මහින්ද රාජපක්ෂගේ හතර අවුරුද්ද

August 2, 2009
Publication:
The president may call an election as soon as four years of his term are done — a power added to the constitution by amendment for the benefit of the incumbent and now enjoyed by all of them. Ivan takes stock of the four years: the LTTE gone with not even a ghost of Prabhakaran left, the whole territory in the state's hands, and the question of whether the respect of opponents as well as supporters can be won.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ධුර කාලයේ සිටි වසර හතර සම්පූර්ණ කළ වහාම දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයකට යෑමට නියමිතය. විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කළ 77 ව්‍යවස්ථාවට ධුර කාලයේ සිව් වසරක් සම්පූර්ණ කිරීමෙන් පසු තමන් කැමති අවස්ථාවක දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අයිතිය ජනාධිපතිවරයාට ලැබෙන විධිවිධාන මුලදී ඇතුළත්ව නොතිබුණි. එම විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළත් වූයේ ව්‍යවස්ථා සංශෝධනයක මාර්ගයෙනි. එය ධුරයේ සිටින ජනාධිපතිවරයාගේ වාසිය පිණිස ඇති කරන ලද විධිවිධානයක් වන අතර, දැන් එය ධුරයට පත්වන සියලු ජනාධිපතිවරුන් භුක්ති විඳින අයිතියක් බවට පත්ව තිබේ. දෙවැනි ධුර කාලයක් සඳහා තරග කිරීමේ වාසනාව මෙතෙක් භුක්ති විඳින ලද්දේ ජේ.ආර්. ජයවර්ධන හා චන්ද්‍රිකා කුමාරතුංග පමණය. ජේ.ආර්. ජයවර්ධනට සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට අවශ්‍ය වූයේ දෙවැනි ධුර කාලය සඳහා පැවැත්වෙන තරගයකට සහභාගිවීමට ඇයට අවස්ථාවක් නොදීමේ අරමුණිනි.

ජේ.ආර්. ජයවර්ධන කොතරම් බලවත් පාලකයකු වුවත්, ජනාධිපතිවරණයකදී බණ්ඩාරනායක මැතිනියගෙන් එල්ලවිය හැකි බලවත් අභියෝගයක් පිළිබඳව හිතේ ඇති කරගත් බියක් ඔහු තුළ තිබුණු බව ඉන් පෙනීයයි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද දෙවැනි ජනාධිපතිවරණයට තරග කළේ රනිල් වික්‍රමසිංහ පිළිබඳව හිතේ ඇති කරගත් චකිතයක් ඇතිවය. දෙවැනි ජනාධිපතිවරණය වන විට ඇගේ ජනප්‍රියභාවය කිසියම් විශාල ප්‍රමාණයකට වාෂ්ප වී තිබුණු අතර, ටවුන්හෝල් බෝම්බ සිද්ධිය නොවේ නම් එය ජය පරාජය කීමට පහසු නැති ළඟ ළඟ තරගයක් වන්නට ඉඩ තිබුණි. 2005 ජනාධිපතිවරණය ජයගැනීමේ වැඩි වාසිය තිබුණේ රනිල් වික්‍රමසිංහටය. එහෙත් තමන්ට තිබුණු වාසිදායක තත්ත්වය විචක්ෂණ ලෙස පාවිච්චි කිරීමට රනිල් වික්‍රමසිංහ අසමත්වීම හේතු කොටගෙන හා තමන්ට තිබුණු අවාසිදායක තත්ත්වය මහින්ද රාජපක්ෂ විචක්ෂණ ලෙස යොදා ගැනීමට දක්ෂ වීම නිසාද රනිල් පරාජය වී මහින්ද ජයගත්තේය.

