ආරම්භ වී තිබෙන නව පරිච්ඡේදය අර්ථවත් කරගැනීම

May 24, 2009
Publication:
A movement that held a large part of the country by force for close to three decades has been destroyed, and Ivan writes that in every one of the three armed rebellions the state has put down, the enemy was its own citizens. What the country owes itself now is to find the social, economic and political causes that keep producing them, and to use the opening the victory has made rather than waste it as earlier openings were wasted.

ප්‍රභාකරන්ගේ හා එල්ටීටීඊයේ විනාශයෙන් දැන් රටට ආරම්භ වී ඇත්තේ අලුත් පරිච්ඡේදයකි. වෙනම රාජ්‍යයක් ගොඩනගා ගැනීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයක් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ අවි බලයෙන් රටෙන් සැලකිය යුතු තරම් විශාල භූමි ප්‍රමාණයක් සිය ග්‍රහණයට ගෙන ඔවුන්ගේ තත්වාකාර රාජ්‍යයක් පවත්වාගෙන ගියේය. එම තත්ත්වය බොහෝ කලක් තිස්සේ යුද ව්‍යාපාර මගින් ද, සාම ව්‍යාපාර මගින් ද ජයගන්නට උත්සාහ කළත්, සිදුවූයේ එම තත්වාකාර රාජ්‍යය වඩ වඩා ශක්තිමත්වීම පමණය. අවසානයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එතෙක් ශ්‍රී ලංකා ආණ්ඩුව පවත්වාගෙන ගිය සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැන එල්ටීටීඊය සාකච්ඡා මගින් නොව, එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය කරන තෙක් කරන යුද්ධයකට අවතීර්ණ විය. බැලූ බැල්මට ඉතාමත් හිතුවක්කාරී තීරණයක් ලෙස පෙනුණු මෙම තීරණය ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු බොහෝ දෙනෙකුගේ කුකුසට හේතු වුවද එල්ල වන බලපෑම් නොසලකා ආණ්ඩුව තමන් ගනු ලැබූ තීරණයේ දැඩි ලෙස පිහිටා ක්‍රියා කරන ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන ගියේය.

අවසානයේ එම හිතුවක්කාරී තීරණය ආශ්චර්යජනක ප්‍රතිඵල ලබාදෙන්නක් බවට පත්විය. අවසානයේ වසර දෙකකුත් මාස 9ක් වැනි කෙටි කාලයක් තුළ එල්ටීටීඊය අල්ලාගෙන සිටි සම්පූර්ණ භූමි ප්‍රදේශය පමණක් නොව, ඔවුන් ළඟ තිබූ අවි ආයුධ ද අල්ලා ගනිමින් ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊයේ සියලු නායකයන් විනාශ කිරීමට ආණ්ඩුව සමත් විය. එය ශ්‍රී ලංකාව රටක් වශයෙන් ලැබූ දැවැන්ත හා ආශ්චර්යජනක ජයග්‍රහණයකි. එය රටේ සමස්ත ගමන් මාවත අලුත් මාවතකට තල්ලු කළේය. ද්වන්ද්ව පාලනයක් තිබියදීත්, ආරක්ෂාව වෙනුවෙන් රටට දරන්නට සිදුවූ වියදම අතිවිශාලය. තිස් අවුරුදු කාලයක් තිස්සේ රටේ පැවති යුදමය වටාපිටාව රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය බෙලහීන කළේය. දේශපාලන ක්‍රමය කෙරෙහි පමණක් නොව, සමස්ත සමාජය කෙරෙහි ද විනාශකාරී ලෙස බලපෑවේය. දැන් ආරක්ෂාව සඳහා කෙරෙන වියදම් අඩු කළ හැකිය. අතුරු හමුදා ක්‍රමයෙන් විසුරුවා හැරිය හැකිය.

