අදහස් පළකිරීමේ නිදහසට තහංචි නොපැනවිය යුතුය

October 4, 2009
Publication:
With the war over, Ivan argues, every restriction placed on expression directly or indirectly should go — including the freedom to criticise the government, which a government put in place by the people must hear. On the Press Council revival he finds neither option good, and points to India, where the regulator is built from the media organisations and Parliament together.

දැන් එල්ටීටීඊ විරෝධී යුද්ධය අවසන් වී ඇති බැවින් අදහස් පළකිරීමේ නිදහසට ඍජු ලෙස හා අනියම් ලෙස පනවා තිබූ සියලු තහංචි ද ඉවත්විය යුතුය? මහජනතාවට සේ ම ජනමාධ්‍යවලට ද නොබියව නිදහසේ අදහස් පළකළ හැකි වටාපිටාවක් ඇති කළ යුතුය. ඉරුදින පුවත්පතේ ජනමාධ්‍යවේදිනියක් බියගැන්වීම සඳහා දරන ලද උත්සාහයක් ගැන ජනමාධ්‍යවල වාර්තා වී තිබුණි. ඉරුදින සැලකෙනුයේ එජාපයට හිතවත් ආණ්ඩු විරෝධී පුවත්පතක් ලෙසය. අදහස් පළකිරීමේ නිදහසේදී ආණ්ඩුව විවේචනය කිරීමට තිබෙන අයිතිය ද ආරක්ෂා විය යුතු මූලික අයිතියකි. මහජනයා බලයට පත් කළ ආණ්ඩුවක් ඉදිරියට යායුත්තේ පක්ෂපාතී අය ගයන ප්‍රශස්ති ගායනා මැද්දේ පමණක් නොව, ඉදිරිපත් වන උග්‍ර විවේචන ද මැද්දේය. විවේචනවලට ඇහුම්කන්දීමේ හෝ ඒවා ඉවසීමේ ගුණය මහජන ආණ්ඩුවකට තිබිය යුතුය. අසාධාරණ හා වැරදි විවේචන කරන අවස්ථාවලදී ඒවාට පිළිතුරු දිය හැකි අතර, අසත්‍ය තොරතුරු මත පදනම් වී කෙරෙන විවේචනවලදී විවේචකයන්ට එරෙහිව නීති මගින් ක්‍රියාකිරීමේ හැකියාව ඇත්තේය.

පුවත්පත් මණ්ඩල නීතිය අළලා මතුවී තිබෙන විවාදය ද ඉතා වැදගත්ය. සියලුම ජනමාධ්‍ය සංවිධාන පුවත්පත් මණ්ඩල ක්‍රමය ද නැවත ඇති කරනවාට තරයේ විරුද්ධය. ඔවුන්ගේ විශ්වාසය වී ඇත්තේ තමන් විසින් ඇති කරගෙන තිබෙන පුවත්පත් පැමිණිලි කොමිසම ප්‍රමාණවත් බවය. ආණ්ඩුව විසින් පත්කරන පුවත්පත් මණ්ඩල ක්‍රමයට එරෙහිව ජනමාධ්‍ය සංවිධාන තමන්ගේම නියාමන ක්‍රමයක් ඇති කරගැනීම වැදගත් ඉදිරි පියවරක් වුවත් එය තිබුණු පුවත්පත් මණ්ඩල ක්‍රමය වෙනුවට ඇති කරගත් හොඳ විකල්පයක් ලෙස සැලකිය නොහැකිය. පුවත්පත් මණ්ඩල ක්‍රමය තුළ රටේ පළකෙරෙන ඕනෑම පුවත්පතකින් හෝ වාර සඟරාවකින් සිදුවන වරදකදී ඊට එරෙහිව පුවත්පත් මණ්ඩලය ඉදිරියට යෑමේ අයිතිය මහජනයාට ලැබී තිබුණි. එහෙත් ඊට විකල්පයක් වශයෙන් ඇති කරගන්නා පුවත්පත් පැමිණිලි කොමිසම නිර්මාණය කර ඇත්තේ රටේ පළවන සියලුම පුවත්පත් හා වාර සඟරා ඇතුළත් වන ආකාරයට නොව දිනපතා හා සති අන්තයේ පළවන ජාතිකයැ”යි කියාගන්නා පුවත්පත් කිහිපයකට සීමාවන ආකාරයටය.

එය පුවත්පත් පැමිණිලි කොමිසමට ආවේණික බරපතළ සීමාවක් ලෙස සැලකිය හැකිය. එහෙත් පුවත්පත් පැමිණිලි කොමිසමට එරෙහිව තිබුණු පැරණි පුවත්පත් මණ්ඩල ක්‍රමයට පණදීම හොඳ විකල්පයක් ලෙසද සැලකිය නොහැකිය. එහි පාලන බලය ඇත්තේ ආණ්ඩුවටය. අවශ්‍ය නම් තමන් අකමැති පුවත්පත්වලට පීඩා කිරීමේ බලය ආණ්ඩුවට ලැබෙන්නේය. ජනමාධ්‍ය සංවිධාන ගොඩනගා ගත් පැරණි කොමිසමක් තිබියදී පැරණි පුවත්පත් මණ්ඩල ක්‍රමය ඇති කිරීම ආශ්‍රයෙන් මතුවී තිබෙන ආරාවුල සාර්ථක ලෙස විසඳා ගත හැකිවනු ඇත්තේ මේ දෙපක්ෂය (ආණ්ඩුව හා ජනමාධ්‍යවේදීන්) එකට එකතු වී සාකච්ඡා කිරීම මගිනි. ආණ්ඩුවේ හා පාර්ලිමේන්තුවේ අනුමැතිය හා සහයෝගය නැතිව ස්වාධීන නියාමන ක්‍රමයකට පැවතිය නොහැකි බව ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන තේරුම් ගත යුතු අතර, ආණ්ඩුවේ නියාමන ක්‍රමයක් මගින් ජනමාධ්‍ය පාලනය කිරීමට නූතන ලෝකය පිළිගත් වටිනාකම්වලට නොගැළපෙන බව ආණ්ඩුව ද තේරුම් ගත යුතුය.

මේ දෙපක්ෂය (ආණ්ඩුව හා ජනමාධ්‍ය සංවිධාන) එකට එකතු වී පවත්වාගෙන යන ස්වාධීන නියාමන ආකෘතිය ලෝකයේ පවතී. අසල්වැසි ඉන්දියාවේ ද පවතින්නේ එවැනි ආකෘතියකි. එය බොහෝ දුරකට ස්වාධීන ජනමාධ්‍ය සංවිධානවලට අතිරේකව පාර්ලිමේන්තුවට ද නියෝජනයක් ලැබෙන ආකාරයට ඇති කරගෙන තිබෙන නියාමන ආකෘතියකි. දෙපාර්ශ්වයේම ගෞරවයට හේතුවන එවැනි ආයතන ක්‍රමයක් ඇති කරගන්නා තැනකට යෑම මගින් මේ ආරාවුල විසඳාගත හැකිය.