ජනමාධ්‍ය වාර්තා කර තිබෙන ආකාරයට දකුණු පළාත් සභා මැතිවරණ බල ප්‍රදේශය තුළ ඇති අපේක්ෂකයන්ගේ කටවුට් සහ පෝස්ටර් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. නාමයෝජනාවලින් පසුව අපේක්ෂකයන්ගේ කටවුට් සහ පෝස්ටර් ප්‍රදර්ශනය මැතිවරණ නීතියට පටහැනිය. එකල මුද්‍රිත මාධ්‍යවල හා ඉලෙක්ට්‍රොනික් මාධ්‍යවල අපේක්ෂකයන්ගේ දැන්වීම් පළකිරීමක් සිදු නොවූ නිසා ජනමාධ්‍ය මෙම නීතියට ඇතුළත් කොට නැතත්, කටවුට් හා පෝස්ටර් ප්‍රදර්ශනය නීත්‍යනුකූල නොවේ නම් ජනමාධ්‍ය මගින් අපේක්ෂකයන්ගේ දැන්වීම් ප්‍රචාරණය ද නීත්‍යනුකූල විය නොහැකිය. ඉතාම වැදගත් දේ ජනාධිපති නියෝග කරන තෙක් මැතිවරණ නීති ක්‍රියාත්මකවීම වැළැකී තිබුණේ කෙසේද යන්නයි. මැතිවරණවලදී මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් ආයතනයක් රටට ඇත්තේය. මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත් නොකර තිබෙන තත්ත්වයක් තුළ මැතිවරණ කොමිසම ක්‍රියාත්මක නොවෙතත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණ කොමිසමට නියෝජිතයන් පත් කරන තෙක් මැතිවරණ කොමිසම සතු සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයා සතුය.
කටවුට් හා පෝස්ටර් ප්‍රදර්ශනය වැළකීම සඳහා බලයලත් නිලධාරියා කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ඉන් පෙනී යයි. ඒ ඇයි? මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නැතිව වුවත් මැතිවරණ නීති උල්ලංඝනය වන අවස්ථාවලදී එය වැළකීම පොලීසියේ වගකීමකි. එහිදී පොලීසියද ඒ වගකීම ඉටුකර නැති බව පැහැදිලිය. ජනාධිපතිවරයා නියෝග කරන තෙක් නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තිබීම යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. අනෙක් අතට මෙම විෂයෙහි නිසි බලධාරියා වන්නේ ජනාධිපති නොව මැතිවරණ කොමසාරිස්වරයාය. මැතිවරණවලදී රාජ්‍ය මාධ්‍ය රඟපාන භූමිකාවද මැතිවරණ නීතිවලට පටහැනිය. නීතිය එසේ වුවත් බලයට පත්වන හැම ආණ්ඩුවක්ම මැතිවරණවලදී තමන්ගේ වාසිය පිණිස රාජ්‍ය මාධ්‍ය යොදා ගනී. ඊට අතිරේකව මැතිවරණවලදී ආණ්ඩු පක්ෂය සිරිතක් වශයෙන් මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් යොදාගනී. අදත් ඒ තත්ත්වය වෙනස් වී නැත.
එහෙත් 17 වැනි සංශෝධනය අනුව ඒ තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය තරම් බලය මැතිවරණ කොමසාරිස්වරයාට ලැබී ඇතත්, මොන මොන හේතු නිසා හෝ මැතිවරණ කොමසාරිස්වරයා ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා තමන්ට තිබෙන බලය පාවිච්චි කරන්නේ නැත. මහජන යහපත සඳහා නඩු කියන්නන්වත් අධිකරණය ඉදිරියට ගොස් ලබාගන්නා නියෝගයක් මගින් හෝ මැතිවරණ කොමසාරිස්වරයා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන තත්ත්වයකට ගෙනා යුතුව තිබේ. මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ විෂය භාර බලධාරියා වශයෙන් මැතිවරණවලදී නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු බලතල තිබියදීත් ඒ බලය පාවිච්චි නොකරන්නේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ දේශපාලන ක්‍රමයේය. කොතරම් හොඳ නීති ඇති කළ ද මේ දේශපාලන ක්‍රමය තුළ ඒවා ක්‍රියාත්මකවන්නේ පක්ෂපාතී ආකාරයකටය. මැතිවරණයකදී නාමයෝජනාවලින් පසුව කටවුට් ප්‍රදර්ශනය කිරීම නීතියට පටහැනි බව පොලීසිය දනී.
