ජනාධිපතිවරණය මෙම දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය බලය තීන්දු කෙරෙන ප්‍රධාන මැතිවරණය ලෙස සැලකිය හැකිය. ජනාධිපතිවරණය ජයගන්නා පක්ෂයට බොහෝ දුරට පාර්ලිමේන්තු මැතිවරණයද ජයගත හැකිය. අපේ රටේ පවතින දේශපාලන ක්‍රමය අර්ධ ඒකාධිපති ක්‍රමයක් ලෙස සැලකිය හැකි වුවත් පූර්ණ ඒකාධිපති ක්‍රමයක් වීමෙන් වැළකී ඇත්තේ රාජ්‍ය නායකයා හා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් මහජන ඡන්දයෙන් තේරී පත්වන ක්‍රමයක් ක්‍රියාත්මක වන නිසාය. මෙම දේශපාලන ක්‍රමය තුළ ජනාධිපතිවරයකු පැරණි රජකුට තරම් අතිවිශාල බලයක් ඇතත්, පැරණි රජවරුන් තෝරා පත්කර ගන්නා ක්‍රමයට වෙනස්ව උරුමය වෙනුවට ජනාධිපති තෝරාපත් කරගන්නේ මහජන ඡන්දයෙනි. මහජනයා තමන් සතු පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්නේද මෙවැනි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමෙනි. රටේ සිටින ජනාධිපතිවරයා හොඳ නම් ඔහු නැවත පත්කිරීමේ බලය සේ ම ඔහු නරක නම් තනතුරෙන් ඉවත් කිරීමේ බලයද මහජනයා සතුය.
අවසාන විග්‍රහයේදී මෙම දේශපාලන ක්‍රමය තුළ බලයේ සිටින ජනාධිපතිවරයකු මහජනයාට වගකියන එකම අවස්ථාව මෙය ලෙස ද සැලකිය හැකිය. මහජනයා සතු පරමාධිපත්‍ය බලයට තරග කරන සියලු අපේක්ෂකයන් ද ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ ද ගරු කළ යුතුය. හැම මැතිවරණයක්ම නිදහස් හා සාධාරණ විය යුතු අතර බැලූ බැල්මට ඒ බව පෙනෙන්නට ද තිබිය යුතුය. මෙම දේශපාලන ක්‍රමය තුළ බලයේ සිටින පාලක පක්ෂය සිරිතක් වශයෙන් පොදු දේපොළ තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගනී. එය මෙම දේශපාලන ක්‍රමයේ ක්‍රියාත්මකවීම ආරම්භයේ සිට අද දක්වා දකින්නට ලැබෙන නරක ලක්ෂණයකි. අපට පෙර බලයේ සිටිය අයද එසේ කළේයැ”යි කියන තැනකට නොගොස් රාජ්‍ය සම්පත් සිය මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකී සිටීම රජය සතු යුතුකමක් හා වගකීමක් ද වේ. මැතිවරණයක් පවතින අවස්ථාවක පෞද්ගලික මුදලින් හා රජයේ මුදලින් ආධාරකරුවන්ට සංග්‍රහ කිරීම ද නොකළ යුතු වරදකි.
ඉතාමත්ම වැදගත්ම දේ රාජ්‍ය බලයෙන් පිටස්තරව සිටින විරුද්ධ පක්ෂයට බාධා කිරීම්වලින් තොරව සිය මැතිවරණ කටයුතු ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ඉඩකඩ ලබාදීමය. විරුද්ධ පක්ෂයට ආධාර කරන පුද්ගලයන් බිය නොගැන්විය යුතුය. ඔවුන් හිංසාවට හෝ පීඩාවට ලක් නොකළ යුතුය. මැතිවරණය පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමක් නැතිවය. එහෙත් මැතිවරණ කොමිසම සතු සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයා සතුය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීමේ වගකීම පැවරී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාටය. ඒ වගකීම ඔහු මැනැවින් ඉටු කළ යුතුය. බලයේ සිටින අය ලේසියෙන් බලය අත්හැර යන්නට කැමති නැත. අනෙක් අතට දීර්ඝ කාලයක් බලයෙන් පිටස්තරව සිටි අයද මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ මොන ආකාරයකින් හෝ නැවත බලයට එන්නටය. මෙම බල තරගය ප්‍රධාන කණ්ඩායම් දෙක අතර වෛරයෙන් තරග කරන තත්ත්වයක් ඇතිවේ නම් එය රටේ පොදු යහපතට හේතුවන්නේ නැත.
ජයග්‍රාහකයා සේ ම පරාජිතයා ද මැතිවරණයෙන් පසුත් මේ රටේ ජීවත් විය යුතුය. රටේ යහපත සලකා එකට වැඩ කළ යුතුය. රටට අවශ්‍ය කරන ව්‍යවස්ථාමය වෙනස්කම් එක කණ්ඩායමකට පමණක් කළ නොහැකිය. ඒ සඳහා ප්‍රතිපක්ෂ අතර තරගයක් තුළ පවා සමඟියක් තිබිය යුතුය. අඩුම වශයෙන් ප්‍රධාන පක්ෂවල නායකයන්වත් එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් ක්‍රියාකරන තැනක සිටිය යුතුය. විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට අවහිරයකින් තොරව ඔවුන්ගේ මැතිවරණ කටයුතුවල නිරතවන්නට ඉඩ හැරීම රජයේ වගකීමකි.