මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ගෙවීගිය පාලන කාලය ගැන අවංකව ආපසු හැරී බලන තැනකට යමින් සිය ආකල්පවල පාලන ශෛලියේ හා ක්රියාකාරීත්වයේ මහජන විශ්වාසයට හා ගෞරවයට හේතුවන ගැඹුරු වෙනසක් ඇති කරගැනීමට අසමත්වෙතොත් ඉදිරි ජනාධිපතිවරණය ජයගත්තා වුවද වේගයෙන් පරිහානිය කරා යන නායකයකුගේ තත්ත්වයට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය. ජනාධිපතිවරයා විවේචනාත්මකව ආපසු හැරී බලන තැනකට යායුතුව තිබුණේ දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල ප්රකාශවීමත් සමගය. එහෙත් මොන මොන හේතු නිසා හෝ එවැන්නක් සිදු නොවීය.
ශක්තීන් හා සීමිතකම්
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හොඳින් කපා ඔප මට්ටම් නොකෙරුණු ඉතාමත් අගනා මැණිකක් බඳු නායකයෙක් විය. දියුණු ශිල්පීන් පිරිසක් අතට පත්වී නම් පරෙස්සමෙන් හා හොඳින් කපා ඔප මට්ටම් කිරීම තුළ එම මැණික සුවිශේෂ වටිනාකමකින් යුතු දුබල මැණිකක් බවට පත්වන්නට ඉඩ තිබුණි. අවාසනාවකට මෙන් මෙම අගනා මැණික නැවත නැවත කපා ඔපමට්ටම් කරමින් සිටිනුයේ එම විෂය පිළිබඳ සියුම් දැනුමකින් තොර අඳබාල ශිල්පීන් අතිනි. මෙම තත්ත්වයෙහි වෙනසක් ඇති නොවී, තවදුරටත් මෙම අඳබාල ශිල්පීන් අතින්ම නැවත නැවත ඔප මට්ටම් කිරීමක් සිදුවුවහොත් ඊට ලැබෙන වැදගත්කම හා වටිනාකම මුළුමනින් අහිමිවන තත්ත්වයක් ඇතිවිය හැකිය. මහින්ද රාජපක්ෂ නිදහසින් පසු බලයට පැමිණි සියලු ජනනායකයන් අතුරින් පොදු ජනයාට වඩාත්ම සමීප ජනනායකයාය. ඔහු කුරුඳුවත්තේ ප්‍රභූ සමාජය නියෝජනය කළ නායකයකු නොවූවද සමාජයේ පහළම තැනකින් පැමිණි කෙනකු නොව මැද තැනකින් පැමිණි නායකයෙකි.
ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙන්ම ඔහු ද දේශපාලන න්‍යායවාදයන් කරපින්නා ගත්තකු නොවූ අතර ප්රයෝජ්යතාවාදී නායකයෙක් විය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට සේ ම ඔහුට ද කවදා හෝ මම මේ රටේ නායකයාවෙමි”යි කියන අධිෂ්ඨානයක් තිබුණි. ඒ සඳහා සුදුසුම අවස්ථාව එළඹෙන තෙක් ඉවසීමෙන් බලා සිටියේය. ඒ වෙනුවෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙන්ම කට්ට කෑවේය. තමන්ට එරෙහිව සිදු කෙරෙන මදිපුංචිකම් ඉවසාගෙන සිටියේය. බලය ලබාගැනීමට සුදුසු අවස්ථාව එළඹෙන විට ඒ අවස්ථාව උපරිම ලෙසත් හා දක්ෂ ලෙසත් ප්‍රයෝජනයට ගත්තේය. අගමැතිකම හා ජනාධිපති අපේක්ෂකකම ඔහු වෙත පැමිණියා නොව, ඔහු ඒවා තමන් වෙත ගෙන්වා ගත්තේය. ඒ දෙකම තමන්ට නොදී සිටිය නොහැකි තත්ත්වයක් ඔහු ඇති කළේය. එදා රටේ තිබූ විශේෂ හා සංකීර්ණ දේශපාලන තත්ත්වය තුළ ඔහු ජනාධිපතිනි චන්ද්‍රිකා තමන්ට එරෙහිව වැඩ කරන තැනක සිටියදී හා ජනාධිපති තරගයෙන් බලයට පත්වීමේ වැඩි හැකියාව රනිල් වික්‍රමසිංහට තිබියදී ඔහු තරගය ජයගෙන බලයට ආවේය.
