දේශපාලන ක්‍රමයේ වෙනසකට කාලය පැමිණ තිබේ

August 9, 2009
Publication:
Forty thousand of the displaced have been resettled and the government means to finish in 180 days. Ivan asks that the camps at least be opened to members of parliament — nothing the state does should lie outside their oversight — and argues that with three elections ahead, the country is waiting for a change in the system rather than a change of government.

අවතැන් කඳවුරුවල සිටින අයගෙන් හතළිස් දහසක් නැවත පදිංචි කර ඇති බව ආණ්ඩුව කියයි. මැණික් ෆාම් කඳවුරේ 4094 දෙනකු 5 වැනිදා සිය මුල් ගම් බිම්වල පදිංචි කරවා තිබෙන අතර, මාස තුනක කාලයක් තුළ 80,000ක ඉලක්කය සැපිරීමත්, දින 180ක් තුළ නැවත පදිංචි කරවීම් අවසන් කිරීමටත් ආණ්ඩුව බලාපොරොත්තු වේ. නැවත පදිංචි කිරීමේ කටයුතු කඩනමින් සිදුකිරීම යහපත් ක්‍රියාවකි. ඒ සමග කඳවුරුවල දොරටු අඩුම වශයෙන් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සීමාවන ලෙසවත් විවෘත කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධීක්ෂණයට යටත් නොවන රජයේ කිසිවක් නොතිබිය යුතුය. උතුරේ පැවැත්වෙන නගර සභා ඡන්ද දෙකද මේ දක්වා බරපතළ සිදුවීම්වලින් තොරව නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීමට හැකිවීම යහපත් තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර, ඒ තත්ත්වය ඡන්ද විමසීම අවසන් වන තෙක් ආරක්ෂා කරගැනීම ආණ්ඩුවේ වගකීමකි.

ඡන්ද නිරීක්ෂණ ආයතනවල මතය වී ඇත්තේ ද එම නගර සභා දෙකේ පැවැත්වෙන මැතිවරණ කටයුතු නිදහස් හා සාධාරණ තත්ත්වයක පවත්නා බවය. එල්ටීටීඊය දර්ශනයෙන් ඉවත් කර තිබෙන තත්ත්වයක් තුළ උතුරු නැගෙනහිර පළාත්වල ආයුධ අතැ”තිව සිටින දේශපාලන පක්ෂ හැකි ඉක්මනින් මුළුමනින් නිරායුධ කළ යුතුය. අවි අත ඇතිව සිටීමේ අයිතිය තිබිය යුත්තේ ආරක්ෂක හමුදාවට පමණය. නැගෙනහිර ආණ්ඩුකාරවරයා ආශ්‍රයෙන් නැගෙනහිර පළාත් සභා ආණ්ඩුවට තිබෙන දුක්ගැනවිලිවලට සාධාරණ විසඳුමක් ලබාදිය යුතුය. මහජන ඡන්දයෙන් තේරී පත්වී තිබෙන ආණ්ඩුවට පරීක්ෂාවට යටත්ව පළාත් ආණ්ඩුවේ කටයුතු තීරණය කිරීමේ හා මෙහෙයවීමේ බලය දිය යුතුය. කතරගම දේවාලයේ පැවති උත්සවයට වෙන කවරදාකවත් නැති තරමේ අතිවිශාල දෙමළ ජනතාවක් සහභාගිවීමෙන් පෙනී යන්නේ යුද්ධය අවසන්වීමෙන් පසු යුද්ධය ඇති කළ තුවාල වේදනාවක් තිබියදීත් ක්‍රමානුකූලව දෙමළ ජනතාව නැවත සාමාන්‍ය ජීවිතයට යොමුවෙමින් සිටින බවය.

මඩු මංගල්‍යයට ද විශාල ජනතාවක් සහභාගිවිය හැකි බව පෙනෙන්නට තිබේ. දැන් රට ඉන්නේ මැතිවරණ කාලයකය. දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරණයත්, ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වෙනු ඇත. මේ මැතිවරණවලින් ආණ්ඩු වෙනසක් ඇතිවීමට ඉඩක් නැතත්, රට තිබෙන්නේ දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් අපේක්ෂා කරන තැනකය. ආණ්ඩුව අපේක්ෂා කරන වෙනස්කම් තිබෙනවා සේ ම විපක්ෂය අපේක්ෂා කරන වෙනස්කම් ද පවතී. 1977දී ඇති කරන ලද විධායක ජනාධිපති ක්‍රමය විසින් සීමාසහිතකම් තිබියදීත් එතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ ඇතිකර තිබෙන විකෘතිය නිවැරදි කරගත යුතුය. එය විධායක ජනාධිපති ක්‍රමයක් තිබියදී සේ ම, විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන ක්‍රමයක් තුළ ද එම විකෘතිය නැති කළ හැකිය. මෙම ක්‍රමයේ තිබෙන දුෂ්ටම ලක්ෂණය වනුයේ බලයට පත්වීම සඳහා අතිවිශාල මිලක් ගෙවන්නට සිදුවීමත්, බලයට පත්වන කවර පාලක පක්ෂයක් වුවත්, බලයට පත්වීම සඳහා ගෙවන ලද අතිවිශාල මිල පොදු දේපළවලින් ආපසු අයකර ගැනීමත්ය.

මෙම දේශපාලන ක්‍රමය ස්ථාපිත කර තිබෙන්නේ දූෂණය අත්තිවාරම කොටගනිමිනි. ඒ නිසා මේ ක්‍රමය තුළ දූෂණය පාලනය කිරීමේ හැකියාවක් නොපවතී. පවතින දේශපාලන ක්‍රමය නඩත්තු කිරීම සඳහා ද රටට ඔරොත්තු නොදෙන තරම් අතිවිශාල මිලක් ගෙවන්නට සිදුවී තිබේ. දේශපාලන ක්‍රමයේ වෙනසක් වීදි සටන්වලින් දිනාගත නොහැකිය. ඒ සඳහා බලවත් මහජන අධ්‍යාශයක් තිබිය යුතුවා සේ ම දේශපාලන පක්ෂ අන්‍යොන්‍ය අවබෝධයෙන් වැඩ කරන තත්ත්වයක් ද තිබිය යුතුය. දේශපාලන ක්‍රමයක් සකස් කළ යුත්තේ ජේ.ආර්. කළා සේ ම රටේ පාලකයාගේ ඔළුවට ගැළපෙන ලෙස නොව, රටට ගැළපෙන ලෙසය. එය වර්ග, ආගම් හා කුල වශයෙන් බෙදී සිටින මහජනයා ජාතියක් ලෙස එකට ඒකරාශී කරන දේශපාලන ක්‍රමයක් විය යුතුය. ජනතාවට උපරිම දේශපාලන නිදහසක් ලබාදෙන, පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් සුරකින, නීතියේ ආධිපත්‍යය රජයන ක්‍රමයක් විය යුතුය.