ආණ්ඩුව හා විරුද්ධ පක්ෂය දෙපැත්තට ඇදීම

May 10, 2009
Publication:
The government fought the war as a single-handed act and attacked the opposition through it; the opposition worked to obstruct the war, likened it to Hitler's, and sought to cut off aid. Ivan traces the habit to the system J.R. Jayewardene built to keep an opposition permanently out of power, follows it through the SLFP's own years in the wilderness and its quiet satisfaction at the JVP's revolt, and ends by asking which matters more to either side, the party or the country.

ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයට විරුද්ධ පක්ෂයේ එකඟතාව හා සහාය ලබා නොගත්තේය. යුද්ධය ආණ්ඩුවේ ඒක පුද්ගල ක්‍රියාවක් විය. ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන අතර, යුද්ධය ඈඳාගෙන විරුද්ධ පක්ෂයට පහරදීමට ද අමතක නොකළේය. දැන් ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන්ට මුදාගන්නට සිදුවී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ එක යුගයකදී ප්‍රභාකරන්ට ලියාදෙන ලද ප්‍රදේශ බව විටින් විට හඬ නගා කීමටද ආණ්ඩුවේ ප්‍රකාශකයෝ අමතක නොකළෝය. එජාපයද මේ යුද්ධයේදී අනුගමනය කළේ ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ ආණ්ඩුවේ යුද වැඩපිළිවෙල උපරිම ලෙස අවහිර කරන ප්‍රතිපත්තියකි. ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ආණ්ඩුව උපරිම ලෙස අපකීර්තියට පත් කළේය. යුද්ධය දෙමළ ජනතාවට එරෙහිව කරන හිට්ලර්ගේ යුද්ධයට සමාන කළේය. රටට ලැබෙන ආධාරවලට අවහිර කිරීමට හා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් ලබාගැනීමට පවා උත්සාහ කළේය.

ආණ්ඩුව යුද්ධය අනාගන්නා තත්ත්වයක් තුළ ඇතිවීමට නියමිත සංකීර්ණ වටාපිටාව තුළ බලය අල්ලා ගැනීමට එජාපයේ සිහිනය හා දේශපාලන අපේක්ෂාව වී තිබුණි. අපේ රටේ හැම වැදගත් ප්‍රශ්නයකදීමත් ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය දෙපැත්තකට අදී. ජාතික වැදගත්කමක් ඇති කවර ප්‍රශ්නයකදී වුවත් විරුද්ධ පක්ෂය ආණ්ඩු පක්ෂයට ආධාර කරන්නේ නැත. ආණ්ඩු පක්ෂය ද කවර වැදගත් ප්‍රශ්නයකදීවත් විරුද්ධ පක්ෂයේ සහාය ලබාගන්නේ ද නැත. මෙය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්ත්වයක් නොව, අපේ රටේ පවතින විසම දේශපාලන ක්‍රමයට ආවේණික විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. විරුද්ධ පක්ෂය හා ආණ්ඩු පක්ෂය හැමවිටමත් එකිනෙකා කෙරෙහි වෛරසහගත ආකල්පයකින් ක්‍රියාකරන පිළිවෙත රටේ ප්‍රගතියට බාධා කරන බලවත් සාධකයක් ලෙස සැලකිය හැකිය. මේ ලිපියේ අරමුණ වන්නේ එය එසේවී ඇත්තේ ඇයිද යන ප්‍රශ්නය සාකච්ඡාවට ලක්කිරීමය.

ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් සඳහා බහු පක්ෂ ක්‍රමයක් තිබීම අත්‍යවශ්‍යවේයැ”යි විශ්වාස කරනු ලැබේ. ඇමරිකන් ව්‍යවස්ථාවේ නිර්මාතෘවරු එංගලන්තයේ පැවති ද්වි පක්ෂ ක්‍රමය පිළිකුල් කළෝය. ඔවුන් නිර්මාණය කළේ පක්ෂ ක්‍රමයේ වර්ධනය පිටුදකින ව්‍යවස්ථාවකි. ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් පක්ෂ ක්‍රමය පිළිකුල් කළද ඇමරිකන් ව්‍යවස්ථාවෙන් පක්ෂ ක්‍රමය තහනම් නොකළේය. ඇමරිකන් ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන්ගේ බලාපොරොත්තු වලට පටහැනිව ඇමරිකාවේද පක්ෂ ක්‍රමයක් ඇතිවී වර්ධනය විය. ඇන්.ඇම්. පෙරේරා කියා ඇති පරිදි පක්ෂ ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක ස්වාභාවික ප්‍රතිඵලයකි. සමාන අදහස් හා අරමුණු ඇති අය පොදු විසඳුම් අපේක්ෂාවෙන් එකට එකතු වී ක්‍රියා කරති. ඇමරිකන් ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන්ගේ අපේක්ෂාවන්ට පටහැනිව ඇමරිකාවේ වර්ධනය වූ පක්ෂ ක්‍රමය ඇමරිකන් ව්‍යවස්ථාව ආරක්ෂා කොට එය ක්‍රියාත්මක කිරීමට ඉවහල් වූ ප්‍රබලම සාධකය ලෙස ද සැලකිය හැකිය.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ බහුතර පක්ෂය ආණ්ඩු කළයුතු බව සුළුතර පක්ෂය හෙවත් විරුද්ධ පක්ෂය පිළිගන්නා අතර, විරුද්ධ පක්ෂය විවේචනය කළයුතු බව ආණ්ඩු පක්ෂය පිළිගනී. ආණ්ඩු පක්ෂය ආණ්ඩු කරන අතර, විපක්ෂය ආණ්ඩුව විවේචනය කරන්නේය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර බෙදීමක් ඇතත්, එය වෛරසහගත බෙදීමක් ලෙස සැලකිය නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් තිබුණු පමණකින් විරුද්ධ පක්ෂය බලය යොදා මර්දනය කරන්නේ හෝ පීඩාවට පත් කරන්නේ නැත. මහ රැජිනගේ විරුද්ධ පක්ෂය මර්දනය නොකළ යුතුය යන්න එක්සත් රාජධානියේ පිළිගත් සම්ප්‍රදායක් සේ ම ප්‍රතිපත්තියක් ද වේ. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ විරුද්ධ පක්ෂයක් ආණ්ඩුව විවේචනය කරන්නේද ආණ්ඩුවක් කරන සියලු කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් නොව, පාලන ක්‍රියාවලිය තුළ සිදුවන වැරදි ආණ්ඩුවට සේ ම මහජනයාට ද පෙන්වාදීමේ අරමුණිනි.

පොදු වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදී ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අන්‍යොන්‍ය අවබෝධයෙන් ක්‍රියා කරන අවස්ථා ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ සාමාන්‍යයෙන් දැකිය හැකි ලක්ෂණයකි. එහෙත් අපේ රටේ පවතින දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර තිබෙන අන්තර් සම්බන්ධයේ මහා විකෘතියක් ඇති බව පැහැදිලිව දැකිය හැකිය. ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය බිහිසුණු සතුරකු ලෙස සලකන විට විරුද්ධ පක්ෂය ආණ්ඩු පක්ෂය සලකන්නේ ද බිහිසුණු සතුරෙකු ලෙසය. ආණ්ඩු පක්ෂය ආණ්ඩු කරන අතර, උපරිම බලය යොදා විරුද්ධ පක්ෂය පීඩාවට පත් කිරීම ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය තුළ බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක ප්‍රධාන වගකීම බවට පත්ව තිබෙන අතර, හොඳ නරක නොසලකා ආණ්ඩුවක් කරන සියලු කටයුතු විවේචනය කරන අතර, උපරිම ශක්තිය යොදා ආණ්ඩුව කරන කටයුතු කඩාකප්පල් කිරීම විරුද්ධ පක්ෂයක ප්‍රධාන වගකීම බවට පත්ව තිබේ.

ආණ්ඩුව හා විරුද්ධ පක්ෂය අතර තිබිය යුතු පරස්පර සම්බන්ධයකට ආවේණික මෙම විකෘතිය රටේ පවතින විසම දේශපාලන ක්‍රමයේම අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය.

