දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ 103 වැනි ජන්ම දින සමරුව වෙනුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ලියන ලද ලිපියක් ““මට රකින්න පරපුරක් නැත”” යන තේමාව යටතේ පසුගිය 17 වැනිදා ලංකාදීප පුවත්පතේ පළකොට තිබුණි. අද දේශපාලන තලයේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන එක් වැදගත්ම මාතෘකාවක් වන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරන ලද විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිශෝධනය කළයුතුද නැත්නම් ඒ ක්‍රමය අහෝසි කොට වෙනත් දේශපාලන ක්‍රමයක් ඇති කරගත යුතුද යන ප්රශ්නයයි. දැන් එක්සත් ජාතික පක්ෂය ඒ ගැන දරන නිල මතය වී ඇත්තේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවය. එය එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද දරන අවංක මතය වේ නම් ඒ විවාදයේ රශ්මිය මැද්දේ ජේ.ආර්. ජයවර්ධන පිළිබඳව ලියැවෙන ලියවිල්ලක එම අදහස් අඩු වැඩි වශයෙන් පිළිබිඹු විය යුතුය. මා රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ලියවිල්ල කියවන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන ගැන රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ කුමක්ද යන්න දැනගැනීම සඳහා පමණක් නොව, ජේ.ආර්. ජයවර්ධනගේම සුවිශේෂ නිර්මාණයක් ලෙස සැලකිය හැකි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය ගැන රනිල් කියන්නේ කුමක්දැ”යි දැනගැනීමේ කුතුහලයද ඇතිවිය.
රනිල්ට ජේ.ආර්. පෙනෙන හැටි
මේ ලිපිය රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කරන්නට දරන සාහසික උත්සාහයක් ලෙස හෝ ජේ.ආර්. ජයවර්ධන පාලන යුගය තුළ සිදුවූ බරපතළ වැරදි හුවා දක්වන පිළිවෙතක් තුළ මහින්ද රාජපක්ෂ පාලනය තුළ සිදුවන වැරදි ආරක්ෂා කිරීමට දරන උත්සාහයක් ලෙස හෝ නොසැලකිය යුතුය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපිය පාදක කොටගනිමින් ජේ.ආර්. ජයවර්ධන රටට හඳුන්වා දෙන ලද චෞර දේශපාලන ක්‍රමය වැඩිදුරටත් විග්රහ කොට දැක්වීමට මට අවශ්‍ය වී තිබෙන අතර, ඒ සමග ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු මහින්ද රාජපක්ෂ දක්වා වන ජනාධිපතිවරුන් මෙම ක්රමයේ දේශපාලන සිරකරුවන් බවට පත්ව සිටින ආකාරය පෙන්වාදීමට ද මට අවශ්‍ය වී තිබේ. මා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ නැත. මා විරුද්ධ වන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් රටට හඳුන්වා දෙන ලදුව රටේ අද දක්වා ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්රමයටය. එක්කෝ මේ ක්‍රමය ප්රතිශෝධනයකට ලක් කළ යුතුය.
නැතිනම් සුදුසු වෙනත් ක්‍රමයකට මාරුවිය යුතුය යන්න මා දරන මතයයි. එහෙත් ජේ.ආර්. ජයවර්ධන ඇති කර තිබෙන ක්‍රමය ප්රතිශෝධනයකට ලක්කිරීම හෝ වෙනස් කිරීම ප්රභාකරන් පරාජය කරනවාටත් වඩා දුෂ්කර හා සංකීර්ණ අභියෝගයකි. ඊළඟ වැදගත් දේ ප්රභාකරන්ගේ පැවැත්ම විසින් ශ්‍රී ලංකා සමාජයට ඇති කරන ලද හානියටත් වැඩි හානියක් මේ දේශපාලන ක්‍රමය විසින් ඇති කර තිබීමය. රනිල් වික්‍රමසිංහ ජේ.ආර්. ජයවර්ධන පිළිබඳව ලියා තිබෙන මෙම ලිපිය අනුව නම් ශ්‍රී ලංකාවේ සමස්ත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව බිහිකළ දැවැන්තම හා විශිෂ්ටතම ජනනායකයා ජේ.ආර්. ජයවර්ධනය. ඔහුට රකින්නට පරපුරක් හෝ බූදලයක් නොතිබුණේය. ඔටුනු පළඳවන්නට කුමාරයෙක් හෝ කුමාරිකාවක් නොසිටියේය. ඔහුගේ පරපුරත්, බූදලයත් ඔටුනු පළඳවන කුමාරයාත් හා කුමාරිකාවත් වූයේ මහජනතාවය. රනිල් වික්‍රමසිංහ මහතා මෙම ලිපියෙන් වැඩිදුරටත් විග්රහ කර තිබෙන ආකාරයට ““හැත්තෑ ගණන්වල මැද භාගය වන විට මේ රට පවුල් පාලනයේ හස්තයට හසුවී තිබුණි.
