැලකිය හැකිය. විරුද්ධ පක්ෂය තමන් ඉදිරිපත් කරන චෝදනා කටකතාවලට සීමා නොකොට නිශ්චිත සාක්ෂි සහිතව ඔප්පු කරන තැනකට යායුතුය. සීමාසහිතකම් තිබෙනවා විය හැකි වුවත් ජනාධිපතිවරයා සේ ම ආරක්ෂක ලේකම්වරයාද රටේ පොදු යහපත වෙනුවෙන් සිය ජීවිත පරදුවට තබා ඉතාමත් සුවිශේෂ වැඩ කොටසක් ඉටු කළ පුද්ගල චරිත දෙකක් බවද මේ මොහොතේ අප අමතක නොකළ යුතුය. ඒ වැදගත්කම විරුද්ධ පක්ෂයෙන් තරග කරන ජෙනරාල් සරත් ෆොන්සේකාටද ලැබිය යුතුය.