බලයට පත්වූ මුල් වකවානුවේදී නගරබද උගත් සමාජය ජනාධිපති මහින්ද රාජපක්ෂ දකින ලද්දේ බැ?රුම් රාජ්‍ය පාලකයකු ලෙස නොව, ජනප්‍රිය දේවල් පසුපස හඹායන නිසි පළපුරුද්දක් හෝ ඉදිරි දර්ශනයක් නැති ළාමක රාජ්‍ය නායකයකු ලෙසය. ඔහුගේ පාලන කාලය තුළ රට අඳුරු අගාධයකට තල්ලු වී යනු ඇති බව ඔවුන් අතර පැවති විශ්වාසය විය. එහෙත් ඔවුන් ඇති කරගෙන තිබුණු තක්සේරුව නිවැරදි නොවීය, ඔහු අවුරුදු හතළිහක දේශපාලන අත්දැකීම් තුළ හොඳින් පදම් වූ නායකයෙක් විය. මහජන සිතුම් පැතුම් ගැන සේ ම දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔහුට සියුම් දැනුමක් තිබුණි. යුද්ධය ඔහු උරගා බැලීමකට ලක් කෙරුණු ලොකුම අවස්ථාව ලෙස සැලකිය හැකිය. එහිදී ඔහු තම පූර්වගාමීන් ගිය මග අතහැර අලුත් එකක් තෝරා ගත්තේය. එල්ටීටීඊය සමග ඇති කරගන්නා සාකච්ඡාමය විසඳුමක් වෙනුවට එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන වැඩපිළිවෙලක් තුළ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම ඔහුගේ අපේක්ෂාව විය.

ඒ මගින් ඔහු ප්‍රශ්නයේ බාහිරය වෙනුවට අභ්‍යන්තරයට අතගැසුවේය. ඔහු තෝරාගත් යුද්ධයේ මාවත බොහෝ දෙනකු දැක්කේ ගැලවීමේ මාවතක් ලෙස නොව, විනාශයේ මාවතක් ලෙසය. ඔහු තෝරා ගත් මාවත පිළිගත් සාම්ප්‍රදායික මාවතට පටහැනිවීම හේතු කොටගෙන සාම්ප්‍රදායික මාවතේ සිටි දේශීය විදේශීය බලවේග ඔහුට එරෙහිව බලවත් ලෙස නැගී සිටියේය. ඔහු තමන්ට එරෙහිව එල්ල වන විවේචන හා සම්බාධක නොසලකා තමන් තෝරාගත් හිතුවක්කාරී මාවතේම ගමන් ගත්තේය. ඒ නිසා පැන නැගී ආර්ථික සම්බාධක ජයගැනීම සඳහා විකල්ප විදේශ බලවේග තෝරාගනිමින් අහිමි වන ආර්ථික ප්‍රතිලාභ සාර්ථක ලෙස ඌනපූර්ණය කළේය. අවසානයේ කිසිවකුත් නොසිතූ ආකාරයට සමස්ත එල්ටීටීඊ ව්‍යාපාරයම විනාශ කිරීමට ඔහු සමත් විය. යුද්ධයට මුළුබර යොදා ක්‍රියා කරන අතර යටිතල පහසුකම් වර්ධනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔහු තම යුද අරමුණු ජයගැනීම සඳහා දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය.

ඒ නිසා සාධාරණ හේතු ඇතිව හෝ නැතිව යුද්ධ ව්‍යාපාරයට එරෙහිව ක්‍රියාකරන්නන් ද මර්දනය කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ නිසා පැහැදිලි ඉදිරි දැක්මක් නැතිව යුද විරෝධී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ ජනමාධ්‍යවේදීහු ද එම මර්දනයේ ගොදුරු බවට පත්වූහ. මේ සියලු හොඳ නරක දේ මැද ඔහු නිදහසින් පසු බිහිවූ බලවත්ම රාජ්‍ය නායකයා ලෙස ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැගීමක්ද සිදුවිය. පළමු අවුරුදු හතර තුළ ක්‍රමයෙන් ජනප්‍රියභාවය වියැකෙනවා වෙනුවට නොකඩවා වර්ධනය විය. යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා මිලිටරි ආණ්ඩුවකට බර තබන ප්‍රතිපත්තියකට ඔහු මාරුවෙමින් සිටින බවට ද උගත් විචාරක සමාජය තුළ බලවත් සැකයක් ගොඩ නැගී තිබුණි. එහෙත් යුද්ධයේ අවසානයත් සමග ඔහු ඒ සැකය ද නැති කිරීම සඳහා ක්‍රියා කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මුල් අවුරුදු හතරේ පාලනය තුළ යහපත් ලක්ෂණ සේම අයහපත් ලක්ෂණ ද දැකිය හැකිය.