ඔහු බලයට පත් කළ ජනාධිපතිවරණ තරගයේ නිල ප්‍රතිඵල ප්‍රකාශ වූයේ ඔහුගේ උපන් දිනයේදීය. බලයට පත්වූදා සිට අද දක්වාම රාජ්‍ය නායකයකු වශයෙන් ඔහු කෙරෙන් ප්‍රකාශ වී තිබෙන ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැක්කේ දියුණු, පළපුරුදු හා අදීන නිලධාරීන් කණ්ඩායමක් තෝරාගෙන රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය සහාය එවැනි පිරිසක් වෙතින් ලබානොගැනීමය. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ තමන්ට මිත්‍රත්වයක් තිබූ හෝ ඥාති හිතවත්කමක් තිබූ අය මිස පළපුරුදු දක්ෂයන් නොවේ. එහෙත් මීට වෙනස්ව ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රවේසමෙන් තෝරාගත් දක්ෂ නිලධාරීන් කණ්ඩායමක් සිටියේය. ඒ අය අතරින් ඔහුගේ වඩාත්ම විශ්වාසයට බඳුන් වී සිටි අය වූයේ ටී. පාස්කරලිංගම්, බ්‍රුඩ්මන් වීරකෝන්, කේ.එච්.ජේ. විජේදාස, සුසිල් සිරිවර්ධන යනාදීන්ය. ජනාධිපති ප්‍රේමදාස රාජ්‍ය නෞකාව හැසිරවීමේදී මෙම පළපුරුදු නිලධාරි කණ්ඩායමෙන් උපදෙස් ලබාගත්තා සේ ම සිය අණසක ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබාගත්තේය.
ප්රභාකරන් ජයගැනීම
ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පැමිණි පසු ඔහුට මුහුණ දෙන්නට සිදුවී තිබුණු ලොකුම අභියෝගය ලෙස සැලකිය හැක්කේ ප්රභාකරන්ගේ තත්ත්වාකාර රාජ්‍යයයි. එයට සටන් විරාම ගිවිසුම නිසා වෙනදා නොතිබුණු නෛතික පිළිගැනීමක් සේ ම මහේශාක්‍ය බවක් ද ලැබී තිබුණි. ඔවුන් පාලනය කළ භූමිය හඳුනාගෙන සිතියම් ගතකොට තිබුණු අතර ඒවා ශ්‍රී ලංකා රාජ්‍යයෙන් එක්තරා විශාල ප්‍රමාණයකට පරිබාහිර ප්රභාකරන්ගේ තත්ත්වාකාර රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ ලෙස සැලකුණි. වෙනම රාජ්‍යයකින් මෙපිට සාකච්ඡා මගින් අතරමැදි විසඳුමක් ඇති කරගැනීමේ අවංක වුවමනාවක් ප්රභාකරන්ට නොතිබුණද, සටන් විරාම ගිවිසුම බාහිර වශයෙන් ඇති කර තිබුණු වටාපිටාව විසින්, එම ප්රශ්නය විසඳා ගැනීමට තිබෙන එකම විකල්පය ලෙස අසාර්ථක වී තිබූ සාකච්ඡාමය ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙනයා යුතුයි කියන බලවත් මතයක් ජාත්‍යන්තර වශයෙන් සේ ම දේශීය වශයෙන් ද ඇතිවී තිබුණි.
