ශ්‍රේෂ්ඨත්වය පරිපූර්ණ කිරීම

May 24, 2009
Publication:
Judging by the weapons taken and the infrastructure found, Ivan writes, another decade of the LTTE would have been past imagining — and both the wars and the peace talks had strengthened its de facto state rather than dissolving it. Mahinda Rajapaksa is therefore the greatest of the country's leaders since independence; but the greatness is not complete, and completing it means opening every window to a national argument about what Sri Lanka should now become.

එල්ටීටීඊයෙන් අල්ලා ගත් යුද්ධායුධවල ස්වභාවය හා ප්‍රමාණය ද, ඔවුන් පවත්වාගෙන ගොස් තිබෙන යුද යටිතල පහසුකම්වල ප්‍රමාණය හා ස්වභාවය ද සැලකිල්ලට ගත් විට එල්ටීටීඊයට තවත් දශකයක් සිය කටයුතු කරගෙන යන්නට ඉඩ හැරියේ නම් විය හැකිව තිබුණු විනාශය හිතාගන්නටවත් බැරි තරම්ය. මෙවැනි තත්ත්වයක් දුරදිග යන්නට ඉඩ නොදී ආරම්භයේදීම හොඳින් හෝ නරකින් විසඳා ගැනීමට රටක් වශයෙන් අප අසමත් වූයේ ඇයිද යන්න අප නැවත සොයා බැලිය යුතුය. ඊළඟට ඇතිවූ ඉතාමත් භයානක දේ ලෙස සැලකිය හැක්කේ එල්ටීටීඊය ගොඩනගමින් තිබු තත්වාකාර රාජ්‍යය යුදමය වශයෙන් පරාජය කිරීමට අසමත් වූ විට එම තත්වාකාර රාජ්‍යයේ පැවැත්ම යථාර්ථවත් ලෙස පිළිගනිමින් එය ශ්‍රී ලංකා රාජ්‍යයට එකතු කරගන්නා උත්සාහයක නිරතවීමය. අවසාන විග්‍රහයේදී එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද ව්‍යාපාර සේම අනෙක් අතට කෙරෙන සාම සාකච්ඡා ද ප්‍රභාකරන්ගේ තත්වාකාර රාජ්‍යයේ පැවැත්ම තර කොට ශක්තිමත් කළේය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලනය තුළ එල්ටීටීඊයට එරෙහිව කරන යුද ව්‍යාපාරවලට ඉන්දියාව අවහිර කළායැ”යි කිවහැකි වුවත්, ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු ඉන්දියානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවෙන් පිටකර හැරීමෙන් පසු එල්ටීටීඊයට එරෙහිව කරන යුද ව්‍යාපාරවලට ඉන්දියාව අවහිර කළේ නැත. එතැන් සිට රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග හා චන්ද්‍රිකා කුමාරතුංග යන ජනාධිපතිවරුන් එල්ටීටීඊයට එරෙහිව විවිධ ආකාරවල යුද ව්‍යාපාර දියත් කළ ද, ඒ හැම යුද ව්‍යාපාරයක්ම එල්ටීටීඊයේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවූවා මිස, විනාශ කිරීමට හෝ දුර්වල කිරීමට හේතු නොවීය. එම අසාර්ථක යුද ව්‍යාපාර සඳහා වැයකර තිබෙන ධනස්කන්ධයේ ප්‍රමාණය අතිවිශාලය. පුදකර තිබෙන ජීවිත ප්‍රමාණය ද අතිවිශාලය. සිදුවී තිබෙන දේපළ විනාශය ද අතිවිශාලය. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු පාලන යුගය ආරම්භක අවස්ථාව වන විට එල්ටීටීඊ තත්වාකාර රාජ්‍යයේ පැවැත්ම එය පාලනය කළ භූමි ප්‍රදේශ අනියම් ලෙස පිළිගන්නා තත්ත්වයකට යමින් එම පදනමේ සිට සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳාගන්නා තැනකට යොමුවී තිබුණේය.

එහෙත් 2008දී බලයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පූර්වගාමී නායකයන් තෝරාගත් මග අතහැර එල්ටීටීඊයේම පෙළඹවීම මත එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන තැනකට තල්ලු විය. එල්ටීටීඊය අල්ලාගෙන සිටි භූමිය මුළුමනින්ම නිදහස් කරගනිමින් එල්ටීටීඊය ද විනාශ කිරීම ඔහු ආරම්භ කළ යුද්ධයේ අරමුණ විය. ඔහුගේ මෙම යුද ප්‍රවේශයේ අසම්මතභාවයක් සේ ම හිතුවක්කාරී බවක් ද තිබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙම හිතුවක්කාරී වැඩපිළිවෙල බොහෝදෙනෙකුගේ විරෝධයට ද සැකයට ද හේතුවී තිබුණි. ජාත්‍යන්තර ප්‍රජාව ඊට විරෝධය පළ කළා පමණක් නොව, අවහිරකම් ද ඇති කළේය. විරුද්ධ පක්ෂවල තක්සේරුව වූයේ මහින්ද රාජපක්ෂ රට මහා විනාශයකට තල්ලු කරමින් සිටින බවය. ඛේදජනක අවසානයකින් සියල්ල කෙළවර වනු ඇති බව බොහෝදෙනෙකුගේ මතය වී තිබුණි. බාධා කිරීම් නොසලකා සිය වැඩපිළිවෙල මහින්ද ඉදිරියට ගෙන ගියේය.

