ජනමාධ්‍ය සංවිධානවලට තමන්ගේ ස්වාධීන නියාමන ක්‍රමයක් ඇතිකර ගන්නට ඉඩ ලැබෙන පරිදි එතෙක් පැවති පුවත්පත් මණ්ඩල ක්‍රමය නීතියෙන් අහෝසි නොකොට පුවත්පත් මණ්ඩලයට සාමාජිකයන් පත්කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් මගින් පුවත්පත් මණ්ඩල ක්‍රමය අක්‍රීය කරන ලද්දේ 2002දී රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව විසිනි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය පොදු පෙරමුණෙහි සතුටට හේතුවී නොතිබුණු අතර, එකල එම අසතුට මංගල සමරවීර හා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඉන්පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත ආණ්ඩු බලය පොදු පෙරමුණට ලැබීමෙන් පසු පුවත්පත් මණ්ඩලයට සාමාජිකයන් පත්කිරීමේ අවස්ථාව නැවත සාකච්ඡාවට ලක්වූ මාතෘකාවක් බවට පත්ව තිබුණද මොන මොන හේතු නිසා හෝ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ඉතිරි කාලය තුළ ද පුවත්පත්පත් මණ්ඩලයට සාමාජිකයන් පත්නොකිරීම නිසා රනිල් වික්‍රමසිංහ පාලන යුගයේදී පුවත්පත් මණ්ඩලය නීතිය සම්බන්ධයෙන් පැවති අක්‍රීයභාවය තවදුරටත් එලෙසම පැවතුණි.
ඉන්පසු ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් පසු නැවත පුවත්පත් මණ්ඩල නීතිය ක්‍රියාත්මක කිරීමට දරන ලද උත්සාහයන් වැළකුණේ ජනමාධ්‍ය සංවිධාන, ජනමාධ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන මහතා සමග සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
යුද්ධය හා ජනමාධ්‍ය
දැන් නැවත පුවත්පත් මණ්ඩල නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා පුවත්පත් මණ්ඩලයට සාමාජිකයන් පත්කර තිබෙන අතර, ““තමන්ගේ ස්වාධීන නියාමන ක්‍රමයක් තිබියදී”” පුවත්පත් මණ්ඩල නීතිය නැවත සක්‍රීය කිරීම කර්තෘ සංසදය, වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය ඇතුළු වෙනත් ජනමාධ්‍ය සංවිධානවල ද විරෝධයට හේතුවී තිබේ. එල්ටීටීඊයට එරෙහිව කෙරෙන බිහිසුණු යුද්ධයක් පැවති යුගයේ ආණ්ඩුව හා ජනමාධ්‍ය සංවිධාන අතර ගැටුමක් තිබුණි. ආණ්ඩුව යුද්ධයෙන් ජයගැනීම සඳහා පවත්වාගෙන ගිය දැඩි ප්‍රතිපත්ති ජනමාධ්‍ය සංවිධානවල දැඩි විවේචනයට හේතුවිය. රටේ පැවති යුදමය තත්ත්වය නොසලකා ජනමාධ්‍ය සංවිධාන පවත්වාගෙන ගිය දැඩි විවේචන ආණ්ඩුවේ ද විරෝධයට හේතුවී තිබුණි. යුද්ධය විසින් ඇති කර තිබුණු උද්වේගකර වටාපිටාව තුළ ජවිපෙ දෙවැනි කැරැල්ලේදී විරුද්ධ පක්ෂය වශයෙන් ක්‍රියා කළ ශ්‍රීලනිප උත්සාහ කළා සේ එජාපයද ආණ්ඩුව අස්ථාවර කොට බලය අල්ලා ගැනීමට උත්සාහ කරන ව්‍යාපෘතියක නිරත වී සිටියේය.
ආණ්ඩුව මහා පරිමාණයෙන් මානව හිමිකම් උල්ලංඝනය කරන බවට එය ලෝකයට හඬනගා කියා සිටියේය. විදේශ මැදිහත්වීමක් ලබාගැනීමට විශාල උත්සාහයක යෙදී සිටි අතර, ආරක්ෂාව සඳහා හෝ වෙනත් හේතු නිසා ජනමාධ්‍ය සංවිධාන ද එජාප සමග එකට වැඩ කරන තැනකට යෑම නිසා ආණ්ඩුව අස්ථාවර කිරීම සඳහා එජාප සමහර ජාත්‍යන්තර බලවේගයන්ගේ ද ආධාර ඇතිව ක්‍රියාවට නගා තිබෙන දේශපාලන කුමන්ත්‍රණයක මෙම ජනමාධ්‍ය සංවිධාන සමීප කොටස්කරුවන් පිරිසක් ලෙස ක්‍රියාකරන්නේය යන හැඟීම ආණ්ඩුව තුළ ඇති කිරීමට හේතුවී තිබුණි. යුද්ධය ප්‍රතිපක්ෂයට පමණක් නොව, ආණ්ඩුවට ද තීරණාත්මක විය. මරණ බිය එක සේ දෙපැත්තේම රජ කළේය. ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී සිදුවූ ආකාරයටම මෙම උද්වේගකර කාලය තුළ අවලස්සණ සමහර දේවල් ද සිදුවිය. ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ඝාතනයට ලක්වූ අතර, තවත් කිහිපදෙනෙක් බිහිසුණු පහරදීම්වලට ලක්වූහ.