එහෙත් පොලීසිය එම නීති විරෝධී ක්‍රියාවට ඉඩදී බලා සිටින්නේ එය දේශපාලන වශයෙන් ඉතාමත් සංවේදී විෂයයක් වන නිසාය. නීතිය ක්‍රියාත්මක කරන්නට ගොස් රස්සාව අහිමි කරගන්නට පොලිස් නිලධාරීන් අකමැතිය.
මහජන නියෝජිතයාගේ අරමුණ කෙලෙසීම
දේශපාලනය මහා පරිමාණයෙන් මුදල් උපයන මාර්ගයක් බවට පරිවර්තනය වීම ආරම්භවන්නේ 1977දී නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමත් සමගය. කේවල ඡන්ද ක්‍රමය අහෝසිවීමත් සමග ආසන පදනමින් පුංචි මැතිවරණ කොට්ඨාසයක් වෙනුවට දිස්ත්‍රික්කයක් සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරන තත්ත්වයක් ඇතිවිය. ඒ සමග මැතිවරණයක් වෙනුවෙන් කළයුතු වියදම් ද අතිවිශාල ප්‍රමාණයකින් ඉහළ ගියේය. තේරී පත්වන මන්ත්‍රීවරුන්ට ඒ වියදම නිල නොවන ආකාරවලට පොදු දේපළවලින් පියවා ගතහැකි ක්‍රමවේදයක් ද ඇතිවූ අතර, ඒ සමග දේශපාලනය මහජන සේවය සඳහා කරන දෙයක් වෙනුවට මහා පරිමාණයෙන් මුදල් ඉපැයීමේ අරමුණින් කෙරෙන දෙයක් බවට පත්විය. ඒ සමග දැන උගත්කමක් ඇති මිනිසුන් මෙම වියදම් අධික පොරයෙන් ඉවත්වෙමින් එය වැඩි වැඩියෙන් කළු සල්ලිකාරයන්ගේ පොර පිටියක් බවට පත්විය. මේ වන විට පළාත් සභා මැතිවරණ සඳහා පවා කෝටි ගණනින් මුදල් වියදම් කෙරෙන තත්ත්වයක් ගොඩනැගී තිබේ.
මෙම අශෝභන ක්‍රමය ප්‍රති සංවිධානයකට ලක් කිරීම රටේ යහපත සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව ඇතත්, දේශපාලන ක්‍රමය පාලනය කරන කළු සල්ලිකාරයන් ක්‍රමයේ වෙනසක් ඇති කරනවා දකින්නට නොකැමැතිය. දේශපාලන ක්‍රමයේ ඇති කරන ප්‍රතිසංවිධානයක් දැන් තමන්ට ලැබී තිබෙන ප්‍රමුඛතාව දුර්වල කිරීමට හේතුවනු ඇති බව ඔවුන් දනී. දේශපාලනය මහා පරිමාණයෙන් මුදල් උපයන ක්‍රමයක් ලෙස පවත්වාගෙන යෑම ඔවුන්ගේ අභිලාෂය වී තිබෙන බව පෙනේ.
