13 වැනි සංශෝධනය දැන් ක්‍රියාත්මක වන ආකාරයෙන් මිස, ඊට ඇතුළත් පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට ලැබෙන ආකාරයට ක්‍රියාත්මක කරන තැනකට ආණ්ඩුව ගියහොත් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන බවත්, එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට තමන් කිසිවිටෙක ඉඩ නොදෙන බවත් එම පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදන හා ස්වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම පක්ෂයේ නීති උපදේශක උදය ගම්මන්පිල හා එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමියන් යන එම පක්ෂ නායකයන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කර තිබේ. ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට දෙමළ ජනතාවට ඇත්තේ ආහාර, වස්ත්‍ර, රැකවරණය හා සමාජ ගරුත්වයක් යන ප්‍රශ්න පමණි. ඉන් ඔබ්බට ගිය ප්‍රශ්නයක් ඔවුන්ට නැත. 13 වැනි සංශෝධනයට ආවේණික බරපතළ සීමාසහිතකම් තිබෙන බව ඇත්තකි. එය සන්සුන්ව හා තර්කානුකූලව කාරණා සලකා බලන තත්ත්වයක් යටතේ ඇතිකරගන්නා ලද ක්‍රමයක් නොව, උද්වේගකර වටාපිටාවක් තුළ ඉන්දියාවේ බලපෑම් මත ඇතිකර ගන්නා ලද ක්‍රමයකි.
ඉන්දියානු ආකෘතිය ශ්‍රී ලංකාව වැනි පුංචි රටකට නොගැළපෙනවාද විය හැකිය. බලතල බෙදා තිබෙන ක්‍රමයේ වැරදි හා අඩුපාඩුකම් ද තිබෙනවා විය හැකිය. මේ සියලු ප්‍රශ්න තිබියදී මේ ක්‍රමය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වී ශ්‍රී ලංකා දේශපාලන ක්‍රමයේ ආනුෂංගික කොටසක් බවට පත්වී තිබුණි. මේ ක්‍රමය එල්ටීටීඊය භාර නොගත්තේය. එය තමන් මත බලහත්කාරයෙන් පටවන ලද තමන්ගේ අපේක්ෂාවන්ට නොගැළපෙන රටේ පවතින ඒකීය දේශපාලන ක්‍රමය තහවුරු කරන නපුරු ක්‍රමයක් ලෙස සලකා ඒ ක්‍රමය පරාජය කිරීම සඳහා උපරිම ලෙස ශක්තිය යොදා සටන් කරන පිළිවෙතක් එල්ටීටීඊය අනුගමනය කළේය. ජේවීපීය දකුණේ පළාත් සභා තරග කරන අපේක්ෂකයන් මරා දමන පිළිවෙතක් අනුගමනය කරන විට එල්ටීටීඊය ඒ සමාන ප්‍රතිපත්තියක් උතුරේ අනුගමනය කළේය. වර්ධරාජා පෙරුමාල්ගේ පළාත් සභාව අහෝසි කිරීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් සභා ක්‍රමයක් මේ මෑතක් වන තෙක්ම ක්‍රියාත්මක නොවූ අතර, දකුණේ අඩු බලතල සහිත පළාත් සභා ක්‍රමයක් ක්‍රියාත්මක වූවා පමණක් නොව, පළාත් සභා ක්‍රමයට එරෙහිව මිනිසුන් මරා දමන තැනකට ගිය ජේවීපීය පවා ප්‍රධාන ප්‍රවාහයට එකතුවීමෙන් පසු පළාත් සභා මැතිවරණවලට තරග කරමින් පළාත් සභා ක්‍රමයේ කොටස්කරුවන් පිරිසක් බවට පත්වූහ.
ඒ සමග ඇතිවන වාද විවාදවල කේන්ද්‍රීය කාරණය වී තිබුණේ පළාත් සභා ක්‍රමයෙන් ලබාදී තිබෙන බලතල ඉක්මවා ගිය බලතල සහිත බලය බෙදාහැරීමේ ක්‍රමයක් ඇති කරන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය උත්සාහ කළේද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කළේ ද 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදාහැරීමේ ක්‍රමයක් ඇති කිරීම සඳහාය. ඒ විවාදය අවසාන අදියරයේ රටේ පාලකයා බවට පත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වූයේ තමන් පෙඩරල් ක්‍රමයකට එකඟ නොවන බවත්, දැනට තමන්ට යාහැකි උපරිම දුර 13 වැනි සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීම පමණක් බවත්ය. බලය බෙදාහැරීමේ වැඩපිළිවෙලකට පක්ෂපාතව සිටි බලවේග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය දැක්කේ ඉතාමත් පසුගාමී, දෙමළ අපේක්ෂාවන්ට නොගැළපෙන දැඩි සිංහලවාදී ස්ථාවරයක් ලෙසය.