සමහර ජනමාධ්‍යවේදීහු සාධාරණ හේතු ඇතිවද, තවත් සමහර ජනමාධ්‍යවේදීහු රටින් පලායෑමට මෙම තත්ත්වය අවස්ථාවක් කරගනිමින් ද රටින් පලා ගියෝය. සිදුවී තිබෙන අශෝභන සිද්ධීන් අතරින් ආණ්ඩුව වගකිවයුතු සිද්ධීන් මොනවාද? වගකිවයුතු නැති සිද්ධීන් මොනවාද යන්න තෝරා බේරීමකින් තොරව ජනමාධ්‍ය සංවිධාන ද සියලු වැරදි ආණ්ඩුවේ ගිණුමට බැර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ආණ්ඩුවේ උද්ධච්චකමින් සිදුවූ වැරදි තිබුණා සේම, ජනමාධ්‍යවේදීන්ගේ ඔලමොට්ටලකමින් ඇති කරගත් වැරදිද තිබුණි. ඒ දෙක වෙන් කර ගැනීමට ජනමාධ්‍ය සංවිධාන උනන්දුවක් නොදැක්වීය. යුද්ධයක් හෝ කැරැල්ලක් පවතින අවස්ථාවක විශේෂයෙන් මරාගෙන මැරෙන බලකායකගේ සහාය ඇතිව සටන් කරන ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව කරන යුද්ධයකදී සාමාන්‍ය කාලවලදී සිදු නොවන දේවල් සිදුවිය හැකි බව කල්තියා තේරුම් ගැනීමට ජනමාධ්‍ය සංවිධාන අසමත් විය.
මානව හිමිකම් ගැන කථා කරන මෙම උද්ඝෝෂකයන් අතර ජේවීපී දෙවැනි කැරැල්ලේදී කැරලිකරුවන්ට එරෙහිව ආයුධ අතට ගත් අයද සිටියෝය. ඔවුන් එදා සිදුවූ අතුරුදහන් කිරීම්වලට විරුද්ධ වූයේ නැත. එසේ කිරීම එවැනි කැරැල්ලක් පරාජය කිරීම සඳහා අත්‍යවශ්‍යවේයැ”යි ඔවුහු විශ්වාස කළෝය. ඒ යුගයේදීද රටේ අතුරු හමුදා තිබුණි. කප්පම් ගැනීම් සේ ම සීමාව ඉක්මවා ක්‍රියාකළ අවස්ථා ද තිබුණි. යුද්ධය අවසන් වන විට රටේ ජනමාධ්‍ය සංවිධාන ද ආත්ම විශ්වාසයකින් නැගී සිටීමට ශක්තියක් නැති ආණ්ඩුවේ සේ ම මහජනයාගේ ද විශ්වාසය අහිමි කරගත් අනවශ්‍ය තරමට තුවාල ඇති කරගත්, අනාථභාවයට හා අසරණභාවයට පත් ව්‍යාපාරයක් බවට පත්ව තිබුණි. අක්‍රීය තත්ත්වයට පත්කර තිබූ පුවත්පත් මණ්ඩල නීතිය කරළියට එන්නේ මෙම විශේෂ වටාපිටාව තුළය. පුවත්පත් මණ්ඩල නීතියට කවර සීමාසහිතකම් තිබුණද, එය දේශපාලකයන්ගේ දුෂ්ටකම නිසා ඇතිවූ දෙයක් නොව, පුවත්පත් කර්මාන්තයේ යෙදී සිටි අය විසින් කරන ලද වැරදි නිසා ඇතිවූ ඵලයක් විය.
මෙම ආරාවුල දෙපාර්ශ්වයේම ගෞරවයට හේතුවන ලෙස බේරුමක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය සාධාරණ ප්‍රවේශයක් ඇතිකර ගැනීම සඳහා මෙම නීතියේ ඉතිහාසය සැකෙවින් සලකා බැලීම ප්‍රයෝජනවත්ය.
පුවත්පත් මණ්ඩල නීතිය
පුවත්පත් හා මුද්‍රණාල සඳහා බලපෑ ලියාපදිංචි කිරීමේ විධිවිධාන හැරුණු විට 1970 ගණන් ආරම්භය තෙක්ම පුවත්පත් සඳහා වන නියාමන ක්‍රමයක් රටේ නොතිබුණි. එහෙත් පුවත්පත් කර්මාන්තයේ පැවති ඒකාධිකාරී නැඹුරුව හා බොහෝදුරට ඒකාධිකාරී බලයක් තිබුණු ලේක්හවුස් පුවත්පත් සමාගම හා එජාප නායකත්වය අතර පැවති පවුල් සම්බන්ධතා සමාජයේ ද දේශපාලන තලයේද විවාදයට හේතුවී තිබුණු මාතෘකාවක් විය. එජාප නායකයන් හා ලේක්හවුස් පුවත්පත් ආයතනයේ හිමිකරුවන් එකම පවුල් කණ්ඩායමකට අයත් වීම හේතු කොටගෙන එජාපයේ යහපත පිණිස හැමවිටම ක්‍රියාකරනවා පමණක් නොව, එජාප නොවන ආණ්ඩු බලයේ සිටින අවස්ථාවල එම ආණ්ඩු අස්ථාවර කිරීම පිණිස එම පුවත්පත් බලය ප්‍රයෝජනයට ගත්තේය කියන මතයක් එජාප නොවන දේශපාලන බලවේග අතර ගොඩනැගී තිබුණු අතර, ලේක්හවුසියට එල්ල වී තිබුණු එම චෝදනාවේ ඇත්තක් ද තිබුණි.
පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී වාමාංශික පක්ෂවලට එරෙහිවද, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එජාපයෙන් බිඳීයෑමෙන් පසු බණ්ඩාරනායකට එරෙහිවද, බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව සිරිමා බණ්ඩාරනායකට එරෙහිවද එජාප වුවමනාවන් වෙනුවෙන් මහජන මතය හැසිරවීමෙහිලා ලේක්හවුසියට තිබුණු පුවත්පත් බලය අනිසි ලෙස හා අසාධාරණ ලෙස පාවිච්චි කළේය කියන ජනප්‍රිය මතයක් ඔවුන් අතර ගොඩනැගී තිබුණි. අනගාරික ධර්මපාලතුමා සම්බන්ධයෙන් ලේක්හවුසිය අනුගමනය කළ දැඩි විවේචනාත්මක ප්‍රතිපත්තිය නිසා බෞද්ධ සංවිධාන අතර ද ලේක්හවුසිය කෙරෙහි ඇති කරගත් විරෝධයක් තිබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පුවත්පත්වල ක්‍රියාකාරීත්වය සොයා බැලීම සඳහා සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව 1963 සැප්තැම්බර්වලදී විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කොමිසමක් පත් කළේය.
මෙම කොමිසම හැඳින්වූයේ පුවත්පත් කොමිසම නමිනි. කොමිසම ජනමාධ්‍යවේදීන් ද ඇතුළුව විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගෙන් සාක්ෂි ලබාගනිමින් සිය නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව 1964 ඔක්තෝබර්වලදී ප්‍රකාශයට පත් කරන ලදි. (බලන්න ීැිිසදබ්ක ච්චැර ංස දෙ 1964ල Final රුචදරඑ දෙ එයැ ඡරුිි Commission) සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අයිතිය පුළුල් කිරීමේ වැදගත්කම හා පුවත්පත් නියාමනය සඳහා පුවත්පත් මණ්ඩලයක් පත්කිරීමේ වැදගත්කම රජයට නිර්දේශ කරන ලද්දේ මෙම කොමිෂන් සභා වාර්තාව මගිනි. සීමිතකම් තිබියදීත් මෙම කොමිෂන් සභාව විසින් කරන ලද සාක්ෂි විභාගයේදී පුවත්පත් ආයතන, පුවත්පත් ආයතනවල හිමිකරුවන් පමණක් නොව, පුවත්පත් කලාවේදීන්ගේ දූෂණ හා අකටයුතුකම් රාශියක් පළමුවරට රටට හෙළිදරව් වූ බව ද කිවයුතුය. පුවත්පත් කොමිසමේ මෙම නිර්දේශ පදනම් කොටගෙන පුවත්පත් පනතක් ආණ්ඩුව සකස් කළේය.
එය ලේක්හවුස් ආයතනයේ පාලනය රජයට පවරා ගැනීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වූ වැඩපිළිවෙලක පළමු අදියර විය. ඒ සඳහා පැවති විවාදය අවසන් වූයේ ශ්‍රී ලංකා – සමසමාජ සභාග ආණ්ඩුවේ පැවැත්මද අවසන් කරමිනි. ආණ්ඩුව පරාජය කිරීම පිණිස එජාප හා ලේක්හවුසිය එකට එක්ව දැවැන්ත මෙහෙයුමක් කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් සී.පී. ද සිල්වා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ 13 දෙනෙකු විරුද්ධ පක්ෂයට එකතුවීම නිසා එම සභාග ආණ්ඩුවේ පැවත්ම බිඳවැටුණි. මා ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් අසා තිබෙන තෙරතුරු අනුව එම පෙරළියේදී විරුද්ධ පක්ෂයට එකතු වූ 13 දෙනා අතුරින් සී.පී. ද සිල්වා හැර අන් සියලුදෙනාට ඒ කාලයේදී ගෙවන ලද ඉහළම මිල ගෙවා තිබුණි. විරුද්ධ පක්ෂයට එකතුවීමට කැමති වූ කිසියම් මන්ත්‍රීන් පිරිසක් ඒ වෙනුවෙන් මුදල් ඉල්ලා සිටි බව හා ඒ සඳහා මුදල් ගෙවන ලද බව ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයෙන් මහාචාර්ය කේ.එම්. ද සිල්වා ද පිළිගෙන තිබේ. එය ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීන් පිරිසක් මුදලට ගෙන ආණ්ඩුවක් පෙරළුෑ පළමු අවස්ථාව විය. නැවත 1970දී ශ්‍රී ලංකා-සමසමාජ- කොමියුනිස්ට් සභාගය බලයට පත්වූ විට ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ අරමුණ ඇතිව 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල නීතිය නීතිගත කරන ලදි. එහි 8 වන ඡේදයෙන් එහි අරමුණ විස්තර කර ඇත්තේ මෙසේය. (1) ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම – ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගැනීම වැළකීම හා සම්මත උසස්ම වෘත්තීය තත්ත්වයට අනුකූලව ශ්‍රී ලංකාවේ පුවත්පත්වල ස්වරූපය ආරක්ෂා කිරීම. (2) කරුණු පිළිබඳ සත්‍ය ප්‍රකාශ ප්‍රවෘත්ති ලෙස පුවත්පත්වල පළකිරීම සහ කරුණු පිළිබඳ සත්‍ය ප්‍රකාශ පදනම් කරගත් අදහස් පුවත්පත්වල පළකිරීමේ නිදහස ආරක්ෂා කිරීම. (3) පුවත්පත් හා පත්‍රකලාවේදීන් විසින් උසස් මට්ටමකින් පත්‍රකලාවේදී ආචාර ධර්ම පවත්වාගෙන යනු ලැබීම ගැන වගබලාගැනීම හා පුරවැසි අයිතිවාසිකම් හා වගකීම් යන දෙකරුණ පිළිබඳව නිසි හැඟීමක් වඩාලීම.