යුදමය ඉතිහාසය තුළ එල්ටීටීඊය එතෙක් ඇති කරගෙන තිබුණු සාර්ථකත්වය නිසා එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි ව්‍යාපාරයක්ය කියන මතය ද ජාත්‍යන්තර වශයෙන් සේ ම දේශීය වශයෙන් ද ගොඩනැගී තිබුණි. ශ්‍රී ලංකා රාජ්‍යය තුළ තවත් තත්ත්වාකාර රාජ්‍යයක් තිබීම රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී තිබුණු ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකි අතර, සාකච්ඡා මගින් හෝ යුදමය වශයෙන් ඒ තත්ත්වය ජයගැනීම ඕනෑම ප්රතිසංවිධානයකට පෙර ජයගත යුතුව තිබුණු අභියෝගයක් විය. ජනාධිපති මහින්ද රාජපක්ෂට ආවේණික විශිෂ්ටතම ලක්ෂණය වනුයේ මේ ආරාවුලේදී සිය පූර්වගාමී නායකයන් ගත් මග අතහැර එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමේ අරමුණ වෙනුවෙන් ස්ථිරසාරව පෙනී සිටීමය. මහින්දගේ එම හිතුවක්කාරී ගමන ජාත්‍යන්තර ප්‍රජාවගේ බලවත් සැකයට හා විරෝධයට හේතුවූවා පමණක් නොව මෙම ප්රශ්නය සාකච්ඡා මගින්ම විසඳාගත යුතුය කියන මතයේ සිටි ස්වදේශිකයන්ගේද දැඩි සැකයට හා විරෝධයට හේතුවිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැදිහත්ව කල්පනා කරන මිනිසුන්ගෙන් ඉවත් කොට අන්තවාදී ආකාරයකින් කල්පනා කරන සුළු පිරිසක් වෙත බලවත් ලෙස තල්ලු කිරීමක් සිදුවන්නේ එහිදීය. ඒ අවස්ථාවේදී මැදිහත්ව කල්පනා කරන පිරිස දැඩි යුද විරෝධී ස්ථාවරයක පිහිටා සිටීම නිසා මහින්දට ඒ හැර තෝරා ගැනීමට වෙනත් විකල්පයක් ද නොතිබුණි. වෙනත් කරුණුවලදී මැදිහත්ව කල්පනා කිරීමේ ශක්තියක් තිබූ, එහෙත් යුද්ධය පිළිබඳ ප්රශ්නයේදී අන්තවාදී ලෙස ඊට විරුද්ධ වන ස්ථාවරයක පිහිටා ක්‍රියාකළ මේ පිරිස හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර මතවාදී වශයෙන් ඇතිවන ගැටුම් නිසා මේ දෙපිරිස අතර වන බෙදීම ගල් ගැසුණු තත්ත්වයකට පත්වෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යුද්ධයට පක්ෂපාත එහෙත් වෙනත් කාරණාවලදී පටු ආකාරයකින් සිතන පතන සමාජ දේශපාලන බලවේගයන්ගේ දැඩි ග්‍රහණයට හසුවූ ජනාධිපතිවරයකුගේ තත්ත්වයට පත්වීමට සිදුවිය.