සිය අරමුණු ජයගැනීම සඳහා උපරිම ශක්තිය පාවිච්චි කළේය. එම වැඩපිළිවෙල එකාවන්ව ඉදිරියට ගෙනයෑම සඳහා මහත් ඇපකැපවීමකින් ක්‍රියා කරන අණදෙන්නන් පිරිසක් ද ඔහුට සිටියෝය. අවසානයේ එල්ටීටීඊය අල්ලාගෙන සිටි සමස්ත භූමිය නැවත අල්ලා ගත්තේය. එල්ටීටීඊය සතුව තිබූ සියලු අවි ආයුධ අල්ලා ගනිමින් ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊයේ සියලු ප්‍රධාන නායකයන් විනාශ කිරීමට ද සමත් විය. එම ජයග්‍රහණය ආශ්චර්යමත් හා අසමසම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ප්‍රාථමික තුවක්කුවලින් පමණක් සන්නද්ධ වූ ජේවීපී කැරැල්ල පරාජය කරන්නට එකල ආණ්ඩුවට දින 984ක කාලයක් ගතවන විට දශක තුනකට තරමක් වැඩි කාලයක් තුළ හොඳින් තහවුරු වී ඉතාමත් නවීන අවි ආයුධවලින් සන්නද්ධ වී සිටි එල්ටීටීඊයය දින 1011ක් වැනි කාලයක් තුළ මුළුමනින්ම පරාජය කිරීමට සමත්වීම ආශ්චර්යයකි. මෙම ජයග්‍රහණයත් සමග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නිදහසින් පසු බලයට පැමිණි සියලු රාජ්‍ය නායකයන් අතුරින් වඩාත්ම ශ්‍රේෂ්ඨ ජන නායකයා බවට පත්වන්නේය.

දක්ෂ ජන නායකයකු තමන් ලබන ජයග්‍රහණයන්ගේ ප්‍රමාණය වැඩිවන තරමට නිහතමානීභාවය ද ආරක්ෂා කරගනිමින් වර්ධනය කරගත යුතුය. රටේ භෞමික අඛණ්ඩතාව ජයගැනීම රට මුහුණ දී තිබුණු ලොකු අභියෝගයකි. ඒ අභියෝගය ඔහු ජය ගත්තේය. එහි ගෞරවය හා ප්‍රණාමය ඔහුට ලැබිය යුතුය. ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහසින් පසු මෙතෙක් බලයට පැමිණි සියලු රාජ්‍ය නායකයන් අතරින් ශ්‍රේෂ්ඨවන්නේ ඒ නිසාය. එහෙත් ඔහු ඒ මගින් හිමිකර ගන්නා ශ්‍රේෂ්ඨභාවය පරිපූර්ණ නැත. ශ්‍රේෂ්ඨත්වය පරිපූර්ණ වනු ඇත්තේ රට මුහුණ දී තිබෙන අන් මූලික ප්‍රශ්න ද ජයගැනීමට ඔහු සමත් වේ නම් පමණය. සියලු ප්‍රශ්න මැද ඉන්දියාවට දියුණුව කරා යන ගෞරවනීය රටක් බවට පත්වීමට හැකිවී තිබෙන්නේත්, සියලු සම්පත් තිබියදීත් ශ්‍රී ලංකාව එකතැන පල්වෙන හෝ හෙමින් හෙමින් ඉදිරියට යන රටක් බවට පත්ව තිබෙන්නේත් ඉන්දියාවට බොහෝ ඈත දකින දැවැන්ත නායකයන් සිටි නිසාත්, අපට කෙටි දුර දකින නායකයන් මිස, දුර දක්නා නායකයන් නොසිටි නිසාත්ය.

නවීන ඉන්දියාවේ නිර්මාතෘවරු තමන් ගැන නොව රට ගැන සිතුවෝය. අනුන්ගෙන් කොපි නොකරමින් අවුරුදු සීයකට වැඩි ඈතක් දකිමින් අවුරුදු තුනහමාරක් තරම් කාලයක් වාද විවාද කරමින් සිය දේශයට ගැළපෙන ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන දේශපාලන ක්‍රමයක් ඇති කරගත්තේය. ඔවුන් අප මෙන් ඉංග්‍රීසීන් දුන් දේශපාලන ක්‍රමය ඒ ආකාරයෙන්ම භාරගත්තේ නැත. තමන්ගේ දේශයට ගැළපෙන තමන්ගේම ක්‍රමයක් ඇති කරගත්තේය. රටේ තිබෙන විවිධත්වය, ඉපැරණි ශිෂ්ටාචාරයේ උරුමකම් සමග නවීන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරගනිමින් නැවත ප්‍රෞඪ රටක් ලෙස නැගී සිටීම ඔවුන් ඉදිරියේ තිබූ අභියෝග විය. අප ජීවත්වන්නේ ඉන්දියාව වැනි විශාල හා ඉතාමත් සංකීර්ණ රටක නොව, ලස්සණ සම්පත්වලින් ආඪ්‍ය පුංචි දිවයිනකය. එහි වෙසෙන්නේ ඉපැරණි ශිෂ්ටාචාරයකට උරුමකම් කියන, උගත්, පිරිසිදු, ප්‍රියජනක ජනතාවකි.