(4) පත්‍රකලාවේදී වෘත්තිකයන් සේවයට බඳවා ගැනීමේ ක්‍රම, සුබසාධනය, අධ්‍යාපනය හා පුහුණු කිරීම වැඩි දියුණු කිරීම. (5) පුවත්පත් නිෂ්පාදනයෙහි හෝ පළකිරීමේ නියුක්ත සියලු අංශ අතර ක්‍රියාකිරීමේ නිසි සම්බන්ධතාවකට අනුබලදීම හා ප්‍රවෘත්ති සැපයීම සහ පතුරුවා හැරීම සඳහා අවශ්‍ය බව කලින් පෙනීයා හැකි පොදු සේවාවක් ඇති කිරීම. (6) පුවත්පත් භාවිතය හා පුවත්පත්වල අවශ්‍යතා පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, පොදු යහපත සඳහා වූ හා පොදු වැදගත්කමකින් යුතු තොරතුරු සැපයීමට සීමාවිය හැකි අලුත් තත්ත්වයක් හා ශ්‍රී ලංකාවේ පුවත්පත්වල ඇතිවන එක්තැන්වීම හෝ ඒකාධිකාරී බවට පත්වීම කෙරෙහි නැඹුරුවිය හැකි අලුත් තත්ත්වයන් සමාලෝචනය කිරීම හා ඒ සම්බන්ධයෙන් ප්‍රතිකර්ම වශයෙන් ක්‍රියාමාර්ග යෝජනා කිරීම. (7) පුවත්පත් විධිමත් කිරීම හා පුවත්පත් පවත්වාගෙන යෑමට අදාළ කවර කරුණක් සම්බන්ධයෙන් වුවද රජයට අනුශාසනා කිරීම.
මේ හැරුණු විට අසත්‍ය වූ ප්‍රකාශයක් හෝ විකෘති කළ පින්තූරයක් හෝ අනිසි දෙයක් පුවත්පතක් විසින් පළකොට ඇති බව හෝ පුවත්පතක කර්තෘවරයෙකු හෝ ක්‍රියාකාරී පත්‍රකලාවේදියෙකු විසින් වෘත්තීය විසමාචාරයන් හෝ පත්‍රකලාවේදී ආචාර ධර්ම කඩකිරීමක් සිදුකර ඇති බව විශ්වාස කිරීමට මණ්ඩලයට හේතු ඇති අවස්ථාවක නියමිත ආකාරයෙන් විභාගයක් පැවැත්වීමේ අර්ධ අධිකරණ බලය ද මණ්ඩලය සතුය. වරදක් සිදුවී ඇති බව ඒත්තු යන අවස්ථාවලදී (අ) අනුමත කරනු ලබන නිවැරදි කිරීමක් අදාළ පුවත්පතෙහි පළකරන ලෙස අණ කිරීමට හෝ (ආ) එම පුවත්පතේ අයිතිකරුට, මුද්‍රණකරුට, ප්‍රකාශකට, කර්තෘට, පත්‍රකලාවේදියාට හෝ සෙසු නිලධාරියාට හෝ බලධරයාට දෝෂාරෝපණය කිරීමට හෝ (ඇ) සමාව අයැදීමට නියම කිරීමට මණ්ඩලයට හැකිය. පැමිණිල්ලක කරුණු සනාථ කිරීමේ වගකීම පැවරී ඇත්තේ පැමිණිලිකරුටය. පරීක්ෂණයක් පැවැත්වීමේ අරමුණ සඳහා (1) යම් තැනැත්තෙකු කැඳවීම හා පැමිණ සිටීමට බලකිරීම පිණිසද, (2) ලේඛන ඉදිරිපත් කිරීමට බලකිරීම පිණිස ද, (3) යම් තැනැත්තෙකු ලවා දිවුරුමක් හෝ ප්‍රතිඥාවක් කරවීම පිණිස ද, පුවත්පත් මණ්ඩලයට දිසා අධිකරණයට ඇති සියලු බලතල ඇත්තේය.
දෙවැනි ඡේදය අනුව නීතිය ක්‍රියාත්මක වී දින 14ක් ඇතුළත. සෑම පුවත්පතකම අයිතිකරු හා කර්තෘ ලියාපදිංචි කළයුතු අතර, එය වසරක් පාසා අලුත් කළ යුතුය.