ජේ.ආර්.ගේ දේශපාලන ක්‍රමය

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන තෙක්ම දේශපාලනය නම්බුව හා කීර්තිය ලබාගැනීමේ මාර්ගයක් ලෙස ක්‍රියාකළා මිස, වස්තුව උපයන මාර්ගයක් නොවීය. අගමැති හා විරුද්ධ පක්ෂ නායකයා අතර පැවති පරතරය විශාල නොවූ අතර, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හා විරුද්ධ පක්ෂ මන්ත්‍රී අතර පැවති පරතරය ද විශාල නොවීය. අගමැතිවරයෙකු සඳහා වෙන් කෙරෙන නිල වාහනයක් අගමැතිවරු හතර පස්දෙනෙකුවත් පාවිච්චි කළෝය. ඇමතිවරුන්ට වෙන් කෙරෙන නිල වාහන සම්බන්ධයෙන් පැවති තත්ත්වයත් ඊට සමාන විය. සියලුම මහජන නියෝජිතයන්ගේ වැටුප් සාමාන්‍ය මට්ටමක පැවති අතර, ඔවුන් අතරින් ලොකුම වැටුප ලැබුණු අගමැතිගේ මාසික වැටුප පවා රුපියල් 1500ක මට්ටමක පැවතුණි. එකල මහජන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ආවේ අද මෙන් ඔවුන්ට ලැබෙන බදු රහිත සුඛෝපභෝගී මෝටර් රථවලින් නොව, දුම්රියෙනි. බොහෝ මන්ත්‍රීවරුන් කුලී රියක් යොදාගත්තේ නිවසේ සිට ආසන්න දුම්රිය ස්ථානය සඳහා යන ගමනටත්, නැවත කොළඹ දුම්රිය ස්ථානයේ සිට ශ්‍රාවස්තියට එන ගමනටත් පමණය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා සාමාන්‍ය මහජනයා අතර පැවති පරතරය ද අද මෙන් අහසට පොළොව තරම් විශාල එකක් නොවීය. එතෙක් පැවති දේශපාලන ක්‍රමයේ පමණක් නොව දේශපාලන සංස්කෘතියේද මහා වෙනසක් ඇති කළ වීරයා ලෙස සැලකිය හැක්කේ ජේ.ආර්. ජයවර්ධනය. පාලක පක්ෂයට රට ආණ්ඩු කිරීමේ බලයට අතිරේකව රටේ පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය ද එකතු කරන ලද ක්‍රමයක් ඔහු ඇති කළේය. නැපෝලියන් ආරම්භක වටයේදී අල්ලා ගන්නා රටවල වස්තුව කොල්ලකෑමේ අයිතිය සිය හමුදා සෙබළුනට ලබාදුන්නා සේ, ඊට වඩා සියුම් ආකාරයකින් රටේ වස්තුව කොල්ලකෑමේ අයිතිය සිය දේශපාලන කණ්ඩායමට ලබාදෙන විශේෂ ක්‍රමයක් ඔහු ඇති කළේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරද, පළමු පෙළේ ආධාරකරුවන් හා පක්ෂපාතී තත්ත්වයක තබා ගතයුතු රාජ්‍ය නිලධාරීන් අතර ද ආණ්ඩුවට අයත් වගා කළ ඉඩම් උපරිමය අක්කර 50 දක්වා පර්චසය රුපියල් 50, 60ක් හෝ 100ක් වැනි තරම් සොච්චම් මිලකට ලබාදෙමින් තෝරාගත් දෙතුන් දහසක් තරම් පිරිසක් ඉඩම් හිමි වැවිලිකරුවන් පිරිසක් බවට පත් කළේය.

මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර, ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර, මගී ප්‍රවාහනය සඳහා වන මාර්ග බලපත්‍ර, දැව ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර සිය පළමු පෙළේ ආධාරකරුවන් අතර බෙදාදෙමින් ඔවුන්ට යහමින් වස්තුව උපයාගත හැකි මාර්ග ඇතිකර දුන්නේය. ජේ.ආර්. ජයවර්ධන ඇති කළ මේ ක්‍රමය තුළ පළමු පෙළේ ආධාරකරුවන්ට ලොකු සල්ලිකාරයන් වීමේ හැකියාව ලැබෙන විට ගම්බද සාමාන්‍ය පෙළේ ආධාරකරුවන්ට ද අඩුම වශයෙන් අවශ්‍ය සුදුසුකම් නැතිව ආණ්ඩුවේ රැකියාවක් හෝ ලබාගත හැකි තත්ත්වයක් ඇති කළේය. ඒ ආකාරයට ඔහු ආණ්ඩු පෙරළියක්, පාක්ෂිකයන්ගේ ජීවිතවල මහා විපර්යාසයක් ඇති කරන මහා දේශපාලන සංසිද්ධියක් බවට පත් කළේය. ඒ මගින් සමස්ත සමාජය ආණ්ඩුවට පක්ෂපාත හා විරුද්ධ යනාදී වශයෙන් වන තියුණු බෙදීමකට ලක්වූ දේශපාලන සමාජයක් නිර්මාණය කළේය. එම දේශපාලන සමාජය හෘදය සාක්ෂියක් නැති සමාජයක් විය.