යුද්ධය ජයගතහොත් තමන්ට මේ මොහොතේ යාහැකි උපරිම දුර 13 වැනි සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීම බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන විට එය ආණ්ඩුවේ පිළිගත් නිල මතය ලෙස ප්‍රකාශ වූ අතර, ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් ලෙස ක්‍රියා කළ ජාතික හෙළ උරුමය ද එදා එම ස්ථාවරයට විරුද්ධ නොවීය. යුද්ධය ජයගැනීමෙන් පසු 13 වන සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කරන බව කියන විට එය රටේ දෙමළ ජනතාවට ද, අසල්වැසි ඉන්දියාවට ද දෙන ලද පොරොන්දුවක් ලෙස ද සැලකිය හැකිය. දැන් එල්ටීටීඊය මුළුමනින් අතුගා දැමෙන ආකාරයට යුද්ධය ජයගැනීමෙන් පසු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට තමන් සූදානම් නැතැ”යි ජනාධිපතිවරයා ප්‍රකාශ කළහොත් ජනාධිපතිවරයා දෙමළ ජනතාවට සේ ම අසල්වැසි ඉන්දියාවටද පෙනෙනු ඇත්තේ දෙමළ විරෝධී, අන්ත ජාතිවාදී, විශ්වාසය තැබිය නොහැකි අවස්ථාවාදී නායකයකු ලෙසය.
එය ජනාධිපතිගේ ප්‍රතිරූපයට පමණක් නොව, රටේ දේශපාලන ප්‍රතිරූපයට ද හොඳ නැත. බරපතළ වැරදි අඩුපාඩුකම් තිබියදීත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇත්තේ සංකේතාත්මක වටිනාකමක් හා වැදගත්කමකි. එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව අනුකම්පාවිරහිත යුද්ධයක් කළ ද අපි දෙමළ ජනයා අපේම සහෝදර පිරිසක් ලෙස සලකා ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට ඔවුන් හවුල් කරගත්තෙමුයි කියන අදහස බලවත් ලෙස ප්‍රකාශ කෙරෙන්නේද, යුද්ධය නිසා දෙමළ ජනතාවගේ හදවත්වල සිදුවී තිබෙන තුවාල සුවපත් කිරීම සඳහා සංකේතාත්මක අර්ථයෙන් යොදා ගැනෙන ඔසුව වන්නේ ද එයයි. වැරදි ඇත්තේ පළාත් සභා ක්‍රමයෙහි පමණක් නොවේ. සමස්ත දේශපාලන ක්‍රමයේද බරපතළ වැරදි හා අඩුපාඩුකම් පවතී. පළාත් සභා ක්‍රමය ද ඇතුළු සමස්ත දේශපාලන ක්‍රමය අපේ වුවමනාවන්ට ගැළපෙන ලෙස වෙනස්කර ගන්නා තැනකට අප යායුතුය. දැන් රටක් වශයෙන් අප සිටින්නේ එවැනි දැවැන්ත දේශපාලන පරිවර්තනයකට මාරුවිය යුතු අවස්ථාවක මුවවිටකය.