ආචාර ධර්ම
10 වැනි ඡේදය යටතේ පුවත්පත් කලාවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් නියම කිරීමේ බලය පුවත්පත් මණ්ඩලය සතුය. පුවත්පත් කලාවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් නීතිගත කෙරෙනුයේ පුවත්පත් මණ්ඩලය පිහිටු වූ ශ්‍රී ලංකා – සමසමාජ-කොමියුනිස්ට් සභාග ආණ්ඩුව විසින් නොව, 1977දී බලයට පත් එජාප ආණ්ඩුව විසිනි. එම ආචාර ධර්ම පද්ධතිය සකස් කර ඇත්තේ එකල පුවත්පත් මණ්ඩලයේ සභාපති වශයෙන් ක්‍රියා කළ ජනාධිපති නීතිඥ සුබසිංහ මහතාය. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසු මෙම ආචාර ධර්ම පද්ධතිය 1981 ඔක්තෝබර් 14 වැනිදා අංක 162/5 දරන ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. සාපේක්ෂ වශයෙන් ගත් කල එය හොඳ ආචාර ධර්ම පද්ධතියක් ලෙස සැලකිය හැකි අතර, ආණ්ඩුව ආචාර ධර්ම පද්ධතියක් ඇති කරන තෙක් පුවත්පත් කර්මාන්තකරුවන් හෝ එම කර්මාන්තයට සම්බන්ධ කතුවරුන් හෝ ජනමාධ්‍යවේදීන් තමන්ගේ ආචාර ධර්ම පද්ධතියක් ඇතිකර ගැනීමට සමත් වී නොතිබුණු බව ද කිව යුතුය.
බටහිර රටවල් පුවත්පත් කතුවරුන් තමන්ගේම ආචාර ධර්ම පද්ධතියක් ඇති කරගැනීමේ වැදගත්කම සාකච්ඡාවට ලක්කරන්නේ 1920 දශකය මැද හරියේය. 1980 දශකයේ මුල් හරියේ ආණ්ඩුව ආචාර ධර්ම පද්ධතියක් පනවන තෙක් තමන්ගේ ආචාර ධර්ම පද්ධතියක් ඇතිකර ගැනීමේ වැදගත්කම අපේ රටේ ජනමාධ්‍ය ව්‍යාපාරවල අවධානයට යොමුවී නොතිබුණි. තමන්ගේම ආචාර ධර්ම පද්ධතියක් ඇතිකර ගන්නා තැනකට ශ්‍රී ලංකාවේ කර්තෘ සංසදය යොමුවන්නේ 2002 වසරේදීය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ව්‍යාපාරයට ආවේණික දෘෂ්ටියේ සීමාවන්ගේ තරම ඉන් මනා ලෙස පෙන්නුම් කරයි. මා හැමදාමත් දරන ලද මතය වනුයේ ජනමාධ්‍ය විෂයයේදී තාක්ෂණික අර්ථයෙන් ලෝකයේ සිදුවන වෙනස්කම් හොඳින් උරාගැනීමට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමත්ව ඇතත්, සංකල්පීය තලයේ ඇතිවූ වාද විවාද හා පරිවර්තනයන් හොඳින් උරාගැනීමට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අසමත්ව තිබෙන බවය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දී තිබෙන අර්බුදය ද එහිම ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.
පුවත්පත් මණ්ඩල නීතියට ආවේණික අයහපත් ලක්ෂණ
පුවත්පත් මණ්ඩල නීතියට ඇතුළත් අංග තුනක් හැර අන් සියලු දේ යහපත් කොට සැලකිය හැකිය. එය පුවත්පත් නිදහස සුරක්ෂිත කිරීම ගැන උනන්දුවක් දක්වයි. පුවත්පත් කලාවේදීන්ගේ වෘත්තීය මට්ටම නගා සිටුවීමට උනන්දුවක් දක්වයි. පුවත්පත් කලාවේදීන් ආචාර ධර්ම මත පිහිටා ක්‍රියා කරන පිරිසක් බවට පත් කරයි. පුවත්පත් කර්මාන්තයේ ඒකාධිකාරි තත්ත්වයක් ඇතිවීම වළකයි. පුවත්පත් හා මහජනයා අතර ප්‍රශ්න ඇතිවන විට උසාවි නොගොස් සරල ලෙස බේරුම් කරගැනීමට අවකාශයක් ලබාදෙයි. මේ සියල්ල ඉතා වැදගත් හා යහපත් දේවල් ලෙස සැලකිය හැකිය. එහෙත් පුවත්පත් මණ්ඩලයට පුද්ගලයන් තෝරාපත් කරගන්නා ක්‍රමය හා එහි සංයුතිය විවාදයට හේතුවී තිබේ. පුවත්පත් මණ්ඩලය සාමාජිකයන් 07 දෙනෙකුගෙන් යුතුය. ඉන් හයදෙනෙකු පත්කරනුයේ ජනාධිපති විසිනි. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිල බලයෙන් පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයෙක් වේ.