ආණ්ඩුවට පක්ෂපාත සමාජය, ආණ්ඩුව කරන හොඳ නරක හැම ක්‍රියාවකදීම තමන්ට ලැබෙන වාසි සලකා ආණ්ඩුව ආරක්ෂා කරන සමාජයක් විය. ජේ.ආර්. ජයවර්ධන ගොඩනගන මෙම විසම දේශපාලන ක්‍රමය තුළ විරුද්ධ පක්ෂය පරම හතුරකු ලෙස සලකා ඔවුන් පීඩාවට ලක් කරන පිළිවෙතක් අනුගමනය කළ ද විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට ද ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට තරම්ම නූනද සුවපහසු ජීවන වටාපිටාවක් ඇතිකර දුන්නේය. වැඩි වැටුප්, බදු රහිත සුඛෝපභෝගී වාහන, අවුරුදු පහක සේවා කාලයක් සම්පූර්ණ කරගැනීමෙන් පසු විශ්‍රාම වැටුප් ලබාගැනීමේ අයිතිය වැනි සමහර අයිතිවාසිකම් භේදයකින් තොරව ඔවුන් වෙතද ලබාදෙන ලදි. ඔවුන්ගේ ජීවිත ද පෙර පැවති ක්‍රමය යටතේ ගෙවන්නට සිදුවූ ජීවිතවලට වඩා යහපත් වුවද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු හා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු අතර ඉපයීම්වලදී තිබූ පරතරය ඉතා විශාල විය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ංද, බ්‍රුන්ඩි, ශිවාස් රීගල්, විස්කි වැනි මිල අධික මත්පැන් බොනවිට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගත කරන සුඛෝපභෝගී ජීවිත ගැන හූල්ලමින් පරණ අරක්කු වැනි ඊට අඩු දේවල්වලින් තෘප්තිමත් වීමට සිදුවී තිබුණි.

විරුද්ධ පක්ෂය බෙලහීන කිරීම

ආණ්ඩු බලය වස්තුව උපයාගන්නා විශාල ව්‍යාපාරයක් බවට පත්වීමත් සමග විරුද්ධ පක්ෂයට තමන් හිමි කරගෙන තිබෙන බලය උදුරා ගැනීමට තිබෙන ඉඩකඩ ඇහිරීම සඳහා, විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීත්වය බෙලහීන කිරීම සඳහා හා ඔවුන්ට මහජනතාව අතර තිබෙන පිළිගැනීම දුර්වල කිරීම සඳහා විශේෂ උනන්දුවකින් ක්‍රියාකිරීමටද ආණ්ඩු පක්ෂයට සිදුවිය. විරුද්ධ පක්ෂවල ආධාරකරුවන් තොග ගණනින් රක්ෂාවලින් නෙරපා හරින ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. ඒ නිසා ඇතිවන පුරප්පාඩු සිය පාක්ෂිකයන්ගෙන් පුරවන ක්‍රමයක් ක්‍රියාත්මක විය. ග්‍රාමීය ප්‍රදේශවල විරුද්ධ පක්ෂවල නියමුවන් ලෙස ක්‍රියා කළ පුද්ගලයන් පීඩාවට ලක් කළේය. විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කළේය. නිර්මාණය කළ චෝදනා මත විරුද්ධ පක්ෂ ක්‍රියාකරුවන්ට එරෙහිව නඩු පවරන ක්‍රමයක් ක්‍රියාත්මක විය. මෙසේ දේශපාලන පක්ෂපාතීත්වය අනුව දෙකට බෙදුණු සමාජය එකිනෙකා කෙරෙහි වෛරයෙන් ක්‍රියාකරන වටාපිටාවක් ඇතිවිය.

ජවිපෙ දෙවැනි කැරැල්ල කරළියට එන තෙක්ම ප්‍රධාන විරුද්ධ පක්ෂය වී තිබූ ශ්‍රීලනිප තිබුණේ බෙලහීන තත්ත්වයකය. එම පක්ෂයේ ඇඟට ලේ උනන තත්ත්වයක් ඇතිවූයේ ජවි පෙරමුණ මුදාහළ ප්‍රචණ්ඩ කැරැල්ලත් සමගය. ජවිපෙ කැරැල්ල මුල් වටයේදී ශ්‍රීලනිප තුළ ආස්වාදජනක හැඟීමක් ඇති කිරීමට හේතුවී තිබුණි. අවුරුදු විශාල ගණනක් එක දිගට තමන් පීඩාවට පත් කළ ගණන්කාරයාට, ඔහුගේ ආධාරකරුවන්ට ජවිපෙ තරුණ ගණන්කාරයන් අතින් පහර එල්ල වන තත්ත්වයක් දකින්නට ලැබීම ඔවුන් තුළ මහත් ආස්වාදයක් ඇති කිරීමට හේතුවී තිබුණි. ජවිපෙ කැරැල්ල නිසා එජාප ආණ්ඩුව බිඳ වැටී තමන්ට ආණ්ඩු බලය ලැබෙන තත්ත්වයක් ඇතිවනු ඇතැ”යි ඔවුහු විශ්වාස කළෝය. ඒ නිසා ඔවුහු ජනතා විමුක්ති පෙරමුණට අනියම් ලෙස ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළහ. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අනුකම්පා විරහිතව මර්දනය කිරීම සඳහා යොදාගත් එකී පිළිවෙත්වලට එරෙහිව හඬ නගා කෑගසන ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය.

