කේ පී අසුවීම

August 16, 2009
Publication:
Taking KP abroad and bringing him to Sri Lanka is a considerable victory, Ivan writes, not only because he led the diaspora's notional state after Prabhakaran but because he ran the LTTE's arms purchasing — and everyone in custody now talks. He notes that the low turnout at the two northern council elections shows the Tamil people's unease is not over.

ප්‍රභාකරන්ගේ එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් නොනැවතී ඒ මහා පරාජයෙන් පසුව දෙමළ ඩයස්පෝරාවේ එල්ටීටීඊ අනුගාමිකයන් විසින් ඇති කරගත් පාරජාතික රාජ්‍යයේ නායක කේ.පී. ද විදේශ රටක සිටියදී අල්ලාගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අත්පත් කරගත් තවත් සුවිශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. කේ.පී. අත්අඩංගුවට ගන්නා ලද බව කියන්නේ මැලේසියාවේ සිටියදීය. තමිල් චෙල්වම්ගෙන් පසු එල්ටීටීඊයේ දේශපාලන අංශයේ ප්‍රධානියා බවට පත් නඩේසන්ගේ සහෝදරයා, නඩේසන්ගේ පුත්‍රයා සමග තාවකාලිකව නැවතුම් ගෙන සිටි ක්වාලාලාම්පූර්හි සුපිරි හෝටලයක සිටියදී කිසියම් කණ්ඩායමක් කේපී පැහැර ගත් බව කියනු ලැබේ. එහෙත් මැලේසියාවේ අගමැතිවරයා කියා තිබෙන්නේ එම සිද්ධිය ගැන තමන් කිසිවක්ම නොදන්නා බවය. තමන් දන්නා රහස් ආරක්ෂා කරගැනීම සඳහා අත්අඩංගුවට පත්වූ විට සයනයිඩ් කා දිවි නසා ගැනීමේ සම්ප්‍රදාය දැන් එල්ටීටීඊ නායකයන් හෝ ආධාරකරුවන් සම්බන්ධයෙන් වලංගු නැත.

යුදමය වශයෙන් ලැබූ දැවැන්ත පරාජයෙන් පසු අත්අඩංගුවේ සිටින සියලු දෙනා දැන් තමන් දන්නා තොරතුරු අඩු වැඩි වශයෙන් කතා කරති. මෙම ධර්මතාව කේපීට ද අදාළය. කේපී වැදගත් වනුයේ ඔහු ප්‍රභාකරන්ගෙන් පසු විදේශගත එල්ටීටීඊ ආධාරකරුවන් ඊළඟට අහසේ ගොඩනගන පාරජාතික රාජ්‍යයේ නායකයා වන නිසා පමණක් නොව, එල්ටීටීඊයට විදේශ වශයෙන් අවශ්‍ය කරන අවි ආයුධ මිලදී ගැනීම් ව්‍යාපාරය මෙහෙයවූ ප්‍රධානියා ද නිසාය. තමන් අවි ආයුධ මිලදී ගත් තැන් පමණක් නොව, ඒවාට අවශ්‍ය මුදල් ලැබුණු ආකාරයත්, ඒවා නැවත ශ්‍රී ලංකාවට එවන ලද ආකාරයත් හෙළිදරව් කිරීමට ඔහුට සිදුවනු ඇත්තේය. ඔහුගෙන් ලැබෙන තොරතුරු මත විදේශ ජාලයට සම්බන්ධ පුද්ගලයන් රැසක් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත්තේය. එල්ටීටීඊය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද තවදුරටත් ඉදිරියට යා නොහැකි තැනක හිරවෙමින් සිටින බව පෙනේ.

එල්ටීටීඊය චිත්‍රයෙන් මුළුමනින් මැකීයමින් තිබුණද ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා අතර පවතින අසහනය හා පීඩනය අවසන් වී නැති බව උතුරේ පැවති නගර සභා ඡන්ද දෙකේදී බහුතර පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටි තත්ත්වයෙන් පැහැදිලිව පෙනී යයි. අවතැන්වූවන් පිළිබඳ ප්‍රශ්නය තවමත් අවසන් නොවූ සංකීර්ණ ගැටලුවක් ලෙස ඉතිරි වී පවතී. දෙමළ ජනයාට දෙන්නට යන දේශපාලන විසඳුම කුමක්ද යන්නද තවමත් හරිහැටි පැහැදිලි නැත. කඳවුරුවල සිටින අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුවනු ඇතත්, දෙමළ ජනයාට දෙන්නට යන දේශපාලන විසඳුම කුමක්ද යන්න පැහැදිලිව රටට දැනගන්නට ලැබෙනු ඇත්තේ ජනාධිපතිවරණයේදී හෝ ඉන්පසුවය. එහෙත් දෙන්නට යන දේශපාලන විසඳුම කුමක්ද යන්න ප්‍රකාශ නොකර දෙමළ ජනයා අවිනිශ්චිත තත්ත්වයක තැබීම යහපත් නැත.