ජනාධිපතිවරණය කෙරෙහි බලපෑ එම සීමිත බව ඔහු ප්රභාකරන්ට එරෙහිව දියත් කළ යුද්ධය කෙරෙහි වාසිදායක ලෙස මිස අවාසිදායක ලෙස බලනොපෑවේය. තිබුණු සටන් විරාම ගිවිසුම නොසලකා තීරණාත්මක යුද්ධයකට අවතීර්ණවීමට අවශ්‍ය මුරණ්ඩුභාවය හා දැඩි අධිෂ්ඨානය ද, දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් එල්ල වන බලපෑම් නොසලකා ගනු ලැබූ තීරණය මත දැඩිව පිහිටා ක්‍රියාකිරීමේ ගුණයද විවිධ භේද නොසලකා දක්ෂම පුද්ගලයන්ට යුද්ධයේ වගකීම් පැවරීමේ හැකියාවද ඔහුට තිබුණි. හමුදා සොල්දාදුවන්ට නව සමාජ පිළිගැනීමක් ලබාදීමට හේතුවන ඉතාමත් දියුණු හා සාර්ථක ප්රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. ඒ මගින් සොල්දාදුවන්ගේ ඇද වැටී තිබුණු චිත්ත ධෛර්යය නැවත නගා සිටුවීම සඳහා ක්‍රියාකළා පමණක් නොව, එහිම ප්‍රතිඵලයක් වශයෙන් තරුණයන් යුද සේවයට අලුතෙන් ඇදී එන වටාපිටාවක් නිර්මාණය කළේය. රජයේ එදිනෙදා කටයුතු කෙරෙහි ඇති කරන මූල්‍ය දුෂ්කරතා නොසලකා යුද්ධයට අවශ්‍ය කරන සම්පත් නිර්ලෝභීව ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
අවසානයේ මුළු ලෝකයම විස්මයට පත්කරමින් ප්රභාකරන් ද, කොටි සංවිධානය ද එය පවත්වාගෙන ගිය තත්ත්වාකාර රාජ්‍යයේ පැවැත්මද මුළුමනින් අවසන් කිරීමට ඔහු සමත් විය. මෙය දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි අතර නිදහසින් පසු බලයට පැමිණි කිසිම රාජ්‍ය නායකයකු අතින් ඒ හා සමාන දැවැන්ත දෙයක් සිදු නොවීය. එසේ නැතහොත් එතෙක් බලයට පැමිණි විවිධ රාජ්‍ය නායකයන් විවිධ මට්ටමෙන් කර තිබූ විශාල දේවල් මෙම දැවැන්ත දේ ඉදිරියේ පුංචි දේවල් බවට පත්විය. මෙම ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද දැවැන්ත ජනනායකයකුගේ තත්ත්වයට පත්කරමින් සියලු ප්රතිපක්ෂ නායකයන් අඟුටුමිට්ටන්ගේ තත්ත්වයකට පත් කළේය.
ලොකුකම තුළ ඇති පුංචිකම
ඉතාමත්ම අවාසනාවන්ත දේ ලෙස සැලකිය හැක්කේ එම ජයග්‍රහණයත් සමග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැවැන්ත ජනනායකයකු බවට පත්වුවත් සිදුවූ එම මහා වෙනසට ගැළපෙන තරමේ දෘෂ්ටිමය වෙනසක් ඔහු තුළ ඇති නොවීමය. දැවැන්ත ජන නායකයකු බවට පත්වීමෙන් පසුත් ඔහු තුළ ජීවත් වූයේ ඊට පෙර ජීවත් වූ පුංචි මිනිසාය. ඒ තත්ත්වය ඔහුට අලුතෙන් අත්පත් කරගෙන තිබූ දැවැන්තකමට නොගැළපුණු අතර එම පරස්පරය දැන් ඇතිවී තිබෙන අවුල්සහගත තත්ත්වය කෙරෙහි බලපා තිබෙන කේන්ද්‍රීය හේතුව ලෙස ද සැලකිය හැකිය. මිනිසකු දෙවියකු බවට පත්වූ විට ඒ දෙවියන්ට වන්දනාමාන කරන මිනිසුන් තවදුරටත් ඒ දෙවියන්ගෙන් සාමාන්‍ය මිනිසකුගේ හැසිරීමක් බලාපොරොත්තුවන්නේ නැත. දේවත්වයට පත්වීමෙන් පසු ඊට ගැළපෙන දේව හැසිරීමක් ඇති කරගැනීමට අසමත් වේ නම් එම දෙවියා අර්බුදයකට යෑම නොවැළැක්විය හැකිය. දේශපාලන අර්ථයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ ද ඒ සමාන අර්බුදයකටය.
