රැඩිකල් අදහස් දරන ප්‍රගතිශීලීත්වය ඉතාමත් ප්‍රතිගාමී පියවරක් ලෙස පෙනී යාහැකි වුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට ඉඩ ලබාදීම ආණ්ඩුව විසින් ගෙන තිබෙන ඉතාමත් ඉදිරිගාමී තීරණයක් ලෙස සැලකිය හැකිය. දැනටමත් වෛද්‍ය ශිෂ්‍ය සංගම් ව්‍යාපාරය මෙම තීරණයට විරෝධය පළකර තිබෙන අතර, ඔවුන් කියන්නේ පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ පනහක් බවත්, මේ නිසා වෛද්‍ය වෘත්තිය මුදල් ඇති අයගේ වෘත්තියක් බවට පත්වීමේ අවදානමක් තිබෙන බවත්ය. ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍යවිද්‍යාලය සඳහා අවසර ලැබී ඇත්තේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතාටය. ඔහු කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද ක්‍රියා කළේය. ඔහු බොහෝ දේශපාලනඥයන්ගෙන් වෙනස් ප්‍රතිපත්තිගරුක දේශපාලකයෙක් විය. ඔහු තමන්ට හිමිව තිබූ පෞද්ගලික රෝහල් දෙකක් විකුණන ලද අතර, ඒ ලැබුණු මුදලින් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර ඇති බව ද පෙනේ.
ශිෂ්‍ය සංවිධාන නගන විරෝධතාවල යුක්තිසහගත භාවයක් ඇත්තේ නැති තරම්ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළුවීමට අවශ්‍ය තරම් ලකුණු නැති එහෙත් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන කිසියම් විශාල තරුණ පිරිසක් විදේශීය වෛද්‍යවිද්‍යාලවලට ඇදී යන බව ප්‍රකට කරුණකි. එසේ යන අය ඒ සඳහා යන විශාල වියදම දැරිය හැකි පොහොසත් පවුල්වල අය විය හැකිය. තමන්ට ඒ සඳහා ශ්‍රී ලංකාවේ අවස්ථාවක් නැතිනම් විදේශ රටකට ගොස් හෝ සිය වියදමෙන් ඒ අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඔවුන් සතුය. වෛද්‍ය අධ්‍යාපනයක් සඳහා විදේශ රටවලට යන සියලු දෙනා මහා පරිමාණයේ සල්ලිකාරයන් ලෙස සැලකිය නොහැකිය. රෝහණ විජේවීර වෛද්‍ය උපාධියක් ලබාගැනීමට උත්සාහ කළේ ද රුසියාවෙනි. ශ්‍රී ලංකාවේ එවකට තිබූ ප්‍රමිතීන් අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළුවීමට අවශ්‍ය අවම අධ්‍යාපනික සුදුසුකම් ඔහුට ද නොතිබුණේය.
ඔහු දේශපාලන අනුග්‍රහය මත එදා එම අධ්‍යාපනය ලබාගන්නා විට, අද ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළුවීමට අවශ්‍ය තරම් ලකුණු නොමැති, එහෙත් වෛද්‍ය අධ්‍යාපනයේ යෙදීමට සුදුසුකම් ඇති සමහර තරුණ තරුණියන් තමන්ගේ ඉඩකඩම් විකුණා හෝ ඒ වුවමනාව සපුරාගන්නා බව පෙනේ. එසේ විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනයට යන බොහෝදෙනෙකු තෝරාගන්නේ ලෝකයේ තිබෙන විශිෂ්ටතම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොව, අවම මිලක් අය කරන වෛද්‍ය විද්‍යාලයන්ය. ආමේනියාව, බල්ගේරියාව, ජෝර්ජියාව, හංගේරියාව, ලැට්වියාව, නයිජීරියාව, ඉරානය, ලිබියාව, ඉතියෝපියාව, පාකිස්තානය, බංගලිදේශය, නේපාලය හා ඉන්දියාව ඔවුන් ඇදී යන ප්‍රධාන රටවල් වේ. පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල් සඳහා ඔවුන්ට සාමාන්‍යයෙන් ගෙවන්නට වන මිල (පාඨමාලා ගාස්තුව) ලක්ෂ 50 කි. බංග්ලාදේශයේ නම් ලක්ෂ 40 කි. නේපාලයේ නම් ලක්ෂ 80 කි.
ඉන්දියාවේ නම් ලක්ෂ 120 ත් 150 ත් අතර වියදමක් දැරිය යුතුය. එයට අමතරව නවාතැන් ගාස්තු සහ ගමන් වියදම් සඳහා ද විශාල මුදලක් දැරිය යුතුය. පසුගිය වසරේ විදේශ අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාව වැය කර තිබෙන මිල රුපියල් බිලියන 6.2 ක් බවට ගණන් බලා තිබේ. වසරකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විදේශ රටවල්වලට ඇදී යන ශිෂ්‍ය සංඛ්‍යාව දස දහසකටත් වැඩිය. මෙම තත්ත්වයට මූලික හේතුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබීමට සුදුසුකම් ඇති අයගේ සංඛ්‍යාව හා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට තිබෙන ඉඩ අතර තිබෙන මහා පරතරයයි. අපොස උසස් පෙළ විභාගයට වසරකට ශිෂ්‍යයෝ 250,000 කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටිති. ඉන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය අවම සුදුසුකම් ලබන්නන්ගේ ප්‍රතිශතය 44% කි. ඉන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට ඉඩ ලැබෙන්නේ 15% කට පමණය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පවත්වාගෙනයෑමේ එකම බලධාරියා වී සිටින්නේ රජයයි.