සමාජවාදී ජයග්‍රහණවලට මුවාවූ පාලකයෝ පවුලේ හා පවුලේ ඥාතීන් අතර තනතුරු හා වරප්‍රසාද බෙදාහදා ගත්හ. ආණ්ඩු බලය, පාලන බලය මෙන්ම ආර්ථික බලයද පවුලේ අය අතර බෙදාහදා ගෙන තිබුණි. පවුල් හවුල එකල විවිධ වරප්‍රසාද හා සැප සම්පත් භුක්ති වින්ද අතර, ජනතාව සමාජවාදයේ නාමයෙන් දුක් දොම්නස් විඳිමින් පීඩාවෙන් පීඩාවට පත්ව සිටියහ. රනිල්ට අනුව, දේශපාලනයේ පවුලට හා පවුලේ ඥාතීන්ට ලැබී තිබුණු මෙම වැදගත්කම අහෝසි කොට සියලු වරප්‍රසාද මහජනයාට ලැබෙන තත්ත්වයක් ඇති කළේ ජේ.ආර්. ජයවර්ධනය. ඔහු මූලික අයිතිවාසිකම්, නිදහස, ප්රජාතන්ත්රවාදය හා සමාජ සාධාරණත්වය ගරුකොට ගන්නා නව සමාජ ක්‍රමයකට මුල පිරුවේය. ඔහුට අනුව අද සමාජය පුරා දකින්නට ඇත්තේ ජේ.ආර්. එදා ආරම්භ කළ විප්ලවයේ ප්‍රතිඵල සලකුණුය. ගෙයින් ගෙට ඇති ජංගම දුරකථන හා රූපවාහිනී යන්ත්රද, මගින් මග ඇති මොටෝ සයිකල්, ත්‍රිරෝද රථ, යාන වාහනද, රට පුරා ඇදුණු විදුලි රැහැන්ද, මහා මාර්ග පද්ධතියද, නගරයක් නගරයක් පාසා අහස උසට තැනුණු ව්‍යාපාරික ගොඩනැගිලිද, ජාත්‍යන්තර මට්ටමේ ක්රීඩාංගණද, විදුලි ආලෝකය මැද්දේ කෙරෙන ක්‍රිකට් ඇතුළු වෙනත් ක්‍රීඩාද, මහා පරිමාණයේ නිවාස සහ වෙළෙඳ සංකීර්ණයන්ද ජේ.ආර්. 1977දී ආරම්භ කළ විප්ලවයේ ප්‍රතිලාභය…”” රනිල් වික්‍රමසිංහ ජේ.ආර්. ජයවර්ධන ගැන ලියන ලද එම ලිපිය අවසන් කර ඇත්තේ මෙසේය. “වළව්වකට, පවුලකට හෝ අතළොස්සකට ඔටුනු පළඳවන සමාජයක් නොව ජනතාවට ඔටුනු පළඳවන සමාජයක් බිහිකිරීම හා සමාජය ආරක්ෂා කිරීම එතුමාගේ අභිප්‍රාය විය. එතුමාගේ පාලන කාලය තුළ එතුමා එම අරමුණ සාක්ෂාත් කරගත්තේය.” මෙම විග්‍රහය රනිල් වික්‍රමසිංහ තමන්ගේ පරපුර ඔසවා තැබීමේ අරමුණින් ලියන ලද ඒකපාර්ශ්වික විග්‍රහයක් ලෙස සැලකිය හැකිය. මෙම ලිපියෙන් රනිල් වික්‍රමසිංහ සිය මාමාට අතිවිශාල වැදගත්කමක් ලබාදීමෙන් නොනැවතී ඔහුගේ සීයා කෙනකු ලෙස සැලකිය හැකි ඩී.ඇස්. සේනානායකගේ කාර්යභාරයද අතිශයෝක්තියට නගන්නට අමතක කර නැති බව ද කිවයුතුය.