ඒබ්‍රහම් ලින්කන් සිවිල් යුද්ධයට යන්නට පෙර ඔහු හිමිකරගෙන සිටි තත්ත්වය හා සිවිල් යුද්ධයේ ජයග්‍රාහී අවසානයෙන් පසු ඔහු හිමිකරගත් තත්ත්වය එක සමාන නැත. සිවිල් යුද්ධයේ ජයග්‍රාහී අවසානය ඔහු දැවැන්තයකු බවට පත්කර තිබුණි. පුදුමයකට මෙන් ඔහු තමන්ට ලැබී තිබුණු දැවැන්තභාවයේ තරමට ගැළපෙන ලෙස සිය සිතුම් පැතුම් හා ආකල්ප ද වෙනස් කරගෙන තිබුණි. ඉන්පසු ඔහු තවදුරටත් පටු දේශපාලන නායකයෙක් නොවීය. රටවල් දෙස ඊට වඩා පුළුල් දෘෂ්ටි කෝණයකින් බලන දැවැන්ත හා දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙක් විය. සිවිල් යුද්ධයෙන් මිනිසුන් අට ලක්ෂයක් මරණයට පත්වී තිබුණි. ඒබ්‍රහම් ලින්කන් සිවිල් යුද්ධයේ ජයග්‍රහණය බෙදී සිටි ජනතාව ඒකරාශි කොට සිය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ගැන සංවේදීව ක්‍රියාකරන නවීන රාජ්‍යයක් ගොඩනැගීමට අවස්ථාවක් කරගත්තේය. මහත්මා ගාන්ධිද සිය ප්‍රතිරූපය ලොකු වනවිට ඊට ගැළපෙන තරමට තමන්ගේ සිතුම් පැතුම් ලොකු කර ගත්තේය.
මේ ලක්ෂණය මැන්ඩෙලා තුළ ද නොඅඩුව තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද යුද ජයග්‍රහණය මුදාහළ ආස්වාදජනක තත්ත්වය අවස්ථාවක් කරගනිමින් ජනවර්ග අතර සේ ම, දේශපාලන පක්ෂ අතර ද සමගිය ඇති කිරීමට ක්‍රියාකරමින් පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනුවට සියලුදෙනාගේ ගෞරවයට හේතුවන මිනිස් අයිතිවාසිකම්, ප්රජාතන්ත්රවාදී වටිනාකම් හා යහපාලනය ගැන සංවේදී නව දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමට එය අවස්ථාවක් කරගත්තේ නම් හා ඇමරිකාව ප්රමුඛ බටහිර ලෝකය සමග පවත්වාගෙනයමින් තිබූ කඨෝර සංවාදය නතර කරමින් බටහිර විරෝධී ලෝකයේ සේ ම බටහිර ලෝකයේ ද ගෞරවයට හා විශ්වාසයට හේතුවන විදේශ ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමට සමත් වී නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහ ජාතියේ පමණක් නොව, සුළු ජාතීන්ගේද, ආණ්ඩු පක්ෂ ජනතාවගේ පමණක් නොව විරුද්ධ පක්ෂ ජනතාවගේ ද බටහිර විරෝධී රටවල පමණක් නොව, බටහිර රටවල් ද ඇතුළත් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය හා ගෞරවය දිනාගත් දැවැන්ත ජනනායකයකුගේ තත්ත්වයට පත්වන්නට ඉඩ තිබුණේය.
මහජන අසහනයට බලපෑ හේතු
එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට ලැබුණු එම ඓතිහාසික අවස්ථාව දක්ෂ ලෙසත් නිර්මාණශීලී ලෙසත් ප්‍රයෝජනයට ගැනීමට අසමත් විය. නව තත්ත්වය ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා අසමත් විය. නැතිනම් ජනාධිපතිවරයාගේ වටේ සිටින කණ්ඩායම ඔහුට වෙනස්වීමට ඉඩ නුදුන්නේද යන්න පැහැදිලි නැත. යුද්ධයේ ජයග්රහණයෙන් පසුත් ආර්ථික ක්රියාකාරීත්වයේ මහජනයාගේ ඇඟට දැනෙන වෙනසක් ඇති නොවීය. සමහර දේවල් පිළිබඳව දරන ලද දැඩි මතවාදී ආකල්ප නිසා නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන කටයුතු සඳහා ලබාගත හැකි විදේශ ආධාර උපරිම ලෙස ලබාගැනීමට අසමත් විය. අත්අඩංගුවේ සිටින දැඩි එල්ටීටීඊ මතධාරීන් පිරිස හැර අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉක්මන් හා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඒ අරමුණ වෙනුවෙන් ආධාර කරන බටහිර රටවල් සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට ගියේ නම් අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන සාධකයක් ලෙස ක්රියාකරන්නට ඉඩ තිබුණි.