රටේ ජාතික විශ්වවිද්‍යාල 13 ක් ඇතත්, ඒවාට ප්‍රවේශවීමට ඇති අවස්ථා සීමිතවීම හේතු කොටගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විශාල අතිරික්ත ඉල්ලුමක් රටේ පවතී. අලුත් විශ්වවිද්‍යාල ඇති කිරීමේ හැකියාව රජයට නැතිනම් ඒ ඉඩ පෞද්ගලික අංශයට දිය යුතුය. එවිට ගාස්තු ගෙවන ක්‍රමයක් යටතේ හෝ උසස් අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය එම අයිතිය අහිමිවූවන්ට හිමිවන්නේය. එවිට විදේශ රටකට ගොස් උපාධියක් ලබාගන්නවාට වඩා අඩු වියදමකින් මේ රටින් ම උපාධියක් ලබාගැනීමේ හැකියාව සුදුසුකම් ඇති අයට ලැබෙන්නේය. ඒ මගින් විදේශීය රටවලින් ලබාගන්නා උපාධි අධ්‍යාපනය සඳහා රටින් ඇදී යන විදේශ විනිමය කන්දරාව අපට ඉතිරි කරගත හැකිය. වෛද්‍ය විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව යන විෂයයන්වලදී හැර අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නූතන අර්ථයෙන් උසස් තත්ත්වයක නොපවත්නා බව අප පිළිගත යුතුය.
සමහරවිට තරගකාරී විශ්වවිද්‍යාලයකට ඉඩදීමෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තත්ත්වය ද උසස් කළ හැකිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් සමහර විශේෂිත පාඨමාලා සඳහා උපාධි පිරිනැමීමේ බලය සමහර පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට ලබාදී තිබේ. එසේම සමහර පෞද්ගලික ආයතන විදේශ විශ්වවිද්‍යාල හා අනුබද්ධව උපාධි පාඨමාලා පවත්වාගෙන යයි. මෙය ආඳා මාලු ඉරට්ටෙන් කනවාට සමානය. මෙවැනි අනියම් ක්‍රමයක් වෙනුවට නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් තුළ පෞද්ගලික අංශයට විශ්වවිද්‍යාල පවත්වාගෙනයෑමේ අයිතිය ලබාදීමෙන් වඩා යහපත් ප්‍රතිඵල රටට ලබාගත නොහැකිද? අද අධ්‍යාපනය ආයෝජකයන්ගේ සිත්ගත් ප්‍රධාන ව්‍යාපාරයක් බව අප අමතක නොකළ යුතුය. විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමට රජය හිමි කරගෙන තිබෙන ඒකාධිකාරී බලය අත්හැරීමට රජය සූදානම් නම් මෙම අංශය විශාල ප්‍රමාණයේ විදේශ ආයෝජකයන් ගෙන්වාගත හැකි අංශයකි.
ඒ මගින් විදේශ ආයෝජන ලබාගත හැකි අතර, ඒ මගින් තරගකාරී නවීන විශ්වවිද්‍යාල ක්‍රමයක් ඇති කරගැනීමේ අවස්ථාව ද රටට හිමිකර ගත හැකිය. අපේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය මොනම දෙයක්වත් නිසි පරීක්ෂාවට ලක් කෙරෙන නියාමන ක්‍රමයක් නැතිකමය. පෞද්ගලික ආයතන විදේශ විශ්වවිද්‍යාල සමග අනුබද්ධව පවත්වාගෙන යන උපාධි පාඨමාලා අතර උසස් ප්‍රමිතියක් පවත්වාගෙන යන ආයතන තිබෙනවා සේ ම උසස් ප්‍රමිතියක් පවත්වාගෙන යෑමට අසමත් වී තිබෙන ආයතන ද පවතී. එම විසම තත්ත්වයට හේතුව පෞද්ගලික අධ්‍යාපන ආයතන නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන ආයතන ක්‍රමයක් රටේ නැතිකමය. අලුතෙන් ආරම්භ කරන්නට යන වෛද්‍ය විද්‍යාලයට පවා මුහුණ දෙන්නට සිදුවන ලොකුම ගැටලුව වනු ඇත්තේ එම වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ හොඳ රෝහලක් තිබේද නැද්ද යන ප්‍රශ්නයයි. රෝහල් සේවයේ හැම වැදගත් අංශයක්ම ආවරණය වන ආකාරයේ රෝහලකින් තොරව හොඳවෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යා නොහැකිය.
ඉන්දියාවේ නම් වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන ආයෝජකයකු පළමුවෙන් හොඳ රෝහලක් ආරම්භ කළ යුතුය. වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට අවසර ලැබෙනුයේ ඉන්පසුවය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රවේශය විය යුත්තේ ද එයයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඉඩදීම ඉදිරිගාමී පියවරක් වන අතර, ඒ සමග විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමට රජය හිමි කරගෙන තිබෙන ඒකාධිකාරි අයිතිය ද තවදුරටත් ලිහිල් කරයි නම් ඉන් රටට සිදුවන සේවය අතිවිශාලය.
Editor’s Note
Published in February 2009, this article addresses the early stages of establishing what would later become SAITM (South Asian Institute of Technology and Medicine). It serves as a historical document capturing the initial public and political arguments for private medical education in Sri Lanka—a topic that would go on to trigger massive student protests and political turbulence over the next decade.