ජනාධිපති පත් කරන 6 දෙනාගෙන් එක් අයෙකු වෘත්තීය පුවත්පත් කලාවේදීන් නියෝජනය කරන්නෙකු විය යුතුය. එම පුද්ගලයා තෝරාගනු ලබන්නේ වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය මගින් යෝජනා කෙරෙන හත්දෙනෙකුට නොවැඩි නම් ලැයිස්තුවකිනි. තවත් එක් සාමාජිකයකු පුවත්පත් කර්මාන්තයේ සේවකයන්ගේ අයිතිවාසිකම් නියෝජනය කරන්නෙකු විය යුතුය. එම පුද්ගලයා තෝරා ගැනෙනුයේ සේවක වෘත්තීය සමිතිවලින් නම් කෙරෙන තුනකට නොවැඩි පිරිසක් අතුරිනි. තෝරාපත් කෙරෙන සාමාජිකයන් 5 දෙනෙකුම විධායකය විසින් පත් කරනු ලැබීම හේතු කොටගෙන අවශ්‍ය අවස්ථාවකදී මෙම මණ්ඩලය විධායකයට තමන් කැමති ලෙස හැසිරවීමේ හැකියාවක් ඇතැ”යි කියන අවිශ්වාසය ඇති කිරීමට හේතුවී තිබේ. ඉන්දියාවේ පවතින්නේ ද පුවත්පත් මණ්ඩල ක්‍රමයකි. එහෙත් එහි සාමාජික සංඛ්‍යාව 26කි. ඉන් 13ක්ම වෘත්තීය ජනමාධ්‍යවේදීහු වෙති. 6ක් ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවෝය.
තවත් තුන්දෙනෙක් කලාව හා අධ්‍යාපනයට සම්බන්ධ විශේෂඥයෝය. තවත් තුන්දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය. එක් අයෙකු ප්‍රවෘත්ති ඒජන්සිකරුවන් අතරින් තෝරා ගන්නා නියෝජිතයෙකි. පුවත්පත් මණ්ඩලයට පත් කළයුතු පුද්ගලයන් ජනාධිපතිවරයා වෙත නම් කරන්නේ අගවිනිසුරු, පාර්ලිමේන්තුවේ කථානායක හා සෙනෙට් මණ්ඩලයේ සභාපති යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මණ්ඩලයක් මගිනි. බැලූ බැල්මට ඉන්දියාවේ ක්‍රමය අපේ ක්‍රමයට වඩා විශ්වාසයට හේතුවේ. විවාදයට හේතුවී තිබෙන දෙවැනි කරුණ වනුයේ පනතේ 16 වැනි වගන්තියයි. ඊට අනුව අමාත්‍ය මණ්ඩලයේ හෝ අමාත්‍යවරයෙකුගේ හෝ අමාත්‍යාංශයක හෝ අවධානයට යොමුවී ඇති සාකච්ඡාවෙමින් පවතින කරුණක් පිළිබඳව තොරතුරු පළකිරීම වරදකි. මෙය අදට නොගැළපෙන පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට පටහැනිව යන විධිවිධානයක් ලෙස සැලකේ. මුළු පුවත්පත් මණ්ඩල ඉතිහාසය තුළම මෙම විධිවිධානය පුවත්පත්වලට එරෙහිව පාවිච්චි කර ඇත්තේ එකම අවස්ථාවකදී පමණය.
ඒ අයවැයට පෙර පැවති කැබිනට් රැස්වීමකදී කරන ලද කථා ඇතුළත් වාර්තාවක් පළකිරීමේ චෝදනාව යටතේ “සන්” හා “වීක් එන්ඩ්” යන පුවත්පත් දෙකට එරෙහිව 1982 නොවැම්බරවලදීය. එහෙත් 16 වැනි වගන්තිය අවශ්‍ය අවස්ථාවකදී පුවත්පත් නිදහස මර්දනය කිරීම සඳහා යොදාගත හැකි නරක විධිවිධානයක් බව මෙම විෂය ගැන උනන්දුවක් දක්වන අයගේ පොදු මතය වී තිබේ. මෙම නීතියට ඇතුළත් 12 වැනි වගන්තිය ද ජනමාධ්‍ය නිදහස ගැන උනන්දුවක් දක්වන්නන්ගේ දැඩි දෝෂදර්ශනයට හේතුවී තිබේ. ඒ අනුව පුවත්පත් මණ්ඩලය විසින් විමර්ශනයක් පවත්වාගෙන යද්දී හෝ එය සමාජගත කිරීමෙන් පසුව හෝ සෑහෙන තරම් හේතුවක් නැතිව පුවත්පත් මණ්ඩලය විසින් හෝ එහි කිසියම් සාමාජිකයකු වෙත අපකීර්තියක් ඇති කිරීමට හේතුවන ප්‍රකාශයක් කරන ඕනෑම පුද්ගලයෙකු අපහාස කිරීමේ වරදක් කර ඇතැ”යි තීන්දු කිරීමේ බලය පුවත්පත් මණ්ඩලය සතුය.
පුවත්පත් මණ්ඩලය එය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය, එය ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද අපහාසයක් ලෙස සලකා වැරදිකරුට දඬුවම් කළ යුතුය. නීතිය හෝ අධිකරණ බලතල පාවිච්චි කිරීම පිළිබඳ නිසි පුහුණුවක් නැති දේශපාලන පත්වීම්ලාභීන් පිරිසකට අධිකරණ බලය පැවරීම බලවත් අයුක්තියක් හා අසාධාරණයක් කිරීමට පුළුවන්කම ලබාදෙන බව මෙම විෂය ගැන උනන්දුවක් දක්වන විචාරකයන්ගේ මතය වී තිබේ.