මැතිවරණ සංශෝධන පනත
ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට අනුකූලව මැතිවරණ සංශෝධන පනත සම්මත කරගැනීමට හැකිවී තිබේ. එය මැතිවරණ විෂය යහපත් තත්ත්වයට ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද විශිෂ්ට නීතියක් ලෙස සැලකිය නොහැකි වුවද, ඒ නීතියෙන් අපේක්ෂා කරන දේ දැන් පවතින තත්ත්වයට වඩා යහපත්ය. එය යහපත් ඉදිරි ගමනක් සඳහා තබන ලද පුංචි වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. එහෙත් රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය කොතරම් හොඳ නීති ඇති කරගත්තද ඒවා මැනවින් ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොතිබීමය. ඇති කරගෙන තිබෙන නව නීතිය අනුව පක්ෂ ව්‍යවස්ථාවල ඇති කරගනු ලබන වෙනස්කම් වහාම මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දිය යුතුය. පක්ෂ ව්‍යවස්ථාවන්ට අදාළව පක්ෂ සම්මේලන පැවැත්විය යුතුය. පක්ෂ අරමුදල්වල ගිණුම් වාර්තා වාර්ෂිකව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබාදිය යුතුය. පක්ෂයට මුදල් පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් කව්ද යන්න හා ඔවුන් පරිත්‍යාග කර තිබෙන මුදල්වල ප්‍රමාණයන්ද හෙළිදරව් කළ යුතුය.
මේ නීති අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් සහතික කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සමත්වේද? තිබෙන මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය තරම් බලය මැතිවරණ කොමසාරිස්වරයා සතුව තිබියදීත් ඒ නීති ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ අලුත් නීති අකුරටම ක්‍රියාත්මක කිරීමක් ගැන බලාපොරොත්තු ඇති කරගත හැක්කේ කෙසේද? මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් සඳහා ක්‍රියාත්මක විය යුතු වත්කම් බැරකම් නීතිය හොඳින් ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොපවතී. මොන මොන හේතු නිසා හෝ මැතිවරණ කොමසාරිස්වරයා එය අකුරටම ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැමති නැත. නිල බලය ඇති අය මොන මොන හේතු නිසා හෝ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටීමද දූෂණ ගණයෙහිලා සැලකිය හැකි වරදකි. එහෙත් මහජනයා වරදක් ලෙස සලකන්නේ බලය අයථා ලෙස යොදාගන්නා අවස්ථා පමණය. නිල බලය දරන පුද්ගලයන් තමන්ට තිබෙන බලය අයථා ලෙස පාවිච්චි කරන අවස්ථාවලදී පමණක් නොව, හිතාමතා නීතිය ක්‍රියාත්මක නොකරන අවස්ථාවලදී ඔවුන් අධිකරණය ඉදිරියට පමුණුවන තත්ත්වයක් ඇති කරන තෙක් මෙවැනි ආරාවුල් විසඳාගත හැකි වටාපිටාවක් රටේ නොපවතී.
රාජ්‍ය හා රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පරීක්ෂාවට ලක්කිරීමට පාර්ලිමේන්තුව සතුව තිබෙන බලය ප්‍රශස්ථ ලෙස පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුව සමත්ව නැත. අඩුම වශයෙන් මෙවැනි දේවල් පරීක්ෂා කොට බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන විකල්ප ආයතන ක්‍රමයක්වත් රටේ තිබිය යුතුය. අඩුම වශයෙන් මැතිවරණයකදී මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු මැතිවරණ කටයුතු භාර නිලධාරීන් ක්‍රියා කළයුතු ආකාරය නැවත අර්ථකථනය කරන තැනකට රට යායුතුය. නීතියට පටහැනි දේවල් එළිපිට සිදුවෙද්දී නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තිබීම ගැන මැතිවරණ කොමසාරිස්වරයා ලැජ්ජාවට පත්විය යුතුය. ඔහුට නීතිය අකුරටම ක්‍රියාත්මක කළ නොහැකි විශේෂ හේතු ඇත්නම් ඔහු ඒ බව දැනුම්දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් අවශ්‍ය සහන ඉල්ලා සිටිය යුතුය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගේ පසුබිම් විස්තර දැනගැනීමේ අයිතිය ඡන්දදායකයන්ට තිබිය යුතු පිළිගත් අයිතියකි.