ලැබූ ජයග්‍රහණ අතර ලොකුම ජයග්‍රහණය ලෙස සැලකිය හැක්කේ ලෝකයේ ලොකුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස පැවති එල්ටීටීඊයේ පැවැත්ම අහෝසි කිරීමය. ප්‍රභාකරන් කෙනෙකු තබා ප්‍රභාකරන්ගේ අවතාරයක්වත් දැන් ඉතිරි වී නැත. එල්ටීටීඊයේ බලවත් වැඩි පිරිසක් ඉන්නේ පරලෝකයේය. ඉතිරි අය සිටින්නේ අවතැන්වූවන්ගේ කඳවුරුවලය. කිසිවකුට වනාන්තර ගතවීමට ඉඩක් නොලැබුණි. දැන් රටේ භූමියේ අයිතිය පරිපූර්ණ වශයෙන්ම රජයට හිමිවී ඇත්තේය. දැන් ආයුධ අත ඇතිව සිටින්නේ ආයුධ අත ඇතිව සිටීමේ අයිතිය ඇති රජයේ ආරක්ෂක හමුදා පමණය. යුද්ධය හේතුවක් කරගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව නිල හා නොනිල වශයෙන් පනවන ලද ආර්ථික සම්බාධක ද ජයගැනීමට ආණ්ඩුව සමත් වී තිබේ. මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ණය මුදල නොලැබෙනු ඇති බවට පැවති ප්‍රකට විශ්වාසය බොරු කරමින් ඩොලර් කෝටි 250ක (රුපියල් කෝටි 25,000ක්) ලබාදීමට මූල්‍ය අරමුදල එකඟ වී තිබේ.

චීනයද අවතැන්වූවන් යළි පදිංචි කිරීම හා උතුරේ සංවර්ධන කටයුතු සඳහා ඩොලර් බිලියන 1.2ක ආධාර ලබාදීමට එකඟ වී ඇති අතර, ඉන්දියාව ද දැනටමත් ඩොලර් මිලියන 500ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වැඩසටහන මුල් අදියරය වශයෙන් ලබාදී තිබේ. මහා බ්‍රිතාන්‍යය ද පවුම් මිලියන 308ක ආධාර ලබාදීමට එකඟ වී ඇති අතර, ඩොලර් වටිනාකම අනුව එම මුදල ඩොලර් බිලියනයකට ආසන්නය. ජයගැනීමට තවත් ඉතිරි වී ඇත්තේ GSP+ කඩුල්ල පමණය. ඇත්ත වුවමනාවක් ඇතොත් එම කඩුල්ලද ජයගත හැකිය. දරුණු ද්‍රවශීල ප්‍රශ්නයකට හෝ ගෙවුම් ශේෂ හිඟයකට මුහුණදීමකින් තොරව රටේ ආර්ථික කටයුතු සේම සංවර්ධන කටයුතු ද ඉදිරියට ගෙන යා හැකිය. යුද්ධයක් තිබියදී හා රටේ ආර්ථික අමාරුකම් තිබියදී ආණ්ඩුව මාර්ග ඉදි කළේය. නොදියුණු මාර්ග නවීන මාර්ග බවට පත් කළේය. ගම්වල අතුරු මාර්ග වෙන කවර ආණ්ඩුවක්වත් නොකළ ආකාරයට සංවර්ධනය කළේය.

ගුවන් පාලම් ඉදිකළේය. බලශක්ති බලාගාර, වරායවල් හා ගුවන්තොටුපොළ ඉදිකරමින් සිටී. යුද්ධයේ අවසානයක් ඇතිවන තෙක් නොසිට දෙමළ ජනයාට අහිමිකර තිබූ සමහර අයිතිවාසිකම් ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මේ සියල්ල පසුගිය රාජපක්ෂ සිටි අවුරුදු හතරක පාලනය තුළ දක්නට ලැබුණු යහපත් ලක්ෂණ ලෙස සැලකිය හැකිය. ඒ අතරතුර රාජ්‍ය පාලනය තුළ දැකිය හැකි අයහපත් ලක්ෂණ ද ඇත්තේය. ඉන් සමහරක් පවතින දේශපාලන ක්‍රමයේ නොවැළැක්විය හැකි ප්‍රතිඵල ලෙසද, තවත් සමහරක් රාජ්‍ය නායකයාට අවශ්‍ය නම් පාලනය කළහැකි වැරදි ලෙස ද සැලකිය හැකිය. රාජපක්ෂ ආණ්ඩුවට ද රටේ පවතින දූෂණය හා නාස්තිය පාලනය කිරීමට හැකිවී නැත. රටේ පවතින දේශපාලන ක්‍රමය තුළ දේශපාලන පත්වීම් ලබන්නන් උපරිම මහජන සේවයක් වෙනුවට අරමුණු කරගන්නේ උපරිම ලෙස වස්තුව උපයා ගැනීමය. මෙය 77න් පසුව හැම ආණ්ඩු පාලනයක් තුළම දක්නට ලැබුණු නරක ලක්ෂණයක් වන අතර, වර්තමාන ආණ්ඩු පාලනය තුළ ද ඒ ලක්ෂණය ද දැකිය හැකිය.

