රනිල් තමන්ට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයෙන් මතුවූ තුන්වැනි මහා කැරැල්ලද ජයගත්තේය. මෙවර මතුවූ කැරැල්ලේ විශාලත්වය ඊට ආවේණික සටන්කාමී ස්වරූපය හා කැරැල්ලට නායකත්වය දුන් පුද්ගලයන්ගේ ස්වරූපය අනුව බොහෝදෙනෙකු විශ්වාස කළේ මෙවර නම් නායකත්වයේ වෙනසක් ඇතිවීම නොවැළැක්විය හැකි වනු ඇති බවය. එහෙත් තුන්වැනි කැරැල්ලද පුස්සක් බවට පත්විය. එහෙත් කැරැල්ල ආරම්භයේදීම මා පළ කළ අනාවැකිය වූයේ පක්ෂ ව්‍යවස්ථාවේ ස්වභාවය අනුව රනිල් වික්‍රමසිංහ කැමැත්තෙන්ම නායකත්වය අත්හැර ගියහොත් මිස, ඔහු පරාජය කිරීමේ හෝ ඉවත් කිරීමේ හැකියාවක් නැති බවය. පොතේ උගත්කම අනුව බලන විට සිරිමා බණ්ඩාරනායක මැතිනිය රනිල් වික්‍රමසිංහ තරම් උගත්තියක් නොවූවාය. එහෙත් ඇය ද පක්ෂ ව්‍යවස්ථාවේ පිහිටෙන් 1977න් පසු තමන්ට එරෙහිව පැන නැගි හැම කැරැල්ලක්ම පරාජය කොට තම පැවැත්ම රැකගැනීමට සමත් වූයේය.
එහෙත් රනිල් වික්‍රමසිංහට පවා සිරිමා බණ්ඩාරනායක මැතිනියගෙන් උගත හැකි වැදගත් පාඩමක් ඇත්තේය. ඇය පක්ෂ අභ්‍යන්තරයෙන් තමන්ට එරෙහිව මතුවන හැම කැරැල්ලක්ම පරාජය කොට යූඑන්පිය පාලන බලයේ සිටි අවුරුදු 17ක් තරම් දීර්ඝ කාලය තුළ සිය බලය රැකගැනීමට සමත් වුවත් යූඑන්පි පාලනයේ අවසානයේ ශ්‍රීලනිප දිනාගන්නා ජයග්‍රහණයේදී රටේ රාජ්‍ය නායිකාව වීමට සමත් නොවීය. බණ්ඩාරනායක මැතිනිය පක්ෂය අත්හැර ගොස් සිටි සිය දුව චන්ද්‍රිකා නැවත පක්ෂයට කැන්දාගෙන ආවේ පක්ෂ නායකත්වය දුවට දීමේ අරමුණින් නොව පක්ෂය තුළ තමන්ට තිබූ බලය ශක්තිමත් කරගැනීම සඳහාය. වියපත්ව සිටියත්, මැරෙන්න පෙර එක දවසක් හෝ ජනාධිපති පුටුවේ වාඩිවීම ඇගේ පරම අභිලාසය වී තිබුණු අතර, තමාගේ ඇවෑමෙන් පක්ෂ නායකත්වය අයිතිය දුවට නොව පුතාට හිමිවිය යුතුයැ”යි ඇය විශ්වාස කළාය. පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීම්වල හා සමස්ත ලංකා කාරක සභා රැස්වීම්වල පක්ෂ නායිකාව ලෙස පෙනී සිටියේ ද ඇය මිස, ඇගේ දුව නොවේ.
පාර්ලිමේන්තු මැතිවරණය ලද ජයග්‍රහණයෙන් පසුව පක්ෂ ව්‍යවස්ථාව කොතරම් බලවත් වුවත්, දුවට අම්මා අභිබවා බලය ලබාගත හැකිවූයේ අම්මාගේ සටකපටභාවය ඉක්මවා ගිය සටකපට භාවයක් ප්‍රදර්ශනය කිරීමට දුව සමත්වීම නිසාය. දේශපාලන බලයට අදාළ රීති ක්‍රියාකරන ආකාරය පුදුමාකාරය. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කරන අවස්ථාව වන විට ඇය වියපත් තත්ත්වයකට පත්ව සිටි අතර, ඇයගේ පවුලේ දරුවන් අතර ද, දරුවන් නොවන පිටස්තරයන් අතරද පක්ෂ නායකත්වය ගැනීමට සුදුසු පිරිසක් සිටියෝය. අවශ්‍ය නම් ඒ අය අතරින් කවරෙකුට හෝ නිල නායකත්වය භාරදී පසුබිමේ සිට පක්ෂය මෙහෙයවීමට ඇයට හැකියාව තිබුණි. එහෙත් පක්ෂයට මොනවා වුවත්, නිල නායකත්වය අත්හැරීමට ඇය කැමති නොවූවාය. ඇයට එරෙහිව මතුවන කැරලිවල නායකයන් ලෙස ක්‍රියා කළෝ ද ඇගේම දූ දරුවෝය. කැරලි මර්දනය කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාවෙන් ලැබී තිබුණු පරම බලය පාවිච්චි කරන්නට වූයේ ද තමන්ගේ දූ දරුවන්ට එරෙහිවය.