වත්කම් බැරකම් නීතියෙන් බලාපොරොත්තු වන එක් අපේක්ෂාවක් වනුයේද එයයි. එහෙත් මැතිවරණවලදී එම නීතිය අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් සහතික කිරීමට ඔහු සමත් වී නැත. නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම අනිවාර්ය කිරීමේ බලය ඔහු සතුය. එවැනි ක්‍රමයක් ඇති කිරීමෙන් එම අවුල පහසුවෙන් විසඳිය හැකි වුවත්, මොන මොන හේතු නිසා හෝ මැතිවරණ කොමසාරිස්වරයා එවැනි සරල දේකට පවා අත ගසන්නට කැමති බවක් පෙනෙන්නට නැත. මෙය මැතිවරණ විෂයෙහි දක්නට ලැබෙන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් වුවත්, මැතිවරණ, නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීමට උනන්දුවක් දක්වන ආයතන පවා මෙම කාරණාවලදී මැතිවරණ කොමසාරිස්වරයා නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයක තබාගැනීමට උනන්දු වන බවක් පෙනෙන්නට නැත.
පාක්‍යසෝති සරවනමුත්තු
ආචාර්ය පාක්‍යසෝති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නිර්මාතෘවරයාය. ඔහු නිර්භීතව තමන් දරන අදහස් පළකරන පුද්ගලයකු ලෙස ද සැලකිය හැකිය. සරවනමුත්තු හා ඔහුගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට ජනවාර්ගික අර්බුදය පිළිබඳව තමන්ගේ මතවාදයක් තිබුණි. එල්ටීටීඊය සමග කෙරෙන සාකච්ඡා මගින් දේශපාලන විසඳුමක් ඇති කරගත යුතුය යන්න ඔවුන් දරන ලද මතය විය. පෙඩරල් විසඳුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ පෙනී සිටි ප්‍රධානම ආයතනය ද එය විය. මෙම මතවාදය රට තුළ ප්‍රචලිත කිරීම සඳහා එම ආයතනයට විවිධ වැඩසටහන් තිබුණු අතර, ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාගන්නේ බටහිර රටවලිනි. ලැබෙන විදේශ ආධාරවල ප්‍රමාණය අනුව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආණ්ඩුවේ නොවන සංවිධාන අතර කැපී පෙනෙන තත්ත්වයක් හිමි කරගත් සංවිධානයක් ලෙස ද සැලකිය හැකිය. ඔහු ජාත්‍යන්තර තලයේ වන ආණ්ඩුවේ නොවන සංවිධානවල ක්‍රියාකරුවන් අතරින් විශේෂ පිළිගැනීමක් හිමිකර ගත් පුද්ගලයකු වූ අතර, බටහිර රටවල් ලංකාවේ සිදුවන කටයුතු පිළිබඳව අදහස් ලබාගන්නා වැදගත් මූලයක් ලෙස ද ඔහු ක්‍රියා කළේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පිරිසිදු ආයතනයක් නොවූවත් එහි ප්‍රධානියා (සරා) ආයතනයට ලැබෙන අරමුදල් වංචනික ලෙස පරිහරණය කළ පුද්ගලයකු නොවීය. ඔහු තමන්ට තමන්ගේ ආයතනයෙන් ලැබෙන වැටුපෙන් ද ඒ නිසා ලැබෙන විදේශ සංචාරවලින් ද තෘප්තිමත් තත්ත්වයකින් ක්‍රියා කළ පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. ඔහු එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළහැකිවේයැ”යි විශ්වාස නොකළා සේම ජනවාර්ගික ආරාවුල එල්ටීටීඊය සමග සාකච්ඡා කොට විසඳාගත යුතු ප්‍රශ්නයක් ලෙස ද සැලකීය. නිල ලෙස සරා දේශපාලන පක්ෂයක් නියෝජනය නොකළද ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ එජාපය කෙරෙහිය. අනාගතයේ ගොඩ නගන එජාප ආණ්ඩුවක් තුළ කදිර්ගාමර් මෙන් විදේශ ඇමති වීමේ සිහිනයක් ඔහු තුළ තිබුණු බව ඔහුගේ සමහර මිතුරන් කියනු මා අසා තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එල්ටීටීඊයට එරෙහිව ක්‍රියාවට නගන ලද යුද්ධ ප්‍රතිපත්තිය ඔහුගේ පිළිගත් ප්‍රතිපත්තිවලට පටහැනිවීම නිසා ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුද ප්‍රතිපත්තියට එරෙහිව දේශීය වශයෙන් සේ ම ජාත්‍යන්තර වශයෙන් ද හඬ නගන පුද්ගලයකු ලෙස පෙනී සිටියේය.