එහෙත් ශ්‍රීලනිප බලාපොරොත්තු වූ ආකාරයට ජවිපෙ කැරැල්ලේ පිහිටෙන් ආණ්ඩු බලය අත්පත් කරගැනීමට එම පක්ෂය සමත් වූයේ නැත. කැරැල්ල පරාජය වුවද එම කැරැල්ල එජාප ආණ්ඩුවට තිබූ ශක්තිය දුබල කළේය. කැරැල්ලෙන් පසුව ආණ්ඩු පක්ෂයට තිබූ හයෙන් පහේ බලය නැතිවී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පමණක් තිබෙන ආණ්ඩුවක් ඇතිවිය. ආණ්ඩුව දුබල වී තිබුණු ප්‍රමාණයට සරිලන ප්‍රමාණයකට ශ්‍රීලනිප ශක්තිමත් විය. ජේවීපී කැරැල්ල පරාජය වීමෙන් පසු එල්ටීටීඊය එල්ල කරන ප්‍රහාර මගින් හෝ එජාප ආණ්ඩුව බිඳ වැටී තමන්ට ඉක්මණින් බලයට පත්වන තත්ත්වයක් ඇතිවනු දැකීම ශ්‍රීලනිපයේ සැඟවුණු අපේක්ෂාව වී තිබුණි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ අවස්ථාවේදී ශ්‍රීලනිපයට හා පාක්ෂිකයන්ට එය ආස්වාදජනක ප්‍රවෘත්තියක් විය. විරුද්ධ පාක්ෂිකයෝ රතිඤ්ඤා පත්තු කොට සිය ප්‍රීතිය පළ කළෝය. එම ඝාතනය නිසා එජාප ආණ්ඩුව පෙරලුණේ නැතත්, ආණ්ඩු පෙරළියක් ඇතිවීම වැළකීමට ශක්තියක් නැති දුර්වල ජනාධිපතිවරයෙක් බලයට පත්විය.

පොදු පෙරමුණු ආණ්ඩුවක් ඇතිවීම

අවසානයේ අවුරුදු 17ක දීර්ඝ පාලන කාලයකට පසුව 1994දී ශ්‍රීලනිප ප්‍රමුඛ පොදු පෙරමුණ බලයට පත්විය. විරුද්ධ පාක්ෂිකයන් දීර්ඝ කාලයක් තිස්සේ විඳි පීඩා හා හිරිහැර නිසාම ජේ.ආර්. ජයවර්ධන දේශපාලන ක්‍රමයේ ඇතිකර තිබූ විකෘතිය නිවැරදි කිරීමට අවශ්‍ය ඉදිරි දැක්මක් හෝ මානසික ඒකාග්‍රතාවක් එම ව්‍යාපාරයට නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන් පීඩාවට පත් කළ සතුරාගෙන් පළිගැනීමට හා සතුරු පක්ෂ බලයේ සිටි කාලය තුළ සතුරා භුක්ති විඳි වරප්‍රසාද හා අයිතිවාසිකම් තමන් වෙත හිමිකර ගැනීම පමණය. පොදු පෙරමුණු ආණ්ඩුවද එකට එක කළේය. එතෙක් තමන් පීඩාවට පත් කළ දේශපාලන සතුරාගෙන් පළිගත්තේය. විරුද්ධවාදීන් තොග ගණනින් රක්ෂාවලින් දොට්ට දැමුවේය. එජාප ආණ්ඩු කාලයේදී පළිගැනීම්වලට ලක්වූ ආධාරකරුවන්ට උසස්වීම් සමග මුදලින් වන්දි ගෙවන ක්‍රමයක් ඇති කළේය. දේශපාලන කණ්ඩායම් සාමාජිකයන්ට හා පළමු පෙළේ ආධාරකරුවන්ට ඉක්මණින් සල්ලිකාරයන් වීමට වටාපිටාවක් ඇති කර දුන්නේය.