ඒ අතින් රනිල් වික්‍රමසිංහ වාසනාවන්තය. ඔහුට දූ දරුවන් ගැන, ක්‍රියාකාරී දේශපාලනයක නිරත සහෝදර සහෝදරියන් ද නැත. ඒ නිසා ඔහුට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ පවුලේ ඇතුළතින් එන කැරලිවලට නොව, පිටතින් එන කැරලිවලටය. සිරිමා බණ්ඩාරනායක මෙන් පක්ෂයට කුමක් වුවත් නායකත්වයේ එල්ලී සිටීම රනිල් වික්‍රමසිංහගේ අභිලාසය වී තිබෙන බව පෙනේ. සිරිමා බණ්ඩාරනායක මැතිනිය තමන්ට එරෙහිව මතුවන සියලු කැරලි මර්දනය කරමින් පක්ෂ නායකත්වයේ එල්ලී සිටීමට සමත් වුවත් පක්ෂයට ජයග්‍රහණය ලැබෙන මොහොතේදී රාජ්‍ය නායිකාව වීමට අසමත් විය. ඒ නිසා ඇති කරගත් පසුතැවිල්ල ඇය මැරෙන තෙක් ඇය තුළ පැවති බව ඇගේ සමීපතමයන්ගේ මතයයි. පක්ෂය ජයග්‍රහණය සහ අවසාන මොහොතේදී රාජ්‍ය බලය අම්මාගේ අතට නොගොස් තමාගේ අතට ගැනීමට චන්ද්‍රිකාට හැකිවූයේ පක්ෂ අභ්‍යන්තරයෙන් ලැබුණු සහාය නිසා නොව, බාහිර සාධක කළමනාකරණය කරගැනීමට අවශ්‍ය කරන උපාය ඥානය හෝ සටකපටකම ඇයට තිබුණු නිසාය.
මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අගමැති තීරණය කිරීමේ බලය තිබුණේ විජේතුංග ජනාධිපතිවරයාටය. ඇය චන්ද්‍රිකා වෙනුවට අගමැති ධුරයෙහි දිවුරුම්දීමට බණ්ඩාරනායක මැතිනිය කැඳවී නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු කණ්ඩායමෙන් බලවත් විරෝධයක් මතුවීමට ඉඩක් තිබුණේ නැත. ඒ තත්ත්වය වළකා ගැනීම සඳහා ඇය විජේතුංග ජනාධිපතිවරයාගේ මිතුරකු සමග ඔහු හමුවන්නට ගියාය. විජේතුංග ජනාධිපතිවරයා බලාගන්නා බවට ඇය සහතික වූවාය. එම තත්ත්වයෙහි වෙනසක් ඇති නොවීම සහතික කරගැනීම සඳහා විජේතුංග ජනාධිපතිවරයා බලන්න ගිය පුද්ගලයා සමගම විශ්‍රාම සුවයෙන් කල් ගෙවූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බලන්නද ගියාය. මේ මොහොතේදී අම්මා බලයට පත්වුවහොත් ඇය ඔහුගෙන් පළිගත හැකි බව ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සිද්ධිය මතක් කරදෙමින් ඇය ජේ.ආර්. ජයවර්ධනට කියා සිටියාය. තමාට ජේ.ආර්. ගෙන් පළිගැනීමේ අවශ්‍යතාවක් නැති බව සහතිකවෙමින් මේ මොහොතේ ජනාධිපති විජේතුංගගේ සහාය තමාට සහතික කරදෙන ලෙස ඇය ජේ.ආර්. ජයවර්ධනගෙන් ඉල්ලා සිටියාය. ජේ.ආර්. ඇය ඉදිරියේ ඒ මොහොතේම විජේතුංග ජනාධිපතිවරයාට කතා කළේය. ඇය එසේ නොකර විජේතුංග ජනාධිපතිවරයා දිවුරුම් දීම සඳහා බණ්ඩාරනායක මැතිනිය කැඳවී නම්, එම තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් කොයිකාටවත් නොතිබුණි. එම අර්බුදය තුළ රනිල් වික්‍රමසිංහ ද විශේෂ භූමිකාවක් රඟපෑවේය. ඒ මගින් තමා දූරදර්ශී නායකයෙකු නොවන බව ඔප්පු කරගත්තේය. මැතිවරණ ප්‍රතිඵලවලින් පොදු පෙරමුණට පැහැදිලි බහුතරයක් ලැබී නොතිබුණි. ගාමිණී දිසානායක සංඛ්‍යාව එහා මෙහා කිරීමේ උත්සාහයක යෙදී සිටියේය. එම තීරණාත්මක මොහොතේ ගාමිණී දිසානායකගේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා තිරය පිටුපස සිට එජාපයේ ප්‍රධාන නායකයන් දෙදෙනෙක් චන්ද්‍රිකා වෙනුවෙන් ක්‍රියා කළෝය. සිරිසේන කුරේ, ඊපීඩීපී සහාය සඳහා කපුකමේ යෙදෙන විට ගාමිණී දිසානායකගේ වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ වහා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් අරලියගහ මැදුරෙන් පිටවී ගියේය.
