දෙමළ ප්‍රශ්නය ජයගැනීම

April 19, 2009
Publication:
The price of defeating the LTTE is not yet countable, Ivan writes, but the harder question is what follows: how to heal a community that has paid an enormous forfeit and now carries a defeated mind. The Tamils hold an old language and an old civilisation, and cannot be governed by force against their will; the road out begins when Sinhalese hearts set down the victor's pride.

එල්. ටී. ටී. ඊ. ය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා රටක් වශයෙන් අපට ගෙවන්නට සිදුවූ වන්දියේ ප්‍රමාණය කොතරම්ද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් අවුරුදු විසිපහක් තිස්සේ ජයගත නොහැකි අභියෝගයක් ලෙස පැවති එල්. ටී. ටී. ඊ. යුද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කරන්නට ආරක්ෂක හමුදා සමත්වී සිටින බව පැහැදිලිය. ඔවුන් ඇති කරගෙන තිබුණු යුද සූදානමේ තරම හරිහැටි දැකීමේ හැකියාව මහජනයාට ලැබුණේද මෙම යුද්ධය නිසාය. ඒ තත්ත්වය දෙස බලන විට යුද්ධයෙන්ම හැර මේ ප්‍රශ්නය විසඳාගැනීමට අන් මගක් තිබුණේ යැයිද කිව නොහැකිය. දැන් ඉතිරි වී තිබෙන සංවේදී ප්‍රශ්න අතර ප්‍රධාන වන්නේ එල්. ටී. ටී. ඊ. ය ආරක්ෂක පලිහක් ලෙස යොදාගෙන සිටින යුද මුක්ත කලාපයේ සිටින ලක්ෂයකට අඩු හෝ වැඩි ජනතාව ඔවුන්ට බරපතල හානියක් ඇති නොවන ලෙස මුදාගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. ඒ සඳහා තමන්ට වැඩ පිළිවෙලක් තිබෙන බව ආරක්ෂක ප්‍රධානීන්ගේ මතය වී තිබේ.

එම සංවේදී ප්‍රශ්නය ලෝක ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස විසඳාගැනීමට සමත් වෙතොත් එය රටේ අනාගතය කෙරෙහි යහපත් ලෙස බලපානු නොඅනුමානය. මෙම ප්‍රශ්නය විසඳාගැනීමෙන් පසු ඉතිරිවන ඊළඟ සංවේදී ප්‍රශ්න දෙක වනු ඇත්තේ යුද්ධ මුක්ත කලාපයෙන් මුදාගත් ජනතාව ඇතුලු දැනට ආණ්ඩුවේ පාලන ප්‍රදේශවල සරණාගත කඳවුරුවල ජීවත්වන සරණාගතයින්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන්නට යන වැඩපිළිවෙල හා ඒ සමග පොදුවේ දෙමළ ජනතාවගේ දේශපාලන දුක්ගැනවිලි නිරාකරණය කිරීම සඳහා ආණ්ඩුව කරන්නට යන්නේ කුමක්ද යන ප්‍රශ්නයයි. අවුරුදු විසිපහක කාලයක් තිස්සේ බිහිසුණු යුද්ධයක් රටේ තිබුණද එය බාහිර යුද්ධයක් නොව අභ්‍යන්තර යුද්ධයක් බව අපි අමතක නොකළ යුතුය. මොන මොන හේතු නිසා හෝ එක්ව ජීවත්වීම ප්‍රතික්ෂේප කරමින් වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා උද්යෝගයෙන් ක්‍රියාකරන බලවේගයක් දෙමළ ජනතාව අතර ගොඩනැගී තිබුණි.

වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා ඔවුන් පවත්වාගෙන ගිය බලවත් යුද්ධ ව්‍යාපාරය පරාජය කිරීමට හැකිවීම රටේ වාසනාවක් වුවත් ඒ ලද පරාජය වෙනුවෙන් අතිවිශාල වන්දියක් ගෙවීමට ඔවුන්ට සිදුවී තිබෙන බව හා ඒ නිසා ඔවුන් පරාජිත මනස් සහිත ජනවර්ගයක් බවට පත්ව සිටින බව අපි අමතක නොකළ යුතුය. ඔවුන් පරාජය කිරීමේ අරගලය වෙනුවෙන් ආරක්ෂක හමුදාවන්ට ද ජීවිත පූජා කරන්නට සිදුවූ බව සත්‍යයකි. එහෙත් මරණවල වේදනාව වැඩියෙන් දැනෙන්නේ ජයග්‍රාහකයාට නොව පරාජිතයාටය. යුද්ධය අවසානයේ රටට ඉතිරි වන ලොකුම ප්‍රශ්නය වන්නේ දෙමළ ජනයාගේ පෑරුණු හදවත් සුව කරන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. මේ සියල්ල මෙසේ වුණේ ඇයිද යන ප්‍රශ්නය කෙරෙහි දේශපාලනඥයින්ගේත්, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේත්, ආගමික නායකයින්ගේත්, උගතුන්ගේත්, සමාජයේත් බැ?රුම් අවධානය යොමු විය යුතුය. ඔවුන් ආයුධ අතට ගෙන නැගී සිටින තැනකට ගියේ ඔවුන් තුළ පැවති බෙදුම්වාදී ආකල්ප නිසාමද නැත්නම් බෙදුම්වාදී හැඟීම් ඇති කිරීම හා වර්ධනය කෙරෙහි සිංහල පාලකයින් අනුගමනය කළ ජාතිවාදී හා අවස්ථාවාදී ප්‍රතිපත්ති බලපෑවේද? ඔවුන් සමාන අයිතිවාසිකම් ඇති ජන කොටසක් ලෙස සලකා අපි ක්‍රියා කළේද? දැන් අප ඉදිරියේ තිබෙන අභියෝගය පෑරුණු හදවත් ඇතිව සිටින ජනතාවගේ හදවත් සුව කරන්නේ කෙසේද යන්න හා සමාන අයිතිවාසිකම් ඇති ගෞරවනීය ජන කණ්ඩායමක් ලෙස සමාජ දේහයට ඔවුන් එකතු කරගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි.

මේ රටේ ඉතිහාසයේ ඔවුන්ගේ පැවැත්ම සිංහලයින්ගේ පැවැත්මට වඩා පැරණිද අලුත්ද යන ප්‍රශ්නය වැදගත් වන්නේ නැත. ඔවුන්ද පොහොසත් භාෂාවකට හා ඉපැරණි හා දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ජනවර්ගයක් බව අපි අමතක නොකළ යුතුය. අපට ඔවුන්ගේ කැමැත්ත ඇතිව මිස ඔවුන් බලහත්කාරයෙන් පාලනය කළ නොහැකිය. අවශ්‍ය වී ඇත්තේ මූනිච්චාවට ඇති කරගන්නා යාලුකමක් නොවේ. හද පත්ලෙන් ඇති කරගන්නා වූ යාලුකමකි. ශ්‍රී ලංකාව අලුත් යුගයකට යන ගමන ආරම්භ කළ හැකි වනු ඇත්තේ යුද්ධයේ පරාජය විසින් සිංහල හදවත් වල ඇති කර තිබෙන ජයග්‍රාහී මානය අතහැර විපතට පත්ව සිටින ඔවුන් දෙස දයාවෙන්, ගෞරවයෙන් හා අනුකම්පාවෙන් ක්‍රියා කළ හැකි නම් පමණය.