අනෙක් අතට යුද්ධය පැවති කාලයේ පනවා තිබුණු හමුදා සම්බාධක විශාල ප්‍රමාණයකට ලිහිල් කළේ නම් විශේෂයෙන්ම කොළඹ නගරයේ ව්‍යාපාරික කටයුතුවල කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කළ කොටුව ප්‍රදේශය මිලිටරි සම්බාධක බොහෝදුරට ලිහිල් කළ කලාපයක් බවට පත් කළේ නම් ඒ තත්ත්වය ආර්ථික ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන හේතුවක් ලෙස ක්රියාකරන්නට ඉඩ තිබුණි. අධෝව්‍යුහ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සමහර ප්‍රදේශවල විශාල දේවල් සිදුවුවද රටේ ආර්ථිකය තිබුණේ එක තැන හිරවී පල්වෙමින් තිබෙන තත්ත්වයකය. මේ තත්ත්වය කෙරෙහි ලෝක ආර්ථිකයේ ඇතිවී තිබුණු බිඳ වැටීම ද බලපෑවා විය හැකිය. එහෙත් යුද්ධයේ ජයග්රහණයෙන් පසු බටහිර විරෝධී විදේශ ප්රතිපත්තියෙහි වෙනසක් ඇතිකර ගනිමින් ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන සාධක හොඳින් කළමනාකරණය කිරීමට සමත් වී නම් ආර්ථික ක්රියාකාරීත්වයේ යහපත් වෙනසක් ඇති කරගැනීමට ඉඩ තිබුණේයැ”යි කිව හැකිය.
යුද්ධය වෙනුවෙන් මහජනතාව ආර්ථික අමාරුකම් ඉවසාගෙන සිටියේය. එය තමන්ගේ යුතුකමක් හා වගකීමක්වේයැ”යි මහජනතාව කල්පනා කළේය. එහෙත් යුද්ධයේ ජයග්රහණයෙන් පසු එය ජනිත කරන ප්රතිලාභ ආර්ථික වශයෙන් තමන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදෙනු ඇතැ”යි ජනතාව විශ්වාස කළේය. එහෙත් යුද්ධයේ ජයග්රහණයෙන් පසු කිසියම් කාලයක් ගතවූ පසුත් ඔවුන්ගේ ආර්ථික ජීවිතවල යහපත් වෙනසක් ඇති නොවන විට ඔවුන් ආණ්ඩුව දෙස අතෘප්තියෙන් බලන තත්ත්වයක් ඇතිවිය.
දූෂණය හා ඥාති සංග්‍රහය
මෙම අවස්ථාව විපක්ෂය දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගත්තේය. යුද්ධයේ ජයග්රහණයෙන් ලැබිය යුතු ඵල ප්‍රයෝජන මහජනතාවට නොලැබී ඇත්තේ ඒවා රාජපක්ෂ පවුල් කණ්ඩායම විසින් තනිව භුක්ති විඳිමින් සිටින නිසාය යන්න විපක්ෂය ජනතාව අතරට ගෙන ගිය කතාව විය. ඒ කතාව සියලු මහජනතාව විශ්වාස කළේ නැතත්, විරුද්ධ පක්ෂවලට හිතවත් ජනතාව ඇතුළු එම කතාව විශ්වාස කරන පිරිසක් රටේ ඇතිවිය. දූෂණය ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල වී තිබෙන තවත් බරපතළ චෝදනාවකි. දූෂණය මේ රටේ තිබෙන දේශපාලන ක්‍රමයට වුවමනාවෙන් ඇතුළත් කර තිබෙන නිත්‍ය අංගයක් ලෙස සැලකිය හැකිය. සීමිතකම් තිබියදීත් 1977ට පෙර කෙනකු දේශපාලනය තෝරාගත්තේ නම්බුව හා ගෞරවය සඳහාය. දේශපාලනය වස්තුව උපයන මාර්ගයක් නොවීය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාවට විශේෂිත විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමේදී දූෂණය දේශපාලනයට මිනිසුන් පොළඹවන උත්ප්‍රේරණයක් ලෙස තමන් ඇති කළ දේශපාලන ක්‍රමයට ඇතුළත් කළේය.
