යුද්ධය මුළුමනින් අවසන් නැතත්, භූමියේ ආධිපත්‍යය සඳහා කරන ලද යුද්ධයේදී එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමට ආණ්ඩුවේ ආරක්ෂක හමුදා සමත් වී සිටී. යුද මුක්ත කලාපයේ හිරවී සිටි ජනතාවගෙන්ද අතිවිශාල බහුතරයක් මුදා ගැනීමට හැකිවී තිබේ. දැන් ඉතිරි වී තිබෙන්නේ වර්ග කිලෝමීටර් 6ක් තරම් භූමි ප්‍රමාණයක හිරවී සිටින ඉතිරි ජනයා මුදාගැනීම හා ඔවුන් අතර සැඟවී සිටින එල්ටීටීඊ නායකයන් අල්ලා ගැනීම හා විනාශ කිරීම පමණය. ඉතිරි වී තිබෙන සීයට එකකටත් අඩු දේ ජයගැනීමට කලබලකාරී ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ නැත. එල්ටීටීඊයට එරෙහිව පුංචි රටක කෙරෙන පුංචි අභ්‍යන්තර යුද්ධයක් වුවත් එය අසල්වැසි ඉන්දියාව කෙරෙහි පමණක් නොව, සමස්ත ලෝකය කෙරෙහි ද එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට බලපායි. මෙම යුද්ධයේදී අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවට උපරිම ලෙස ආධාර කළේය. දැන් ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙමින් තිබෙන අතර, ඒ කෙරෙහි සංවේදීව ක්‍රියාකිරීම අපේ වගකීමකි.
බටහිර ලෝකයට එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධය පිළිබඳව ආරම්භයේදී සැකයක් තිබුණද, දැන් ඔවුන් ද එල්ටීටීඊ ය යුදමය වශයෙන් පරාජය කර තිබෙන බව අවිවාදයෙන් පිළිගනී. එහෙත් යුද මුක්ත කලාපයේ හිරවී සිටින ඉතිරි ජනයා පිළිබඳ ප්රශ්නය තවමත් ඔවුන්ට සංවේදී ප්‍රශ්නයක් වී තිබේ. බටහිර රටවල විශාල දෙමළ ජනතාවක් ජීවත් වන බව අප අමතක නොකළ යුතුය. ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය පරාජය කරන විට ඒ නිසා ලෝක දෙමළ ජනතාව අතර ඇති කරන ආවේගයන්, ප්රචණ්ඩ ක්‍රියාකාරකම් බටහිර රටවල ඇති කිරීමට හේතුවේද කියන සැකයක් බටහිර රටවල් තුළ පවතී. ඒ ගැන ද රටක් වශයෙන් අපි සංවේදී විය යුතුය. ආණ්ඩුවේ යුදමය වැඩපිළිවෙලට බාධා කරන තත්ත්වයක සිටි අවස්ථාවේදී බටහිර රටවල් සමග ආවේගයෙන් හා කෝපයෙන් වාද කරන තැනකට යාම වරදක් නොවූවත්, ඒ ප්‍රතිපත්තිය රටට ගැලපෙන්නේ නැත. දැන් රටට අවශ්‍ය වන්නේ කෝපයෙන් හා ආවේගයෙන් ප්‍රතිචාර දක්වන ප්‍රතිපත්තියක් නොව සන්සුන්ව හා තර්කානුකූලව ලෝකයට කරුණු පැහැදිලි කරදෙන පිළිවෙතකි.
එක කටක් මිස කටවල් ගණනාවක් රටට අවශ්‍ය නැත. ආරක්ෂක හමුදා ගුවනින් හා කාලතුවක්කුවලින් එල්ල කරන ප්‍රහාර නවතා සැහැල්ලු ආයුධ මත පදනම් වී සිවිල් ජනයා මුදාගැනීමේ ක්‍රියාන්විතය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට ගෙන තිබෙන තීරණය යහපත් තීරණයකි. එය මෙහෙයුම් අවසන් කිරීමක් ලෙස අර්ථකථනය කරමින් අවුල් ඇති කිරීමට විරුද්ධ පක්ෂ උත්සාහ නොකළ යුතුය. මතුවී තිබෙන්නේ මුළු රටේම අනාගතය කෙරෙහි බලපාන ජාතික වැදගත්කමක් ඇති ප්රශ්නයකි. එම සංකීර්ණ ප්රශ්නය රටේ යහපතට හේතුවන ලෙස විසඳා ගැනීමට ආධාර කරනවා මිස අවුල් ඇති කරන ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත. ආණ්ඩුව ද විරුද්ධ පක්ෂ බැහැර කරන ප්රතිපත්තියකට නොයා යුතුය. මෙම සංකීර්ණ ප්රශ්නය විසඳා ගැනීමට ඔවුන් ද දායක කරගත යුතුය. ජාත්‍යන්තර ප්‍රජාව සමග ද අනවශ්‍ය ගැටුම් ඇතිකර ගන්නා තැනකට නොගෙස් මේ ප්රශ්නය විසඳා ගැනීම සඳහා ඔවුන්ගෙන් ද උපරිම ලෙස ආධාර ලබාගන්නා ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතුය.
අවතැන්වූවන් නඩත්තු කිරීම, ඔවුන් නැවත පදිංචි කරවීම හා ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා විශාල වියදමක් අවශ්‍ය වන අතර, ඒ වියදමෙන් සැලකිය යුතු කොටසක් අප සොයාගත යුතුව තිබෙන්නේ ජාත්‍යන්තර ප්රජාවගෙනි. ඔවුන්ට පහර දෙන පිළිවෙතක පිහිටා අපට ඔවුන්ගෙන් උපරිම ලෙස ආධාර ලබාගැනීමට හැකියාවක් නැත. මේ යුද්ධයේදී ශ්‍රී ලංකාවට ලෝකයට සැඟවීමට විශේෂ දෙයක් නැත. එය ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී ව්‍යාපාරයකට එරෙහිව කරන ලද සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත් යුද්ධයකි. ඕනෑම යුද්ධයකදී හානි සිදුවන්නේය. මේ යුද්ධයේදීද හානි සිදුවී ඇත්තේය. එහෙත් ඒවා පවතින්නේ පිළිගත හැකි මට්ටමකය. අපට සඟවන්නට විශේෂ දෙයක් නැතිනම් මෙහි එන්නට කැමති ඕනෑම කෙනෙකුට එන්නට ඉඩදීම රටේ යහපතට මිස, අයහපතට හේතුවන්නේ නැත.