ස්වාධීන පුවත්පත් පැමිණිලි කොමිසම
කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ප්‍රකාශකයන්ගේ සංගමය එකට එකතු වී ආණ්ඩුවේ පුවත්පත් මණ්ඩල ක්‍රමය වෙනුවට පුවත්පත් පැමිණිලි කොමිසම නමින් වන ස්වයං නියාමන ක්‍රමයක් ඇතිකර ගන්නේ 2003 වසර අවසානයේදී පමණය. ඒ වන විට පාර්ලිමේන්තු බලය ලැබී තිබුණේ එක්සත් ජාතික පෙරමුණටය. අගමැති රනිල් වික්‍රමසිංහ සාපරාධී අපහාස නීතිය අහෝසි කරන අතර, පුවත්පත් මණ්ඩලය නීතිය අහෝසි නොකොට පුවත්පත් මණ්ඩලයට සාමාජිකයන් පත්කිරීමෙන් තොරව එය අක්‍රීයවන්නට ඉඩ හැරියේය. අගමැති රනිල් වික්‍රමසිංහගේ ද අනුග්‍රහය ඇතිව ස්වාධීන පැමිණිලි කොමිසම කරළියට ආවේ ඒ ඇතිවූ හිඩැස ප්‍රයෝජනයට ගනිමිනි. පුවත්පත් මණ්ඩල ක්‍රමය ඇති කර තිබුණේ පාර්ලිමේන්තුව විසිනි. ඒ ක්‍රමය නැති කොට ඒ වෙනුවට වඩා හොඳ ස්වාධීන ක්‍රමයක් ඇති කරනවා නම් ඇති කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ පූර්ණ අවබෝධය, දැනුම හා අනුග්‍රහය ඇතිවය.
එවැනි තැනකට නොගොස් ස්වාධීන පැමිණිලි කොමිසමකට ඉඩ ලබාදීම සඳහා පුවත්පත් මණ්ඩලයට සාමාජිකයන් පත්කිරීමෙන් වැළකී එය අක්‍රීයවන්නට ඉඩහරින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පොදු පෙරමුණේ සැකයට හේතුවී තිබුණු කාරණයක් විය. බිහිවී තිබූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති රංජිත් විජේවර්ධන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති ඥාති සම්බන්ධය ද මේ සැකය තීව්‍ර කිරීමට හේතුවූවා විය හැකිය. නීතියෙන් නියම කළ නියාමන ආයතනයක් තිබෙන අවස්ථාවක ස්වයං නියාමන ක්‍රමයකට ඉඩදීම සඳහා පැරණි ආයතනය ක්‍රියාවිරහිත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ අවබෝධය අනුමැතිය හා එකඟතාව ඇතිවය. එක්සත් රාජධානියේ එය සිදුවූයේද ඊට සමාන ආකාරයකටය. රනිල් වික්‍රමසිංහ මහතා විධිමත් ලෙස එම ක්‍රියාව සිදු නොකිරීම අවුල්සහගත තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබෙන ප්‍රධාන හේතුවක් වී තිබේ. පුවත්පත් පැමිණිලි කොමිසමේ නිර්මාතෘවරුන් පුවත්පත් මණ්ඩල ක්‍රමය අහෝසි කොට ඒ තැන ගැනීම සඳහා ස්වාධීන නියාමන ක්‍රමයක් ඇති කිරීමට සැලසුම් කරන විට පැරණි ආයතන ක්‍රමයේ වපසරිය මුළුමනින් පුරවාලීමට සමත් විකල්ප ආයතන ක්‍රමයක් සැලසුම් කිරීමට අසමත් වී තිබේ.
පුවත්පත් මණ්ඩලයේ විෂය පථයට ශ්‍රී ලංකාවේ පුවත්පත් මුද්‍රණය කිරීම හා ප්‍රකාශයට පත්කිරීම විධිමත් කිරීම සඳහා පනවා ඇති පුවත්පත් ආඥා පනත යටතේ ලියාපදිංචි වී ඇති සියලු පුවත්පත් හා වාර ප්‍රකාශන ඇතුළත්ව තිබුණි. ඒ යටතට වැටෙන පුවත්පත් හා වාර සඟරා සංඛ්‍යාව 200කට ආසන්නය. එහෙත් පුවත්පත් පැමිණිලි කොමිසම සිය විෂය පථයට ඇතුළත් කරගත්තේ දිනපතා හෝ සති අන්තයේ පළවෙන තමන් ප්‍රධාන ධාරාවේයැ”යි කල්පනා කරන පුවත්පත් පමණය. සංඛ්‍යාව 25කටත් අඩුය. එවිට එය පුවත්පත් මණ්ඩල වපසරියෙන් 30%ක් පමණ විය හැකිය. පුවත්පත් මණ්ඩල ක්‍රමයක් ඇති කිරීමේ එක් වැදගත් පරමාර්ථයක් වූයේ පුවත්පත් හා මහජනයා අතර ඇතිවන ආරාවුල් උසාවි නොගොස් බේරුම් කරගත හැකි පහසු මාර්ගයක් මෙම දෙපක්ෂයට ලබාදීමය. එහෙත් පුවත්පත්පත් පැමිණිලි කොමිසමෙන් පිහිට ලබාගත හැකිවූයේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් අතින් වරදක් සිදුවන අවස්ථාවලදී පමණය.