ඒ අත්දැකීම් කෙසේ වෙතත් අවසානයේදී තුන්වැනි කැරැල්ල ද රනිල් ජයගත්තේය. කැරලිකරුවන්ගේ පරාජය කෙරෙහි ව්‍යවස්ථාවෙන් පක්ෂ නායකයාට ලැබී තිබුණු පරම බලයට අතිරේකව කැරලිකරුවන්ට ශක්තිමත් ඉදිරි දැක්මක් හා සංවිධානාත්මක වැඩපිළිවෙලක් නැතිකමද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. කැරලිකරුවන්ට පිළිගත් එක නායකයෙක්ද නොසිටියේය. එක පිරිසකගේ කැමැත්ත තිබුණේ සජිත්ටය. තවත් පිරිසකගේ කැමැත්ත තිබුණේ එස්.බී.ටය. ඒ දෙදෙනා අතරින් පළමු ස්ථානය ලැබිය යුත්තේ කාටද යන්න ගැන නායකයන් දෙදෙනා අතර සේම කැරලිකරුවන් අතරද පොදු එකඟතාවක් නොතිබුණි. බලවත් ලෙස නැගී සිටි විට නායකයා පසබසිනු ඇතැ”යි ඔවුහු විශ්වාස කළෝය. ඊළඟ වටයේදී කැරලිකරුවන්ගේ නායකයා කවුද කියන ප්‍රශ්නය මතුවූ විට කැරලිකරුවන් අතර ඔවුන්ගේ අවාසියට හේතුවන බෙදීමක් ඇති වන බව කල්තියා තේරුම් ගැනීමට ඔවුහු අසමත් වූහ.
මේ සාධකය දක්ෂ ලෙස රනිල් ඔවුන්ට එරෙහිව පාවිච්චි කළේය. එක් අයෙකු සජිත්ගේ නම යෝජනා කරන විට තවත් අයෙකු එස්.බී.ගේ නම යෝජනා කරමින් කැරලිකරුවන් තීරණයක් ගත නොහැකි අසරණ තත්ත්වයකට පත් කළා පමණක් නොව, ඒ මගින් එම දේශපාලන චරිත දෙක නොවැදගත් තත්ත්වයකට ඇද දැමීමට ද රනිල් සමත් විය. සියල්ල එයින් අවසන් වූයේ නැත. කරු ජයසූරිය නැවත නියෝජ්‍ය නායක ධුරයට තෝරාගත්තේ ඔහු කෙරෙහි පක්ෂය තුළ මහා ප්‍රසාදයක් නැති බව ද පෙනෙන්නට සලස්වමිනි. අවසානයේ රනිල් තමන්ට අභියෝගයක් කළ හැකි තත්ත්වයක සිටි සියලුදෙනා නැති කළේය. දෙවැනි නායකයකුට මතුවන්නට ඉඩ නොදීම රනිල් නොකඩවා පවත්වාගෙන ආ ප්‍රතිපත්තියක් විය. ඒ නිසාම මීට පෙර අර්බුදවලදී සේ ම මේ අර්බුදයේදී ද පොදුවේ පිළිගත හැකි ශක්තිමත් දෙවැනි නායකයෙක් ඔවුන් අතර නොසිටියේය. කැරලිකරුවන්ට ගැඹුරු දේශපාලන දැක්මක් තිබුණේ වී නම්, ඔවුන් පළමු කොට එරෙහි විය යුතුව තිබුණේ පක්ෂ නායකයාට නොව, පක්ෂ නායකයාට පරම බලය දෙන පක්ෂ ව්‍යවස්ථාවටය.
ව්‍යවස්ථාව වෙනස් කරගැනීමට දරන බලවත් උත්සාහයකින් තොරව රනිල් වෙනස් කිරීමට දරන මෝඩ උත්සාහයක් තුළ ඔවුන්ගේ පරාජය අනිවාර්ය විය. පුද්ගලයාට ශක්තිය ලැබී ඇත්තේ ක්‍රමයෙන් බව තේරුම් ගැනීමට මෙම කැරලිකරුවෝ අසමත් වූහ.
Editors Note
The account of 1994 — Chandrika Kumaratunga securing the premiership over her mother by
going to see President Wijetunga’s friend and then J.R. Jayewardene himself — is Ivan’s own
reporting, and the conversation he describes with Jayewardene is given at second hand.