ආර්ථික වර්ධනය සමග ලේ හැලීම
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නවීන දිසාවකට යොමු කිරීමේ ගෞරවය ජේ.ආර්. ජයවර්ධනට ලැබිය යුතු බවට සැකයක් තිබිය නොහැකිය. එසේම විවෘත ආර්ථික ක්‍රමයක් සඳහා ලෝකය යන ගමනේදී දකුණු ආසියාවේ රටවල් අතරින් නිදහස් ආර්ථිකයකට මුල පිරූ පළමු රට ශ්‍රී ලංකාව වන විට ශ්‍රී ලංකාව ඒ ඉලක්කය කරා යොමු කළ පාලකයා වීමේ ගෞරවය හිමිවිය යුත්තේද ජේ.ආර්. ජයවර්ධනටය. එහෙත් වෙළෙඳාම පාලනයෙන් නිදහස් කිරීම හා විදේශ ආයෝජනයට අනුබලදීමෙන් ඔබ්බට ගිය ප්‍රතිසංස්කරණ සඳහා වන ගැඹුරු දර්ශනයක් ජේ.ආර්. ජයවර්ධනට නොතිබුණි. ආර්ථික වර්ධනයත් සමග මහා පරිමාණයෙන් ලේ හැලෙන තත්ත්වයක් රටේ ඇතිවූයේ ඒ නිසාය. ජේ.ආර්. ජයවර්ධන ආදර්ශයට ගන්නට උත්සාහ කළේ සිංගප්පූරුවයි. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සිංගප්පූරුවක් බවට පත්කිරීම ඔහුගේ සිහිනය වී තිබුණි. ඒ මගින් තමන්ට ඒකාධිපති පාලනයකට සමාන විශාල බලයක් ලැබෙන ඒකපාක්ෂික පාලනයක් ඇති කිරීමද ඔහුගේ අභිලාෂය විය.
එක් අතකින් ජේ.ආර්.ට ආර්ථිකය නිදහස් කිරීමට අවශ්‍ය වූ අතර, අනෙක් අතට මිනිසුන් දේශපාලන වශයෙන් සිරකර තැබීමට අවශ්‍ය විය. ඔහු පාලක පක්ෂයට ආර්ථිකයේ සාරය උරාබීමේ අයිතිය ලැබෙන කොන්දේසියට යටත්ව ආර්ථිකය නිදහස් කළේය. ඒ සමග මිනිසුන් දේශපාලන වශයෙන් සිරකර තබන දේශපාලන ක්‍රමයක් ඇති කළේය. අද දක්වා ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ජයගැනීම පහසු නැති ලොකුම උභතෝකෝටික ප්රශ්නය එය ලෙස සැලකිය හැකිය. ජේ.ආර්.ගේ විප්ලවය ඇති කළ ලස්සණ දේවල් එකට එකතු කොට සාරාංශ ගතකිරීමට රනිල් වික්‍රමසිංහ සමත් වී ඇතත්, එම විප්ලවයේම ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවී තිබෙන අයහපත් හා අවලස්සණ දේවල් සාධාරණ ලෙස පෙන්වාදීමට රනිල් වික්‍රමසිංහ සමත් වී නැත. ජේ.ආර්. ජයවර්ධන මහජනයාට ආණ්ඩු වෙනස් කිරීමට තිබුණු හැකියාව බොහෝ දුරට සීමා කළේය. අවුරුදු පහකට වරක් ආණ්ඩු වෙනස් කරන ක්‍රමය අහෝසි කොට ආණ්ඩු වෙනස් කළ හැකි කාලපරාසය අවුරුදු 18ක් හෝ 24ක් තරමට දීර්ඝ කළේය.
විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට තිබෙන සාධාරණ ඉඩකඩ ද සීමා කළේය. දේශපාලන බලය සඳහා කෙරෙන තරගය පොදු දේපොළ කොල්ලකෑම සඳහා කරන තරගයක් බවට පත් කළේය. ඒ මගින් දේශපාලනය මහා පරිමාණයෙන් මුදල් උපයාගත හැකි මාර්ගයක් බවට පත් කළේය. පාලකයාට හා පාලක පක්ෂයට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමේ අයිතිය ලබා දුන්නේය. සමස්ත ආයතන ක්රමයම දේශපාලනකරණයට ලක් කළේය. වෘත්තීය සමිතිවලට හෙට්ටු කිරීමට තිබෙන බලය නැති කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයාට හෝ පාලක පක්ෂයට තමන් කැමති ලෙස උල්ලංඝනය කළ හැකි නොවැදගත් ලියවිල්ලක් බවට පත් කළේය. දූෂණය ආරක්ෂා කරගතයුතු හා ගෞරවයට හේතුවන ගුණ ධර්මයක් බවට පත් කළේය.
හොඳ ලක්ෂණ හා අධම ලක්ෂණ
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තුළ අගේ කළ යුතු යහපත් ගතිලක්ෂණ තිබුණා සේ ම තුච්ඡ කොට සැලකිය යුතු අධම ගති ලක්ෂණ ද තිබුණේය. ඔහු ස්ත්‍රී දූෂණ සිද්ධියකට අධිකරණය විසින් දඬුවම් කරනු ලැබූ පාතාල ලෝකයේ සාමාජිකයකු වූ ගෝනවල සුනිල්ට සමාව ප්රදානය කළේය. මූලික අයිතිවාසිකම් නඩු දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකුට පනවන ලද දඩ මුදල් රජයේ වියදමින් ගෙවනු ලැබුවා පමණක් නොව, එම පොලිස් නිලධාරීන් දෙදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස්වීම්ද ලබා දුන්නේය. මූලික අයිතිවාසිකම් නඩුවලදී ආණ්ඩුවට එරෙහිව තීන්දු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව මැරයන් යොදා තර්ජනය කෙරෙව්වේය. මහවැලි අමාත්‍යාංශයේ සිදුවන ගනුදෙනු ගැන අනවශ්‍ය තරමට සොයා බලන විගණන නිලධාරියකු මාරුකර යවන මෙන් ජනාධිපති සිය පෞද්ගලික ලේකම් මගින් විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
එය අසාධාරණ ඉල්ලීමක් ලෙස සලකා විගණකාධිපති එම ඉල්ලීම ඉටුකිරීමෙන් වැළකී සිටියේය. ඒ නිසා උදහසට පත් ජනාධිපතිවරයා විගණකාධිපතිට සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස නියෝග කළේය. විගණකාධිපතිවරයා තමන් ඉසිලූ තනතුරේ ගෞරවය ආරක්ෂා කරමින් ආදර්ශමත් රාජ්‍ය නිලධාරියකු ලෙස ගෙදර ගියේය. ජනාධිපතිවරයා විසින්ම අගවිනිසුරු ධුරයට පත් කළ නෙවිල් සමරකෝන් මහතා තමන්ට අවශ්‍ය ලෙස නැටවිය හැකි රූකඩයක් නොවන බව තේරුම් ගත් විට ජනාධිපතිවරයා ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ තමන්ට තිබූ හයෙන් පහේ බලය ප්‍රයෝජනයට ගනිමින් ඔහුට තනතුර අත්හැර යන තත්ත්වයක් ඇති කළේය. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයට ලොකුම කළු පැල්ලම එකතු කළ රාජ්‍ය නායකයා වන්නේද ජේ.ආර්. ජයවර්ධනය. 1985 ජූනි 4 වැනිදා යාපනයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමසාරිස්වරයා තෝරාගත් නිලධාරීන් 150 දෙනා වෙනුවට මැතිවරණයට ස්වල්ප වේලාවකට පෙර ඒ තැන පාලක පක්ෂයේ නියෝජිතයන් 150 දෙනකුගෙන් පුරවනු ලැබුවේය.
