වැඩවර්ජනය කිරීමේ අයිතිය වෘත්තීය සමිති පිළිගත් මූලික අයිතියකි. ඒ අයිතියට සියලුදෙනා ගරු කළ යුතුය. අකුරට වැඩ කිරීමද වෘත්තීය සමිති යොදාගන්නා සටන් ක්‍රමයකි. එහෙත් වැඩවර්ජනය කිරීමට තිබෙන අයිතිය වෘත්තීය සමිති පාවිච්චි කළයුත්තේ සමාජ වගකීමකින් යුතුවය. එය අවශ්‍යම හා තීරණාත්මක අවස්ථාවකදී පමණක් හොඳින් සිතා බලා පාවිච්චි කළයුතු ආයුධයක් මිස, පටු දේශපාලන අරමුණු සඳහා පාවිච්චි කළයුතු ආයුධයක් නොවේ. වැටුප් ආදායම්වලින් පමණක් ජීවත් වන ජනතාවගේ ජීවිත යහපත් නැත. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගැටගසා ගැනීමට සිදුවී ඇත්තේ අමාරුවෙනි. දේශපාලකයක් පක්ෂ භේදයෙන් තොරව නීති සම්පාදනයට ඔවුන්ට තිබෙන බලය යොදාගනිමින් තමන්ගේ වැටුප් අසාධාරණ ලෙස වැඩිකරගන්නා දුෂ්ට ක්‍රමයක් ද රටේ ක්‍රියාත්මක වේ. ඒ තත්ත්වය ද වැඩ කරන ජනතාව අතර පවතින අසහනය තීව්‍ර කිරීමට හේතුවී තිබේ.
එසේම රජයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය තිබෙන්නේ ද පහසුවෙන් විසඳිය නොහැකි අවුල්සහගත තත්ත්වයකය. එය රටේ පවතින විසම දේශපාලන ක්‍රමයේ තාර්කික ඵලයක් ලෙස සැලකිය හැකිය. රටේ වැඩ කරන ජනතාව තමන් මුහුණ දී තිබෙන අමාරුකම් ගැන සිතන විට ලෝක ආර්ථිකයේ ඇතිවී තිබෙන කඩා වැටීම ලෝකය කෙරෙහි ඇති කර තිබෙන බලපෑමද සැලකිල්ලට ගත යුතුය. වර්තමානයේ ඉතාමත් දියුණු හා පොහොසත් රටවල පවා වැඩ කරන ජනතාව ප්‍රධාන කොට කල්පනා කරන්නේ ලැබෙන වැටුප් වැඩිකර ගන්නේ කෙසේද යන්න නොව තමන්ගේ රක්ෂා ආරක්ෂා කරගන්නේ කෙසේද යන ප්‍රශ්නය ගැනය. දියුණු බටහිර රටවල පමණක් ව්‍යාපාරික ආයතන හා කර්මාන්තශාලා වැසීයෑම නිසා රක්ෂා අහිමිවූ අය ලක්ෂ ගණනින් සිටිති. ඇමරිකාව හිතන්නේ පෙර සිටි තැනට ආපසු ඒමට තවත් අවුරුදු 15ක් ගතවිය හැකි බවය. වැඩ කරන ජනතාව තීන්දු ගන්නාවිට ලෝකයේ පවත්නා එම විශේෂ තත්ත්වයද සැලකිල්ලට ගත යුතුය.
ඛනිජ, විදුලිය හා වරාය වැනි ආයතනවල ඇතිවී තිබෙන අකුරට වැඩකිරීමේ ව්‍යාපාරය වැඩ කරන ජනතාවගේ පිරිසිදු වුවමනා මත ඇතිවූ ස්වාභාවික ව්‍යාපාරයකට වඩා රටේ පවතින විශේෂ දේශපාලන තත්ත්වය තුළ එජාප හා ජවිපෙ වැනි පක්ෂ තමන්ට තිබෙන වෘත්තීය සමිති ඔස්සේ දේශපාලන අරමුණු සපුරා ගැනීම සඳහා දියත් කෙරුණු ව්‍යාපාරයක් ලෙස සැලකීම අසාධාරණ නැත. වරාය, ඛනිජ තෙල්, විදුලිය වැනි ආයතනවල සේවකයන්ගේ වැටුප් තත්ත්වය සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතී. පහළම වැටුපක් ලබන සේවකයාගේ පවා සියලු දීමනා හා මාසික වැටුප රුපියල් විසිපන්දහසක පමණ මට්ටමක පවතී. මැද තලයේ වැටුප් ලබන්නන්ගේ මාසික වැටුප රුපියල් හතළිස් දහසක් හෝ ඊටත් වැඩි මට්ටමක පවතී. තමන් පවත්වාගෙන යන ජීවන ක්‍රමය අනුව ඔවුන්ට ද ආර්ථික දුෂ්කරතා තිබෙනවා විය හැකිය. එහෙත් ඔවුන්ට වඩා පහළ වැටුප් ආදායම් උපයන තවත් විශාල පිරිසක් රාජ්‍ය සේවයේ සිටින බව ඔවුන් අමතක නොකළ යුතුය.
අනෙක් අතට මෙම සටන මෙහෙයවන එජාප හා ජවිපෙ වැනි පක්ෂ කියනුයේ තමන් ඉදිරි ජනාධිපතිවරණය නියත වශයෙන්ම ජයගන්නා බවය. ජනවාරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය ජයගත හැකි නම් ජන ජීවිතයට හා රටට කරදරයක් ඇති කෙරෙන ආකාරයේ මෙවැනි සටන්වලට සිය වෘත්තීය සමිති සාමාජිකයන් නොපෙළඹවා ජනවාරියේදී තමන් ඇති කරන ආණ්ඩුව මගින් ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන්නේ ඇයි? මේ මොහොතේ ආර්ථිකයේ ඇති කරන අවුල් වියවුල් ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කරන බව හා එය පෙරළා ජනතාව කෙරෙහි විනාශකාරී ලෙස බලපාන බව ඔවුන් නොදන්නේද?