දූෂණය නිසා රජයට ලැබිය යුතු ආදායමෙන් වැඩි පංගුවක් රජයට ලැබීම අහිමි කරයි. නීතිය පක්ෂ භේදයකින් තොරව හැමදෙනා සම්බන්ධයෙන් එක සමාන ලෙස ක්‍රියාකළ යුතුය. නීතිය නොසලකා ක්‍රියාකරන අය සම්බන්ධයෙන් ද පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතුය. ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් වැරදි කරන අවස්ථාවලදී නීතිය අකුරටම ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් රටේ පවතින අතර, එය මීට පෙර පැවති ආණ්ඩු යටතේ සේ ම වර්තමාන පාලනය තුළද දැකිය හැකිය. වෘත්තීයවේදීන් පමණක් සේවයේ යොදාගත යුතු විශේෂ වෘත්තීන්හිදී අවශ්‍ය වෘත්තීය සුදුසුකම් නැති දේශපාලන හිතවතුන් පතිකිරීමේ ක්‍රමයක් හැම පාලනයක් තුළම ක්‍රියාත්මක වූ අතර, එම තත්ත්වය වර්තමාන පාලනය තුළ ද දැකිය හැකිය. මෙය රාජ්‍ය සේවයේ ඵලදායී බව හීන කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියා කරයි. සංවරණය හා තුලනය සඳහා තිබෙන විධිවිධාන නොසලකා කිරීමේ වැරදි ලක්ෂණය ද මේ ආණ්ඩුව තුළ ද දැකිය හැකිය.

17 වැනි සංශෝධනයේ අඩුපාඩු ඇති නම් නව ක්‍රමයක් ඇතිකර ගන්නා තෙක් සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන ඒ වෙනුවෙන් වෙනත් විකල්ප ක්‍රමයක් යොදාගත යුතුව තිබුණේය. තිබෙන වැරදි අවම කරමින් ඵලදායී හා ශක්තිමත් සම්ප්‍රදායක් තවදුරටත් ඉදිරියට ගෙනයෑම ආණ්ඩුවේ වගකීම වන අතර, සිදුකර තිබෙන හරි දේ මොනවාද වැරදි දේ මොනවාද යන්න ගැන ආපසු හැරී බැලීමක් කිරීම සුදුසුය. දේශපාලන ක්‍රමයේ වෙනස්කම් ඇති කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරයි. එහෙත් ඇති කරන්නට යන වෙනස්කම් මොනවාද යන්න තවමත් පැහැදිලි නැත. දූෂණය අවම කරන, අධිකාරිවාදය අවම කරන භේදයකින් තොරව සියලු පුරවැසියන් ආදරයෙන් රැකබලා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ජනතාව අපේක්ෂා කරයි. ජනාධිපතිවරයාගේ අනාගතය තීරණය කරනු ඇත්තේ එවැනි වෙනසක් රටේ ඇති කිරීමට හැකිද නැද්ද යන ප්‍රශ්නය මතය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද රටේ පවතින දේශපාලන තත්ත්වය මත ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සරල වුවත් රටට අවශ්‍ය වෙනස්කම් ඇති කිරීම සරල නැත.

ඒ සඳහා අවංක අභිලාෂයක් තිබීම අවශ්‍ය සේ ම පාක්ෂිකයන්ගේ පමණක් නොව, ප්‍රතිපාක්ෂිකයන්ගේ ද ගෞරවය හා විශ්වාසය දිනාගැනීම වැදගත්ය.