13 වැනි සංශෝධනය

June 28, 2009
Publication:
With the war won, the only voice still raised against the 13th Amendment is the JVP's — a party that once killed people for supporting provincial councils, then contested them, and is now trying to rise again through them. Ivan notes that the president promised to implement the amendment fully and is doing so from a position the JVP cannot easily inflame.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආශ්‍රයෙන් මතුවී තිබෙන විවාදය තවමත් අවසන් වී නැත. යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේම සුළු පිරිසක් 13 වන සංශෝධනයට එරෙහිව හඬ නගන තත්ත්වයක් තිබුණි. ඒ නිසා ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන ප්‍රශ්නය පිළිබඳ ව්‍යාකූලභාවයක් ද ගොඩනැගී තිබුණි. එහෙත් මේ වන විට 13 වන සංශෝධනයට එරෙහිව හඬ නගන එකම පිරිස බවට පත්ව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණය. යුද්ධය ආරම්භයේදී යුද්ධය අවසන් කිරීමෙන් පසු 13 වන සංශෝධනයේ එන විධිවිධාන පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව කීවේ ජනාධිපතිවරයාය. තිබෙන ව්‍යවස්ථාව යටතේ තමන්ට යා හැකි ඉහළම දුර ගොස් පළමුකොට එය ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එය ජනාධිපතිවරයා රටේ ජනතාවට පමණක් නොව, ඉන්දියාවට ද දෙන ලද පොරොන්දුවක් විය. යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු දැන් අපි යුද්ධය ජයගෙන තිබෙන නිසා පොරොන්දු වූ ආකාරයට 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවේයැ”යි ජනාධිපතිවරයා කීවේ නම් ජනාධිපතිවරයා දෙමළ ජනතාව ඉදිරියේ පමණක් නොව, අසල්වැසි ඉන්දියාව ඉදිරියේද විහිළුකාරයෙක් බවට පත්වන්නට ඉඩ තිබුණි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පෙඩරල් විසඳුමක් ලෙස සැලකිය නොහැකිය. එය ඒකීය රාජ්‍යයක් තුළ අවම මට්ටමෙන් කෙරෙන බලය බෙදාහැරීමකි. එම වැඩපිළිවෙල රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත්ය. අනෙක් අතට එදා උතුරු නැගෙනහිර දෙපළාත සම්බන්ධයෙන් පැවති ඒකාබද්ධතාව අද නොපවතින බවද අපි අමතක නොකළ යුතුය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල කොමිෂන් සභා වාර්තාව විසින් ද අනුමත කර ඇති බව ද අප අමතක නොකළ යුතුය. රටේ පවතින මෙම අර්බුදයට තිබෙන හොඳම විසඳුම පළාත් සභා ද, නැතිනම් වඩා හොඳ විසඳුමක් තිබේද යන්න වෙනම ප්‍රශ්නයකි. එහෙත් රටේ දෙමළ ජනතාවට හොඳ හිත පළකරන මාර්ගයක් වශයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා පැහැදිලි පොරොන්දුවක් දී තිබේ. මේ මොහොතේ ඊට බාධා කරන ප්‍රතිපත්තියක් රටේ කටයුතු අවුල් කිරීමට හේතුවේ. ජනතා විමුක්ති පෙරමුණේ විරුද්ධතාව තේරුම් ගතහැකිය.

එහෙත් එම විරුද්ධතාව තුළ දෙබිඩි බවක් ද තිබෙන බව කිවයුතුය. පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වන මුල් අවස්ථාවේදී එය රට පාවාදීමක් බව ප්‍රකාශ කරමින් එම වැඩපිළිවෙලට පක්ෂපාත වූවන් මරා දමන ප්‍රතිපත්තියක් ජවිපෙ අනුගමනය කළේය. පසුව කැරැල්ල පරාජය වී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතුවීමෙන් පසුව පළාත් සභා ක්‍රමයට විරුද්ධ බව කියමින් පළාත් සභාවලට තරග කළේය. දැන් නැවත ජවිපෙ හිස ඔසවන්නට උත්සාහ කරන්නේද පළාත් සභා අල්ලාගෙනය. එහෙත් විවිධ මතභේද තිබියදීත් ප්‍රධාන ප්‍රවාහයේ සිටින අන් සියලු දේශපාලන පක්ෂ පළාත් සභාවලට විරුද්ධ නැත. පළාත් සභා ක්‍රමය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළයුතු බව අතිවිශාල බහුතර පිරිසකගේ මතය වී තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය නොකරන, 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන තැනකට ගියේ නම් ජේවීපීයට නැගී සිටීමට වඩා හොඳ ඉඩක් ලැබෙන්නට ඉඩ තිබුණි.

එහෙත් ජනාධිපතිවරයා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යන්නේ එල්ටීටීඊය පරිපූර්ණ වශයෙන් පරාජය කර තිබෙන තත්ත්වයක් ඉදිරියේය. ඒ නිසා ජවිපෙට මහජනතාව කුලප්පු කිරීම හිතන තරම් ලේසිවන්නේ නැත. ඉදිරියේ ආයුධ අතැ”තිව සිටින එල්ටීටීඊ විරෝධී සියලු දේශපාලන සංවිධාන නිරායුධ කළ හැකිය. ඔවුන් නිරායුධ කළ යුතුය. බැටන් පොල්ලක් පමණක් තිබුණු පොලීසිය බැටන් පොල්ල වෙනුවට ටී 56, මැෂින් තුවක්කු අතැ”ති පොලීසියක් බවට පත්වූයේද රටේ පැවති ප්‍රචණ්ඩ වටාපිටාව නිසාය. ඉදිරියේදී පොලීසිය ද බැටන් පොල්ලට මාරුවන තත්ත්වයක් ඇති කළ හැකිය. තවත් දශක කිහිපයකට සිහි මොළේ ඇති කිසිවෙක් අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ආයුධ සන්නද්ධ ව්‍යාපාර ගැන සිහින දකිනු ඇතැ”යි සිතිය නොහැකිය.