සමහරවිට එල්ටීටීඊ විරෝධී යුද්ධය ආණ්ඩුවේ පැවැත්ම අහෝසි කිරීමට හේතුවන සංසිද්ධියක් ලෙස ක්‍රියා කරනු ඇතැ”යි ඔහු කල්පනා කළා විය හැකිය. එල්ටීටීඊය යුද්ධ ව්‍යාපාරය තුළ ඇතිවිය හැකි අවුල්සහගත තත්ත්වයක් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇති කිරීමට හේතුවී නැවත තමන්ට පහසුවෙන් බලයට පත්වන වටාපිටාවක් ඇති කිරීමට හේතුවනු ඇතැ”යි කියන විශ්වාසයක් සමහර එජාප නායකයන් තුළ තිබුණේය. ඒ නිසා ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා වැඩ කරන තැනක එජාප සිටි අතර, ඒ සිහිනය යම් තරමකට සරා කෙරෙහි ද බලපෑවා විය හැකිය. මෙම වටාපිටාව තුළ ආණ්ඩුවේ නායකයන්ද ආරක්ෂක අංශ ද එජාප නායකයන් පමණක් නොව, සරා වැනි පුද්ගලයන් දැක්කේද එල්ටීටීඊයට එරෙහිව තමන් කරන යුද්ධයට අවහිර කරන එල්ටීටීඊ හිතවාදී ජාතිද්‍රෝහී පුද්ගලයකු ලෙසය. ජේවීපී දෙවැනි කැරැල්ලේදී ද නිල විරුද්ධ පක්ෂය ලෙස ක්‍රියා කළේ වර්තමානයේ බලයේ සිටින ශ්‍රීලනිප වුවත් එම කැරැල්ලේදී ශ්‍රීලනිපයේ හැසිරීමද බොහෝ දුරට එජාප එල්ටීටීඊ විරෝධී යුද්ධයේදී පෙන්නුම් කළ හැසිරීමට සමාන විය.
කැරැල්ල මර්දනය කිරීමේ ව්‍යාපාරය තුළ සිදුවූ අවලස්සණ දේවල් ශ්‍රීලනිප නායකයන් ආණ්ඩුව අවමානයට ලක්කිරීම හා දුෂ්කර තත්ත්වයකට පත්කිරීම සඳහා දේශීය වශයෙන් සේ ම ජාත්‍යන්තර වශයෙන් ද උපරිම ලෙස යොදා ගත්තේය. එදා බලයේ සිටි යූඑන්පී ආණ්ඩුව වර්තමානයේ ජනාධිපති ධුරයේ සිටින මහින්ද රාජපක්ෂ මහතා හඳුන්වන ලද්දේ රටට ද්‍රෝහිකම් කළ ද්‍රෝහියකු ලෙසය. මෙදා එම චෝදනාව වර්තමාන ජනාධිපති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරයි. මෙම ආරවුලේදී සරා කෙරෙහි වන සැකය තීව්‍ර කිරීමට බලපෑ තවත් වැදගත් හේතුවක් වන්නේ සරා හා සුනේත්‍රා බණ්ඩාරනායක අතර තිබෙන සම්බන්ධයයි. එය කවුරුත් දන්නා ප්‍රකට සම්බන්ධයකි. සරාගේ උපන් දිනය වෙනුවෙන් පළකර තිබෙන ලිපි එකතුවට සුනේත්‍රා ලියා තිබෙන ලිපියකින් සුනේත්‍රාම එම ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කර තිබේ. සුනේත්‍රා චන්ද්‍රිකාගේ සහෝදරිය වන නිසා හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට සිහින දකින අය අතර චන්ද්‍රිකා ද වැදගත් චරිතයක් ලෙස පෙනී සිටීම හේතු කොටගෙන සරාගේ ක්‍රියාකාරීත්වය ආණ්ඩුව දැක්කේ බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන් එජාපය සමග කල්ලි ගැසීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අස්ථාවර කිරීම සඳහා ක්‍රියාවට නගන ලද සාහසික ව්‍යාපාරයක් ලෙසය.