ආරක්ෂක මාර්ග බාධක ලිහිල් කොට අවසානයේ නැති කළ හැකිය. දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා කරන අතිවිශාල වියදම ද අඩු කළ හැකිය. ආරක්ෂකයන් පිරිවරා ගෙන යන දේශපාලනඥයන් වෙනුවට ආරක්ෂක භටයන් නැතිව මහජනයා අතර සැරිසරන දේශපාලනඥයන් දශක කිහිපයකට පසුව දැකගැනීමේ හැකියාව ඉක්මණින් මහජනතාවට ලැබෙනු ඇත. සංවිධානාත්මක ශක්තියෙන් හා ප්‍රබලත්වයෙන් ලෝකයේ අංක එක හිමි කරගෙන සිටි ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින් පරාජය කිරීමට හැකිවීම ගැන අපි උදම් විය යුතුය. එම මහඟු කාර්යය වෙනුවෙන් ඇප කැපවීමකින් ක්‍රියාකළ සේනාධි නායකයා, ආරක්ෂක ලේකම් ඇතුළු සේනාධිපතිවරුන්ට ද, ඔවුන්ගේ සහායකයන්ට හා හමුදා භටයන්ට ද ජාතියේ ගෞරවය ද, ස්තූතිය ද හිමිවිය යුතුය. නිදහසින් පසු අඩු වශයෙන් එක වැදගත් කාර්යයක් හරියටම කිරීමට හැකිවීම ගැන රටක් වශයෙන් අපට සතුටු විය හැකිය. එහෙත් ඒ සමග රටට පරාජය කරන්නට සිදුවූ එකම සන්නද්ධ අරගලය මෙය නොවන බව ද මේ මොහොතේ අපි අමතක නොකළ යුතුය.

මීට පෙර ශක්තියෙන් මේ තරම් විශාල නොවුණද, තවත් සන්නද්ධ අරගල දෙකක් පරාජය කළේය. ඒ හැම අවස්ථාවකදීම අපට සටන් කරන්නට සිදුවුණේ විදේශ ආක්‍රමණික හමුදාවකට නොව, අපේ රටේම නොමග ගිය සිංහල හෝ දෙමළ පුරවැසියන්ට එරෙහිවය. විටින් විට මේ තරමට ලේ වැගිරෙන සන්නද්ධ අරගල මතුවීමට බලපා තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මොනවාදැ”යි සොයා බලන තැනකට රටක් වශයෙන් අප යා යුතුය. මින් මතු එවැනි ලේ වැගිරීම් ඇතිවීම වැළකිය හැකිවනු ඇත්තේ එවිටය. එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය කිරීමෙන් මතුවී තිබෙන සංවර්ධන ඉඩප්‍රස්තා ප්‍රශස්ත හා උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට රටක් වශයෙන් අප සමත් විය යුතුය. අපට මීට පෙර මතුවූ මෙවැනි ඉඩප්‍රස්තා උපරිම ලෙසත්, ප්‍රශස්ත ලෙසත් ප්‍රයෝජනයට ගැනීමට සමත් වූයේ නැත. අවතැන්වූවන් සඳහා ලබාගත හැකි විදේශ ආධාර උපරිම වශයෙන් ලබාගත යුතුය.

ඒ සඳහා පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාකරන තැනකට අප යා යුතුය. ඒ ලැබෙන ආධාර අවතැන්වූවන්ගේ ජීවිත උපරිම ලෙස නගා සිටුවීම සඳහා ප්‍රශස්ත ලෙස යොදාගත යුතුය. එම ක්‍රියාවලිය රටේ සංවර්ධනය වේගවත් කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. ඒ සමග ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙන පරිදි 13 වන සංශෝධනයේ බලතල පළාත් සභාවලට ලබාදිය යුතුය. දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය සඳහා ඇති කර තිබෙන අණපනත් හොඳින් ප්‍රායෝගිකව ක්‍රියාකරන තත්ත්වයක් සහතික කළ යුතුය. ජානධිපතිවරයා කියා තිබෙන පරිදි විවිධ ජනවර්ගවලින් එකට එකතු වූ එක ශ්‍රී ලංකා ජාතියක් මිස, සුළු ජාතීන් නැති රටක් බවට පත් කළ යුතුය. ඒ සමග රටේ ගෙවුම් ශේෂ අර්බුදයට ඉක්මන් විසඳුමක් සොයාගත යුතු අතර, එල්ටීටීඊය පරාජය කිරීමෙන් නොනැවතී, තිබෙන අලුත් තත්ත්වය සංචාරක ව්‍යාපාරයේ වර්ධනය හා විදේශ ආයෝජකයන්ගේ වර්ධනය සඳහා යොදාගත යුතුය.

මෙම විශේෂ මොහොතේ අඩුම වශයෙන් ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය දෙපැත්තට අදින පිළිවෙතක් අනුගමනය නොකොට අන්‍යොන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන තැනකට යා යුතුය.