එහෙත් ක්‍රමයේ වෙනසක් ඇති කරන තෙක් ව්‍යවස්ථාපිත පැරණි ක්‍රමය අපට අත්හැරිය නොහැකිය. තිබෙන මැතිවරණ ක්‍රමය ඉතාමත් නරකය. එහෙත් නව මැතිවරණ ක්‍රමයක් ව්‍යවස්ථාපිතව ඇති කරගන්නා තෙක් අපට යොදාගත හැක්කේ පැරණි මැතිවරණ ක්‍රමයමය. නව ව්‍යවස්ථාපිත ක්‍රමයක් ඇති කරගන්නා තෙක් දෝෂ තිබූ පමණකින් පැරණි ක්‍රමය අත්හැරිය නොහැකිය. පළාත් සභා ක්‍රමය ගැන පමණක් නොව, සමස්ත දේශපාලන ක්‍රමය නැවත සලකා බලන තැනකට අප යායුතුය. හැමදෙයක්ම කර ඇත්තේ දඩිබිඩියේය. වැදගත් හැමදෙයක්ම ඇති කර තිබෙන්නේ ගැඹුරින් කරුණු සලකා බැලීමකින් පසුව නොවේ. නිදහසේ සිට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් ඇති කරගෙන සිටිමු. ඒ සියල්ල ඇතිකර ගත්තේ දඩිබිඩියේය. ඒ නිසා දැන් තුන්වැනි ව්‍යවස්ථාව ගැන ද ඇත්තේ අතිවිශාල අතෘප්තියකි. එහෙත් ඉන්දියාව සිය ව්‍යවස්ථාව ඇතිකර ගැනීම සඳහා අවුරුදු තුනහමාරක් සාකච්ඡා කළේය.
තවමත් ඉන්දියාවේ තිබෙන්නේ පළමු ව්‍යවස්ථාවමය. එය තවමත් ඉන්දියාවට එපාවී නැත. එදා ඉන්දියාව ඇති කරගත් මැතිවරණ කොමිසම සමග අපේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතිකර ගන්නා ලද මැතිවරණ කොමිසම සැසª විට, අපේ මැතිවරණ කොමිසම සැලකිය හැක්කේ මෝඩ නිර්මාණයක් ලෙසය. අප නැවත සියල්ල ආපසු හැරී බලන තැනකට යායුතුය. පූර්ණ ප්‍රති සංවිධානයකට යන තෙක් පොරොන්දු වී තිබෙන පරිදි 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන තැනකට යා හැකිය. දැන් ප්‍රභාකරන් කෙනෙකු නැත. ආයුධ අතට ගත් එල්ටීටීඊයක් ද නැත. උතුරු නැගෙනහිර පළාත් දෙක තිබෙන්නේ ද ඒකාබද්ධ කළ තත්ත්වයක නොව, වෙන් කළ තත්ත්වයකය. දැන් එල්ටීටීඊ විරෝධී දෙමළ සංවිධාන නිරායුද කළ හැකිය. දැනට 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන අතර, පූර්ණ ප්‍රතිසංවිධානයකදී පළාත් සභා ක්‍රමය සමග සමස්ත දේශපාලන ක්‍රමයේ වෙනසක් සඳහා ක්‍රියාකළ හැකිය.
පොලිස් බලතල හා ඉඩම් බලතලවලදී බරපතළ වැරදි හෝ අසාධාරණකම් ඇති නොවීම පිණිස නව විධිවිධාන සඳහා පොදු එකඟතාවක් ඇති කරගත හැකිය. ජේ.ආර්. ජයවර්ධන පවත්වාගෙන ගිය සර්ව පාක්ෂික සමුළුවේදී ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ගැන සොයා බලා වාර්තා කිරීම පිණිස නිලධාරී කමිටුවක් පත්කරන ලද අතර, එම නිලධාරී කමිටුවේ නිර්දේශ පළාත් සභා ක්‍රමය සඳහා ද යොදා ගැනීම මගින් බරපතළ වැරදි සිදුවීම වැළකිය හැකිය. එම නිලධාරී කමිටුවේ නිර්දේශය වූයේ ප්‍රධාන වාරිමාර්ග යෝජනා ක්‍රමවලදී ජාතික වර්ග අනුපාතිකය යොදාගත යුතු බවය. සුළු වාරිමාර්ග යෝජනා ක්‍රමවලදී දිස්ත්‍රික්කයේ ජන අනුපාතිකය අනුව ඉඩම් බෙදාදියයුතු බවය. මහ ආණ්ඩුව යටතේ තිබිය යුතු ඉඩම් හා පළාත් සභා යටතේ තිබිය යුතු ඉඩම් පිළිබඳව ද ජාතික ප්‍රතිපත්තියක් ඇති කරගත හැකිය. මේ මොහොතේ රටට අවශ්‍යවන්නේ වීථි සටන් නොව ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදී සාමකාමී වාද විවාද මැද පොදු එකඟතාවකින් ඉදිරියට යන ජාතික වැඩපිළිවෙලකි.
බොහෝ ප්‍රමාද කිරීමකින් තොරව සමස්ත දේශපාලන ක්‍රමය නැවත සලකා බලන තැනකට යායුතුය.