ඉන් සමහරෙක් දකුණෙන් ගෙනයනු ලැබූ කාර්යාල කාර්ය සේවකයන් වූ අතර, තවත් සමහරෙක් පාලක පක්ෂයට සම්බන්ධ පාතාල ලෝකයේ සාමාජිකයෝ වූහ. මැතිවරණයක් පැවැත්වීමේ බලය, ඒ සඳහා වන බලයලත් අධිකාරිය වූ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට පාලක පක්ෂය විසින් ක්‍රියාත්මක කළ ප්‍රථම අවස්ථාව එය විය. මෙම අශෝභන තත්ත්වය ඉදිරියේ මැතිවරණ කොමසාරිස්වරයා (එම්.ඒ. පියසේකර) මැතිවරණයෙන් පසුව සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඔහුගේ කට වසා තැබීම පිණිස ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු රෝමයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් කළේය. ජේ.ආර්. ජයවර්ධන ගොඩනගන ලද දේශපාලන ක්‍රමය කොතරම් බලවත් වුවත්, එය විධිමත් ලෙස ගොඩනගන ලද දේශපාලන ක්‍රමයක් නොවීය. එය තිබුණු පාර්ලිමේන්තු ක්‍රමයට විශේෂිත විධායක ජනාධිපති ක්‍රමයක් පූට්ටු කිරීමෙන් ඇති කරගත් අවිධිමත් ක්රමයකි.
මෙම පූට්ටු කිරීමට ආවේණික ව්‍යුහමය නොගැළපීම් නිසා ක්‍රමය නඩත්තු කිරීම හා පවත්වාගෙන යෑම සඳහා රටට ඔරොත්තු නොදෙන තරම් අතිවිශාල මිලක් ගෙවන්නට සිදුවී තිබේ.
වඩා වැදගත් පුද්ගලයාද? ක්රමයද?
රනිල් වික්‍රමසිංහ ජේ.ආර්. ජයවර්ධන පිළිබඳව කර තිබෙන විග්රහයට ඇතුළත්ව තිබෙන්නේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් කරන කියන ලද ලස්සණ දේවල් පමණය. මා මාගේ විග්රහයේදී ඔහු කරන කියන ලද අවලස්සණ දේවල් ගැන පමණක් කතා කර ඇත්තේ ලස්සණ දේවල් ගැන ඕනෑවටත් වඩා රනිල් වික්‍රමසිංහ කතා කර ඇති නිසාය. ජේ.ආර්. ජයවර්ධන රඟපෑ භූමිකාව පිළිබඳව හරි තක්සේරුවක් ඇති කරගත හැකිවනු ඇත්තේ ලස්සණ හා අවලස්සණ යන දෙපැත්තම සැලකිල්ලට ගැනීමෙනි. මාගේ අරමුණ ජේ.ආර්. ජයවර්ධනගේ අවලස්සණ ක්‍රියාකාරකම් ඉස්මතු කොට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සියලු ක්‍රියාකාරකම් යුක්තිසහගත කිරීම නොවේ. ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේ සේ ම ඉන්පසු පාලන යුගවල දකින්නට ලැබුණු සමහර අවලස්සණ ක්‍රියාකාරකම් මහින්ද රාජපක්ෂ පාලනය තුළද දැකිය හැකිය. එහෙත් මගේ මතය වන්නේ ඒවා පුද්ගලයා තුළින් පැන නගින ප්‍රශ්නයකට වඩා ක්‍රමය තුළින් පැන නගින ප්‍රශ්න බවය.
රටක් වශයෙන් හා සමාජයක් වශයෙන් අප මුහුණ දී තිබෙන අර්බුදයට පදනම් වී ඇත්තේද පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් නොව, ක්‍රමය පිළිබඳ ප්රශ්නයකි. ක්‍රමය වෙනස් කිරීමෙන් තොරව පුද්ගලයා වෙනස් කිරීමෙන් මෙම අර්බුදය ජයගත නොහැකිය. එහෙත් අවාසනාවකට මෙන් යහපත් වෙනස්කම් දිනාගැනීමට උනන්දුවක් දක්වන සමාජ බලවේගවල නිසි අවධානයට යොමුවී නැති කේන්ද්‍රීය ගැටලුව ඇත්තේද එතැනය. මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ කෙනකු හෝ තවත් කෙනකු බලයට ගැනීම මෙම අර්බුදයට විසඳුම වන්නේ නැත. දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීමේ ඇත්ත වුවමනාවක් දේශපාලන බලවේගයන්ට ඇති නම් හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ වුවමනාවට එරෙහිව බලවත් ලෙස ක්‍රියාකරයි නම් මහින්ද රාජපක්ෂ වෙනුවට ක්‍රමය වෙනස් කිරීමට අවංක වුවමනාවක් ඇති අන් නායකයකු ගැන සිහින දැකීම යුක්තිසහගතය. මෙම ක්‍රමය වෙනස් කිරීමේ ඇත්ත වුවමනාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබෙන බව නිශ්චිත නැතිවා සේ ම මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින නායකයන්ටද ක්‍රමය වෙනස් කිරීමේ බලවත් හෝ අවංක වුවමනාවක් ඇතැ”යි ද කිව නොහැකිය.