අපද අපේ වාරයේදී උන් කළ හැමදෙයක්මත් කළ යුතුය යන්න ඊළඟ යුගයේදී ක්‍රියාවට නැගුණු ආප්ත පාඨය විය. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ද පරණ අරක්කු වෙනුවට ංද, බ්‍රුන්ඩි, ශිවාස් රීගල්, විස්කි සිත්සේ පරිහරණය කළහැකි යුගයක් උදාවිය. එතෙක් වාසනාවන්ත ජීවිත ගත කළ වාසනාවන්තයන් කාලකණ්ණියන් බවට පත්වී අවාසනාවන්ත ජීවිත ගත කළ අය වාසනාවන්තයන් බවට පත්වූහ.

එදා සහ අද

දැන් විරුද්ධ පක්ෂයේ සිටින එජාප කල්පනා කරන්නේ ද එදා විරුද්ධ පක්ෂයේ සිටියදී ශ්‍රීලනිප කල්පනා කළ ආකාරයටමය. ශ්‍රීලනිපයට ජේවීපීයේ ප්‍රචණ්ඩ කැරැල්ල ආස්වාදයක් වූවා සේම එජාපයට ද එල්ටීටීඊ ප්‍රචණ්ඩ කැරැල්ල ආස්වාදය ඇති කරන දේශපාලන සංසිද්ධියක් විය. ප්‍රභාකරන් අතින් හෝ ආණ්ඩුව විනාශ වී තමන්ට නැවත බලයට පත්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය වාසනාවක් ලෙස සලකන මානසිකත්වයක් එජාප තුළ ගොඩනැගී තිබුණි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනයට ලක්වූ අවස්ථාවේදී එය විරුද්ධ පාක්ෂිකයන්ට ආස්වාදයට හේතුවූවා සේ එල්ටීටීඊය අතින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඝාතනය වන අවස්ථාවලදී එය එජාපයේද අප්‍රසිද්ධ සතුටට හේතුවූ කරුණක් වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මෙම විකෘති දේශපාලන ක්‍රමය විසින් දේශපාලන පක්ෂවල මනස් විකෘති කර තිබෙන තරම හා එම තත්ත්වය පෙරළා රටේ පැවැත්ම කෙරෙහි විනාශකාරී ලෙස බලපා තිබෙන ප්‍රමාණය එල්ටීටීඊයට එරෙහිව දැන් කෙරෙන යුද්ධය තුළ මෙම කණ්ඩායම් දෙකේ හැසිරීම වැඩිදුරටත් සොයාබැලීමෙන් තේරුම් ගත හැකිය.

එජාප පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩු මාරුවක් අපේක්ෂා කළද එය එසේ සිදු නොවීය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ධුර කාල දෙක අවසන්වීමෙන් පසු එජාපයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වනවා වෙනුවට නැවත පොදු පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූවේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ ලොකුම ව්‍යාපෘතිය එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධය ලෙස සැලකිය හැකිය. ඒ වන විට එල්ටීටීඊය ද එක දිගට අවුරුදු විශාල ගණනාවක් තමන්ගේ පාලන බල ප්‍රදේශයක් පවත්වාගෙන යන තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. එම පාලන බල ප්‍රදේශයට නොනිල දේශසීමාවක් ද තිබුණේය. එල්ටීටීඊයට තමන්ගේ ත්‍රිවිධ හමුදාවක් පමණක් නොව, පොලිසියක්, අධිකරණයක්, රේගුවක්ද සහිත පරිපාලන පද්ධතියක් ද තිබුණි. මේ තත්ත්වය ඉදිරියේ ආරක්ෂාව සඳහා රටට ඔරොත්තු නොදෙන තරම් විශාල වියදමක් දරන්නට රටට සිදුවී තිබුණු අතර, එල්ටීටීඊ තත්වාකාර රාජ්‍යයේ පැවැත්ම දේශපාලන ක්‍රමයේ පැවති විකෘතිය වේගවත් කිරීමෙන් නොනැවතී එය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය බෙලහීන කිරීමට හේතුවන වැදගත් සාධකයක් ලෙස ද ක්‍රියා කළේය.

රාජ්‍යයක අවි දැරීමේ ඒකාධිකාරී බලය තිබිය යුත්තේ රාජ්‍යයට පමණය. එහෙත් ශ්‍රී ලංකා රජය තුළ විසිපස් වසරකට ආසන්න කාලයක් තිස්සේ රාජ්‍යයට අතිරේකව අවි දැරීමේ බලය පවත්වාගෙන ගිය ප්‍රතිපක්ෂයක් ද රටේ සිටියේය. ඒ අර්ථයෙන් එම විසිපස් වසර තුළ එක පාලනයක් වෙනුවට රටේ ද්වන්ද්ව පාලනයක් තිබුණේයැ”යි කිව හැකිය. ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම සාකච්ඡා මගින් හෝ යුද්ධයෙන් ජයගත යුතුව තිබුණේය. එල්ටීටීඊය වෙනම රාජ්‍යයක් හෝ කොන්ෆෙඩරේෂන් තත්ත්වයකින් මෙපිට ඊට අඩු විසඳුමක් සඳහා එකඟ වන තත්ත්වයක නොසිටි හෙයින් යුද්ධය මෙම අවුල ජයගැනීමට තිබුණු එකම මාර්ගය බවට පත්ව තිබුණි. රාජපක්ෂ ජනාධිපතිවරයා එල්ටීටීඊයට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමට ගනු ලැබූ තීරණය කෙරෙහි බලපෑ හේතු විවිධ විය හැකි වුවත්, රටේ පොදු යහපත සඳහා එල්ටීටීඊයට එරෙහිව කරන ජයග්‍රාහී යුද්ධයක් රටට අවශ්‍ය වී තිබුණි.

ජාතික වැදගත්කමක් ඇති එවැනි යුද්ධයකදී විරුද්ධ පක්ෂයේ සහාය ලබාගැනීමේ වගකීමක් ජනාධිපතිවරයාට තිබුණා සේම ජාතික වැදගත්කමක් ඇති එම ප්‍රශ්නයේදී ආණ්ඩුවට සහාය දීමේ වගකීමක් විරුද්ධ පක්ෂවලට ද තිබුණි. එහෙත් මෙම ප්‍රතිපක්ෂ දෙක ජාතික වැදගත්කමක් ඇති මෙම ප්‍රශ්නයේදී දෙපැත්තට අදින පිළිවෙතක් අනුගමනය කළා විනා සහයෝගයෙන් ක්‍රියාකරන පිළිවෙතක් අනුගමනය කළේ නැත. එම නොමනා තත්ත්වය නායකයන් දෙපළගේ වරදක් නිසා ඇතිවූ තත්ත්වයකට වඩා රටේ පවතින විසම දේශපාලන ක්‍රමය තුළ නොවැළැක්විය හැකි තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එල්ටීටීඊය ගොඩනගා ගෙන තිබුණු ශක්තියේ පරිමාව අනුව එල්ටීටීඊය පරාජය කිරීම අරමුණු කරගත් යුද්ධ ව්‍යාපාරයක් දෙමළ ජනතාව කෙරෙහි විශාල පීඩාවක් ඇති කිරීමට හේතුවන යුද්ධයක් වන්නට ඉඩක් තිබුණා සේ ම එය පෙරළා ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන්ට විශාල ලෙස හානි ඇති කරන යුද්ධයක් වීමට නියමිතව තිබුණේය.

ඒ සියල්ල එසේ තිබියදීත් රටේ ඉදිරි ගමන සඳහා එල්ටීටීඊය පරාජය කිරීම සඳහා එම වන්දිය රට ගෙවිය යුතුව තිබුණේය. යුද්ධය ආරම්භයේදී රට තුළ සංකීර්ණ හා හැඟීම්බර වටාපිටාවක් ඇති කිරීමට හේතුවිය. ජාත්‍යන්තර ප්‍රජාව යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය කිරීමට හැකිවනු ඇතැ”යි විශ්වාස නොකළේය. යුද්ධය දෙමළ ජනතාව පීඩාවට පත් කිරීමෙන් නොනැවතී එල්ටීටීඊයේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවනු ඇතැ”යි විශ්වාස කළ ඔවුහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුද වැඩපිළිවෙලට අවහිර කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළෝය. යුද්ධය ආරම්භයේදී රටේ මානව අයිතිවාසිකම් කෙරෙහි ඇති කර තිබුණු පීඩාකාරී බලපෑම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි විවේචනයට හේතුවී තිබුණි. යුද්ධය තුළ ගොඩනැගී තිබුණු මෙම සංකීර්ණ වටාපිටාව තුළ විරුද්ධ පක්ෂය උපරිම ලෙස ආණ්ඩුවට අවහිර කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය.