ඉන් බැහැරව තිබෙන වෙනත් පුවත්පත් හා වාර සඟරාවලින් (කලාව, සිනමා, කාන්තා, තරුණ, චිත්‍ර කථා, වෙනත් ශාස්ත්‍රීය) වරදක් සිදුවන අවස්ථාවලදී එම වරද නිවැරදි කරගන්නට ක්‍රමයක් ඇති කළ නව ක්‍රමය තුළ නොතිබුණි. පුවත්පත් පැමිණිලි කොමිසමට ආවේණික මෙම සීමාසහිතකම් ගැන මම මීට පෙර ද කථා කර ඇත්තෙමි. එය තමන්ගේ ක්‍රමයට ආවේණික වරදක් ලෙස සලකා එය නිවැරදි කරගැනීම සඳහා වන උත්සාහයක් පෙනෙන්නට නොතිබුණි. පුවත්පත් පැමිණිලි කොමිසමේ නිර්මාතෘවරුන් තමන් ඇති කරගත් ක්‍රමය ගැන සංතෝෂ වූවා මිස, එම ක්‍රමය දෙස විවේචනාත්මකව ආපසු හැරී බලන තැනකට ගිය බවක් පෙනෙන්නට නැත.
තිබෙන විසඳුම කුමක්ද?
ජනමාධ්‍ය රඟපාන භූමිකාවට ලැබෙන සමාජ දේශපාලන වැදගත්කම නිසාම මොනම රටකවත් ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ එකඟතාව නැතිව ස්වයං නියාමන ක්‍රමයක් ඇති කොට පවත්වාගෙන යා නොහැකිය. එක්සත් රාජධානියේ පවා අදත් එහි තිබෙන පුවත්පත් පැමිණිලි කොමිසම පිළිබඳව පාර්ලිමේන්තුවට විවේචනයක් ඇත්තේය. සමහර අවස්ථාවලදී නැවත ආණ්ඩුවේ නියාමන ක්‍රමයක් ඇති කරන බවට පාර්ලිමේන්තුව තර්ජන කරන අවස්ථා ද පවතී. පුවත්පත් මණ්ඩලය අක්‍රිය කිරීම හා ඒ වෙනුවට පුවත්පත් පැමිණිලි කොමිසමක් ඇති කිරීමට පාර්ලිමේන්තුවේ හා විධායකයේ අනුමැතිය ඇතිව සිදුවූවක් නොවීම නිසා පුවත්පත් පැමිණිලි කොමිසම හැමදාමත් පාර්ලිමේන්තුවේ හා විධායකයේ සැකයට හේතුවී තිබුණු අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් අවසානයේ ආණ්ඩුව අක්‍රිය කර තිබූ පුවත්පත් මණ්ඩලය නැවත සක්‍රීය කර තිබේ. ආණ්ඩුවට ඔවුන්ගේ පුවත්පත් මණ්ඩල ක්‍රමය පවත්වාගෙන යෑමට ඉඩදී අපි අපේ පැමිණිලි කොමිසම ඉදිරියට ගෙනයමු”යි කියන ප්‍රතිපත්තියක් වලංගු හෝ ඵලදායීවන්නේ නැත.
හෙළා දැකීම හෝ විවේචනය කිරීමද මෙම ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. දැන් ජනමාධ්‍ය සංවිධානවලට කළහැක්කේ මෙම ප්‍රශ්නය ගැන ආණ්ඩුව සමග සාකච්ඡා කරන තැනකට යාමය. සාකච්ඡා මගින් ඇති කර තිබෙන පුවත්පත් මණ්ඩලය නැවත අක්‍රිය කොට පුවත්පත් පැමිණිලි කොමිසමට ඉඩදීමක් ගැන බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් සමහරවිට මෙම ආයතන ක්‍රම දෙක එකතු කොට ආණ්ඩුවට ද පංගුකාරත්වයක් ලැබෙන ආකාරයේ නව ආයතන ක්‍රමයක් ඇතිකර ගැනීමේ අරමුණ ඇතිව සාකච්ඡා කරන තැනකට යා හැකිය. ආණ්ඩුවට පංගුකාරත්වයක් ලබාදෙන ක්‍රමයක් තුළ ජනමාධ්‍යවේදීන්ගේ ස්වාධීනත්වය ද ආරක්ෂා කෙරෙන ක්‍රමයක් ඇති කරගන්නේ කෙසේද යන සංකීර්ණ ප්‍රශ්නයටද ඔවුන් එහිදී සාර්ථක විසඳුමක් සොයාගත යුතුය. එවැනි සාකච්ඡාවක් ආණ්ඩුව හා ජනමාධ්‍යවේදීන් අතර පවතින දුරස්ථබව ද තුනී කිරීමට හේතුවිය හැකිය. මෙම දෙපිරිස අතර පවතින දුරස්ථබව ජනමාධ්‍යවේදීන්ගේ යහපතට හේතු නොවනවා සේ ම එය ආණ්ඩුවේ යහපතට ද හේතු නොවන්නේය.