පවුලට ඇදීම
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට ජනතාව හැර ඔටුනු පළඳවන්නට කුමරකු හා කුමාරිකාවක නොසිටි බවට හා රකින්නට බූදලයක් නොතිබුණු බවට රනිල් වික්‍රමසිංහ කියා තිබෙන කතාවද තේරුමක් ඇති කතා ලෙස සැලකිය නොහැකිය. මෙම සටන් පාඨය තමන් “ධර්මිෂ්ඨ සමාජයක්” වැනි මහජනයාගේ ආකර්ෂණය සඳහා ජේ.ආර්. ජයවර්ධන විසින් ඉදිරියට ගනු ලැබූ හිස් සටන් පාඨයකි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට සිටි එකම පුතා තාත්තාගේ ඇවෑමෙන් රජකමට පත්වීමට සිහින දකින වර්ගයේ පුද්ගලයෙක් නොවීය. ඒ අර්ථයෙන් තමන්ට ඔටුනු පළඳන්නට කුමාරයකු හෝ කුමාරිකාවක නැතැ”යි කී කතාව සත්‍යයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සිය පවුලේ සාමාජිකයන්ට හා ඥාතීන්ට බර තබා ක්‍රියා නොකළ පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. පවුල්වාදය රටට මුලින්ම හඳුන්වා දෙන ලද්දේ එජාපය විසිනි. එය ආරම්භයේ ඥාතීත්වය අනුව කල්ලි ගැසුණු බලවත් පවුල් කල්ලියක් විසින් මෙහෙයවනු ලැබූ පක්ෂයක් විය.
එකල එම පක්ෂය හඳුන්වනු ලැබුවේද ““මාමා-බෑණා”” පක්ෂය වශයෙනි. ජේ.ආර්. ජයවර්ධන ද එම පවුල් කල්ලියේ සාමාජිකයෙක් විය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එම පක්ෂය අතහැර ගියේද පක්ෂය තුළ ක්රියාත්මකවෙමින් පැවති පවුල්වාදය තුළ තමන්ට අනාගතයක් නැතැ”යි කියන හැඟීම නිසාය. බණ්ඩාරනායක ගොඩනගන ලද ශ්‍රීලනිප තුළ ආරම්භක යුගයේදී පවුල් වාදයක් නොතිබුණි. එහෙත් පක්ෂ නායකත්වය සිරිමා බණ්ඩාරනායක අතට පත්වීමෙන් පසු මහා පරිමාණයේ පවුල්වාදයක් එම පක්ෂය තුළ ක්‍රියාත්මක විය. 1977 මැතිවරණයේදී ශ්‍රීලනිපයට එරෙහිව එජාප පාවිච්චි කළ තුරුම්පු අතර ශ්‍රීලනිපයේ පවුල් ගසද වැදගත් තුරුම්පුවක් විය. ජේ.ආර්. ජයවර්ධන එම තුරුම්පුව ශ්‍රීලනිපයට එරෙහිව පාවිච්චි කරන අවස්ථාව වන විටත් එජාප තුළද එක්තරා ප්‍රමාණයකට පවුල්වාදයක් තිබුණි. ජේ.ආර්. ජයවර්ධන පාලන ක්‍රමය තුළ පවා පවුලේ සාමාජිකයන්ට හා ඥාතීන්ට විශේෂ හැන්දකින් බෙදන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය.