එය මිනිසුන් හාමතේ නොමැරෙන රටකි. දුප්පත්ම මිනිසුන් පවා සමහර රටවල දුප්පත් මිනිසුන්ට වඩා පොහොසත් ජීවිතයක් ගත කරන රටකි. නොදියුණු හෝ අඩු දියුණු සමහර රටවල් දියුණු කිරීම ඉතා පහසු නැතත්, ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කිරීම පහසුය. එහෙත් අවාසනාවකට අපේ රටේ පවතින අවුල්සහගත තත්ත්වයට බලපා තිබෙන එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රටේ පවතින විසම දේශපාලන ක්‍රමය හා ඒ ක්‍රමය විසින් පිස්සු වට්ටා තිබෙන දේශපාලනඥයන්ගේ නරක පැවැත්මය. දැන් අන් සියල්ලටම ප්‍රථම අවතැන්වූවන් පිළිබඳ ගැටලුව ප්‍රධානය. විනාශ වී තිබෙන උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කරන අතර, සුළු ජාතීන් තුළ පවතින අතෘප්තියටද විසඳුමක් සොයාගත යුතුය. ඒ සමග දූෂණය මුළු මහත් සමාජ, දේශපාලන ක්‍රමය වසාගත් මහා පිළිකාවක් බවට පත්ව තිබෙන බව ද අමතක නොකළ යුතුය. වර්ගය, ආගම, කුලය අනුව පවතින බෙදීම් පමණක් නොව, දේශපාලන පක්ෂ අතර පවතින බෙදීම් හා ඒ එකිනෙකා අතර පවතින වෛරය ද රටේ ඉදිරි ගමන අඩාල කරන බාධාවක් ලෙස ක්‍රියා කරයි.

රටේ පවතින දේශපාලන ක්‍රමය දූෂිත හා අධිකාරිවාදී වනවා පමණක් නොව, එය නඩත්තු කිරීමට රටට ඔරොත්තු නොදෙන තරම් අතිවිශාල මිලක් ගෙවන්නට ද රටට සිදුවී තිබේ. මෙම දේශපාලන ක්‍රමය තුළ බලය ඇති හැම පුද්ගලයෙක්ම (පියන්ගේ සිට ඉහළම රාජ්‍ය නිලධාරියා දක්වා) අන් අයගෙන් පළි ගනී. තමන්ට තිබෙන බලය අනුන්ට පීඩා කිරීම සඳහා යොදා ගනී. ප්‍රමුඛ තැන ලැබෙන්නේ දක්ෂයන්ට නොව, හෙන්චයියන්ටය. භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම්වලින් වැඩි කොටසක් යන්නේ අයථා මාර්ගවලය. ධනය තිබුණත් නැතත් හැම මිනිසකුටම ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ අතෘප්තියෙනි. අප ජීවත් වන ලස්සණ ශ්‍රී ලංකාවේ තිබෙන මෙම විකෘතිය ජයගනිමින් ශ්‍රී ලංකාව තෘප්තිමත් මිනිසුන්ගෙන් යුතු, සාමකාමී, සමගිසම්පන්න, ඉපැරණි ශිෂ්ටාචාරයෙන් උරුම කරගත් වටිනාකම් කෙරෙහි සේ ම නවීන ලෝකයෙන් උරුම කරගත් වටිනාකම් කෙරෙහි සංවේදීව ක්‍රියාකරන යහපත් රටක් ගොඩනගන්නේ කෙසේද යන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ තිබෙන ඊළඟ අභියෝගයයි.

ජන නායකයකු වශයෙන් ශ්‍රේෂ්ඨතාව පරිපූර්ණ වන්නේ එම අභියෝගය ජයගන්නේ නම් පමණය. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කොයි මොහොතක හෝ ඇතිවිය හැකි ආණ්ඩු පෙරළියක් ගැන බියවීමට හේතුවක් නැත. අනාගතයේ පැවැත්වෙන මැතිවරණ ගැන ද බියවන්නට හේතුවක් නැත. එසේම ත්‍රස්තවාදී ප්‍රහාර ගැන බියක් ඇතිකර ගැනීමට හේතුවක් නැත. දැන් එළැඹ ඇත්තේ වසා තිබෙන සියලු කවුළු විවර කරමින් අනාගත ශ්‍රී ලංකාව කෙසේ විය යුතුද, ඒ සඳහා අවශ්‍ය කරන වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ මොනවාද යන්න ගැන රට මහා සංවාදයකට යොමු කිරීමය. සියලුදෙනාට සම්බන්ධ විය හැකි ජාතික තලයේ සිදුවන එවැනි මහා සංවාදයක් රටේ පොදු යහපත සඳහා විස්මයජනක ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකිය.