යුද මුක්ත කලාපය ලෙස හැඳින්වෙන වැල්ලේ පුංචි බිම් තීරයක කෙරෙන යුද්ධය අවසන් වී නැතත්, එල්ටීටීඊ ආධිපත්‍යයෙන් භූමිය මුදාගැනීම සඳහා කෙරුණු යුද්ධය සාර්ථක ලෙස අවසන් වී ඇතැ”යි කිව හැකිය. රටට අවශ්‍ය වී තිබූ එම දුෂ්කර හා සංකීර්ණ ඉලක්කය ජයගැනීමේ ගෞරවය, සේනාධි නායකයා වශයෙන් රටේ ජනාධිපතිටත්, එම වැඩපිළිවෙල ක්‍රියාවට නගන ලද ආරක්ෂක ලේකම්ට, යුද හමුදාපතිට, නාවික හමුදාපතිට, ගුවන් හමුදාපතිට හා ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරීන් ඇතුළු සෙබළුන්ට හිමිවිය යුතුය. එල්ටීටීඊය ශ්‍රී ලංකා ආණ්ඩුවට යුදමය වශයෙන් පරාජය කළ හැකි ව්‍යාපාරයක් ලෙස ලෝකය දුටුවේ නැත. ඒ නිසා ආරම්භයේ සිට එක්තරා විශාල දුරක් යන තෙක් ආණ්ඩුවට එම යුද්ධය ඉදිරියට ගෙනයන්නට සිදුවූයේ සමහර රටවලින් එල්ල වන බාධා කිරීම් මැද්දේය. ඒ නිසා යුද්ධයට බාධා කරන රටවලට එරෙහිව එකට එක කියන ඒ රටවල්වල ආකල්ප දැඩි ලෙස විවේචනයට ලක් කරන පිළිවෙතක් එදා පැවති තත්ත්වයට හොඳින් ගැළපුණේය.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක හමුදා එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ඊට පෙර එවැනි තත්ත්වයක් විශ්වාස නොකළ රටවල් පවා අවසානයේදී එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය කර ඇති බව ප්‍රසිද්ධියේ පිළිගත්තේය. ආධාර කණ්ඩායමේ සම සභාපති මණ්ඩලය පවා ආයුධ බිම තබා යටත් වන ලෙස ප්‍රසිද්ධ නිවේදනයක් මගින් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන සරණාගතයන් පිළිබඳ මානුෂික අර්බුදය ජයගැනීම සඳහා අපට විදේශ රටවල ආධාර අවශ්‍ය නම්, ආධාර අපේක්ෂා කරන රටවල් සමග අනවශ්‍ය ලෙස ගැටුම් ඇතිකර ගන්නා තත්ත්වයට නොයා යුතුය. අපට ඒ කිසිවකුගෙන් ආධාර අවශ්‍ය නැතිනම් මෙම මානුෂික අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන වියදම් මුළුමනින් දේශීය වශයෙන්ම සොයාගැනීමට හැකි නම් අප එම රටවල් දැඩි ලෙස විවේචනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළාට වරදක් නැත. එහෙත් මෙම මානුෂික අර්බුදයේදී අපට ඔවුන්ගෙන් ආධාර අවශ්‍ය නම්, ඔවුන් සමග ගැටුම් ඇතිකර ගන්නා තැනකට යායුතු නැත.
එල්ටීටීඊයට එරෙහිව කෙරෙන තීරණාත්මක යුද්ධයක් පැවති අවස්ථාවේදී ඊට අවහිර කරන රටවල් විවේචනය කිරීම හා ඔවුන්ට එරෙහිව උස් ස්වරයකින් කථා කිරීම නිවැරදිය. යුද්ධයකදී යම් තරමකට මහන්තත්ත්වය හා උද්ධච්ඡභාවය අවශ්‍යය. එහෙත් භූමියේ ආධිපත්‍යය සඳහා කෙරෙන යුද්ධය අවසන් වී තිබෙන තත්ත්වයක් යටතේ හා සරණාගතයන් පිළිබඳ අතිවිශාල හා සංකීර්ණ මානුෂික අර්බුදයකට මුහුණදී තිබෙන මේ අවස්ථාවේදී රටක් වශයෙන් අප කථා කරන ස්වරය මීට පෙර කථා කළ ස්වරයට වඩා වෙනස් විය යුතුය. දැන් අපි සන්සුන්ව හා නිහතමානීව කරුණු විස්තර කරදෙන තැනකට යා යුතුය. කොටින්ම දැන් අප ඉන්නේ ගියරය මාරුකළ යුතු තැනකය. රටක් වශයෙන් අපට හංගන්නට බියවන්නට හෝ ලැජ්ජාවන්නට හේතුවක් නැත. කවර යුද්ධයකදී වුවත් මිනිසුන් මරණයට පත්වන්නේය. තුවාල ලබන්නේය. අවතැන් වන්නේය. ඒ කිසිවක් සුන්දර විය නොහැකිය. මෙවැනි යුද්ධයක් සැලකෙන්නේ සිවිල් යුද්ධයක් ලෙස වුවත්, එම සිවිල් යුද්ධය කෙරුණේ දුනු, ඊතල ගත් ප්රතිපක්ෂයක් සමග නොවේ.
කාලතුවක්කු වැනි බර ආයුධවලින් යුද්ධ කරන ප්රතිපක්ෂයක් සමගය. යුදමය වශයෙන් එල්ල වී තිබෙන අභියෝගයේ ප්‍රමාණය අනුව සලකන විට සිදුවී තිබෙන හානි පිළිගත හැකි මට්ටමක පවතී. ශ්‍රී ලංකාව දෙස කිසියම් සැකයකින් බලන රටවල් ඇතොත්, ඔවුන් ද ඒ බව ඉක්මණින් තේරුම් ගන්නවා ඇත. දැන් රටට ආධාර අවශ්‍යය. විශාල වශයෙන් ආධාර ලබාගත හැකි පිළිවෙතකට රට යොමුකළ යුතුය. කොන්දේසි විරහිතව ආධාර කරන රටවල් තිබිය හැකි වුවත්, සාමාන්‍යයෙන් රටවල් ආධාර කරන්නේ කොන්දේසි සහිතවය. විශේෂයෙන්ම මෙවැනි මානුෂික අර්බුදවලදී කොන්දේසි බවට පත්වන්නේ පිළිගත් ජාත්‍යන්තර ප්රමිතීන්ය. අවතැන්වූවන් සඳහා පවත්වාගෙන යන කඳවුරුවල තිබිය යුතු ප්රමිතීන් ගැන ඔවුන් කථා කරන්නේ නම් එම ප්රමිතීන්වලට අනුකූලව ක්‍රියා කරන්නට අපට සිදුවේ. එවැනි කොන්දේසියක් රටේ ගෞරවයට හෝ ස්වාධීනත්වයට හානිකරන්නේ නැත.
මෙවැනි මානුෂික අර්බුදයකදී ආධාර කරන රටවල් පවතින තත්ත්වය දැක බලාගෙන තමන්ගේම තක්සේරුවක් ඇති කරගන්නට ෙෙ ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැකිය. එවැනි දේවල් සුනාමි ව්‍යසනයේදීත් සිදුවිය. අපි ආධාරවලදී හීන දීනව ක්‍රියාකරන තැනකට යා යුතු නැතත්, ආධාර අපේක්ෂා කරන රටවල් සමග රණ්ඩු කරන තැනකට යෑම අපේ යහපතට හේතුවන්නේ නැත. මෙම මානුෂික අර්බුදය ජයගැනීම සඳහා යන ගමනේදී විදේශ රටවලට දොරටු වසා තබන ප්‍රතිපත්තියක් වෙනුවට දොරටු විවෘත කරන ප්රතිපත්තියකට යා යුතුය. අපට ලැබෙන ආධාරවල පරිමාව වර්ධනය කරගැනීමට හැකිවනු ඇත්තේ ඉවසීමෙන් ඇහුම්කන්දෙන, ඉවසීමෙන් කරුණු පැහැදිලි කරදෙන සුබ නම්ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙනි. ආධාර වශයෙන් ලැබෙන හැම සතයක්මත් ඵලදායී ලෙස පාවිච්චි කෙරෙන අර්ථවත් වැඩසටහනක් රටට තිබිය යුතුය.