රුහුණු විශ්වවිද්‍යාලය ඉදිකළ බැලස් නිව්හැම් සමාගමේ පඩි ලැයිස්තුවේ ජයවර්ධන පවුලේ සාමාජිකයන් තිදෙනකුගේද නම් ඇතුළත්ව තිබුණු බව මා අසා ඇත්තේ රොනීද මැල්ගෙනි. හිල්ටන් හෝටලය ඉදිකළ මිට්සුයි සමාගමේ පඩි ලැයිස්තුවට ද ජයවර්ධන පවුලේ සාමාජිකයන් තිදෙනකුගේ නම් ඇතුළත්ව තිබුණු බව මා දැනගත්තේ එම සමාගමේ වැඩ කළ මගේ මිත්‍රයකු වූ ජපන් ඉංජිනේරුවකුගෙනි. ශ්‍රී ලංකාවේ සිදුවූ මහා පරිමාණයේ ඉදිකිරීම් පිටුපස සිටි ප්‍රධාන සමාගම් අතර මිට්සුයි සමාගම කැපී පෙනෙන තැනක් හිමි කරගෙන සිටියේය. හිල්ටන් හෝටලය, පාර්ලිමේන්තු සංකීර්ණය, ජයවර්ධනපුර රෝහල වැනි ව්‍යාපෘතිවල ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා ලෙස ක්‍රියා කළේ එම සමාගමය. එම සමාගමේ දේශීය නියෝජිතයා වූයේ ජයවර්ධන පවුලේ සාමාජිකයෙකි. 83 කළු ජූලියේදී දවා අළු කෙරුණු ගොඩනැගිලි අතර ජයවර්ධන ආර්යාවට අයත් පිටකොටුවේ බෝධිය අසල ඇති ලීලා ස්ටෝර්ස් ගොඩනැගිල්ලද විය.
එම ගොඩනැගිල්ල සිය වියදමෙන් නොමිලේ නැවත ඉදිකර දුන්නේ ද මිට්සුයි සමාගමය. ජයවර්ධන පාලන යුගය තුළ සිය පක්ෂයට ආධාර කළ ව්‍යාපාරිකයන් පිරිසකට නිසි ආරක්ෂණ ලබාගැනීමෙන් තොරව රාජ්‍ය බැංකු මගින් විශාල වශයෙන් ණය ලබාදී ඒවා ආපසු අයකර ගැනීමකින් තොරව කපා හරින ලදි. මහජන බැංකුව විසින් පමණක් ඒ කාලයේ කපා හරින ලද ආපසු නොගෙවන ලද ණයවල වටිනාකම රුපියල් කෝටි 600කි. ණය කපාහරින ලද ලැයිස්තුවේ තිබෙන නම් අතර ජයවර්ධන පවුලට සම්බන්ධ ඥාතීන් ගණනාවකගේ නම් ද දැකිය හැකිය. ජයවර්ධන ජනාධිපතිවරයා සිය පාලන යුගයේදී ආර්ථික අමාරුකම් නිසා බොහෝ කලකට පෙර චීන තානාපති කාර්යාලයට විකුණා තිබූ සිය මහගෙදර රජයේ වියදමෙන් ආපසු මිලදී ගෙන රජයේ වියදමෙන් තමන් වෙනුවෙන් කෞතුකාගාරයක් ඇති කර ගත්තේය. ජයවර්ධන ජනාධිපතිවරයාට රකින්නට බූදලයක් නොතිබුණේයැ”යි කියන කතාවද විකාරයකි.
ඔහුට රකින්නට පොඩි බූදලයක් නොව ලොකු බූදලයක් තිබුණේය.
වස්තුව කොල්ලකන ක්‍රමයක් ඇති කිරීම
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ සේ ම එකල එජාපයේ සභාපති පණ්ඩිතරත්නගේද පරමාදර්ශී වීරයා වූයේ නැපෝලියන්ය. ජේ.ආර්. ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් දිග් විජය කළේද නැපෝලියන් යුරෝපය දිග් විජය කළ ආකාරයටමය. ඔහු තමන්ගේ හමුදාවේ නිලධාරීන්ට හා සෙබළුන්ට ආක්‍රමණය කොට අල්ලාගන්නා නගරවල වස්තුව කොල්ලකන්නට ඉඩ දුන්නේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද බලය ලබාගත් පසු සිය දේශපාලන කණ්ඩායමට රටේ පොදු වස්තුව කොල්ලකන්නට ඉඩ දුන්නේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දේශපාලන ක්‍රමය සකස් කර තිබුණේද ඊට උචිත ආකාරයටය. දේශපාලන බලය රටේ වස්තුව කොල්ලකන සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පත්වීම ආරම්භ වන්නේද ඒ සමගය. ජයවර්ධන ආණ්ඩුවේ ඇතැම් කෙරුම්කාරයන්ට එරෙහිව එල්ලවෙමින් තිබුණු දූෂණ චෝදනා නිසා ජනාධිපතිවරයා මහජනයා සතුටු කරනු පිණිස අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා රජයේ නිලධාරීන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා පරීක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කොලින් තෝමේ මහතාගේ සභාපතිත්වයෙන් 1986දී විශේෂ ජනාධිපති කොමිසමක් ඇති කළේය.
කොමිසමට පැමිණිලි ගලා ආවේය. පසුකලක කොලින් තෝමේ මහතාගෙන්ම දැනගන්නට ලැබුණු පරිදි ලැබී තිබුණු පැමිණිලි අතර කැබිනට් ඇමතිවරුන් ගණනාවකට එරෙහිව ඉදිරිපත්වූ පැමිණිලි ද තිබුණි. නිල වාර්තා අනුව 1987 සැප්තැම්බර් 20 වැනි දින තෙක් ඊට ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 1973කි. කොමිසම සිය කටයුතු කරගෙන යන අතර කිසිම හේතුවක් නොදන්වා ජනාධිපතිවරයා 1987 සැප්තැම්බර් අවසානයේදී කොමිසම අහෝසි කළේය. ජේ.ආර්. ජයවර්ධන ඇති කළ මෙම දේශපාලන ක්‍රමය තුළ විධායක ජනාධිපති අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට වග නොකියයි. වගකියන්නේ ජනාධිපතිවරණයකදී ජනතාවට පමණය. ක්‍රමය සකසා තිබෙන්නේ ද තෝරා පත්වන ජනාධිපතිවරයාට නිල කාල දෙකක් (අවුරුදු 12ක්) පාලන බලයේ සිටිය හැකි ආකාරයටය. මේ ක්‍රමය තුළ ඇති ලොකුම දෝෂය ලෙස සැලකිය හැක්කේ මෙම ක්‍රමය තුළ මුක්තියේ ආවරණය විධායක ජනාධිපතිට සීමා නොවී විධායක ජනාධිපතිගේ අනුග්‍රහය ලැබෙන සමස්ත දේශපාලන කණ්ඩායමට අනියම් ලෙස ජනාධිපතිට ලැබී තිබෙන මුක්තියේ ආවරණය ලැබී තිබීමය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවත්වාගෙන යෑමට විශාල මහජන වියදමක් දරනු ලැබේ. 1977න් පසු තිබුණු අල්ලස් දෙපාර්තමේන්තු ක්රමයේ සිට ඉන්පසු ඇතිවන කොමිසම දක්වා එදා සිට අද දක්වා ඒ ඒ කාලවකවානුවල ආණ්ඩු බලයට සම්බන්ධ දේශපාලකයන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 100කට වැඩිවිය හැකිය. එහෙත් එයින් එකුදු පුද්ගලයකු හෝ වරදකරු කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සමත් වී නැත. නාමික අර්ථයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ ජනාධිපති රැකවරණය නොලැබෙන පුද්ගලයන්ට පමණය. පවතින යථාර්ථය එය නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමක් තිබිය යුත්තේ ඇයි? එවැනි කොමිසමක් පවත්වාගෙන යෑම වෙනුවෙන් විශාල වියදමක් දැරිය යුත්තේ ඇයි? තිබෙන විධායක ජනාධිපති ක්‍රමය මේ ආකාරයෙන්ම පවත්වාගෙන යායුතුද, නැතිනම් එය ප්‍රතිශෝධනය කළ යුතුද? නැතිනම් වෙනස් ක්‍රමයකට මාරුවිය යුතුද යන ප්රශ්නය ගැන හරි තීන්දුවක් ගතහැකි වනු ඇත්තේ ඒ ගැන අර්ථවත් සංවාදයක යෙදීමෙන් පමණය.