ඒ සමග දේශපාලන බලය සඳහා කෙරෙන තරගය පොදු වස්තුව අත්පත් කරගැනීම සඳහා කෙරෙන රුදුරු පොරයක් බවට හැරුණි. ඒ සමග දේශපාලනය වස්තුව උපයා ගත හැකි පහසු මාර්ගයක් බවට පත්විය. මේ ක්‍රමය තුළ 77 සිට මෙතෙක් බලයට පැමිණි හැම පාලක පක්ෂයක්ම පාහේ දේශපාලන බලය අයථා ලෙස වස්තුව උපයා ගන්නා මාර්ගයක් බවට පත්කර ගත්තේය. වර්තමානයේ මහින්ද රාජපක්ෂ පාලනයට දූෂණ චෝදනා එල්ල කරන ප්රතිපක්ෂ දේශපාලකයන් ද අඩු වැඩි වශයෙන් දූෂිතය. පාලක පක්ෂවල දූෂණය දේශපාලන ක්රමයේ ඵලයක් වන අතර දූෂණය වළකන නව දේශපාලන ක්‍රමයක් ඇතිකර ගැනීමෙන් මිස දේශපාලන බලය සමග ක්‍රියාත්මක වන දූෂණය නැති කළ නොහැකිය. ඥාති සංග්‍රහය සැලකෙන්නේ ද දූෂණ ගණයෙහිලා ලා සැලකෙන වරදක් ලෙසය. මේ රටේ බලයට පැමිණි හැම රාජ්‍ය නායකයෙක්ම සිය පවුලේ සාමාජිකයන්ට, ඥාතීන්ට හා මිත්‍රයන්ට විශේෂ වරප්‍රසාද දුන්නේය.
ඩී.ඇස්. සේනානායක යුගයේදී එජාප සැලකුණේ ““මාමා- බෑනා”” පක්ෂ වශයෙනි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකට එජාපය අතහැර යන්නට සිදුවූයේද එක පවුල් කණ්ඩායමක් එම පක්ෂය කෙරෙහි පවත්වාගෙන ගිය ආධිපත්‍යය නිසාය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක බලයේ සිටි කෙටි කාලය තුළ ඥාතීන්ට බර තබන ප්‍රතිපත්තියක් අනුගමනය නොකළද බණ්ඩාරනායකගේ ඇවෑමෙන් බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායක දැඩි ලෙස ඥාතීන්ට බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කළාය. 1977 මැතිවරණයේදී ශ්‍රීලනිප ලැබූ අන්ත පරාජය කෙරෙහි එයද වැදගත් සාධකයක් ලෙස බලපැවේය. මට ඔටුනු පළන්දවන්නට ජනතාව හැර කුමර කුමාරිකයන් නැතැයි කියා බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ද සිය පවුලේ සාමාජිකයන්ට හා ඥාතීන්ට වරප්‍රසාද ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් ඒ වැරදි ක්‍රියාව ඔහු සිදු කරන ලද්දේ මහජනතාවට නොපෙනෙන ලෙස මිස පෙනෙන ලෙස නොවේ.
ඒ නිසා එය ජේ.ආර්. ජයවර්ධනට එරෙහිව පාවිච්චි කෙරෙන පුපුරනසුලු චෝදනා බවට පත් නොවීය. එහෙත් මහින්ද රාජපක්ෂ පාලනය තුළ කෙරෙන ඥාති සංග්‍රහයේ ප්‍රමාණය විශාල වනවා පමණක් නොව එය සිදුකරමින් තිබෙන්නේ ද මහජනයාට පෙනෙන ලෙස කලඑළියේය. රාජ්‍ය පාලකයෙක් අනවශ්‍ය තරමට ඥාතීන්ට බර තබන ප්‍රතිපත්තියක් මහජනයා අනුමත නොකරයි. එය මහජනයාට පෙනෙන්නේ හැන්ද ඇති අය තමාගේ අයට බෙදාගැනීමක් ලෙසය. එය වරදක් ලෙස සලකා නිවැරදි කළ යුතුය.