විධායක ජනාධිපති ක්‍රමය තුළ ජනාධිපතිවරණයකදී මිස, ඉන් මෙපිට ජනාධිපතිවරයෙකු බලයෙන් පහකිරීම කළ නොහැකි දෙයක් වුවද, රටේ පැවති සංකීර්ණ වාතාවරණයක් තුළ සිදුවිය හැකි ආණ්ඩු පෙරළියක් ගැන ඔවුහු සිහින දැක්කෝය. ශ්‍රී ලංකාව මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරන තත්ත්වයක සිටින නිසා ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර සීමා කළයුතුයි කියන මතය වෙනුවෙන් ඔවුහු අප්‍රසිද්ධියේ පෙනී සිටියෝය. GSP+ සහනය කපා හැරීම සුදුසු බවද ඔවුන් අප්‍රසිද්ධියේ දැරූ මතය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමක් පවා ඔවුහු අපේක්ෂා කළහ. ආරක්ෂක ලේකම්වරයා හා යුද හමුදාපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඉදිරියට ගෙනා යුතු බවද ඔවුන්ගේ විශ්වාසය වී තිබුණි.

වඩා වැදගත් පක්ෂය ද රටද?

මෙම අර්බුදයේදී ආණ්ඩුව හා විපක්ෂය දෙපැත්තට අදින පිළිවෙතක පිහිටා ක්‍රියා නොකොට ආණ්ඩුව විරුද්ධ පක්ෂයේ සහාය ලබාගන්නා හා විරුද්ධ පක්ෂය ආණ්ඩුවට අවංක ලෙසම සහාය දෙන පිළිවෙතක පිහිටා ක්‍රියාකරන තැනකට යෑමට හැකිවී නම් රටේ කීර්තිය ද ආරක්ෂා කරගනිමින් මීට වඩා කාර්යක්ෂම ආකාරයකින් මේ අර්බුදය ජයගැනීමේ හැකියාව රටට ලැබෙන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් එය දෙපක්ෂයේම ගෞරවයට හේතුවන කරුණක් ද වන්නට ඉඩ තිබුණි. එල්ටීටීඊයට එරෙහිව භූමියේ ආධිපත්‍යය සඳහා කෙරෙන යුද්ධය ජයගෙන ඇතත්, තවමත් සමස්ත ප්‍රශ්නය ජයගැනීමට රට සමත් වී නැති බව ආණ්ඩු පක්ෂය සේම විරුද්ධ පක්ෂ ද අමතක නොකළ යුතුය. ලක්ෂ දෙකකට වැඩි සරණාගතයන් පිරිසක් ලෝකයේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස නඩත්තු කිරීමේ අභියෝගයක් රට ඉදිරියේ පවතී. ඔවුන් හැමදා කඳවුරුවල තබාගත නොහැකිය. ඔවුන් ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කළ යුතුය.

ඔවුන්ට නිවාස ලබාදිය යුතුය. ජීවන මාර්ග ලබාදිය යුතුය. අසල්වැසි දකුණු ඉන්දියාව පමණක් නොව, විදේශ රටවල ජීවත් වන දෙමළ ජනතාව ශ්‍රී ලංකාව කෙරෙහි ඇති කරගෙන තිබෙන්නේ කෝපයකි. ඒ ආකල්පවල වෙනසක් ඇති කළ යුතුය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ආකල්පවල ද වෙනසක් ඇති කළ යුතුය. ඔවුන්ට විසඳා ගැනීමට තිබෙන දේශපාලන ප්‍රශ්න හරියාකාරව හඳුනා ගනිමින් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතුය. ඒ සමග අපේ රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යනවාද නැතිනම් රටේ යහපතට හා ගෞරවයට හේතුවන නව දේශපාලන ක්‍රමයක් ඇති කර ගන්නවාද යන ප්‍රශ්නය ද සාකච්ඡාවට ලක්විය යුතුය. මේ කිසිවක් සරල හෝ අතිපහසු නැත. සංකීර්ණ හා දුෂ්කරය. මෙම සංකීර්ණ ප්‍රශ්නවලට විසඳුම් සොයන තැනකට අපට සාර්ථක ලෙස යා හැකිවනු ඇත්තේ ප්‍රධාන දේශපාලන බලවේග දෙක එකට එකතු වී වැඩ කරන තැනකට ඒමෙන් පමණය.

ඒ සඳහා අවශ්‍ය කරන ඉදිරි දැක්මක් ආණ්ඩුවට තිබේද? ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබේද? එජාපයට තිබේද? එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට තිබේද? ඒ සියලුදෙනාට වඩා වැදගත් රටද? නැතිනම් බලදේශපාලනයද?