මේ දෙපාර්ශ්වයම එකිනෙකා දකින ලද්දේ වෛරය හා කෝපය මුල් කොටගෙනය. එල්ටීටීඊ විරෝධී යුද්ධය තුළ යුද්ධයෙන් පිටස්තරව සිටි ප්‍රතිපක්ෂ මත දරන අය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තියේ අන්තවාදයක් තිබුණා සේ ම එක්සත් ජාතික පක්ෂයේ සමහර නායකයන් පාක්‍යසෝති සරවනමුත්තු, සුනන්ද දේශප්‍රිය වැනි පුද්ගලයන් අනුගමනය කළ ප්‍රතිපත්තිවල ද අන්තවාදයක් තිබුණි. පාක්‍යසෝති සරවනමුත්තු රාවයට කියා තිබෙන කරුණු අතරින් බොහොමයක් කරුණු සමග එකඟ විය හැකිය. එහෙත් ඔහු කතා නොකරන මූලික වශයෙන් සැලකිල්ලට නොගෙන තිබෙන වැදගත්ම කරුණක් තිබේ. එනම් ආණ්ඩුවේ ආරක්ෂක හමුදා යුද්ධ කළේ නිරායුධ අහිංසක ජනතාවක් සමග නොවේ. මරාගෙන මැරෙන ඒකකයකින්ද යුතු, ඉතාමත් නවීන අවි ආයුධවලින් සන්නද්ධ වූ ලෝකයේ අංක එකට තිබූ ත්‍රස්තවාදී සංවිධානය සමගය. මොනම යුද්ධයක් තුළ වුවද මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවීම නොවැළැක්විය හැකිය.
ඊටත් වඩා ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව කෙරෙන යුද්ධයක් තුළ එසේ විය හැකිය. පාක්‍යසෝති සරවනමුත්තු කරන විවේචනවලදී ඒ කරුණ වැදගත් සාධකයක් ලෙස සැලකිල්ලට ගෙන නැත. මෙය රටේ ආරක්ෂක හමුදා ත්‍රස්තවාදී ව්‍යාපාරයක නැගිටීමක් මර්දනය කළ පළමු අවස්ථාව නොවේ. මීට පෙරද එවැනි නැගිටීම් දෙකක් මර්දනය කර තිබේ. 71 ජේවීපී කැරැල්ල මර්දනයේදීද එජාප බලයේ සිටි සමගි පෙරමුණු ආණ්ඩුවට මානව හිමිකම් මර්දනය කිරීම ගැන චෝදනා කළේය. ජේවීපී දෙවැනි කැරැල්ල එජාප ආණ්ඩුවක් විසින් මර්දනය කරන විට මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ශ්‍රීලනිප එජාපය ආණ්ඩුවට චෝදනා කළේය. දැන් එල්ටීටීඊ ඊලාම් යුද්ධය මර්දනයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන එජාප ශ්‍රීලනිප ආණ්ඩුවට චෝදනා කරයි. ජේවීපී දෙවැනි කැරැල්ලේදී රනිල් වික්‍රමසිංහ මහතා මානව හිමිකම් ගැන කතා නොකළේය. ඔහු එහිදී වඩා වැදගත් කොට සැලකුවේ මානව හිමිකම් ගැන නොව ජේවීපී කැරැල්ල මර්දනය කරන ආකාරය ගැනය.
රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි ජේවීපීය දක්වන වෛරසහගත ආකල්පය කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන සාධකය වන්නේද එයයි. එදා මානව හිමිකම් ගැන හඬ නගන ලද පුද්ගලයා වූයේ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. මෙදා එල්ටීටීඊය සන්නද්ධ අරගල මර්දනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද වැදගත් වූයේ මානව හිමිකම් නොව, එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය කරන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. මෙහිදී මානව හිමිකම් ගැන හඬනගන්නා වී සිටින්නේ ජේවීපී දෙවැනි කැරැල්ලේදී මානව හිමිකම් නොසලකා ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ මහතාය. ජේවීපී කැරැල්ල මර්දනය කළ යුතුව තිබුණු ව්‍යාපාරයක් වනවා සේ ම, එල්ටීටීඊ සන්නද්ධ ව්‍යාපාරය ද මර්දනය කළ යුතුව තිබුණු ව්‍යාපාරයකි. එක්තරා දුරකට මානව හිමිකම් උල්ලංඝනය කරමින් හෝ මෙම සන්නද්ධ ව්‍යාපාර දෙක මර්දනය කරන්නට හැකිවීම රටක් වශයෙන් අප ලැබූ වැදගත් ජයග්‍රහණ දෙකක් ලෙස සැලකිය හැකිය.
රටක මානව හිමිකම් ආරක්ෂා කළ යුතුවා සේම ආයුධ අතට ගත් ව්‍යාපාරයකට නිදහසේ මිනී මරන්නට ඉඩ දිය යුතු ද නැත. මෙම සන්නද්ධ ව්‍යාපාර දෙක මර්දනයේදී දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වූවා සේ ම දෙවැනි කැරැල්ල මර්දනය කිරීමෙන් පසු නැවත මානව හිමිකම් ගරු කරන තැනකට ගියා සේ එල්ටීටීඊය දැන් පරාජය කර ඇති නිසා ප්‍රමාදයකින් තොරව උපරිම ලෙස මානව හිමිකම්වලට ගරු කරන තැනකට රට යා යුතුය. පාක්‍යසෝති සරවනමුත්තු වැනි විචාරකයන්ට මරණ බියෙන් තොරව අදහස් පළකිරීමට ඇති අයිතිය ද ආණ්ඩුව ආරක්ෂා කරදිය යුතුවා සේ ම, සන්නද්ධ කැරැල්ලක් මර්දනය කිරීම වැනි කාරණාවලදී මහජනයා බලයට පත්කරන ලද ආණ්ඩුවකට තීන්දු ගැනීමට තිබෙන අයිතියට ගරු කිරීමට ද එවැනි විචාරකයන් හුරුපුරුදු විය යුතුය. පාක්‍යසෝති සරවනමුත්තු වැනි අයට ආණ්ඩුකරණයට අදාළව අදහස් පළකිරීමේ අයිතිය ඇතත්, ආණ්ඩු පාලනයට අදාළ තීන්දු ගැනීමේ අයිතිය ඇත්තේ මහජනයා බලයට පත් කළ හොඳ හෝ නරක ආණ්ඩුවලටය.
එල්ටීටීඊය මුළුමනින් පරාජය කර අවසන් කර තිබෙන තත්ත්වයක් තුළ දේවල් නිර්මාණාත්මක ලෙස අලුතෙන් දක්නට මෙම දෙපක්ෂයම උත්සාහ කළ යුතුය. පාක්‍යසෝති සරවනමුත්තු වැනි අයට මරණ තර්ජන එල්ලවීම රටේ ගෞරවයට හේතු නොවන්නා සේ ම ශ්‍රී ලංකාව සඳහා තිබෙන අන්තර්ජාතික හොඳ හිත අහිමි කරන තත්ත්වයක් ද රටේ ගෞරවයට හේතුවන්නේ නැත.