විය හැක්කේ කුමක්ද?
ඉතාමත්ම වැදගත්ම ප්රශ්නය වනුයේ ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකිද නැද්ද යන්න නොවේ. තවමත් එවැනි තරගයකින් ජයගැනීමේ වැඩි හැකියාව තිබෙන්නේ මහින්දටය. විවිධ සීමිතකම් තිබියදීත් වැඩි මහජන බලයක් තිබෙන්නේ ද මහින්දටය. එහෙත් ඒ මැතිවරණයට යන්නට පෙර විවේචනාත්මකව ආපසු හැරී බලන තැනකට යමින් සිය දේශපාලන ප්‍රතිරූපයේ ඇති කළු පැල්ලම් ඉවත්කර ගන්නා තැනකට නොගොස් ඉදිරි ජනාධිපතිවරණය ජයගත්තද ඉන්පසු ගොඩනගන ආණ්ඩුව මහජන විශ්වාසයට හා ගෞරවයට හේතු නොවන ආණ්ඩුවක් බවට පත්විය හැකිය. එය බලයට පත් පළමු අවස්ථාවේ සිටම මහජන විරෝධයට හේතුවන ආණ්ඩුවක් බවට පත්විය හැකිය. මේ තත්ත්වය වළකාගත හැකිවනු ඇත්තේ ප්‍රමාද නොවී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කරන ප්රතිපත්තිවල මූලික යහපත් වෙනසක් පෙන්නුම් කිරීමෙනි. අවතැන්වූවන් පදිංචි කිරීම කඩිනම් කරන අතර දෙමළ ජනයාගේ ප්‍රශ්නයට ඔවුන්ගේ ගෞරවයට හේතුවන විසඳුමක් දිය හැකිය.
දැන් එල්ටීටීඊයෙන් එල්ල වන ඇත්ත තර්ජනයක් නැති නිසා පනවා තිබෙන හමුදා සම්බාධක සැලකිය යුතු ප්‍රමාණයකට ලිහිල් කළ හැකිය. තිස්සනායගම්ට සමාවක් ලබාදෙන අතර ආරක්ෂාව සඳහා විදේශගතවී සිටින ජනමාධ්‍යවේදීන් ආපසු රටට කැඳවිය හැකිය. විදේශ ප්‍රතිපත්තිය සියලුදෙනා සමග අවබෝධයෙන් හා සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට ගත හැකිය. ඇති කරගෙන තිබෙන ජාත්‍යන්තර ප්රඥප්තීන් රට තුළ බලාත්මක කිරීමට හේතුවන නීති ඇති කළ හැකිය. විරුද්ධ පක්ෂ ව්‍යාපාර දේශද්‍රෝහීන් ලෙස සලකා ක්‍රියාකරන ප්‍රතිපත්තියෙන් ඉවත් වී ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට යා හැකිය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට හරවා සියලු දේශපාලන පක්ෂවල සහාය ඇතිව සුදුසු දේශපාලන ක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා ක්‍රියාකරන බවට සහතිකවෙමින් නව ව්‍යවස්ථාවක් ඇතිකරගන්නා තෙක් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන තත්ත්වයක් ඇති කළ හැකිය.
එවැනි වෙනසක් පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා සමත් වෙතොත්, එය ජනාධිපතිවරයා කෙරෙහි බිඳවැටෙමින් තිබෙන මහජන විශ්වාසය නැවත ශක්තිමත් කිරීමට හේතුවනු ඇතිවා සේ ම, එය මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන අලුත් ගමනක් සඳහා තබන ශක්තිමත් අඩිතාලමක් ලෙස ද ක්‍රියාකළ හැකිය.