සමගිය හා ප්‍රඥාව

September 27, 2009
Publication:
The politicians are looking at the southern council election and the presidential one, while the country faces war crimes allegations, the GSP+ question and the displaced. Ivan argues these can only be met if the parties set their divisions aside — and that the voice the country used during the war does not suit the moment. We are no longer entangled with Prabhakaran, he writes, but with the powers of the world.

දේශපාලනඥයන්ගේ ප්‍රධාන උනන්දුව යොමුවී තිබෙන්නේ දකුණු පළාත් සභා මැතිවරණය හා ඊළඟට පවත්වන්නට නියමිත ජනාධිපතිවරණය කෙරෙහිය. මේ මැතිවරණ පැවැත්වීම ඉතා වැදගත් වුවත්, එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව ජාත්‍යන්තර තලයේ රටට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අභියෝග කෙරෙහි පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලනඥයන්ගේ අවධානය යොමුවිය යුතුය. ජාත්‍යන්තර තලයේ අපට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අභියෝග අතර යුද අපරාධ පිළිබඳව රටට එල්ලවන්නට නියමිත චෝදනා, ජීඑස්පී ප්ලස් පිළිබඳ ප්‍රශ්නය හා අවතැන්වූවන් පිළිබඳ ප්‍රශ්න ප්‍රධාන වේ. මේ අභියෝග ජයගැනීමට හැකිවනු ඇත්තේ පවතින දේශපාලන බෙදීම් අමතක කොට එක්සත්ව නිසි සංයමයකින් හා ප්‍රඥාවන්ත ලෙස ක්‍රියාකිරීමට සමත්වේ නම් පමණය. රටක් වශයෙන් අප තේරුම් ගත යුතුව තිබෙන වැදගත්ම කාරණය වන්නේ අපට පමණක් නොව මොනම රටකටවත් ආර්ථික, සමාජයීය හෝ දේශපාලනික ලෙස දිවයිනක් වශයෙන් වෙන්ව සිටිය නොහැකි බවය.

භූගෝලීය වෙනස්කම් ගෝලීයකරණයන් සමග බිඳ වැටී තිබෙන අතර සන්නිවේදන තාක්ෂණයේ දියුණුවද වෙළෙඳපොළවල් හා ආර්ථික ව්‍යුහයන් අතර ඇති ඒකාබද්ධතාවන් විසින් ද ගෝලීයකරණ ක්‍රියාවලිය තවදුරටත් වර්ධනය කරමින් තිබෙන්නේය. ලෝක බලතුලනයේ නව පෙළගැසීම් ඇතත්, සියලුදෙනාට එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් එකිනෙකා මත රඳා පවතින්නට සිදුවී ඇත්තේය. එල්ටීටීඊයට එරෙහිව කෙරුණු යුද්ධයේදී විවිධ හේතු මත ඊට අවහිර කළ විදේශ බලවේග තිබුණේය. එම අවහිරකම් නොසලකා එල්ටීටීඊය පරාජය කිරීමේ ඉලක්කය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහිදී ඇතිවූ අවහිරකම්වලදී අවහිර කරන්නන්ට එරෙහිව අපි දැඩි ස්වරයකින් කතා කළෙමු. දැන් එල්ටීටීඊය සටන අවසන්ය. එම සටන ජයග්‍රාහී ලෙස අවසන් කිරීමට අප සමත් විය. එහෙත් ඒ සමග අලුත් ප්‍රශ්න පැන නැගී තිබේ. එහෙත් ඒ ප්‍රශ්න එල්ටීටීඊය ජයගත් ආකාරයට ජයගත නොහැකිය.

දැන් අප පැටලී සිටින්නේ ප්‍රභාකරන් සමග නොව ලෝක බලවතුන් සමගය. අප ඔවුන්ට දීන ලෙස හිස නැමිය යුතු නැතත්, ඔවුන් සමග ඇති කරගෙන තිබෙන ආරවුල් සුහද ලෙස ප්‍රඥාවන්ත ලෙස බේරාගත යුතුය. එහිදී අප කතා කරන ස්වරය පවා වෙනස් විය යුතුය. යුද්ධයේදී කතා කළ ගොරෝසු ස්වරූපය අදට ගැළපෙන්නේ නැත. රටේ අනාගතය කෙරෙහි හොඳට හෝ නරකට බලපෑ හැකි ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්න නිසා ආණ්ඩුව හා විරුද්ධ පක්ෂය වෙන්වී කටවල් දෙකකින් නොව, එකට එකතු වී එක කටකින් කතා කරන තැනකට ආ යුතුය. මෙම ආරවුලේදී විරුද්ධ පක්ෂය ආණ්ඩුව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය නිවැරදි නොවනවා සේ ම ආණ්ඩුව විරුද්ධ පක්ෂය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය ද වැරදිය. රටේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ යුතුව තිබුණු ව්‍යාපාරයකි. එය පරාජය කිරීමේ ගෞරවය ආණ්ඩුවට ලැබිය යුතුය.

එහෙත් එහිදී ආණ්ඩුව විරුද්ධ පක්ෂය සමග නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගනිමින් එල්ටිටීඊය පරාජය කරන වැඩපිළිවෙළ ඒකාබද්ධව කරන දෙයක් බවට පත්කර ගත්තේ නම් ඊළඟට මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්නවලට ද ඒකාබද්ධව මුහුණදීමේ හැකියාව අපට ලැබෙන්නට ඉඩ තිබුණි. එක් අතකින් ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය හා එය ජය ලැබීමෙන් පසු එහි ජයග්‍රහණය මතවාදී වශයෙන් විරුද්ධ පක්ෂ ව්‍යාපාරයට එරෙහිව පාවිච්චි කරන විට විරුද්ධ පක්ෂ ව්‍යාපාර ද ජාත්‍යන්තර බලවේගයන්ගේ සහාය ඇතිව ආණ්ඩුව අස්ථාවර කිරීමේ අරමුණ වෙනුවෙන් අසාධාරණ ලෙස ජාත්‍යන්තරයට කේළම් කියන හා පැමිණිලි කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. දෙපක්ෂය අතර පැවති මෙම පසමිතුරු වැඩපිළිවෙළ ජාත්‍යන්තර තලයේ මතුවී තිබෙන ප්‍රශ්න සංකීර්ණ කොට උග්‍ර කිරීමට හේතුවිය. මෙම දෙපක්ෂය දැන්වත් මෙම තත්ත්වයෙන් අත්මිදී එක හඬකින් කතා කරන තැනකට යා යුතුය.

යුද්ධයකදී මිනිසුන් මියයෑම නොවැළැක්විය හැකිය. මානව අයිතිවාසිකම්ද උල්ලංඝනය විය හැකිය. ඒ දේ ජවිපෙ දෙවැනි කැරැල්ල මර්දනයේදීද සිදුවිය. එහෙත් එල්ටීටීඊය වැනි බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් විනාශ කිරීම සඳහා අඩු වන්දියක් මිස තරමට වැඩි වන්දියක් ශ්‍රී ලංකාව ගෙවා නැත. ඒ වෙනුවෙන් සන්සුන්ව හා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව අපට තිබිය යුතුය. එහෙත් අපට ඒ දේ සාර්ථක ලෙස කළහැකි වනු ඇත්තේ එක හඬකින් හා ආවේග වෙනුවට ප්‍රඥාවන්ත ලෙස කතා කරන තැනකට ආ හැකි නම් පමණය.